අහෝ! මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්
යාපනයේ පේදුරුතුඩුව කර්කෝලවම් පුනිතනගර් ප්‍රදේශයේ නිවසක සිටි අඹුසැමි යුවළක් ගල් ගසා මරා දමා තිබියදී ඔවුන් දෙදෙනාගේ මළසිරුරු පේදුරුතුඩුව පොලිසිය විසින් 30 දා සොයා ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ මේ දෙදෙනාගේ හිසට හා ශරීරයේ බොහෝ ස්ථානවලට විශාල ප්‍රමාණයේ කොන්ක්‍රීට් ගල් ගසා මරා දමා ඇති බවයි. මෙසේ මියගොස් ඇත්තේ 53 හැවිරිදි සැමියා වන මානික්කම් සුබ්‍රමනියම් සහ 54 හැවිරිදි මේරි නමැති බිරිඳයි.
සැමියා කොන්ත්‍රාත් පදනම මත පේදුරුතුඩුව රෝහලේ කිළිටි රෙදි සේදීම වෘත්තිය වශයෙන් කර ගෙන ගොස් ඇති අතර ඔහු සේවයට නොපැමිණීම නිසා රෝහලෙන් ඔහුට දුරකතන ඇමතුම් ලබා දී තිබේ. එම ඇමතුම්වලට ප්‍රතිචාර නොලැබුණු නිසා රෝහලේ සේවකයකු කිළිටි රෙදි සෝදන්නාගේ නිවසට පැමිණි අවස්ථාවේ සැමියාගේ හා බිරිඳගේ මළසිරුරු නිවසේ තිබෙනු දැක තිබේ. රෝහල් සේවකයා වහාම මේ පිළිබඳව රෝහලට දැනුම් දී ඇති අතර සිද්ධිය දැනුම් දීමෙන් පසුව පොලිසිය එහි පැමිණ තිබේ.
කොන්ක්‍රීට් ගල්වලින් හිසට තදබල ලෙස පහර දීම නිසා ඇති වූ බරපතළ තුවාලවලින් අධික ලෙස රුධිරය වහනය වීමෙන් අඹුසැමි යුවළ එම ස්ථානයේදීම මියගොස් සිටි බවද පේදුරුතුඩුව පොලිසිය පවසයි.
පොලිසියේ දැනුම් දීමෙන් පේදුරුතුඩුව මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මළසිරුරු යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද, මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ද මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.
පේදුරුතුඩුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
දිනසේන රතුගමගේ