ගල් අඟුරු කියන තරම් කළුද..? පරිසරය රකිමු… තුලිතව බලමු…

905

අඳුර දුර කර, දේශයට කුළුණුබර වූ වයඹ අහසේ කුලුනු ත්‍රිත්වය

ලක්විජය බලාගාරය ලිපි අංක -1

වර්තමාන පුත්තලම දිස්ත්‍රික්කයට අයත් තම්මැන්නා වෙරළින්, එදා විජය රජු ලක්දිවට ගොඩ බසින ලද්දේ, නව ශිෂ්ටාචාරයක් සදහා මංපෙත් විවර කරමිනි. තම්මැන්නා වෙරළ ඉම අසලම පිහිටා ඇති නොරොච්චෝලේ ගම්මානය ද නුතන ලාංකේය ශිෂ්ටාචාරයේ සලකුණකි. ජාතියේ බලශක්ති බලවතා ලෙස අනභිබවනීය සේවයක් සලසන ලක්විජය බලාගාරය පිහිටා ඇත්තේ එහිය. ලක්‌විජය බලාගාරය සැබැවින් ම ජාතියේ ප්‍රණාමයට පාත්‍ර විය යුතු සම්පතකි. නොරෝච්චෝලේ අහස මතින් නැගී සිටින ඒ මහා කුලුනු ත්‍රිත්වය, මේ ජාතියට බලශක්තියෙන් කුළුණුබර නොවන්නට ඔබත් මමත් මේ මොහොතේ ද සිටිනු ඇත්තේ අදුර දරාගෙනය. බලශක්ති ඌනතාවයෙන් පෙළෙන ශ්‍රී ලංකාව මේ මොහොතේද මේ තරමින් හෝ පෝෂණය කරන්නේ ලක්විජය බලාගාරයය. සිය දරු පවුල් ද සතියකට වරක් පමණ දැක ගනිමින් එහි පැය 24 පුරා සේවයේ යෙදෙන සේවකකාරකාදීන් වෙත ද මේ ජාතියේ ප්‍රණාමයට ලක් විය යුතු විදුලි විරුවෝය.

එහෙත් සිරිත් පරිදිම එක් එක් කුමන්ත්‍රණීය අවශ්‍යතා මත සහ නිවැරැදි තොරතුරු සන්නිවේදනය වීමේ ඌනතා මත මේ බලාගාරය ද ජනතා උදහසට ලක්වන ස්ථානයක් බවට පත්ව ඇත. එය නිවැරදි කිරීම සඳහා දරන එක් උත්සාහයකි මේ. ‘දිවයින’ මාධ්‍ය කණ්ඩායමක නිරීක්ෂණ චාරිකාවක් ලෙස ලක්විජය ගල් අඟුරු බලාගාරය සහ ජාතියේ බලශක්ති අවශ්‍යතාවය පිළිබඳව අද සිට ආරම්භ වන මෙම ලිපි මාලාව නවමු දැක්මක් දේශය හමුවේ තබනු ඇත.

සංවර්ධනය සඳහා අප දකින සිහිනය දුරස්වී ඇත්තේ සැලසුමේ අවුලට වඩා, යටි අරමුණු සහිත විරෝධය හේතුවෙන් බව කිව හැකිය. වත්මන් මාධ්‍ය භාවිතාව සඳහා ඇති පදනම සැකසී ඇත්තේ විරෝධාකල්ප මතය. මේ විරෝධාකල්පය දිගින් දිගටම ජනගත වීම හේතුවෙන්, රටේ සිදුකෙරෙන සියලු සාධනීය සේවා සඳහා ස්ථිරව යොදා ඇති තිරිංගයක් බවට විරෝධාකල්පය පත්ව තිබේ.

සංවර්ධනීය තත්ත්වයන් සඳහා ළඟා වූ සියලු රටවල්, කාර්මීකරණයේ පළමු අවස්ථාවේදී, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් සිය සංවර්ධන ඉලක්කය සඳහා හැකි ඉහළම අවධානය යොමු කළේය. සංවර්ධනය සඳහා වූ සිය ඉලක්කය ළඟා කරගත් පසුව ඔවුහු පාරිසරික සංරක්ෂණය ආදිය සඳහා වැඩි බරක් තබන ලද්දේ, සිය පැවැත්ම සඳහා ඇවැසි ඊළඟ පියවර, පරිසරය සංරක්ෂණය වූ බැවිනි. එසේ වුවත් සංර්ධනය සඳහා වන පළමු පියවරේ පටන්ම අනවශ්‍ය පමණට ‘පරිසර පදම’ ආරෝපණය කර ගැනීම හේතුවෙන්, අප රටක් ලෙස විඳවන අපහසුතා ප්‍රමාණය සුළු පටු නැත.

මේ සඳහා ඇති අගනාම උදාහරණය වන්නේ, ගල් අඟුරු බලාගාර ඉදිකිරීමේ කතාවය. රටේ වටිනා සම්පතක් වන ත්‍රිකුණාමලය ස්වභාවික වරායට යාබදව ඉදිකිරීමට යෝජිත වූ සාම්පූර් ගල් අඟුරු බලාගාරයද, ලක්විජය බලාගාර පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත වූ 04 වන ජනන යන්ත්‍රයද පදනම් විරහිතව නවතා දැමීම ඊට ආසන්නතම සාධකයයි.

ශ්‍රී ලංකාව මුල පටන්ම සිය බලශක්ති සැලසුම සඳහා අනුගමනය කරන ලද උත්පාදන මාදිලිය වූයේ, ජලයය. ජල ප්‍රභවය කරගත් විදුලි උත්පාදනය සඳහා ‘බලශක්ති අවශ්‍යතා මාවතේ’ යා හැකි දුර කොපමණදැයි, විෂය ප්‍රවීණයන් සහ දේශපාලන අංශ තේරුම්ගත් පසුව ඊළඟ පියවර සඳහා ඔවුහු සැලසුම සකස් කළහ. මහවැලි ව්‍යාපාරය කඩිනම් බවට පත් කරගෙන, රටේ ප්‍රධාන ජල මූලාශ්‍ර සියල්ලම පාහේ විදුලි ජනන ප්‍රභවයන් බවට ඒ වන විටත් පත්ව තිබුණි. ජාතික විදුලිබල අවශ්‍යතාවය සපුරාලීම සඳහා මූලික භාරය (Base load) සඳහා විශාල බලාගාරයක අවශ්‍යතාවය ඇතිවී තිබුණු බැවින් ඒ සඳහා ගල් අඟුරු බලාගාරයකට ප්‍රතිපත්ති සම්පාදනය වූයේ 80 දශකයේ සිටය.

විදුලි ජනන ප්‍රභවයක් ලෙස ගල් අඟුරු තවමත් සිය වැදගත්කම ආරක්ෂා කරගෙන සිටින්නේ, අනිකුත් තාප විදුලි ජනන ප්‍රභවයන්ට සාපේක්ෂව එහි ඇති ලාභය හේතුවෙනි.

ගල් අඟුරු යනු කාර්මික විප්ලවයේ පටන් අද දක්වා වැදගත්ම බලශක්ති ප්‍රභවයක් වූ ස්වාභාවිකව පොසිල ඉන්ධනයකි. එය අද වන විට ද ලෝකයේ විදුලි බල සැපයුමෙන් 36%ක් පමණ ප්‍රමාණයක් සපයන ප්‍රධානතම ඉන්ධනයක් වෙයි. මේ වන විට ද ඇතැම් දියුණු රටවල මෙන්ම දියුණු වන රටවල් රැසක ද ප්‍රධානතම ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිත කරයි. සෙසු පොසිල ඉන්ධන ඉදිරි දශක 5 – 6කට අඩු කාලයක දී අවසන් වනු ඇතැයි අපේක්ෂා කරනු ලැබුව ද තවත් වසර 100 – 150ක් හෝ ඊටත් මදක් වැඩි කාලයක් සඳහා භාවිතයට ප්‍රමාණවත් ගල් අඟුරු සංචිත තිබීම, ඒ පිළිබඳ අවධානය යොමු වීමට හේතුවකි.

