අඹගස්දෝව පොලිස් බල ප‍්‍රදේශයට අයත් ගලහගම පේරවැල්ල මංසන්දියේ දී සිදුවූ ලොරි රථ අනතුරකින් එහි ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙක් බරපතළ තුවාල ලබා තිබේ.
ගලහගම දෙස සිට රේන්දපොළ දෙසට ධාවනය වු ලොරි රථයක් පේරවැල්ල මංසන්ධියේ පිහිටි ගලහගම මහ වංගුව නමැති ස්ථානයේදී මාර්ගයෙන් ඉවතට පැන වංගුවෙන් පහළට විත් පහතින් වූ මාර්ගයට පෙරළීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී ලොරි රථයේ පුද්ගලයන් තිදෙනකු ගමන් කර ඇති අතර එම අයගෙන් දෙදෙනකු අනතුරින් මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතළ තත්වයෙන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදුවු අවස්ථාවේ ලොරි රථයේ සිරවී සිටි පිරිස පිටතට ගැනීමට ප‍්‍රදේශවාසීන් මහත් පරිශ‍්‍රමයක් දරා තිබේ.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ ඌව පරණගම ගලහගම ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක හා අවුරුදු 36 ක පුද්ගලයන් දෙදෙනෙකි. අනතුරින් ලොරි රථයටද බරපතළ හානි සිදුව තිබේ. අනතුරට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර අඹගස්දෝව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
බොරලන්ද – සමන්ත කුමාර