ගමේ කෑම රහට උයන් කෑ දර ලිපට මොකද වුණේ

539

ඔබ ගෑස් ලිපක් මිලදීගෙන ගෑස් වලින් උයන්නට පියන්නට පටන් ගත්තේ කවදා සිටදැයි මම අසමි..?

දිනය මතක නැතුවා ඇත. එහෙත් ඔබ හෝ ඔබගේ නිවස ගෑස් භාවිතා කරන්නට පටන් ගත්තේ කවදා කෙසේ දැයි මතකයක් ඔබේ හදවතේ යාන්තමට කොහේ හෝ තැනක සැඟවී ඇති බව මම දනිමි.මන්ද ලංකාවේ ගෑස් සහ ගෑස්ලිප් භාවිතාව මේසා විශාල ලෙස පැතිර ගොස් අදට වැඩි කලක් ගත වී නොමැති නිසා ය.

1977 බල පෙරළියත් එමගින් ඇති වූ දේශපාලන සංස්කෘතික විපිරියාසයටත් පසුව සමාජය පුළුල් පරිවර්තනයකට ගොදුරු විය. ගෑස් ටික ටික ලංකාව ආක‍්‍රමණය කළේ ඉන් පසුවයි.

77ට පෙර සමාජයේ මමත් ඔබත් (බොහෝ විට) ජීවත් වූ ගැමි නිවෙස්වල තිබූ සරල අල්පේච්ඡු දිවි පෙවෙත තවමත් ඔබට අමතක වී නැති බව නිසැකය. එදා අපට තිබූ ඉවුම්පිහුන් රටාව ඉතා සරලය. කුස්සියේ දර ලිප අපි හැමෝගෙම ජීවිතවල කේන්ද්‍රය වී තිබුණා යැයි මට සිතේ…

එදා ඒ සරල ලිප තිබුණේ උඩක නොව, බිමය. නිවසේ පිටුපසට වන්නට නිවසේම කොනක හෝ ඊට යාබද වෙනම තනා තිබූ වහළ පහත මිටි කුස්සියේ මුල්ලක හොඳින් එළිය වැටෙන වාතාශ‍්‍රය ඇති තැනක පොළොව හාරා දිගු බෝල ගල් ගෙඩි පහක් යාබදව උස අතට සිටුවා එකවර හට්ටි දෙකක් ලිප තැබිය හැකි ලෙස තනන ලිප් බොක්කේ කිසිදා ගින්දර නොනිමෙයි. අපේ ආච්චිලා අත්තම්මලා සෑම උදයකම ලිප ගිනි මොළවන්නේ ඊට පෙරදා රාත‍්‍රියේ පත්තු කරන ලද ගින්දරෙන් ලිප්බොක්ක පතුලේ අළු අතර නොනිමී ඉතිරි පහදුවන ගිනි පුළිඟු සූක්ෂමව අවුළුවා ගනිමිනි.

  • ලිප්බොක්කේ සංස්කෘතිය

ඒ ලිප් බොක්ක සමග ගමේ බිහිවූ සංස්කෘතියක් තිබිණ. ලිපේ එක මුල්ලක ලූණු පොල්කට්ට ය. අනිත් මුල්ලේ පහේ පොල්කට්ටය. සතියකට අවශ්‍ය පරිදි අම්මලා අත්තම්මලා ගලේ අඹරාගන්නා මිරිස් ගුලියක්, තුනපහ ගුලියක්, කහ ගුලියක්, ගම්මිරිස් ගුලියක්, ගොරකා ගුලියක්, හොඳින් හෝදා පිරිසුදු කර ගන්නා ලද ලොකු පොල් කට්ටක ගැට්ට වටේ අලවා තවත් පිරිසුදු පොල්කට්ටකින් වසා තබා මේ තුනපහ පොල්කට්ට හදාගන්නට අම්මලා හොඳින් දැන සිටියහ.

ලිපට ඉහළින් තිබුණේ ගෙදර දුම්මැස්ස යි. සමහරු මේ දුම් මැස්සටම අටුව කියා කීවා අපට මතකය. දුම්මැස්ස වූ කලී ගැමි ගෙදරක ආහාර සුරක්ෂිතතාවයයි. සියලූ කල් තබා ගන්නා ආහාර ආරක්ෂා වූයේ දුම්මැස්සේය. අටු කොස් ටික, දෙල් අටු කොස් ටික, ලූණු දෙහි ටික, ලූණු දැමූ වේලූ අඹ ටික. ගොරකා ගම්මිරිස්, කුරුඳු ටික, වේලූ දඩමස් ටික, වැව් කරෝල ටික, කුරහන් මුං කව්පි ටික එදා ආරක්ෂා වූයේ දුම්මැස්ස නිසාය.

හැත්තෑ හතෙන් පසුව ලිප් බොක්ක අතුරුදන් විය. දුම් මැස්ස කඩා දැමීය. ඒ නිසා කුස්සියේ සංස්කෘතිය පුළුල් පරිවර්තනයකට ලක් විය. බිම වළ හාර තැනූ ලිප වෙනුවට උළු සෙවිලි කළ නිවෙස්වල ලිප තැනුණේ හිටගෙන ලිප ගිනි මෙළවිය හැකි ලෙස මේසයක් තරම් උසට හැදූ වෙනම පෝරණුවක් මතය. පෝරණුව මැද ගඩොලින් හෝ වළං මැට්ටෙන් නිමවූ නවීන ලිප මැද තබා මැටි ගසා අලූත් ලිප බිහිවිය.

ගම්වල අපේ අම්මලා අත්තම්මලා ලිප් බොක්කේ ඉව්වත් ඊට පසුව ආ මැටි ලිපේ ඉව්වත් දැලිවැකුණු මැටි වළං ඇතුලේ ඉදෙන බතට, පැහෙන කිරි හොද්දට, මාළු ඇඹුල්තියලට, පොලොස් මාළුවට, බැදෙන කරවල බැදුමට වහ නොවැටෙන කෙනෙක් කොයින්ද…

හැත්තෑ හතෙන් පසුව සුවිසල් පරිවර්තනයකට ලක් වූයේ ඒ අම්මාලාගේ අත්තම්මලාගේ කුස්සියයි.

  • සුටුස් ගා අවුලන ලිප

ඉනුත් පසුව කාලයාගේ ඇවෑමෙන් ඇතිවූ පරිවර්තනය මත ලිපේ පෝරණුව අලූත්වැඩියා විය. මැටි ලිප කඩා ඉවත් කෙරිණි. පෝරණු බිමේ ටයිල් අල්ලනු ලැබීය. ඒ ටයිල් මැද අලූතෙන් ගෙනා ‘‘සුටුස් ගා” ගින්දර අවුළුවන ගෑස් ලිපක් තැබිණි. ලිප අද්දර තබා තිබූ ලූණු පොල් පොල්කට්ට මිරිස් තුනපහ පොල්කට්ට අතුරුදන් විය. ඒ වෙනුවට මේස ලූණු බෝතලය, තුන පහ බෝතල් කුස්සියට පැමිණියේය. ඇඹරුම්ගල වංගෙඩිය වෙනුවට නවීන පන්නයේ බ්ලෙන්ඩරයක් ලැබිණ. කුස්සියේ සංස්කෘතිය කුස්සියෙන් අතුරුදන් වූයේ සුටුස් ගා අවුළුවන ගෑස් ලිප කුස්සියේ කේන්ද්‍රස්ථානය වූවාට පසුවයි.

අනතුරුව අපි කොයි කාටත් හරි ආඩම්බරය. ඉස්සර වගේ ලිපට පිඹ පිඹ දුන් කාගෙන කඳුළු පෙරාගෙන ඇඳිවතින් මුහුණ පිහිද පිහිදා දැලි කුණු පෙරාගෙන උයන අත්තම්මලා අම්මලා වෙනුවට කුස්සියට ‘‘පොෂ්” අම්මලා පැමිණියහ. කුස්සිය මැද සාලෙට ආවේ ද මැද සාලෙ කුස්සියට ගියේ ද කියා සිතාගත නොහැක. ඇති වූ භෞතික හා මානසික පරිවර්තනය ඒ තරමට දැඩි විය. ගෑස් සංස්කෘතිය විසින් කුස්සියේ සංස්කෘතිය අල්ලා පොළවේ ගසා පොඩිකර කලතා චප්පකර දැම්මේ එසේය.

