ගලබොඩ ඤාණිස්සර නාහිමි ආදාහන පූජෝත්සවය අද

97

දශක හතක දිගු ශාසනික මෙහෙවරක් ලක්මවට ඉටු කළ අපවත් වී වදාළ කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හුණුපිටිය ගංගාරාමාධිපති ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (05දා) සවස පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව එම විහාරස්ථානය ඉදිරිපිට භූමියේදී සිදුකෙරේ.

උන්වහන්සේට අවසන් බුහුමන් පුද කිරීමට අතිවිශාල ගිහි – පැවිදි පිරිසක් ඊයේ ද පැමිණියහ. ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන්ගේ ශ්‍රී දේහයට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි, පාලටුවාවේ ජිනරතන සහ පල්ලේගම රතනසාර යන හිමිවරුන් බුහුමන් දැක්වූ අවස්ථාවක්.

අපවත් වී වදාළ ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු සිදුකෙරෙන අද (05දා) හුණුපිටිය ගංගාරාමය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

අද පස්වරු 2.00 සිට රාත්‍රි 8.00 දක්වා කාලය තුළ රථවාහන තදබදය අවම කිරීම සඳහා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

ගංගාරාම විහාරස්ථානය වෙත ඇතුළුවන සියලුම වාහන ජේම්ස් පීරිස් මාවත, ජිනරතන මාවත හන්දියෙන් ඇතුළුවිය යුතු බව පොලිසිය පවසයි. ඩෝසන් වීදියෙන් ජිනරතන මාවතට ඇතුළු වන මාර්ගය වසා තබන අතර ජිනරතන මාවතේ වාහන ගමනාගමනය එක් දිශාවකට පමණක් සීමා කෙරේ.

පූජෝත්සවය සඳහා පැමිණෙන මහජනතාවගේ වාහන නැවැත්වීම සඳහා ඇල්ටෙයාර් ගොඩනැඟිල්ල පිටුපස භූමියේ පහසුකම් සලසා ඇත.

සටහන හා ඡායාරූපය- නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment