ගල්ඔය ගන් කොමළිය මඩොල්සිමෙන් ඇරඹි අම්පාර මැදින් නිහඬව ගලා යමින් සිටින්නීය. වැසි සමයේ සිය ඔද තෙද අභිමානයෙන් උතුරා යමින් මහා ජල කඳක් සමගින් ගලා ගියද ඇය මේ දිනවල ගලා යන්නේ කේඩෑරිවය. එසේ තිබියදී බොහෝ වැලි මෝල්ලු ඉවක් බවක් නොමැතිව ඇගේ රීරි මාංශය උරා බොමින් සිටිති.
එය එලෙස සිදු වෙද්දී ඇතැම් නිලධාරි මෝල්ලුද ඇස් පියාගෙන සිටින්නේ තොපි ඕන එකක් කරගනිල්ලා අපිට මොකෝ යනුවෙනි.
මොණරාගල දෙසින් හිඟුරාණ නගරය හරහා අම්පාරට පැමිණෙන අය හට මීටර් සියයකට වඩා දිගින් යුත් පාළමක් හමුවේ. ඒ ගල්ඔය ගඟ හරහා අම්පාර නගරයට පිවිසීමට ඉදිකර ඇති මහා පාළමයි.
ඒ පාළම දෙපසින් ගඟ ඉහළට සහ පහළට ගිය විට බොහෝ දෙනකු වැලි මංකඩවල් සකසා වැලි ගන්නා ආකාරය දැක ගැනිමට පුළුවන. කිහිප දෙනකු හැරෙන්නට බොහෝ දෙනකු වැලි ගොඩ දැමීමේදී තිබෙන නීති අමු අමුවේ උල්ලංඝනය කරති.
ගල්ඔය ගඟ දෙපස මාර්ගය මෙළෝ යකෙකුට යන්නට බැරි ලෙස අබලන්ව ගොසිනි. දිගින් දිගටම ටි්‍රපර් රථ ගමන් කිරීම නිසා පාරේ අලි වළවල් හෑරී ඇත. පිටි වැනි දූවිලි තට්ටුව නිසා හුස්මක් ගන්නට නොහැකිව තිබේ. මේ ආකාරයට කෙතරම් පාර අබලන් වුවද එම ගඟ වේල්ල මතින් දිවෙන මාර්ගය පිළිසකර කරන්නට කිසිම වැඩපිළිවෙළක් නොමැති වීම කනගාටුවට කරුණකි.
● ලියුම්කරුටත් අල්ලස්
මීට පෙර භූ විද්‍යාවේ ඉංජිනේරුවරයාගේ සමයේද මහා පරිමාණයෙන් මෙම ගං කොමළිය විනාශ කර දමන්නට නරුම ජාවාරම්කාරයෝ කටයුතු කරන්නට වූහ. භූ විද්‍යාවේ ඇතැම් නිලධාරීන් සිටියේ වැලි ජාවාරම්කරුවන්ගේ සාක්කුවලය. එම නිසා බොහෝ දෙනෙක් මදි නොකියන්නට මුදල් හම්බ කරගන්නට වූවේ ගල්ඔය ගඟට හෙණ ගැහුවත් අපිට කමක් නැහැ කියා සිතමිනි.
ඒ සමයේ හිටපු භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා දිගින් දිගටම අප මාධ්‍ය මගින් කළ හෙළිදරව්ව දැක අම්පාරට අවස්ථා කිහිපයක් පැමිණ ගල්ඔය ගඟේ නිරීක්ෂණ චාරිකාවන් සිදුකර ගංගාව රැකගැනීමට අවශ්‍ය කටයුතු ඉතා ඉක්මනින් ගන්නා ලදි.
එනිසා වැලි ජාවාරම්කාරයන් සමග රමණයේ යෙදුනු තක්කඩි නිලධාරීන් භීතියට පත්ව සිටියහ.
මෙම ලියුම්කරුටද දිගින් දිගටම වැලි ජාවාරම් පිළිබඳව මාධ්‍යය මගින් කරන ලද හෙළිදරව්ව නවතා දැමීම සඳහා වැලි මංකඩවල් ලබාදීමට තැරව්කරුවන් එවන ලදී. අනේ සර් දිගින් දිගටම පත්තරේට ලියන්න එපා. ගල්ඔය ගඟේ තැනක් හරි දෙකක් හරි පෙන්නවන්න අපි වැලි තොටුපළක් හරි දෙකක් අරන් දෙන්නම්. සර් මොනවත් කරන්න එපා අපි ඔක්කොම කරන්නම්, අපි එක වැලි තොටුපළකින් මාසයකට රුපියල් ලක්ෂයක් දෙන්නම්, සර්ට අලුත් කාර් එකක් ගන්න පුළුවන් එතකොට යනුවෙන් දිගින් දිගටම ඉල්ලීම් රැසක් මා හට ලැබෙන්නට විය.
ඒ වනවිටත් නීත්‍යානුකූලව වැලි ව්‍යාපාරය කළ බොහෝ පිරිසක් මා සමග සිටියහ. මා පරිසරයට පනසේ ආදරය කරන නිසා මා වැලිමංකඩවල් ගැන ජාවාරම්කාරයන්ගේ ඉල්ලීම ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් අදටද වැලි ජාවාරම් ගැන දිගින් දිගටම සටහන් තබන්නේ මහත් අභිමානයකිනි.
● නීතියට පිටින් ගල්ඔය වනසන්නේ මෙහෙමයි
වත්මන් භූ විද්‍යා ඉංජිනේරුවා අම්පාරට එද්දී ජාවාරම්කාරයන් භීතියෙන් සලිත වන්නට වූහ. හිටපු ඉංජිනේරුවා නතර කරගන්නට මහත්සේ වලි කන්නට වූහ. කෙසේ නමුත් අලුත් ඉංජිනේරුවා පැමිණියද අම්පාරේ වැලි ජාවාරමට තිත නොතැබූ බව ඉතා කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුව ඇත. වැලි මංකඩවල් සඳහා මාසයකට වැලි කියුබ් 30ක්, ඇතැම් ඒවා සඳහා 40ක් ගොඩ දැමීමට අවසර දී ඇත. සතියට දින තුනක් වැලි ගොඩ දැමීමටත් ඉතිරි දින තුන වැලි පැටවීමටත් අවසර දී තිබේ. නමුත් කනගාටුවට කරුණ නම් සෑම දිනකම වැලි ගොඩ දැමීම සිදු කිරීමය.
වැලි මංකඩවලට යෙදවිය හැකි සේවක සංඛ්‍යාව 04ක් හෝ පහකි. නමුත් ඒ ගැන තැකීමක් නොමැතිව මංකඩවල් හිමිකරුවෝ තමන්ට අභිමත ආකාරයෙන් සේවකයන් වැඩිපුර යොදවති.
වැලි මංකඩට බසින්නට පාරවල් තිබිය යුත්තේ එකක් පමණි. එයද මීටරයේ පළලටය. එය වැටවල් ගසා තිබිය යුතුය. නමුත් ගල්ඔය ගඟේ බොහෝ මංකඩවල්වල එම නීතිය දක්නට නොලැබෙති. ඉවුර දෙපස ගස් රෝපණය කිරීම අනිවාර්ය වුවද වැලි මංකඩවල් හිමිකරුවන්ගේ එකම පරමාර්ථය වන්නේ කෙලෙස හෝ හැකි උපරිම ආකාරයෙන් වැලි ගොඩ දැමීමයි.
ගල්ඔය ගඟ එක් පසක් අම්පාරට අයත් වන අතර අනෙක් පස අයත් වන්නේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටය.
ඇතැම් මංකඩ හිමිකරුවන් පාළම් ගසා අම්පාර ඉවුරේ සිට දමන ඉවුරේ වැලි මෙගොඩට ගෙන එන්නේ දමන ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයන් නොමැතිවය. ගඟ හරහා පාළම් ගසන්නට අවසර අවශ්‍ය නොමැති බව මංකඩවල් හිමිකරුවන් පවසා සිටිති. වාරි මාර්ගයේ අවසර නොමැතිව හිතු හිතූ ආකාරයට ගඟ හරහා පාළම් ගැසිය හැකිද?