ගෑස් වලින් ආහාර පිස ගැනීම හරි පහසුය. හරිම ලේසිය. ගිනිකූරු ගස ගසා ලිපට පිඹ පිඹ ලත වෙන්නට අවැසි නැත. සුටුස් ගා ඇවිලිය හැකිය. දුම සහ දැලි නැත. උයන පිහන දේ පිරිසිදුය. හරි ඉක්මන්ය. දැලි නැති නිසා වළං සේදීම පවා අසීරු නැත. කාන්තාවන්ගේ සුකුමල සිහින් ඇඟිලි තුඩු අග නිය අතර දැලි රැඳෙන්නේ නැත…. කොතරම් වාසනාවක්ද.

  • නාගරික විකල්පය

සැබවින්ම ගෑස් වඩාත් ප‍්‍රයෝජනවත් වූයේ නාගරික ජනී ජනයාට ය. දර නැති, දර ලිප් ඇවිලිය නොහැකි වෙනත් විකල්ප නැති නාගරික මහල් නිවාසවලට, නාගරික කුඩා නිවාසවලට, පේළි ගෙවල් වලට, බෝඩිං කාමර වලට, චමරිවලට ගෑස් ලිප කදිම විකල්පයක් විය. ලොකු කුඩා කොයි කාටත් ගෑස් පහසු විකල්පයක් වූයේ එකල මිලද සාධාරණව පැවති නිසාය. ඒ හැමෝටම ගෑස් ලිප භූමිතෙල් ලිපට වඩා ඉතා හොඳ පහසු ආදේශකයක් විය. භාවිතය හා ඉල්ලූම වැඩිවීමත් සමඟම පසුකාලීනව ගෑස් ලාභදායී විකල්පයක් නොවෙමින් තිබුනත් ලාභයට වඩා වැදගත් වූයේ එමගින් සැලසෙන අතුරු වාසි රාශියයි.

එහෙත් මේ වාසිදායක සුපිරි ඉන්ධනය දර වලටත් වඩා කරදරයක් වූයේ 2021 වසර ආරම්භ වන විට ය. අවසානයේ කාගේ හෝ වරදින් අපට ගෑස් බෝම්බයක් තරමට භයානක ඉන්ධනයක් බවට පරිවර්තනය විය. එක් අතකින් කුස්සි පුරා ගෑස් පුපුරා යන්නට වූ නිසා ජනතාවට ගෑස් එපා විය. අන්තිමේ කාගේ හෝ වරදින් ලංකාවේ ගෑස් කර්මාන්තය ජනතාවට ගෑස් පෙන්නන්නට විය. අවසානයේ දැන් ගෑස් යනු අර්බුදයකි. අවසානයේ ගෑස් නිසා දැන් ලංකාවේ ගෑස් භාවිතා කරන ලොකු කුඩා සියල්ලෝම සමානයෝ වී ඇත්තේ්ය. නගරයේ වෙනත් විකල්ප නැති බොහෝ දෙනා අද ගෑස් අතහැර පැරණි පුරුදු ලාම්පුතෙල් ලිපට හුරු පුරුදු වන්නට පටන් ගෙන ඇත. කොළඹ කඩ සාප්පුවල තිබූ සියලූ ලාම්පුතෙල් ලිප් විකිණී අවසන් විය. ලංකාවේ භූමිතෙල් ඉල්ලූම කොතෙක් වැඩිවී ද යත් ඉල්ලූමේ හැටියට සපුරාලන්නට භූමි තෙල් සංස්ථාව සතු වූයේ ද නැත. අද සෑම නගරයකම ඉන්ධන වෙළෙඳසල් අබියස ලොකු ලොකු පෝලිම් සැදී ජනතාව ඉල්ලන්නේ අපිට භූමිතෙල් ටිකවත් හරියට දියව් කියාය.

ලිපකට දර කෑල්ලක්, පොල් හනස්සක්, කොළපුවක් මටලූවක් තබා ලිපට දාන්නට කැඩුණු පුටුවක් ටීපෝවක් පවා සපයාගත නොහැකි නාගරික ජනතාව ලක්ෂ ගණනක් සිටින රටේ ගෑස් නැතුවම බැරි පිරිසක් ද සිටින බව ඇත්තයි. එහෙත් මේ රටේ බහුතරයක් නගරයෙන් පිට පළාත්වල ජනතාවෝ ගෑස්වලට ඇබ්බැහි වූයේ ඔවුන්ට ඕනෑ තරම් විකල්ප ඉන්ධන තම තමන්ගේ අවට පරිසරයෙන් උපයා සපයා ගන්නට අවස්ථාව තිබියදීය. මොණරාගල, බුත්තල, කතරගම, වැල්ලවාය, සියඹලාණ්ඩුව, ඇතිමලේ, කොටියාගල, අම්පාර වැනි පළාත්වල ලොරියකින් සතිපතා වෙළෙ`දාමේ යන මා මිතුරෙක් මට කීවේ හද්දා පිටිසර ගම්වල පවා ජනතාව දර ලිපට ආයුබෝවන් කියා ගෑස් ලිපට හුරුපුරුදුවී සිටින ආකාරය පුදුම සහගත බවයි. නිවස අවට වත්ත පිටියේම ඕනෑතරම් තිබියදී මේ ජනතාව මෙසේ ගෑස් ලිපට හුරුපුරුදු වූයේ ඔහු පවා හදවතින් නාගරීකරණය වීමට ඇති අපේක්ෂාව නිසාද, නැත්නම් සල්ලි වැඩි නිසාද, නොඑසේනම් දර වලට වඩා ගෑස් වල තියෙන පහසුව නිසා ද කියා තේරුම් ගැනීම අසීරු කරුණකි.

  • ගෑස් ළිපට විකල්පයක්

දර පොල් කටු දහයියා වැනි ඉක්මනින් දහනය වන ඉන්ධන ඕනතරම් තිබියදී ඒවා අතහැර ගෑස් ලිපට හුරුපුරුදුව සිටි බොහෝ දෙනා අද පුහු ආඩම්බරය අමතක කර පරණ පුරුදු දර ලිප පත්තු කරන්නට පටන් ගත්තේ බරපතළ ගැටලූ කීපයක් නිසාය. එකක් හතරවටින් ඇසෙන්නට වූ ගෑස් ලිප් මෙවලම් පුපුරා යෑමය. අනිත් ප‍්‍රධාන හේතුව අද වනවිට ගෑස් හොයාගන්නට නොහැකි වීමය. මේ හේතු නිසා අපිට පිට පළාත්වල යම් යම් දැනුම් තේරුම් ඇති උදවිය පවා ගෑස් වෙනුවට විකල්ප සොයන්නට පටන් ගෙන ඇත්තේය. බොහෝ දෙනකුට සුපුරුදු දර ලිපේ උයන කෑමවල රසය හා ගුණය දැනෙන්නට පටන් ගෙන ඇත්තේ ද දැන්ය.

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කරන මා නැගණියක් කී කරුණු නිවැරදි නම් අද එම විදුහලේ සේවය කරන ගුරුවරියන්ගෙන් වැඩි දෙනා දර ලිපට හුරුවී අවසන්ය. බදුල්ලේ වෙසෙන මගේම සහෝදරයා අද මැටි කළ දෙකක් සහ පරණ කොම්පියුටරයකින් ඉවත් කරන ලද කුඩා විදුලි පංකාවක් යොදාගෙන හරි අපූරු පොල්කටු අඟුරු ලිපක් තනාගෙන එමඟින් ආහාර පිසියි. මාස දෙකක පමණ සිටම ඒ ගෙදර බත් මාළු පිලි, බැදුම් හැදෙන්නේ ඒ පොල්කටු අඟුරු ලිපෙන් බව ඔහු මා හා කීවේ ආඩම්බරයෙනි.

අතීතයේ අපි පුංචි සංදියේ ගම්වල විසූ අපේ අම්මලා නැන්දලා ආත්තම්මලා අද මේ විලම්භීත සමාජයේ පිරිමියා හා කරට කර වැඩ කරනවා යැයි කියන කාර්යබහුල කාන්තාවන්ට වඩා කොහොමටත් කාර්යබහුලය. පිරිමි උදවිය හේනෙ කුඹුරෙ වැඩ සහ බරපතළ දෑතේ මෙහෙවර කරන්නට පිටව යති. ගෙදර ඉතුරු වන කාන්තාවෝ නිකං බලාගෙන සිටියේ නැත. අතීතයේ ඔවුන් පලවැල නෙළන්නියෝය. උදේට දවල්ට හවහට හේනට කුඹුරට බත සපයනවාට අමතරව ඇය ගෙදර එන්නීය… අතට වෙරලූ ඇහි`ද ගෙන ය. ඉනට පලා නෙළා ගෙන ය. හිස මුදුනේ බරටම දර කඩාගත් දරමිටියකි. අම්මා විගසින් ගෙදර එන්නේ එහෙමය. ඒවා එදා දරුවන් නළවන්නට දරු සුරතල් ගී ලෙස නිර්මාණය වූ අයුරුද හරි අපූරුය.

  • බරටම දර කඩාගෙනේ

අද ඒ අම්මලා ගම්වල වත් දක්නට නැත. ලිපට දර කඩා ගෙන එන්නේ නැත. ගම් වල පවා බැහැර ගොස් එන අම්මලාගේ අත්වල වේරලූ නොව, මිදි ඇපල් දොඩම්ය. නෙළාගෙන එන්නට පලා පමණක් නොව, අම්මලාට ඉනක් ඉඟක්ද නැත. ඔවුන්ගේ කඳ බඩ ඉඟ බෙල්ල මේ ඔක්කොම අද එක ගාණය. කොටින්ම අද අපේ ගම්වල පවා අම්මලා එවන් නැළවිලි ගී කියන්නේ ද නැත. අද අම්මලා දරුවන් නළවන්නේ යොහානිගේ හෝ වෙනත් කසිකබල් ගායිකාවකගේ ගීතයක් සිය ස්මාර්ට් දුරකථනයෙන් වාදනය කරගත් ඒ අය දරුවන් අසලින් තැබීමෙනි. දරුවන්ට නින්ද යන්නෙ ඒ කසිකබල් සංගීතය නිසාද නැත්නම් දුරකථනයෙන් අපිට නොපෙනෙන සේ ක‍්‍රියාත්මක වන ඩිජිටල් තරංගමාලා නිසා ද සැක සහිතය.

තුන්සිය හැටපස් දවසේම කොළඹ කාෂ්ඨක අව්වේ වේළි වේළි ගෙන්දගම් පොළොවේ කරකුට්ටං වෙමින් වැඩ කරන අපි වසරකට සැරයක් හෝ ගම්වලට යන්නේ එදා අපේ අම්මලා නැන්දලා අත්තම්මලා කළ කී දෑ මතක් කරමිනි. දර ලිපක උයන ලද එච් හතර හාලේ බතක්, තෙම්පරාදු කොස් ව්‍යාංජනයක්, මඤ්ඤොක්කා කොළ මැල්ලූමක්, සහ කරවල බැදුමක ඇති රස මොන තරම්ද… ඒවා මතක් කරමින් අද අපි තවමත් ගමේ ගොස් හොයන්නේ එදා ගමේ ගොස් දරලිපේ උයා කෑ කෑම රසයයි.

  • ගෑස්වලින් දර පෝරණු

ගමේ කෑම ගමේ රසට බෙදන, ඉස්සරහ මැටි ගසා පොල් අතු සෙවිලි කළ බොරු කෑම කඩ අද නගරයේත් බොහෝය. ඒවායේ කෑම බෙදා ඇත්තේ මැටි හට්ටිවල බව හැබෑය. එහෙත් ඒවා උයන්නේ පිහන්නේ කුස්සියේ ගෑස් ලිප්වලය. මෝස්තරේට සමහර තැන්වල මැටිලිපේ ඉව්වත් මෝස්තරේත් අතර කිට්ටු කර තිබුණත් ඇතුළෙන් එන ගිනි දැල්ල පත්තුවන්නේ ගෑස් නිපලයක් මගින්ය.

අද කොළඹ දර බේකරි පාන් විකුණනවා යැයි කියා බෝඞ් ගසා ඇති තැන් කීයක් නම් ගෑස් නැති නිසා වසා දමා තිබේද… බොහෝ තැන්වල අපි රැවටෙන්නේ සංකල්පවලටය. සංකල්ප ලියා ඇති බෝඞ් ලෑලි වලටය. අපි ජීවිතේ මුහුණ දෙන සියලූ ප‍්‍රශ්නවලට විසඳුම ඇත්තේ නගරවල පමණක් යැයි සිතන අය සිටිති. පහසුව සොයා විසඳුම් සොයා ගමේ බොහෝ දෙනෙක් අද කොළඹ එන්නේ ජීවිත සරු කරන්නට සිතාපතාගෙන ය. එහෙත් අද ඒ බොහෝ දෙනා ආපසු ගම දෙසට හැරෙන්නට පටන් ගෙන ඇත්තේ ගෑස් වැනි දිවි පෙවෙත පෙළන එකක් පසුපස ආ අර්බුද දැන් නිතර නිතර පොදුජන ජීවිතයට වදදෙන්නට පටන්ගෙන තිබෙන නිසාය.

  • රම්‍ය නගරය ඉන්න ඕනෑ

රම්‍ය නගරයේ ඉන්න ඕනෑ රම්‍ය නගරයට යන්න ඕනෑ කිය කියා එනවා…. ඉඩම් විකුණා ගෙවල් අරගෙන කොළඹ අපි එනවා… කියා ගුණදාස කපුගේලා මේ අනතුර දැක ගී සින්දු කීවේ මීට වසර දශක කීපයකට ඉහත ය.

ගමේ කුඹුරේ වී හාල් ටික පලා මැල්ලූම් පොලොස් ගැට ටික කොළඹ දී අපි මුදල් දී ගෙන රටට ණය වෙනවා. කොළඹ අපි එනවා… කියා එදා ඔහු අමුවෙන්ම කීවේ මේ සිංහලය ය. එදා ද ඒවාට විවේචන බොහෝ විය. කොළඹ අය කොළඹ සැප විඳිමින් ගමේ අය ගමට කොටුකරන සංකල්ප එදා සමහරු බැහැර කළහ. නගරයේ ඉන්න අයට ‘‘ගම දකින්න” ගමේ අය දුක් විඳින්න ඕනෑ දැයි සමහරු ඇසුවහ. හැමදාමත් කොළඹට කිරි ගමට කැකිරි ඕනෑ නැතැයි සමහරු කියන්නට වූහ. ගෑස්, ඉන්ධන, විදුලිය, වායුසමනය, තට්ටු නිවාස, සැප වාහන, නගරය, අහසෙ ගෑවෙන ගොඩනැඟිලි ආදී මේ සියල්ල පොදු සමාජ සම්මතයේ පිළිගැනෙන්නේ දියුණුව ලෙසය. එහෙත් ඒ දියුණුව අපේ ද කියා ප‍්‍රශ්නයක් ඇති බව බොහෝ දෙනා සිතන්නේ නැත. ඒ සියල්ල අපේ භෞතික දියුණුව නොව, ණයගැති භාවයේ තරම බව අකමැත්තෙන් වුවද අපට දැන් පිළිගන්නට සිදු වී හමාරය.

බුලිත ප‍්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment