‘ගමේ අක්කා’ගේ හෙරොයින් බෙදූ පොලිස් කොස්තාපල් අල්ලයි

119

අනුරාධපුරයට හෙරොයින් මත්කුඩු ගෙනැවිත් බෙදා හරින ‘ගමේ අක්කා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාන්තාවකගේ මත්කුඩු, අනුරාධපුරය අවට අලෙවි කිරීමේ ජාවාරමේ නිරතව සිටි, පොලිස් කොස්තාපල්වරයකු හෙරොයින් මත්කුඩු තොගයක් සමග පෙරේදා (17දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මිහින්තලා පාර, කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි , තන්තිරිමලය පොලිසි ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන 37 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් යුක්තිය මෙහෙයුමට අදාළව පසුගිය කාල සීමාව තුළ අත්අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ කරුණු මත මාසයක පමණ කාලයක් දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අනුරාධපුර නුවර වැව් බැම්මේ , පුල්ලයාර් කෝවිලට හැරෙන මංසන්ධියේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 1710ක් සන්තකයේ තිබී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

උතුරු මැද දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන, මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතාගේ මෙහෙයවීමෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර, පොලිස් සැරයන්වරුන් වන බණ්ඩාර (48317), නිශාන් (61406), රාජරත්න (66934), පොලිස් කොස්තාපල්වරුන් වන (66935), අජිත් (70066), පො.කො. මධුසංක (88901), සමන් (71544), ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කළහ.
මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment