ලොකුම ලොකු ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ – ජනාධිපති රනිල් වික්‍රමසිංහ
සංවිධානය හා අධිෂ්ඨාන ශක්තියෙහිලා ගංගාරාම විහාරස්ථානාධිපති ගල්බොඩ ඤාණිස්සර ස්වාමීන් වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූයේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේගේ අපවත්වීම නිමිත්තෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ශෝක පණිවුඩය මෙසේය.
මීට කලකට පෙර දිනෙක වැදගත් කරුණක් සාකච්ඡා කරලීම උදෙසා මට ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වහන්සේ හමුවීමට අවශ්‍ය විණි. විමසූ කල්හි උන්වහන්සේ පැවසුවේ දින කිහිපයකට රටින් බැහැර වන බවය. එවක අස්ගිරි මහා නායක ධුරන්ධර උඩුගම බුද්ධරක්ඛිත හිමියන් වෛද්‍ය ප්‍රතිකාර පිණිස සිංගප්පූරුවට රැගෙන යෑම පිණිසය.
අස්ගිරි මහා නායක හිමියන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සියල්ල සිදුකෙරුණේ පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙනි. උන්වහන්සේට පත්ය වූ ආහාර වර්ග කොළඹ පිළියෙල කොට මහනුවරට යැවූ අවස්ථාවන් පවා තිබිණි. මේ කරුණු දැනගත් විට මට සිහිවූයේ දෑස් අන්ධ තම ගුරු හාමුදුරුවන් වූ දෙවුන්දර වාචිස්සර හිමියන් වෙත සොළොස් හැවිරිදි වියේ සිට පොඩි හාමුදුරුවන් ඇප උපස්ථාන කළ ආකාරයයි.
උන්වහන්සේගේ මුළු මහත් ජීවිතය පුරාම මේ සුලක්ෂණය මම දුටුමි.
එනයින් ගිලාන උපස්ථානයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
ලාංකේය තරුණ පරපුරට වෘත්තීය මං සැලසීමට හා ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබාදීමට උන්වහන්සේ වෙහෙසුණහ. අසරණ සරණ ව්‍යාපෘති ගණනාවක් දියත් කළහ. ස්වාභාවික විපත් හමුවේ කඩාවැටුණු ජීවිතවලට රැකවරණය සැලසූහ. වැඩිහිටි මධ්‍යස්ථාන, සේවා සුරැකුම් මධ්‍යස්ථානයන් ද පිහිටු වූහ. සමාජ මෙහෙවර සම්බන්ධයෙන් බි්රතාන්ය මහ රැජනගේ සම්මානයෙන් ද පිදුම් ලැබූහ.
එනයින් සමාජ මෙහෙවරෙහි ලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
උන්වහන්සේ නැවුම් චින්තනයෙන් පෝෂිතය. කොළඹ නවම් පෙරහැර, ගංගාරාමයේ වෙසක් කලාපය, බේරේ වැව සීමා මාලකය මතු නොව ගංගාරාම විහාරස්ථානය පවා ඒ නැවුම් චින්තනයේ ප්රතිඵලයි. දේශීය බැතිමතුන්ට පමණක් නොව මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ට පවා සුදුසු හා ආකර්ෂණීය ආගමික කේන්ද්‍රස්ථානයක් බවට ගංගාරාමය පත් කරන්නට උන්වහන්සේ කටයුතු කළහ.
එනයින් අලුත් අලුත් දෑ නිර්මාණයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
තායිලන්තය, ජපානය, තායිවානය, කොරියාව හා සිංගප්පූරුව ආදී ආසියාතික රටවල ථෙරවාද ආගමික කාර්යයන් ප්‍රචලිත කරලීමට උන්වහන්සේ මූලිකත්වය ගත්හ. ඇමෙරිකාව, මහා බි්රතාන්ය ආදී අපරදිග රටවල ධර්ම ප්රචාරයෙහිලා සහාය වූහ. මේ විදේශ සම්බන්ධතා ගංගාරාම විහාරස්ථානයේ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේම ආගමික හා සමාජයීය කටයුතු ප්‍රවර්ධනය උදෙසා උපයෝගි කරගත්හ.
එනයින් විදේශ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
උන්වහන්සේ පරිසරයට ආදරය කළා සේම පරිසරය රැකගැනීම උදෙසා උත්සුක වූහ. ගස් බැංකුව ඒ අතර සුවිශේෂය. අකුරැස්සේ අක්කර 900ක වතුයායක මහෝගනී, තේක්ක සහ අගාවුඩ් වගා කෙරෙනුයේ ඒ සංකල්පය ඔස්සේය. මෙමගින් මුළු මහත් දකුණු පළාතටම අවශ්‍ය ඇට සහ පැළ බෙදා දීමට ද උන්වහන්සේ පියවර ගත්හ. මෙවැනි ව්‍යාපෘති ගණනාවකට උන්වහන්සේ අනුග්‍රහය ලබාදුන්හ.
එනයින් පරිසර සංරක්ෂණයෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
මේ බොහොමයක් කාර්යයන් සඳහා උන්වහන්සේ මුල පිරුයේ ඊට අවශ්‍ය සියලු සම්පත් සහිතව නොවේ. උන්වහන්සේ වෙත තිබුණේ සංවිධාන හැකියාව සහ අධිෂ්ඨානය පමණි. ඒ ද්විශක්තීන් සමග උන්වහන්සේ බොහෝ දෑ කළහ. කරන්නට බැරි යැයි සිතන බොහෝ දෑ උන්වහන්සේගේ අධිෂ්ඨාන හා සංවිධාන ශක්තිය හමුවේ යථාර්ථයක් බවට පත් විය.
එනයින් සංවිධාන හා අධිෂ්ඨාන ශක්තියෙහිලා උන්වහන්සේ ලොකුම ලොකු පොඩි හාමුදුරුවන් වූ සේක.
වසර අසූඑකක ජීවිත කාලය පුරා ලොකුම ලොකු කාර්යයන්ගෙන් අප රටට අතිමහත් වූ ශාසනික, සමාජයීය සේවාවන් රාශියක් ඉෂ්ට සිද්ධ කළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර පොඩි හාමුදුරුවන් වහන්සේට නිවන් සුව ලැබේවා.
නිර්මාණශීලී සංවර්ධනයේ පුරෝගාමී යතිවරයෙක් – විපක්ෂ සජිත් ප්‍රේමදාස
හුනුපිටිය ගංගාරාම විහාරයේ විහාරාධිපති ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් තමා අතිශය කණගාටුවට ලක්වන බවත් උන්වහන්සේ ගංගාරාම පූජනීය සිද්ධස්ථානය ඇතුළු විවිධ ප්‍රදේශවල අතිශය දක්ෂ ලෙස නිර්මාණශීලී සංවර්ධන කටයුතු රාශියක් සිදු කළ බවත් විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කිසිදු අවස්ථාවක කුමන කාර්යකදීවත් අලස නොවී නිශ්චිත ඉලක්කයක් නිර්මාණය කර එම ඉලක්කය සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කර ගන්නට නියමිත කාලවකවානු සහිතව එම ඉලක්කය කරා යන්නට උන්වහන්සේ සැමදාම කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එමෙන්ම අප රට බංකොලොත් වී ඇති මොහොතක උන්වහන්සේගේ මේ චරිතය, දර්ශනය හා වැඩපිළිවෙළ අප රටට අතිශය වැදගත් බවත් උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳ සාතිශය සංවේගය සහ කණගාටුව පුදකර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අපවත් වී වදාළ ගලබොඩ ඥානිස්සර නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන උත්සවය පිළිබඳව එම විහාරයේ ඉකුත් 02දා පස්වරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.