තවත් සමහරෙක් ගල්ඔය ගඟෙහි බෝට්ටු දමා වැලි ගොඩ දමති. ඇතැමුන්ට ඒ සඳහා අවසර ලැබී තිබේ. සමහරෙක් අවසර නොමැතිව බෝට්ටු භාවිතා කරති. ඔවුන්ට බෝට්ටු භාවිතා කිරීමට හැක්කේ තමන්ට අයත් ප්‍රදේශ තුළය. නමුත් තමන්ගේ කොටසේ වැලි සංචිතය ගොඩ දාන්නේ නැතිව ඔවුන් කරන්නේ පිටතින් ඉවුර කපා, ගඟ හරහා වැලි ගොඩ දැමීමයි. මේ නිසා දැඩි පාරිසරික හානියක් සිදු වෙමින් තිබෙන බව මේවා රකින්නට සිටින නිලධාරීන්ගේ පොට්ටව ගිය දෑසට නොපෙනීම ජාතියේම අවාසනාවකි.
● මේ කතාව අපට කීවේ නිසියාකාරව වැලි ව්‍යාපාරයේ යෙදෙන වැලි ව්‍යාපාරිකයෙකි
පුදුම ආකාරයට ගල්ඔය ගඟේ නීති විරෝධී ආකාරයට වැලි ගොඩ දානවා. මාසයකට කියුබ් 30ක් සමහර අයට කියුබ් 40ක් ගොඩ දාන්න අවසර තියෙනවා. නමුත් සමහර අය මාසයට කියුබ් දෙසීය ගොඩ දාන අයත් ඉන්නවා. ප්‍රවාහනය කරද්දී බලපත්‍රය අත්සන් කරන්නේ නෑ. සමහර දවසට කියුබ් හත අට අදිනවා. ට්‍රැක්ටර්වලින් පමණක් වැලි ප්‍රවාහනය කළ යුතු වුවත් පසුව කියුබ් එකේ සහ දෙකේ ටි්‍රපර් රථවලට ගඟේ සිට වැලි අදින්න අවසර දුන්නා. නමුත් සමහරු කියුබ් තුනේ ටි්‍රපර් රථවලින් වැලි ප්‍රවාහනය කරනවා. ගඟේ සිට කියුබ් තුනේ ටි්‍රපර් රථවලින් වැලි ප්‍රවාහනය කරන්න බැහැ. එහෙම කරන්නේ කොහොමද? සමහර මංකඩවල්වලට බහින්න පාරවල් පහ හය තිබෙනවා. පාළම් ගහන්න හිතු හිතූ ආකාරයට බැහැ. ඒ සඳහා අවසර ගන්න වෙනවා. ගඟට හානි නොකර අපි වැලි ව්‍යාපාරය කරන්න ගියොත් අපේ දරුවෙක් හරි ඉදිරියේදී මෙම වැලි ව්‍යාපාරය කරන් යයි. එහෙම නැතිව ගඟ විනාශ කරලා මේ වැඩේ කරන්න ගියොත් වෙන්නෙ මහා විනාශයක් වෙන එක.
තව ටික දිනකින් මහා වැස්සට තුනේ කෑල්ල පැත්තේ ඉවුර කැඩී ගිහින් මහා විනාශයක් වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ගල්ඔය පාළමට කිලෝ මීටරයක් දෙකක් දුරින් ඉවුර සේදී යෑමට ලක්වෙමින් තිබෙනවා. ඒ නිසා මහා විනාශයක් අත ළඟ තිබියදී නිලධාරීන් ඇස් පියන් සිටිනවා යැයි වැලි ව්‍යාපාරිකයෙක් අපත් සමග පැවසීය.
● සමාජ අසාධාරණයට සහ පරිසර හානියන්ට එරෙහිව කවදාත් හඬ නඟන මඩකලපුව මංගලාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන්ද
ගල්ඔය පාළමට වන හානිය වළක්වන්න පසුගිය සමයේ පාළමට උඩින් සහ පහළින් කිලෝ මීටර් දෙකක් තුළ තිබුණු වැලි මංකඩවල් ඉවත් කළා. ඒක බලධාරීන් පමා වෙලා හරි ගත්ත හොඳ තීරණයක්. නමුත් මේ වන විට නැවතත් පාළමට ඉහළින් කිලෝ මීටර් දෙකක් තුළ නැවත වැලි මංකඩකට අවසර දී තිබෙනවා. අපි හිතුවා අලුත් ඉංජිනේරුවා ආපුවාහම වැඩේ හරියට කරයි කියලා. නමුත් එයත් දැන් ටික ටික පරන ඉංජිනේරුවා යන පාරේම තමයි යන්නේ කියලයි අපිට පේන්නේ. නැත්නම් වැලි මංකඩ හිමිකරුවන් දිගින් දිගටම නීති විරෝධී ආකාරයෙන් කටයුතු කරද්දී ඒවා නොදැක්කා වගේ භූ විද්‍යාවේ, පරිසර අධිකාරියේ, වාරිමාර්ගයේ නිලධාරීන් බලන් ඉන්න එක ගැටලුවක්. ඉතින් ඒක නිසා අපි ඉතා අවධාරණයෙන් කියනවා කරුණා කරලා ගල්ඔය ගංගාව සුරක්ෂිත කරන්න කියලා. ඒ වාගේම වැලි ජාවාරම්කාරයන්ට නීති විරෝධීව වැලි ගොඩදාන්න දෙන්න එපා කියලා. එසේ කරන අයගේ වැලි බලපත්‍රය අහෝසි කරලා දාන්න කියලා අපි අදාළ වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පූජ්‍ය අම්පිටියේ සුමනරතන නාහිමියන් ‘ඉරිදා දිවයිනට’ අදහස් දක්වමින් පවසා සිටින්නට වූහ.
● ගල්ඔය ගඟ රකින්නට පොලිස් මෙහෙයුම
ගල්ඔය ගඟෙහි සහ අම්පාර පුරා සිදුවන පරිසර හානි වළක්වා ගන්නට මේ වන විට අම්පාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී මහතා සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක මහතා ඇතුළු නිලධාරීන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ සඳහා අම්පාර කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. එම්. එන්. සී. අධිකාරි මහතා සමගින් පො. සැ. (15991) නන්දන, පොලිස් කොස්තාපල්වරුන් වන (69262) සමන්ත, (70346) නිලන්ත, (29904) විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහෙයුම් දියත් කරමින් මහා මෙහෙවරක් සිදුකරමින් සිටිති. පසුගිය හය වැනිදා එම පිරිස සමගින් ගල්ඔය ගඟේ අනවසර වැලි ජාවාරම ගැන සොයා බලන්නට මටද අවස්ථාවක් උදාවුණි.
නීතියට පිටින් ගොස් වැලි ගොඩ දැමූ දෙදෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර සියලු පරිසර නීති රීති උල්ලංඝනය කරමින් වැලි ගොඩ දාන ආකාරය දෙනෙතින් මා හට දැක ගැනීමටද අවස්ථාව උදා වෙන ලදී.
එදින සවස අම්පාර කෙට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ඒ. එම්. එන්. සී. අධිකාරි මහතා ඇතුළු නිලධාරි පිරිස අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ මුල්ලිකුලම් ප්‍රදේශයේ අනවසරයෙන් පස් කපමින් තිබියදී වැටලීමක් සිදුකර ටි්‍රපර් රථයක සහ ලෝඩර් රථ දෙකක් සමගින් කල්මුනේ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගන්නා ලදී.
මේ ආකාරයට පොලිසියත් එක්ව ගොස් වැලි ජාවාරම වළක්වන්නට වැඩ කරද්දී අම්පාර පොලිසියේදී මා හට නොසිතපු අකරතැබ්බයකට මුහුණ පාන්නටද සිදුවූවේය. එයද සටහන් කරන්නේ සොඳුරු පොලිස් නිලධාරීන් අතර නරුම අයද සිටින වග පසක් කිරීම සඳහාය.
අම්පාර පොලිසියේ පොලිස් නිලධාරීන් සඳහා තිබෙන ආපන ශාලාව මා හට කොහෙත්ම හුරු පුරුදු ස්ථානයකි. හිතවත් ඉහළ නිලධාරීන් සමග මා එහි ගොස් තිබෙන නිසාවෙනි. ගල්ඔය ගඟේ වැටලීමෙන් පසු මාද අම්පාර පොලිසියට පැමිණි අතර පො.ප. අධිකාරි මහතා මා එම ආපන ශාලාවට කැඳවාගෙන ගියේ ඔවුන්ගේ හිතවතුන් එම ස්ථානයට රැගෙන යෑමට හැකි නිසාවෙනි. උදෑසන සිට කිසිදු අහරක් නොමැතිව සිටි මා සහ අධිකාරි මහතා කෑම කන්නට සැරසුනා පමණි. එහි සිටි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිවරයා වූ තරු දෙකක් ගසා ගත් අයෙක් මෙයා කවුද පොලිස් ඔෆිසර් කෙනෙක්ද? මෙයාට එළියට යන්න කියන්න කියමින් දිගින් දිගටම බැන වදින්නට වී සුනඛ පෝතකයෙක්සේ හැසිරෙන්නට විය. මේ ඩිවිෂන් මහත්තයාගේ වැඩකට ආපු මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක්. ඩිවිෂන් මහත්තයා තමයි කීවේ මෙයාට තේ අරන් දෙන්න යනුවෙන් අධිකාරි මහතා පවසා සිටියද ඔහු නොනවත්වාම කවුරු කීවත් මෙහෙම පිට අය එක්කරන් එන්න බැහැ යනුවෙන් ගෝරනාඩු කරන්නට විය. අවසානයේ මා තේ බොන ආකාරය වෙනත් පොලිසියේ අයකු ලවා වීඩියෝ කරවන්නටද විය. ඊට පසුවද අධිකාරි මහතා සමග වාද කරන්නට විය.
සතෙක් වුවද කෑම කන විට එළවා දමන සිරිතක් මිනිස් සමාජය තුළ නැත. එවන් තත්ත්වයක් තුළ ඉහත කී තරු දෙකේ නිලධාරියා හැසිරුණේ සුනඛ පෝතකයෙක්සේ පොලිසියටත් අගරු වෙන අයුරුනි. තේ බොමින් සිටි මා එතනින් පළවා හරින්නටය. පො.ප. අධිකාරි මහතාගේ බලවත් ඉල්ලීම මත බැනුම් අසමින් තේ කෝප්පය තොළ ගාන්නට විය. ඉන් පසුව එම ස්ථානයට පැමිණි බොහෝ නිලධාරීන් පවසා සිටියේ මෙම ස්ථානයට පොලිස් පරීක්ෂකවරයෙක්ගේ හිතවතුන් රැගෙන ආ හැකි බවය. එයින් කියවෙන්නේ ඇතැමුන් තරු ගැසූවත් බලු වටින්නේ නැති බවය. නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජය ශ්‍රී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත රත්නායක වැනි බොහෝ සොඳුරු නිලධාරි මහත්වරුන් බොහොමයක් අම්පාරේ ඇත. මෙවැනි නිලධාරීන් සිදුකරන්නේ ඔවුන්ට ද අගෞරවයකි.
මේ ආකාරයෙන් මෙම දිනවල පරිසරය සුරකින්නට පොලිසිය ගන්නා උත්සාහය ඉතා අගනේය. නමුත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සහ වාරිමාර්ග ඇතුළු ගල්ඔය ගඟ සුරකින්නට සිටි අනෙක් රාජ්‍ය ආයතනවල බොහෝ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය ගැන ඇත්තේ ගැටලුකාරී තත්ත්වයකි. ඔවුන් නිසි ලෙස සොයා බලන්නේ නම් මෙලෙස නීති විරෝධී ආකාරයෙන් මහා පරිසර හානියක් සිදුවෙමින් වැලි ජාවරම් සිදු වේද?
මේවාට උඩ ගෙඩි දෙන අමන තක්කඩි නිලධාරීන් සොයා රජකාලේ දඬුවම් ලබාදීමට දැනටමත් ප්‍රමාද වැඩිය. මේ පිළිබඳව ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමුනොවීම ජාතියේම අවසානාවකි. අවසානයේ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමුවාට පලක් නැතිසේ මහා පරිසර හානියක් වූ පසු ඒ ගැන කයිවාරු ගසා පලක් නැති බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුව ඇත.
මේවාට උඩ ගෙඩි දෙන සියලු දෙනාට අනාගත පරපුරේ ශාපයෙන් මිදෙන්නට බැරි වෙනු ඇත.
සුසන්ත අමරබන්දු