ගල් අඟුරු කියන තරම් කළුද..? පරිසරය රකිමු… තුලිතව බලමු…
ලෝකයේ විදුලිබල නිෂ්පාදනය සඳහා එක් එක් බලශක්ති ප්‍රභවයේ දායකත්වය පිළිබඳව “Our Word in Data” වෙබ් අඩවියේ ප්‍රකාශිත “BP Statistical Review of Word Energy (2022)” හී දත්ත ඇසුරෙන් ගොඩනැඟු‍ණු ප්‍රස්ථාරය ඉහත දැක්වේ.

කෙසේ වෙතත්, කාබන් විමෝචන සම්බන්ධව ගත් විට ගල් අඟුරු අනෙකුත් පොසිල ඉන්ධන මෙන්ම දහනයෙන් පසු කාබන් විමෝචනයක් සිදු කරයි. ගල් අඟුරු භාවිතයෙන් වායුගෝලයට නිකුත් වන හරිතාගාර වායු ප්‍රමාණය විශාලය. නිදසුනක් ලෙස ගතහොත් ගල් අඟුරු දහනය වීම නිසා සිදු වන විමෝචනය, ලෝකයේ මුළු හරිතාගාර වායු විමෝචනය අතරින් 40%ක් පමණ විය හැකි බව වාර්තා වෙයි. මෙය හේතු කර ගනිමින්, පරිසරවේදීන් ගල් අඟුරු සඳහා අවි අමෝරාගෙන සිටින බවද කිව හැකිය. කේවල ලෙස පරිසරවේදය පමණක් පදනම් කර ගතහොත් ගල් අඟුරු පසෙකට දැමිය හැකි වුවත්, වත්මන් මානව ජීව පැවැත්ම සහ සංවර්ධනය සමග තුලිතව බලන විට, බලශක්ති සුරක්ෂිතභාවය වෙනුවෙන් ගල් අඟුරු නැතුවම බැරි ඉන්ධන ප්‍රභවයකි.

පසුගිය සමයේ පළවූ එක් විශ්ලේෂණයකට අනුව, මේ සියවස මැද භාගය වන විට ගල් අඟුරු භාවිතය අවසන් කිරීම අවශ්‍ය වනු ඇත. එහෙත් එය කලාපයෙන් කලාපයට, රටින් රටට වෙනස් වන්නකි. ඒ සඳහා රටවල් එකවර යොමු නොවීම සඳහා හේතුව වී ඇත්තේ සිය බලශක්ති පිළිවෙත සඳහා ගල් අඟුරු ඉටු කරනු ලබන සාධනීය සේවය හේතුවෙනි. නිදසුනක් ලෙස ගත හොත් යුරෝපා සංගමයේ ගල් අඟුරු භාවිතය 2030 වර්ෂය වන විට අවසන් කළ යුතු අතර, චීනය සහ ලෝකයේ සෙසු රටවල්, 2050 වර්ෂය වන විට ගල් අඟුරු භාවිතය අවසන් කිරීම වැදගත් වන බව Davos සම්මුතිය නම් 2020 ජනවාරි 17 නිකුත් වූ මේ වාර්තාව පෙන්වා දෙයි.

පරිසරවාදී පිළිවෙත හේතුවෙන් මේවන විට ගල් අඟුරු බලාගාර බොහොමයක්, කාර්මික විප්ලවයේ මුල් යුගයේදී මෙන් නොව මේ වන විට, විශාල වශයෙන් පරිසර හිතකාමී පිළිවෙතකට අවතීර්ණ වී තිබේ. ඒ අතර පැරණි බලාගාර ද නවීන පිළිවෙත් අනුව, පරිසර සංරක්ෂණ නීති රීති අනුව සිය මෙහෙවර දියත් කරමින් සිටියි. අනෙක් අතට එක් හේතුවක් මත පදනම්ව සියල්ල අකුලා ගත නොහැකිය. හේතු ගණනාවක් නිසා පරිසර දූෂණය විශාල ලෙස ඉහළ ගොස් ඇති සංවර්ධිත රටවල් පවා, ගල් අඟුරු භාවිතය මුළුමනින්ම අත්හැර නොදමන්නේ මේ නිසාය. එසේ තිබියදී ඇතැම් පිරිස් හා සංවිධාන, ශ්‍රී ලංකාව වැනි බලශක්ති ඌනතාවයෙන් පෙළෙන රටක් සඳහා ගල් අඟුරු බලාගාර එක්වරම අත්හැර දමන ලෙස බල කරනු ලබන්නේ, රටක් ගල් යුගයට යැවීම සඳහා බව කිව හැකිය.

ගල් අඟුරු යනු මේ වන විට ලෝකයේ ඇති ලාබදායකම පොසිල ඉන්ධන ප්‍රභව අතරින් එකකි. මේ නිසා දියුණු වන රටවල බලශක්‌ති උත්පාදනයේ විශේෂ වැදගත්කමක්‌ ගල් අගුරුවලට ලැබී ඇත.

ගල් අඟුරු නොතිබෙන්නට අපේ රටේ විදුලිබල නිෂ්පාදන පිරිවැය මේ වන විට අදට වඩා සැලකිය යුතු තරමකින් ඉහළ යා හැකි බව සත්‍යයකි.

ලක්විජය බලාගාරයේ ජනන කටයුතු ඇරඹූ දින සියලු ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල්පත් ගාස්තු 25%කින් අඩු කර ගල් අඟුරු ජනනයෙන් වන වාසිය සමස්ත ජනතාවටම ලබා දී ඇත.

වසර නවයකට පසුව විදුලිබිල වැඩිවීම දරාගත නොහැකි රටක, ගල් අඟුරු භාවිතයෙන් විදුලිය නිපදවීම සපුරාම නවතා දැමුවහොත් සිදුවන්නේ, පවුලක සමස්ත ආදායමම විදුලිබිල සඳහා ගෙවා දැමීමටය. ඛනිජ තෙල් වැනි වෙනත් පොසිල ඉන්ධන ප්‍රභව මගින් විදුලිය උත්පාදනය කිරීම සඳහා අධික වියදමක් දැරීමට අපේ රටට සිදු වූයේ මෑත අතීතයේ සිටය. ජල විදුලිය නිපදවීමේදී කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මූලික කොට සලකා කටයුතු කරයි. දිවයිනේ දෛනික විදුලි අවශ්‍යතාවය සැපයීම සඳහා 40% ක පමණ දායකත්වයක් සපයන ලක්විජය බලාගාරය මේ සඳහා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරයි.

ගල් අඟුරු කියන තරම් කළුද..? පරිසරය රකිමු… තුලිතව බලමු…
statista.com වෙබ් අඩවියේ දත්තවලට අනුව, 2022 ජනවාරි වන විට ලොව පුරා ක්‍රියාත්මක ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව ඉහත දැක්වේ.

මෙහිදී සැලකිලිමත් විය යුතු වන්නේ දියුණු වන රටවල කාබන් විමෝචන සඳහා ගල් අඟුරුවල දායකත්වය කෙතරම් වේ ද යන්න ය. චීනය වැනි රටක කාබන් විමෝචන ඉහළ අගයක් ගත්ත ද සෙසු දියුණු වන රටවල් රැසක කාබන් විමෝචන ප්‍රමාණය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බැවින් එම රටවලට ගල් අඟුරු භාවිත කිරීමේ දී හානිය අවම වේ. මේ වන විට පවත්නා ප්‍රවණතාවය අනුව, සමස්තයක් ලෙස ගත හොත් ආසියානු රටවල 2040 වර්ෂය පමණ වන විට විදුලි බල උත්පාදනයෙන් තුනෙන් එකක් පමණ ගල් අඟුරු මගින් සැපයෙනු ඇතැයි අපේක්ෂා කරනු ලැබේ. මේ අනුව ආසියානු කලාපයේ බලශක්ති සැපයුම සම්බන්ධව තවදුරටත් සැලකිය යුතු වැදගත්කමක් ගල් අඟුරුවලට හිමි වීම අපේක්ෂා කළ හැකි ය. එය ශ්‍රී ලංකාවට ද එසේමය.

2017 මාර්තු මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එක්සත් ජනපදය විසින් ප්‍රදානය කරන ලද ෆෙඩරල් ගල් අඟුරු කල්බදු සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන ලදී. මෙම තහනම ඉවත් කිරීම නිසා ගල් අඟුරු බලශක්තිය වැඩි ප්‍රමාණයක් නිපදවීමට හැකි වන පරිදි පොදු ඉඩම්වලින් මෙම පොසිල ඉන්ධන කැණීම් ආරම්භ කිරීමට එක්සත් ජනපද සමාගම්වලට හැකි විය. එක්සත් ජනපදය පදනම් කරගත් ගල් අඟුරු සංචිත වසර 400කට වැඩි කාලයක් පැවතිය හැකිය. ඒ අපමණ අවාසි පමණක් ගල් අඟුරු විෂයෙහි දක්වන විට මෙම වාසි පිළිබඳව කිසිවකු නොදැකීම ද පුදුම සහගතය. එම වාසි නොමැත්තේ නම් හොඳම පරිසරවාදී ගල් යුගය වෙත පහසුවෙන් පිය නැඟිය හැකිය.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව ගල් අඟුරු සඳහා බදු අය කිරීමට කටයුතු කළ අතර මේ වනවිට ගල් අඟුරු ඒකකයක නිපදවීමේ මිලෙන් 15% පමණ එකතු කරන ලද බදු මුදල වේ. 2023 තක්සේරු ගල් අඟුරු මිල අනුව ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 46 ක පමණ මුදලක් බදු වශයෙන් ගල් අඟුරු ගෙන්වීම වෙනුවෙන් ගෙවිය යුතු වන්නේය.

ගල් අඟුරු බලශක්තියක් ලෙස භාවිතා කිරීමේ වාසි

  1. දීර්ඝකාලීනව ගල් අඟුරු ලබා ගැනීමේ හැකියාව.

දැනටමත් කැණීම් කර ඇති ගල් අඟුරු තොගයට අමතරව, ටොන් ටි්‍රලියන 1 වඩා වැඩි ගෝලීය සංචිතයක් ගල් අඟුරු තිබේ. අනෙකුත් පොසිල ඉන්ධන, වත්මන් පරිභෝජන මට්ටම් සහ නව තැන්පතු සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්, තව ශතවර්ෂයකට වඩා නොපවතිනු ඇත.

  1. තාක්ෂණයේ දියුණුවත් සමඟ කාර්යක්ෂම පරිහරණය

කාර්මික විප්ලවයට අඩිතාලමක් ලබා දුන් වාෂ්ප එන්ජිම (Steam Engine) හදුන්වාදීමත් සමග ගල් අඟුරු භාවිතය ප්‍රචලිත විය. ඒ සමගම කර්මාන්ත සදහා විදුලිය අවශ්‍ය වීම, භාණ්ඩ ප්‍රවාහනය වැඩි වීමත් සමග දුම්රිය හා නැව් භාවිතය වැඩි වීම යනාදිය තුලින් ලෝකයේ ගල් අගුරු භාවිතය විශාල ලෙස වැඩි විය. රටවල් කිහිපයකට පමණක් සිමා වූ ගල් අගුරු ලොව පුරා භාවිතයට ගැනිණි. මෙසේ පරිණාමීය වශයෙන් දිගින් දිගටම වර්ධනය වීම හේතුවෙන් කර්යක්ෂම සහ පෙරට වඩා පරිසර හිතවාදී ලෙස ගල් අගුරු වලින් බලශක්තිය නිපදවීම දිනෙන් දින කාර්යක්ෂම වෙමින් පවතී.

  1. පිරිවැය අඩුය

ගල් අඟුරු මිල සාපේක්ෂව ද්‍රව පොසිල ඉන්ධනවලට වඩා අඩු බැවින්, එහි නිෂ්පාදන පිරිවැය සාපේක්ෂව අඩුය. වර්තමානයේ රුසියානු කලාපයේ යුද වාතාවරණය මත ගල් අඟුරු මිල තාවකාලිකව ඉහළ යෑමක් සිදු වුවත් එය දීර්ඝකාලීනව පවතී යැයි සිතිය නොහැක.

  1. ස්ථායි බලශක්ති ප්‍රභවයක් වීම

සූර්ය හෝ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දවස පුරා, අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට නිපදවීමක් සිදු නොවේ. සුළඟ හමා යෑම නතර වුවහොත් හෝ හිරු බැස ගියහොත්, බැටරි හරහා ඉතිරි කරන ශක්තිය මත විශ්වාසය තැබිය යුතුය. නමුත් බැටරි මගින් විදුලිය ගබඩා කිරීම ඉතා වියදම් අධික ක්‍රමවේදයක් වේ. ගල් අඟුරු බලශක්තිය මගින් විදුලිය නිපදවීමේදී බැටරි මත ගබඩා කිරීම් අවශ්‍ය නොවන අතර අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී එයට අවශ්‍යතාව ඉටු කිරීම සඳහා ප්‍රවේශ විය හැක.

  1. අතුරු ඵලවල භාවිතය

ගල් අඟුරු මගින් විදුලිය නිපදවීමේදී ප්‍රධාන අතුරුඵලය වන පියසර අළු (Fly Ash) සිමෙන්ති නිෂ්පාදනය සඳහා වන මූලික අමුද්‍රව්‍යයකි. එයට අමතවර නවීණ තාක්ෂණ දියුණුවත් සමග භාවිතයට එන සැහැල්ලු ගඩොල් (Autoclaved Aerated Concrete Bricks) නිෂ්පාදනය කළ හැක. එමෙන්ම තවත් අතුරුඵලයක් වන බර අළු (Bottom Ash) සිමෙන්ති ගඩොල් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි.

වර්තමාන තත්ත්වය

තාක්ෂණයේ දියුණුව හා නව සොයා ගැනීම් මගින් වර්තමානයේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සදහා දොරටු විවෘත කර ඇත. දිනෙන් දින වර්ධනය වන පුනර්ජනනීය බලශක්තිය ලෝක බලශක්ති නිෂ්පාදනයෙන් 10% ක් පමණ වේ.

ශ්‍රී ලංකාවේද පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් බලශක්තිය නිපදවීම සැලකිය යුතු ලෙස සිදු වන අතර මේ සඳහා සුර්ය බලය සහ සුළං බලය ප්‍රධාන වශයෙන් උපයෝගී කර ගනී.

පොසිල ඉන්ධන මගින් (ගල් අඟුරු, ස්වභාවික වායුව හා පෙට්‍රොලියම් මගින්) විදුලිය නිපදවීම තවමත් ප්‍රමුඛස්ථානයක පවතී. 2021 දී ගල් අඟු‍රු බලශක්ති උත්පාදනය සර්වකාලීන ඉහළම මට්ටමට ළඟා වූ අතර එය 8% කින් වැඩි වී පසුගිය වසර දෙක තුළ පැවති පහත වැටීමේ ප්‍රවණතාව වෙනස් කළේය. 2021 දී ගල් අඟු‍රු, වැඩි වූ ලෝක බලශක්ති ඉල්ලු‍මෙන් අඩකට වඩා ලබා දුන් අතර, 2013 න් පසුව පළමු වතාවට පුනර්ජනනීය බලශක්තියට වඩා වේගයෙන් වර්ධනය විය.

මෙම ලිපි මාලාවේ දෙවන පියවර වශයෙන් ලක්විජය විදුලි බලාගාරයෙන් විදුලිය නිපදවීමේ ක්‍රියාවලිය විස්තර කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර මෙම ලිපිය සම්බන්ධව ඔබගේ ගැටලු WhatsApp අංක 0775 872 638 වෙත යොමු කරන ලෙස කාරුණිකව දන්වමු.

සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment