ගල්, මල්, කොළ එළි, රතු එළි සමග අලුත් ආණ්ඩුවක්

276

සකල ශ්‍රී ලංකාවාසී අප සැවොම මේ ගෙවා දමමින් සිටින්නේ අතිශයින් අසීරු කාල සීමාවකි. ජනාධිපති අගමැති ප්‍රමුඛ රට කරවන මැති ඇමැති කාරකාදීන්ටත් නිදහසේ සමාජයේ එළි පහළියට බසින්නට බැරි කාලවකවානුවකි. ජනතාවට ජීවත්වන්නට අසීරු කාල වකවානුවකි. ඒ නිසා රටේ අපි කොයි කවුරුත් පසුගිය සතිය පුරාම සිටියේ ඊට විසඳුමක් සොයමිනි.පෙනෙන තෙක් මානයක හරි විසඳුමක් නැති වාතාවරණයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුවන් කෙනෙක් මේ මොහොතේ ආණ්ඩුව භාර ගෙන රට ගොඩගන්නයි ආරාධනා කළත් වගකිව යුතු කිසිදු දේශපාලන පක්ෂයක නායකයෙක් ඒ සඳහා ඉදිරිපත් වූයේ නැත. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස තමන් ආණ්ඩුව භාර ගන්නට නම් ජනාධිපතිවරයා ඉල්ලා අස්වන මෙන් කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කළේය. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඕනෑ යැයි කියන්නාක් මෙන් සජිත් කොන්දේසි ඉදිරිපත් කරද්දී එජාප නායක රනිල් වික්‍රමසිංහ අභියෝගය භාරගන්නට ඉදිරිපත් වූයේය. ඔහු මෙම අභියෝගය භාරගත්තේ හරීන් ප්‍රනාන්දු මනුෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගයේ ද මන්ත්‍රීවරුන් 11 දෙනකු සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුවයි. ඔහු දහතුන් වන සිකුරාදා අගමැති තනතුරෙහි දිවුරුම් දීමට ඉදිරිපත් වූයේය.දහතුන්වන සිකුරාදා දිනයේ දිවුරුම් දෙන්නට අභිනව අගමැතිවරයා සූදානම් වන විට ඔහුගේ හිතවතුන් ගණනාවක්ම පැමිණ උපදෙස් දුන්නේ 13 වැනි ඉලක්කම නරක සේම සිකුරාදා දිනය ද මෙවන් සුබ කටයුත්තකට සුදුසු නොවන බව කියමිනි. එවිට රනිල් සිනාසෙමින් මෙසේ කීවේය.

● 13 ට බය නැති අගමැති රනිල්…

“13 නරකයි කියලා කියන්නේ සුද්දෝ. බෞද්ධයෝ එහෙම කියන්නේ නෑ. ඉන්දියාවේ බ්‍රාහ්මණයො කියන්නේ සිකුරාදා හොඳම දවස කියලා. බුදුහාමුදුරුවොත් කිව්වේ ලැබෙන පළමු මොහොත තමයි හොඳම මොහොත කියලයි…” රනිල් සිනාසෙමින් උත්තර දුන්නේය.අගමැති රනිල් අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස තෝරාගෙන තිබුණේ සමන් දිසානායක මහතාව ය. දිවුරුම් දුන්නට පසු අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත ගිය රනිල් සමන් ඒකනායක හා අගමැති විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා ගෙන්වා විශේෂ සාකච්ඡාවක් කළේය. කතාබහ කළේ අගමැති කාර්යාලයේ වියදම් අඩුකර ගනිමින් ඉදිරි වැඩ කටයුතු සංවිධානය කිරීම ගැනයි. සේවක පිරිස සහ වාහන භාවිතාව 50% කින් අඩු කොට වියදම් අඩු කිරීම ගැන විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

වැඩ භාරගත් පළමු දිනයේම අගමැතිවරයා හමුවන්නට ජපන් ඇමරිකන් හා චීන තානාපතිවරු පැමිණ තිබීම විශේෂත්වයක් විය. රට ගොඩ ගැනීමට සහයෝගය දෙන්නයි අගමැතිවරයා ඔවුන්ගෙන් කළ ඉල්ලීමට තානාපතිවරුන්ගෙන් ලැබී තිබුණු ප්‍රතිචාර ඉතාමත් යහපත් විය. අගමැතිවරයාට අවශ්‍ය වූයේ රට හොඳටම හෙම්බත් වී ඇති ඉන්ධන, ගෑස්, විදුලිය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය පිළිබඳ ඇති ප්‍රශ්න පළමුව විසඳාලීමටය. ඒ සඳහා විසඳුම් සෙවීමට ඔහු කමිටු කීපයක් පත් කළේය. සෙනසුරාදා ඉරිදා දිනවල මේවා විසඳා ගැනීම සඳහා ඇති දුෂ්කරතා ගැන පුළුල් අධ්‍යයනයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි එම කමිටු නායකයන් වූ සාගල, රුවන්, වජිර හා රංගේ බණ්ඩාරට දැනුම් දුන්නේය. ඉන් පසුව සෙනසුරාදා ඉරිදා දින දෙකේ අගමැතිවරයා කළේ ලෝක බැංකු නියෝජිතයන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවී රට මුහුණ පා සිටින අසීරු ඩොලර් සොයාගැනීමේ ක්‍රියාන්විතය ගැන සාකච්ඡා කිරීමයි.මේ අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හමුවීමට කල්පනා කළේය. මේ වන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු වැඩි පිරිසක් පසුවූයේ තම ඇඳිවත පමණක් ඉතුරු වූ තත්ත්වයකය. ඔවුන්ගේ ගෙවල් දොරවල් වාහන හා සමහරුන්ගේ ව්‍යාපාරාදිය අරගලයේ ත්‍රස්තවාදීන් විසින් දවා අළු දූලි බවට පත්කර තිබිණි. සමහර මන්ත්‍රීවරු මේවා සම්බන්ධයෙන්, එම දරුණු විපත් වැළැක්කුවේ නැතැයි කියමින් ජනාධිපතිවරයා සමග උරණව සිටියෝය. මන්ත්‍රීවරු 80ක් පමණ මෙතනට පැමිණ සිටි අතර ඔවුන් පුල පුලා බලා සිටියේ මේ ගැන කතා කරන්නට ජනාධිපති හමුවන තුරුය.මෙම හමුව පසුගිය 14වන සෙනසුරාදා උදේ 10.30ට ජනාධිපති මන්දිරයේ පැවැත්විණි.ජනාධිපතිවරයා මෙම හමුවට පැමිණියේ තරමක් ප්‍රමාද වී බැවින් මන්ත්‍රීවරු තැන් තැන්වල තම තමන්ගේ ගැටලු ගැන කතා කරමින් සිටියහ. ඉකුත් නව වැනි සඳුදා සිදුවූ ඛේදවාචකයෙන් පසු ගේ දොර හා දේපළ අහිමි වූ මන්ත්‍රීවරුන්ට මුල්වරට හමු වී කතාබහ කරන්නට ලැබුණේ මෙහිදීය.

ජනාධිපතිගේ පැමිණීමෙන් පසු අරගලයේ ඝාතකයන් විසින් මරා දමනු ලැබූ අමරකීර්ති අතුකෝරාළ මන්ත්‍රීවරයාගේ වියෝව පිළිබඳ ශෝකය පළ කරමින් සභාවේ වැඩකටයුතු ආරම්භ විය.“මං හිතන්නේ අපි පළමුවෙන්ම කරන්න ඕන මේ වෙලාවේ නියෝජ්‍ය කථානායකවරයෙක් පත්කර ගැනීමයි…” ජනාධිපති එසේ කී පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු පිරිසක් අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළහ. එහෙත් ඒ වෙලාවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයා නැඟිට කතා කළේය…“මා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවකට මේ වෙලාවේ උන් හිටිතැන් අහිමි වෙලා. සමහරුන්ට ඇඳිවත විතරයි. එහෙව් එකේ අපි මේ නියෝජ්‍ය කථානායකවරයෙක් ගැන කතා කරනවා…”
“අපි ඒ ගැන කතා කරන්නයි හිටියේ නියෝජ්‍ය කථානායකගේ මේ ප්‍රශ්නෙ විසඳුනාට පස්සේ..” ජනාධිපති කීවේය.“පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වෙලා මන්ත්‍රී කණ්ඩායම් හමුවක ඔබ ඉදිරියේ මම කතා කරන පළමු අවස්ථාව මේක. මා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවකගේ ගෙවල් දොරවල් ගිනිබත් කරලා. සමහරුන්ට ඇඳගෙන හිටපු ඇඳුම විතරයි. මමත් මගේ තාත්තත් සීයලාත් අසාධාරණයෙන් රාජ්‍ය බලයෙන් සල්ලි හොයලා දේපළ හම්බ කරලා ගොඩ ගහගත්ත අය නෙවෙයි. අනිත් බොහෝ අයත් එහෙමයි. හැබැයි අපි හැමෝගෙම ගෙවල් මෙහෙම ගිනිබත් කළේ අපේ ගෙවල්වල ආරක්ෂාවට ආපු පොලිසිය බලා ඉඳිද්දී. ඒකයි මෙතන ප්‍රශ්නේ. ඇයි මේක එහෙම වුණේ කියලා අපි හොයා බලන්න ඕන…

● නිවාස ගිනිතිබ්බේ කලින් කළ සැලසුමකට

මේ වෙලාවේ අජිත් රාජපක්ෂ මන්ත්‍රීවරයා නැඟිට කතා කළේ තරමක් හිත නොහොඳිනි. ඕන වෙලාවට ළඟට ගන්නත් එපා වෙලාවට තල්ලු කර දමන්නත් තමන් බබෙක් නොවේ යැයි කියමින් ඔහු වෙන කුමක්දෝ වේදනාවක් පිටකර හැරියේය.“ජනාධිපතිතුමනි… මම දේශපාලනයෙන් හරිහම්බ කරන මිනිහෙක් නෙවෙයි. මම මන්ත්‍රී වැටුප වත් ගන්නේ නෑ. මම ලක්ෂ ගණනක් දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා යම් ස්ථාවරයකට ආපු කෙනෙක්. එහෙව් මගෙත් ගේ දොර ගිනි තබා විනාශ කළා. ආණ්ඩු පක්ෂයේ ඉඳලත් අපට කිසිම ආරක්ෂක හමුදාවක රැකවරණයක් ලැබුණේ නෑ. පොලිසිය රාජකාරිය හරියට කළේ නැහැ. මේ ගැන හොයලා බලන්න…” බන්දුල ගුණවර්ධන කීවේය.“මේ ඇඳිවත විතරයි මට තියෙන්නේ. මගේ සියලු දේපළ ගිනිබත් කළා. අපි කවදාවත් ප්‍රචණ්ඩ දේශපාලනය අගය කළ අය නොවෙයි. මෙහෙම විනාශයක් අපට වෙලත් අපි ඔබතුමාවත් අරින්නෙ නෑ. ඔබතුමාත් අපිත් එක්ක ඉන්නවා වගේම අපිට ආරක්ෂාවක් දෙන්න….” ඩී. බී. හේරත් කිව්වේය.“අද මටත් යන්න එන්න තැනක් නෑ…” ප්‍රසන්න රණවීරත් ලොකු අවනඩුවක් කීවේය. ඒ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී කපිල අතුකෝරාළ ද තමන්ගේ ජීවිතයේ බිහිසුණු අත්දැකීම් විස්තර කළේය.“හැබැයි මේ තත්ත්වය පාලනය කරන්න ජනාධිපතිතුමා හුඟක් මහන්සි වුණා. මම එදා මෙතන හිටපු නිසා මම ඒක දැක්කා.”
ඩයනා ගමගේ එසේ කියනවිට නාලක ගොඩහේවා ද කතා කළේය.“අපි දැක්කා ජනාධිපතිතුමා කොච්චර වෙහෙස වුණා ද කියලා. පිට පළාත්වල අපේ මැති ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ප්‍රහාරය එල්ල වුණා වගේම අරලියගහ මන්දිරයට ප්‍රහාර එල්ල වුණා. ඒවා වළක්වන්න හමුදාපතිතුමාට පොලිස්පතිතුමාට නියෝග දෙමින් ජනාධිපතිතුමා මහන්සි වෙන අයුරු අපි දැක්කා. ඒ තැන්වලින් ඒ නියෝග හරිහැටි ක්‍රියාත්මක වුණේ නෑ. සමහර තැන්වල පියවර ගන්න ප්‍රමාද වුණා. පාන්දර තුන වෙනකොටත් ජනාධිපතිතුමා කතා කරනවා. මේ කාංචන විජේසේකර, රමේෂ් පතිරණ, ඩයනා ගමගේ, මම, මෙතන ඉඳගෙන මේ සියල්ල දැක්කා…” නාලක කීවේය.
“සමහර අය කියනවා 9 වෙනිදා උදේ අරලියගහ මන්දිරයට ආපු පිරිස ගිහින් ගෝල්ෆේස් පිට්ටනියේ කරපු අපරාධය නිසා රට පුරාම මේ දේවල් සියල්ල සිදුවුණා කියලා. එදා අපේ මිනිස්සු කරපු කැත වැඩේ අපි අනුමත කරන්නේ නෑ. ඒ වුණාට මේ ඛේදවාචකය සංවිධානාත්මකව රට පුරා කරන්න සැලසුමක් තිබුණා. අර වැඩෙන් වුණේ ඒක ඉක්මන් වුණා වගේම ඊට සාධාරණ හේතුවකුත් ලැබුණ එක.මගේ ගෙට ගහන්න ප්ලෑන් කළේ අප්‍රේල් 3 වෙනිදා ඉඳන්. මගේ ගෙට විතරක් නෙවෙයි පොළොන්නරුවේ රොෂාන්ගේ ගෙදරටත් ගහන්න සැලසුම් තිබුණා. අපි ඒවා පොලිසියට හෙළිදරව් කරපු වෙලාවේ නීතිය ක්‍රියාත්මක වුණා නම් මේ එකත් වත් වෙන්නේ නෑ.” කංචන කළේ දිගු පැහැදිලි කිරීමකි.ශෙහාන් සේමසිංහ මෙන්ම ප්‍රේමනාත් සී දොලවත්ත ද දිගු පැහැදිලි කිරීමක් කරමින් එදින සිද්ද වුණ දේ පැහැදිලි කරද්දී ජනාධිපතිවරයාද කතා කළේය.

● ආරක්ෂාව නොදුන්න පොලිස්පති මොකටද…

“අරලියගහ මන්දිරයෙන් ආපු පිරිස නවත්තන්න කියලා මම කල්තියාම දේශබන්දුට උපදෙස් දීලා තිබුණා. ඒ අය එයි කියලා මම හිතුවේ නෑ. රමේෂ් පතිරණ කියනකොටයි මම දන්නෙ. මම ඒ මොහොතෙම දේශබන්දුට කතා කරල මොකක්ද මේ වෙන්නේ කියලා තදින් ඇහුවා. ‘සර් මට කඳුළු ගෑස් ගහන්න පොලිස්පතිගෙන් ඕඩර්ස් ඕන කියලා කිව්වා.
මම කෑගහලා කිව්වා…. දේශබන්දු තමුසෙට මේ උපදෙස් දෙන්නෙ රජයේ ප්‍රධානියා කියලා. එයාට ඒ වැඩේ කරන්න දුන්නේ නෑ… මම කියන්න ඕන හැම මිනිහටම කිව්වා මේක වළක්වන්න.”“යම් යම් දේශපාලන කණ්ඩායම් සංවිධානාත්මකව කුලප්පු කරලා සමාජ මාධ්‍ය වලින් තමයි ගෙයින් ගෙට යැව්වෙ.” මන්ත්‍රීවරු කීහ.“යම් යම් දේශපාලන කල්ලි රටේ කලබල ඇති කරලා ව්‍යවස්ථාවෙන් පිට බලය ලබාගන්න සැලැස්මක් තියනවා. කීවට කිසිවිටෙකත් අපි අහුවෙන්න හොඳ නෑ. අපි එහෙම බය වෙලා යන්නේ නෑ කියන පණිවිඩය අපි දෙනවා. ජනාධිපතිතුමා කිසිවිටකත් බලය පාවාදෙන්න එපා. ව්‍යවස්ථාවට අනුව වැඩ කරමු.” අලි සබ්රි පැහැදිලි කිරීමක් කළේය.“මම ඔබෙන් එක ඉල්ලීමක් කරනවා මුදල් ඇමැතිකම ආයෙත් භාර අරගන්න කියලා…” ජනාධිපති කීවේය. සබ්රි ඊට කිසිවක් කීවේ නැත.මේ වෙලාවේ ජනාධිපතිවරයා කල් ඇතිව පණිවිඩයක් යවා තිබූ නිසා පොලිස්පතිවරයා එතනට ආවේය.

“ඇත්තටම මේ වෙලාවේ මම ජනාධිපතිතුමා ළඟ හිටියා. විධායක ජනාධිපතිට අසීමිත බලතල තියෙනවා කිව්වත් නම වෙනිදා රාත්‍රියේ ඔබතුමා කොච්චර මහන්සි වුණාද මේ අරගලය නතර කරන්න කියලා මම දැක්කා. හමුදාපතිට කතා කළා. බි්‍රගේඩියර්වරයකුට කතා කරලා ඔහුව ක්‍රියාත්මක කරවන්න හැදුවත් අවසානයේ ඔහුටත් සීමාවක් වැටුනා. මේවා වුණේ කොහොමද කළේ කවුද කියලා පරීක්ෂණ කරන්න ඕන.” කෙහෙලිය කීවේය.“මේ වෙලාවේ මන්ත්‍රීවරු දැඩි ලෙස හමුදාපතිවරයා ගේ ක්‍රියාකලාපය ද විවේචනය කරන්නට වූහ.“රාජ්‍ය දේපළ හා පුද්ගලික දේපළ මෙන්ම ජීවිත ආරක්ෂා කරන්න තමයි හමුදාවක් රටේ ඉන්නේ. ඒගොල්ලන්ට ඒකට ිචැජස්ක ඕඩර්ස් ඕනි නෑ…” “මගේ ගෙදරට ගිනි තියන්න ආවේ හිටපු එල්ටීටීඊ කාරයෝ. පොලිස්පති දන්නවාද දන්නෑ දැන් මඩකලපුවේ වෙන දේවල්…” නසීර් අහමඩ් එසේ කියමින් සිටියදී පොලිස්පතිවරයා ආවේය. ප්‍රමිත බණ්ඩාර රමේෂ් පතිරණ ඇතුළු සියලු දෙනා ඔහුට එරෙහිව ප්‍රබල විරෝධතාවක් ඉදිරිපත් කළේය.
“මෙයා රෙදි ඇඳන්ද ඇවිත් ඉන්නේ …”
තරුණ මන්ත්‍රීවරුන් විසින් පොලිස්පතිවරයාට එක දිගට එල්ල කළ විවේචන සංසිඳුවීමට ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට තරමක් මහන්සි වන්නට සිදුවිය.

ප්‍රභූ ආරක්ෂාවට මැෂින්ගන් ඉල්ලයි

“අම්පාරේ වීරසිංහ තරුණ මන්ත්‍රීවරයාගේ කතාව මෙහිදී කාගේත් හිත් සංවේදී කරවන එකක් විය. මහින්දානන්ද බැණ වැදුනේ සමාජ මාධ්‍ය මගින් මෙම විනාශය සමාජගත කරමින් රටේ භීෂණයක් දක්වා ගෙන යන්නට ඇපකැප වූ පිරිස් හඳුනාගෙන වහාම නීතිය ක්‍රියාත්මක කරවන ලෙසයි.
“පොලිසියට අපේ ආරක්ෂාව සලසන්න බැරිනම් අපට ආයුධ නිකුත් කරන්න. අපි අපේ ආරක්ෂාව සලසා ගන්නම්. මීට පෙරත් 88/89 කාලෙ දේශපාලන මැරයන්ගෙන් ආරක්ෂා වෙන්න මන්ත්‍රීවරුන්ට තුවක්කු නිකුත් කරල තිබුණා. පූර්වාදර්ශ තියෙනවා…. මන්ත්‍රීවරු පරන විස්තර මතක් කරමින් කියා සිටියහ.
“පොලිස් නිලධාරීන් අපේ ආරක්ෂාවට කියලා ඇවිල්ලා අපෙන් කාලා බීලා ගෙදර සැපට ඉන්නවා. මැරයෝ අපේ ගෙවල් ගිනි තියනකොට තුවක්කු කකුල් දෙක අස්සේ ගහගෙන පැනල දුවනවා. එහෙම වුන් අපිට මොකටද. අපට තුවක්කු දෙන්න අපි දන්නවා ආරක්ෂා වෙන්න…” ප්‍රසන්න රණවීර දැඩි ඉල්ලීමක් කළේය.
“හරි මම මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට හයදෙනෙක් දෙන්නම් ස්වංක්‍රීය අවිත් එක්ක. කැමති අය ඉන්නවනම් තෝරගන්න. නැත්තම් අපි මෙහෙන් දෙන්නම්. ජනාධිපතිවරයා කීවේය.
“මට පේනවා පොලිසිය යම් තරමකට තම රාජකාරිය මගහැරලා තියෙන බව. ඒකට සාධාරණ හේතුත් තියෙන බව පේනවා. රඹුක්කන සිද්ධියේදී පොලිසියට අත්වූ ඉරණම, මිරිහානේ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙච්ච හැටි වගේ දේවල් නිසා පොලිසියටත් යම් යම් කලකිරීම් ඇති. යම් යම් සිද්ධිවල දී ජනාධිපති නීතිඥවරු හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඇතුළුව නීතිඥයෝ සීයක් දෙසීයක් ගිහිල්ලා උසාවියේදී අපරාධකාරයාගේ පැත්තෙ හිට ගත්තම පොලිසිය අසරණ වෙනවා. අන්තිමේ වැරදි ඒගොල්ලන්ගේ පැත්තට කැරකෙනවා. මේක නරක ප්‍රවණතාවක් විත්තිය මම දන්නවා.

● සුබපැතුම් සමග රනිල්ට කොළ එලි සහ රතුඑලි

අගමැති තනතුරේ වගකීම භාරගෙන ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය හා එක්ව කටයුතු කරන්නට රනිල් වික්‍රමසිංහ කැමති වීමත් සමගම ඔහුට විදේශීය වශයෙන් ලැබුණු සුබ පැතුම් බොහොමයකි. ඇමරිකාව, ජපානය, චීනය, ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල් රාශියක් ඔහුට සුබ පැතුම් තියෙන ආවත් දේශීය වශයෙන් නම් ඔහුට මුහුණ පාන්නට සිදු වූයේ අභියෝග රැසකට ය. එනම් මල්වලට වඩා ඔහු වෙත එල්ල වූයේ ගල් සහ මූල්ය.එක් පැත්තකින් ජවිපය ඔහුට විරෝධය පළ කළහ. තව පැත්තකින් සමගි ජන බලවේගය ඔහුට විරෝධය පළ කළහ. තව පැත්තකින් ආණ්ඩු පක්ෂයේ ඇතැම් පිරිස් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ද ඔහුගේ අග්‍රාමාත්‍ය ධුරය අභියෝගයට ලක් කරන්නට වූහ. රනිල් සමග කවදත් උරන ඇතැම් මාධ්‍ය රනිල්ට සොය සොයා පහර දෙන්නට කරුණු සෙවූහ.එහෙත් උදය ගම්මන්පිලලා විමල්ලා වාසුලා කීවේ හොඳ දේට සහාය දෙන අතරම නරක දේවල් වලට දැඩි ලෙස විරෝධය පාන බව ය. එහෙත් අගමැති රනිල් එය එතරම් ප්‍රශ්නයක් කර ගත්තේ නැත.

එහෙත් පසුගිය සතියේ රනිල්ට නොසිතූ විරූ ගැටලුවට මුහුණ පාන්නට සිදුවිය.එම සතිය පාර්ලිමේන්තු සතියක් විය. ඉරිදා හා සදුදා වෙසක් පෝය නිමිත්තෙන් නිවාඩු දිනයන් වුවත් අඟහරුවාදා දිනයේ පාර්ලිමේන්තුව කැඳවා තිබිණි. අඟහරුවාදා පාර්ලිමේන්තුවට යහපතක් ආවත් අයහපතක් ආවත් චිත්ත තත්ත්වය මධ්‍යයේ වුවද සැලකිය යුතු මන්ත්‍රීවරු පිරිසක් විවිධ ක්‍රම ඔස්සේ පැමිණ සිටියහ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ වැඩි දෙනකුට නිවාස හා දේපළ අහිමිවීම්වලට මුහුණ පාන්නට සිදුව තිබූ නිසා පාර්ලිමේන්තුව ඇතුළතත් ඉන් පිටත කොරිඩෝවලත් අවන්හල්වලත් හැම තැනකම කතා වූයේ අරගල කරුවන්ගේ ත්‍රස්තවාදීන් විසින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අරභයා දියත් කරන ලද නිවාස හා දේපළ සංහාරයයි. ඒ වන විට ගම් නගර හා ආසන මට්ටමින් එම ප්‍රහාර දියත් කළවුන් ගැන රෝගවලට ගොදුරු වූ මන්ත්‍රීවරු හොඳින් දැන සිටි බැවින් පාර්ලිමේන්තුවේ ඇතැම් සුළු පක්ෂවලට එල්ල වූ චෝදනාවල නිමක් නොවීය.ඒ අතර පාර්ලිමේන්තුවේදී එදින ඡන්ද විමසීම් දෙකක් සිදුවිය. එකක් නියෝජ්‍ය කතා නායකයා තෝරාගැනීමට ය. අනිත් ඡන්ද විමසීම සිදු වූයේ දෙමළ ජාතික සන්ධානය සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ යෝජනාවක් අනුව පැමිණි ජනාධිපති ගෝඨාභයට අප්‍රසාදය පළ කිරීමෙන් යෝජනාවයි. ඔවුන් ඡන්දයක් නොව ඒ සඳහා ඉල්ලා සිටියේ ස්ථාවර නියෝග අත්හිටුවාගෙන කල්තැබීමේ විවාදයකි. එහෙත් අන්තිමේ පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයකින් එය පරාජයට පත්විය.

ඒ අතර නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමේ ප්‍රශ්නය පැමිණි අවස්ථාවේදී අගමැති රනිල්ගේ යෝජනාව වූයේ විපක්ෂය පැත්තෙන් කාන්තාවක් ඒ සඳහා පත් විය යුතු බවයි. කාන්තාවගේ නම මාතලේ රෝහිනී කවිරත්න ලෙස යෝජනාවක් පැමිණියේය.එහෙත් මේ යෝජනාවට කවුරු කැමති වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් කැමති වූයේ නැත. ඔවුන් ඉදිරිපත් කර සිටියේ ඊට අජිත් රාජපක්ෂගේ නමයි. ඒ මිනිසා ඡන්දයක් පැවැත්විය යුතු විය.ඡන්දයක් නොම විමසා එක් අයෙකු ඉල්ලා අස්වී අනෙක් කෙනාට අවස්ථාව සලසන මෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිලලා කොතරම් ඉල්ලීම් කළත් තම නම ඉවත් කරගැනීමට දෙපාර්ශ්වයම අකැමැති වූහ. අවසානයේ විමසන ලද ඡන්දයෙන් රෝහිණී කවිරත්න පරදා අජිත් රාජපක්ෂ වැඩි ඡන්දයෙන් තේරී පත්විය. තත්ත්වය මෙසේ වුවත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරු අතර විවිධ අදහස් කතාබහට ලක්විය.“රෝහිණී කවිරත්න කියන්නේ ආණ්ඩුවට පළු පැලෙන්න විවේචන එල්ල කරන මන්ත්‍රීවරියක්. එයාව නිහඬ කරලා ස්වාධීන කරල තියාගන්න තිබිච්ච අවස්ථාව තමයි ආණ්ඩුව නැති කරගත්තේ. දැන් ඉතින් ඔය මනුස්සයා හිටියටත් වඩා ප්‍රබල විදිහට ආණ්ඩුවට ගහන්න පටන් ගන්නවා.”ඒ කීවාත් වගේ ඇය එදාම ඇයට පරාජය අත් වූයේ කෙලෙසදැයි කියා පැහැදිලි කිරීමක් කළේය. ඇය ඒ විග්‍රහ කළේ කළු පාට ලොකු කුරුල්ලෙකුගේ මෙහෙයවීමෙන් දියත් වූ අභ්‍යන්තර මෙහෙයුමක් නිසා ඇයට පරාජය වන්නට සිදු වූ බවයි. ඇය පෙන්වා දුන්නේ එසේ පරාජයට පත්වූයේ ඇය නොව, අගමැතිවරයා මේ තනතුරට කාන්තාවක් පත් කරන්නට කියා යෝජනා කළ පළමුවැනි යෝජනාව බවයි.

තත්ත්වය එසේ තිබියදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය උත්සාහ කළේ පාර්ලිමේන්තුවේ හැකිතරම් පක්ෂ සම්බන්ධ කරගනිමින් ඇමැති මණ්ඩලයක් පිහිටුවා ගැනීමටයි. ඒ සඳහා ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂවලට විවෘතවම ආරාධනා කර සිටියේ මේ අවස්ථාවේ පක්ෂ පාට වාද බේද නොසලකා රට ගොඩනැගීමට දායකත්වය සපයන ලෙසයි. එහෙත් එම පක්ෂවලටද ඊට දායක නොවන්නට විවිධ හේතු තිබිණි. සමහර පක්ෂවලට ලොකුම හා එකම හේතුව වූයේ ගෝඨාභය රාජපක්ෂ තනතුරේ ඉඳිද්දි රජයට සහාය වන්නට අකැමැති බවට ගොඩනඟා ගත් තර්කයයි.අවසානයේ මේ සම්බන්ධයෙන් රජය දිගින් දිගටම සාකච්ඡා කළේ ලංකා නිදහස් පක්ෂය සමගයි. සාකච්ඡාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු ඔහුගේ පාර්ශ්වය ආණ්ඩුව සමඟ එකතු වී කැබිනට් ඇමැති තනතුරු ගැනීම තරයේ ප්‍රතික්ෂේප කර සිටියේය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට එක් වීම සඳහා අගමැති රනිල් හා ගෝඨාභය සමග තිබූ සාකච්ඡාව අත්හැර දැමුවේ නැත. ඔවුන් දිගින් දිගටම එම සාකච්ඡාවේ නිමග්නව සිටියහ.

චාමරට තිලංගගෙන් ප්‍රහාරයක්

පසුගිය 13 වැනිදා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී, රනිල්ගේ ආණ්ඩුවට සහයෝගය ලබා දීම සහ අමාත්‍ය ධුරයන් ලබා ගැනීම පිළිබඳව උණුසුම් වාද විවාද සහිතව අවසන් වූ බව වාර්තා වෙයි. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අමාත්‍ය ධුර ලබා ගැනීමට කිසියම් එකඟතාවක් සහිත පෙර සූදානමක් ඇතිව මෙම රැස්වීමට සහභාගි වී තිබූ බවට ඔවුන්ගේ හැසිරීමෙන් සහ කතා විලාශයෙන් පෙනී ගියේය.ඒ බව පෙන්නුම් කළ පළමු පුද්ගලයා වූයේ චාමර සම්පත් දසනායකයි.ඔහු රැස්වීම ආරම්භයේ සිටම රනිල්ගේ ආණ්ඩුවට සහයෝගය ලබා දී අමාත්‍ය ධුර භාර ගත යුතු බවට ප්‍රකාශ කර සිටි අතර එම මතයට වඩා වෙනස් මතයක් ඉදිරිපත් කිරීමට උත්සාහ දරන සියලු දෙනාට විරුද්ධව බාධා කළේය.කොළඹ දිස්ත්‍රික්කයේ තිලංග සුමතිපාල නැගිට චාමර සම්පත්ගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරන ලදී. පක්ෂයේ තීන්දු තීරණ ගන්නා උත්තරීතර මධ්‍යම කාරක සභාව දැඩි විනයක් සහිතව පවත්වාගෙන යායුතු බවත්, මත්පැන් පානය කර අශෝබන ලෙස නොපැමිණිය යුතු ස්ථානයක් බවත් පක්ෂ සභාපතිවරයාට අවධාරණය කරන ලදී.
අවසන මධ්‍යම කාරක සභාවේ අවසන් තීරණය වූයේ ආණ්ඩුවේ අමාත්‍ය ධුරයන් භාර නොගෙන රටට යහපත් කාරණාවලදී පමණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දීමටයි.

අනතුරුව මධ්‍යම කාරක සභාව එළැඹි තීරණය පිළිබඳව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් දැනුවත් කරන ලදී.මේ අතර අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාට ලිපියක් මගින් ආරාධනාවක් කළේය. මෙම දුෂ්කර අවස්ථාවේ පක්ෂ පාට ගැන නොසිතා රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදය සලකා සහයෝගය ලබාදීමට එක්වන්නැයි එමගින් පක්ෂයට ආරාධනා කර තිබිණි.මේ ගැන කතා කරන්නට 16 වැනිදා හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවනු ලැබීය.මේ අතරතුර චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, පක්ෂය කුමන තීරණයක් ගත්තද තමා ආණ්ඩුව සමග එක්ව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන බවය.
මේ අතර 16 වැනිදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ආණ්ඩුවට එක් වන්නේ ද නැද්ද කියා ලොකු සාකච්ඡාවක් ඇති විය. දෙපැත්තටම මෙහිදී කරුණු හුවමාරු විය.පසුගිය සතියේ සමගි ජන ජනබලවේගයටද මුහුණපාන්නට සිදු වූයේ එම අභියෝගයටම ය. හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර ඇතුළු සැලකිය යුතු පිරිසක් මේ වෙලාවේ රජයට සහයෝගය දිය යුතු බව යෝජනා කළත් බහුතරයකගේ මතය ඊට වෙනස් එකක් වූහ.

කෙසේ වෙතත් අවසානයේ රනිල් එක් දෙයක් කිව්වේය.තමන් මේ සතිය අවසන් වන්නට පෙර ජවිපෙය හැර අන් සියලුම පක්ෂ වලින් මන්ත්‍රීවරු කැඳවාගෙන ශක්තිමත් කැබිනට් මණ්ඩලයක් පිහිටුවන බව ඔහු කියා සිටියේය. අමාත්‍යවරු විසි පස් දෙනකුගෙන් යුතු කැබිනට් මණ්ඩලයකුත් රාජ්‍ය අමාත්‍ය තිස් දෙනකුගෙන් යුතු රාජ්‍ය ඇමැතිවරයෙක් ඇමති මණ්ඩලය පිහිටුවා තුන් මසක් යන විට රටේ පවතින දැවෙන ප්‍රශ්න වලට ප්‍රශ්න වලට නිසි විසඳුමක් ලබාදෙන බවට ඔහු කියා සිටියේය.රනිල් කී දේ කරන නායකයෙකු බව තහවුරු වන සාක්ෂි සිකුරාදා දහවල් වනවිට දැකබලා ගන්නට අපට හැකි විය.

බුලිත ප්‍රදීප් කුමාර
 

advertistmentadvertistment
advertistmentadvertistment