ගමේ ප්‍රශ්න විසඳන මොනවද මේ e-Sabha…?

255

පරිසර අමාත්‍යාංශය, බාසල්-රොටර්ඩෑම් සහ ස්ටොක්හෝල්ම් සම්මුති සමග සම්බන්ධවී ඔබ ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණ වැඩකටයුතු රැසක් සිදුකරනවා. එම ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ප්‍රගතිය කෙබඳුද…?

පරිසර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජපානයේ ගෝලිය පාරිසරික උපාය මාර්ගික ආයතනය හෙවත් IGES ආයතනයේ තාක්ෂණික මඟපෙන්වීම මත බාසල් රොටර්ඩෑම් ලේකම් කාර්යාලයේ (BRS) මූල්‍යමය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය තුළ “ගාල්ල ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර නගරයක්” නියාමක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා. මෙය වසරක ව්‍යාපෘතියක්. 2023 දී පටන් ගත්තා. මේ වසරේදී නිමා වෙනවා.

ඒ සඳහා නාගරික පාසල් 3 ක් සම්බන්ධ කරගනිමින් ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර පාසල් වැඩසටහනක් කරනවා. වීඩියෝ තරග, විවිධ නිර්මාණ, ප්ලාස්ටික් වෙනුවට විකල්ප නිෂ්පාදන, දැනුවත් කිරීම, ප්‍රතිචක්‍රීකරණ නිෂ්පාදන කර්මාන්ත නිරීක්ෂණය, මුහුදු ජලය මත ඇති මයික්‍රෝ ප්ලාස්ටික් අධ්‍යයන කිරීම සිදුකරනවා.

සංචාරක හා හෝටල් සඳහා ප්ලාස්ටික් වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වා දීම, ලංකාවේ පළමු වතාවට රෙදි සෝදන යන්ත්‍ර සඳහා මයික්‍රෝ ප්ලාස්ටික් පෙරහන හඳුන්වාදීම, ගාල්ල ඕලන්ද ඇළ හෙවත් මෝඩ ඇළ සඳහා CCTV කැමරා යන්ත්‍රයක් සවිකර සෑම තත්පර 20 ක දී මුහුදට යැවෙන ප්ලාස්ටික් ප්‍රමාණය ගණනය කිරීම, පාසල් විෂය මාලව සඳහා මයික්‍රෝ ප්ලාස්ටික් පිළිබඳ ගුරු අත්පොතක් හා සිසු වැඩපොතක් සකස් කිරීමට ව්‍යාපෘතිය හරහා දායක වීම ඉටුකරන ලද කාර්යන් අතර වෙනවා. එමෙන්ම සංචාරක හෝටල් සඳහා ප්ලාස්ටික්වලින් තොර හෝටල් පිළිබඳ මඟපෙන්වීම අත්පොතක් සැකසීම සඳහා පරිසර අමාත්‍යාංශයට පහසුකම් සැලසීමට BRS ව්‍යාපෘතිය යටතේ සහාය ලබාදී තිබෙනවා.

ඔබ සම්බන්ධවී දියත් කරන ලද වැඩසටහන් අතර ඊ-සභා (e-Sabha) ඉතා ජනප්‍රියයි, එසේම ඉතා ඵලදායී වැඩසටහනක්. මොකක්ද මේ ඊ-සභා කියන්නේ …..?

e-Sabha කියන්නෙ ජංගම දුරකථන මෘදුකාංගයක්. කෙටියෙන් කිව්වොත් ඇප් එකක්. අපි මේක හඳුන්වන්නෙ “ඔබේ සභාව දැන් ඇඟිලි තුඩේ දුරින්” කියලා. ඔබ දන්නවා පොදු පහසුකම් ඇතුළු විවිධ ගැටලු ඉදිරිපත් කළ යුත්තේ පළාත් පාලන ආයතන වෙතයි. ඒ සඳහා පළාත් පාලන ආයතන වෙත යායුතුය. මේ කාර්යබහුල කාලය තුළ ජනතාව රස්තියාදු නොවී තමාගේ පැමිණිල්ල නිවසේ සිටම ඡායාරූප හෝ වීඩියෝ ඇතුළත් කර ඉතාම කඩිනමින් අදාළ දිස්ත්‍රික්කය තෝරා අදාළ පළාත් පාලන ආයතනය වෙත මේ ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ හැකිවෙනවා. පැමිණිල්ලට ප්‍රතිචාරය එම දිනය ඇතුළතම ලැබෙනවා. නිර්නාමිකව ද පැමිණිලි යැවිය හැකියි. කොවිඩ් කාලයේදී පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට ප්‍රථම මෙම වැඩසටහන ආරම්භ කරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් තෝරාගෙන. ඊ-සභා මේ වන විට දකුණු පළාතේ පළාත් පාලන ආයතන 20 කට හඳුන්වා දී තිබෙනවා.

ගමේ ප්‍රශ්න විසඳන මොනවද මේ e-Sabha…?
පරිසරවේදී, HELP-O සංවිධානයේ සභාපති චතුර වැලිවිටිය

ප්‍රාදේශීය සැලසුම්කරණයේ දී ජනතා සහභාගිත්වය ඉහළ නැන්වීම, පුරවැසියන් සහ තීරණ ගන්නන් අතර ඇති පරතරය අවම කිරීම සහ ඔවුන්ගේ හඬ මතුකර ගැනීමට වඩා හොඳ වේදිකාවක් සැපයීම සඳහා, ජනතාවට සමීපතම ආයතන ලෙස පළාත් පාලන ආයතන හා සම්බන්ධ සියලුම පාර්ශ්වකරුවන් එකට සම්බන්ධ කිරීමේ අරමුණින් “හඬට ඉඩක්” ව්‍යාපෘතිය අපි පළමුව ආරම්භ කළා. මෙම අරමුණු ඉටුකර ගැනීම පිණිස 2022 වසර “හඬට ඉඩක්” ව්‍යාපෘතියේ පළමු අදියරේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10ක් තුළ නියමු ව්‍යාපෘතියක් ලෙසයි HELP-O සංවිධානය මගින් මෙය ආරම්භ කළේ.

2024 වසර හඬට ඉඩක් ව්‍යාපෘතියේ දෙවන අදියරේ දී ගාල්ල දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන ආයතන 10 තුළ හා මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05ක ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05ක ද මේ වැඩසටහන ආරම්භ කළා. හඬට ඉඩක් ව්‍යාපෘතියේ අරමුණු ඉටුකර ගැනීම සඳහා භාවිත කරනු ලබන ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස ඊ-සභා ජංගම දුරකථන යෙදුම හඳුන්වන්න පුළුවන්. e-Sabha යෙදුම සෑම පළාත් පාලන ආයතනයක්ම එකම පරිපාලන වේදිකාවක් බවට පරිවර්තනය වෙමින් පවතිනවා. e-Sabha ජංගම යෙදවුම පළාත් පාලන ආයතන සහ එහි ප්‍රජාව සම්බන්ධ කරන වඩාත්ම ප්‍රායෝගික මෙවලම බවටත් පත්වෙමින් තිබෙනවා.

සාමාන්‍ය ජනතාවට ලැබෙන ප්‍රතිලාභ

සාමාන්‍යයෙන් පවතින ක්‍රමයේදී ජනතාවට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පළාත් පාලන ආයතනයට යා යුතු වෙනවා. ඒ සඳහා යොදවන තමන්ගේ වටිනා කාලය හා මුදල් ඉතිරි කරගනිමින් ඔවුන්ගේ පැමිණිලි පළාත් පාලන ආයතනය වෙත යොමු කිරීමට මෙමගින් අවස්ථාව තිබෙනවා. අනික රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන්නන්ට පළාත් පාලන ආයතනවලට යෑම සඳහා නිවාඩු ලබාගැනීමට මේ ක්‍රමයේදී අවශ්‍ය වෙන්නේ නෑ. ඔවුන් නිවාඩු ලබාගැනීම නිසා ආයතන ප්‍රධානීන් හා මහජනතාව මුහුණපාන දුෂ්කරතා අවම වෙනවා. පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කරන පැමිණිලි සම්බන්ධයෙන් මේ ක්‍රමයේදී පැමිණිලිකරුට ක්ෂණිකව ප්‍රතිචාර ලබාගන්න පුළුවන්.

විදුලි බලමණ්ඩලය, ටෙලිකොම් හා ජල සම්පාදන වැනි හවුල්කාර ආයතන අතර සබඳතා වර්ධනය කිරීම මේ ඔස්සේ කරන්න පුළුවන්. මහ ජනතාව වෙතින් එම ආයතනවලට අදාළ ව ලැබෙන පැමිණිලි (කණු කඩා වැටීම, කණු ඇලවීම, ජල කාන්දුව ආදිය) ඔවුන් වෙත යොමු කිරීම මගින් එම පැමිණිලි සඳහා කඩිනම් ප්‍රතිචාර ලබාගැනීම මෙමගින් පහසු වෙනවා.

ඇතැම් දුෂ්කරතා පිළිබඳව පැමිණිලි කළ යුතු ආයතන නිශ්චිතව නො දන්නා අවස්ථා තියෙනවා. උදාහරණයක් ලෙස, මාර්ග අලුත්වැඩියාවක් සම්බන්ධව පැමිණිල්ලක දී එම මාර්ගය අයත් වන්නේ පළාත් පාලන ආයතනයකට ද නැතහොත් පළාත් සභාවට ද යන්න නිශ්චය කර ගැනීම දුෂ්කර වන අවස්ථා ඇත. එබඳු පැමිණිලි පළාත් පාලන ආයතනයට යොමු කළ පසු පළාත් පාලන ආයතන විසින් එම පැමිණිලි අදාළ ආයතනයට යොමු කළ යුතු වෙනවා. එමගින් තම පැමිණිල්ලට කඩිනම් ප්‍රතිචාර ලබාගැනීමට මෙමගින් ජනතාවට පහසු වෙනවා.

පෙර කිව්වා වගේ පැමිණිලි යොමු කිරීමේ දී එය යොමු කරන තැනැත්තා අදාළ පළාත් පාලන ප්‍රදේශයේ පදිංචිකරුවකු වීම අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට අයත් ප්‍රදේශයක් සම්බන්ධව පැමිණිල්ලක් කිසිවකු විසින් බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභාවට යොමු කර ඇත්නම්, එම පැමිණිල්ල බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභාව විසින් ගාල්ල මහ නගර සභාවට යොමු කෙරෙනවා. ගමනක් යමින් සිටිය දී අනතුරු දායක ගසක් දුටු විට ළඟම ඇති පළාත් පාලන ආයතනයට තම පැමිණිල්ල මේ ඇප් එක හරහා ඉදිරි පත් කළ හැකියි. ඕනෑම පුද්ගලයකුට නාමිකව හෝ නිර්නාමික ව පළාත් පාලන ආයතනවලට මෙම ජංගම දුරකථන යෙදුම හරහා පැමිණිලි කළ හැකි වීම, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම පැමිණිලි ඉදිරිපත් කළ හැකි වීම ජනතාවට ඇති ප්‍රතිලාභ අතර වෙනවා.

ඊ-සභා වැඩසටහනේ වර්තමාන ප්‍රගතිය කොයි වගේද…..?

මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතන හා මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05 (මාතර මහ නගර සභාව, මාතර ප්‍රාදේශීය සභාව, වැලිගම නගර සභාව, වැලිගම ප්‍රාදේශීය සභාව, අකුරැස්ස ප්‍රාදේශය සභාව) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 05 (හම්බන්තොට මහ නගර සභාව, තංගල්ල නගර සභාව, තංගල්ල ප්‍රාදේශීය සභාව, බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව, කටුවන ප්‍රාදේශී සභාව) දකුණු පළාත තුළ ක්‍රියාත්මක වෙනවා. මීට අමතරව වයඹ පළාත තුළ පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගර සභාව, පුත්තලම ප්‍රාදේශීය සභාව, කල්පිටිය ප්‍රාදේශීය සභාව හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව, මෙම e-Sabha වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එමෙන්ම ජනතාව කරනු ලබන පැමිණිල්ලට ගනු ලැබූ ක්‍රියාමාර්ගයට අදාළ පළාත් පාලන කොමසාරිස්ට බලා ගැනීමට හැකිවීම මෙහි ඇති වැදගත් කරුණක්. ඊට හේතුව ප්‍රධාන පැමිණිලි පුවරුව පවතින්නේ පළාත් පාලන කොමසාරිස් කාර්යාලය තුළයි. එමෙන්ම වසර අවසානයේ පළාත් පාලන ආයතනවල පලදායීතාවය මැන බැලීමටත් මෙය කදිම මෙවලමක්.

ඊ-සභා රටේ සමස්ත පළාත් පාලන ආයතන තුළම ක්‍රියාත්මක විය යුතුයි කියා ඔබ විශ්වාස කරනවාද….?

ඔව්.. අනිවාර්යයෙන්ම. ජනතාවගේ මූලික අවශ්‍යතාවන් ලබාගැනීමට මෙමගින් හැකිවෙනවා. e-Sabha ව හරහා පැමිණිල්ල යොමු කළොත් අදාළ පළාත් පාලන ආයතනය තමයි මේ පැමිණිල්ල තෝරා අදාළ ආයතනය වෙත යොමු කරන්නේ. පළාත් පාලන ආයතන ශක්තිමත් වෙන්නෙ මේ විදියට යි. ජනතාව පළාත් පාලන ආයතන විශ්වාස කරන්නෙ ඊට පසුව. ඒ වගේම ජනතාවට මේකෙන් පාලනයට හවුල් වෙන්නත් පුළුවන්. ඇයවැය යෝජනා දෙන්න පුළුවන්. ඩිජිටල් තාක්ෂණය තුළින් වියදම් පාලනය කරගන්න පුළුවන්. සභාව මගින් පොදු පණිවිඩ යවන්න පුළුවන්. පැමිණිලිකරු බල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන්න ඕනම නැහැ. සීමා මායිම් පිළිබඳ දැනගත යුතු නැහැ. පැමිණිල්ල යොමුකළේ අදාළ ආයතනයට නොවේ නම් අදාළ ආයතනය වෙත යැවීමට අවශ්‍ය පහසුකම් සලසා තිබෙනවා. පැමිණිලිකරු වෙත ප්‍රතිචාර ලැබෙන්නෙ ඊට අදාළ පළාත් පාලන ආයතන මගින්. එමෙන්ම පළාත් පාලන ආයතන සක්‍රීය වූවායින් පසුව කොට්ඨාස මට්ටමින් එම ප්‍රදේශය නියෝජනය කරන සභිකයන් සඳහා ද පැමිණිලි පුවරු ලබාදීමට මේ මගින් හැකියාව තිබෙනවා.

මෙම ක්‍රමය රට පුරාම ක්‍රියාත්මක විය යුතු වන්නේ පහත හේතු නිසයි. දිනෙන් දින දියුණු වෙමින් පවත්නා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මත පදනම් වූ ලෝකය නව කාර්මික විප්ලවයේ තවත් යුගයක් වෙත ගමන් කරමින් සිටිනවා. මෙය 04 වන කාර්මික විප්ලවය ලෙස හඳුන්වනු ලබනවා. කෘත්‍රිම බුද්ධිය, යාන්ත්‍රික ඉගෙනීම, ස්වයංක්‍රීයකරණය සහ රොබෝ තාක්ෂණය පාදක කොට ගත් ගෝලීය ආර්ථිකයේ වෙනස් වීම මේ සමග සම්බන්ධව පවතිනවා. මේවා සියල්ල ඩිජිටල් තාක්ෂණය මත පදනම්ව ඇති අතර ස්මාර්ට් සිටි සංකල්පය ඉන් එකක්. ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් සංවර්ධනයේ සහ කළමනාකරණයේ සෑම අංශයක ම ස්මාර්ට් සිටි සංකල්පය ක්‍රියාත්මක කරනවා. ස්මාර්ට් සිටි සංකල්පය යනු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීම මඟින් සම්පත් පරිභෝජනය, නාස්තිය සහ සමස්ත පිරිවැය අවම කිරීම සඳහා බලශක්තිය, ප්‍රවාහනය සහ උපයෝගිතා වැනි නාගරික සේවාවන්හි ගුණාත්මක භාවය සහ ක්‍රියාකාරීත්වය ඉහළ නැංවීම තුළින් පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම සමාජ මැදිහත් වීම වැඩි කිරීමට අවශ්‍ය පියවර ගැනීමයි.

මානව වර්ගයාගේ කාර්යයන් හා ගැටලු විසඳීම පහසු කිරීම මෙහි තවත් අරමුණක්. ලෝකයේ සෙසු රටවල් හතර වැනි කාර්මික විප්ලවය ගැන කතා කරන විට අවම වශයෙන් 03 වන කාර්මික විප්ලවයේ දී හෝ ඩිජිටල් සහ අන්තර්ජාල තාක්ෂණය තුළින් නිසි ප්‍රයෝජනයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වෙලා ඉන්නේ. ලංකාවේ බොහොමයක් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල තොරතුරු තාක්ෂණය තුළින් ඉතාමත් පහසුවෙන් කර ගත හැකි කාර්යයන් පවා තවමත් සිදු කරනු ලබන්නේ සම්ප්‍රදායික ක්‍රම භාවිතයෙන්. e-Sabha ජංගම යෙදුම HELP-O විසින් පළාත් පාලන ආයතනවලට හඳුන්වා දෙන ලද්දේ මෙවැනි පසුබිමක් යටතේ. ස්මාර්ට් සිටි සංකල්පයට අනුව යමින් ඇති කළ, e-Sabha ජංගම යෙදුම පළාත් පාලන සහ ප්‍රජාව අතර යහපත් සබඳතා ඇති කරන පාලමක් ලෙස ක්‍රියා කරනු ඇති බැව් අපගේ විශ්වාසය යි.

සාකච්ඡාව – ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment