ජනාධිපතිවරණයට ඇත්තේ සති තුනකටත් වඩා අඩු කාලයක් වුවද සමාජ දේශපාලන ක්ෂේත්‍රවලින් නිබඳවම ලැබෙන්නේ යහපත් පුවත් නොවේ. මෙරටේ බොහෝ මැතිවරණ සම්බන්ධයෙන් අපට ඇත්තේ ද සාධනීය අත්දැකීම් නොවේ. විශේෂයෙන් 1977න් පසු එළැඹුණු දේශපාලන යුගය මැතිවරණ ඉතිහාසයට එකතු කළ අඳුරු අත්දැකීම් හා කළු පැල්ලම් ද බොහෝ විය. ජනතා පරමාධිපත්‍යය පිළිබඳ වචීපරම විශ්ලේෂණ සිදු වුවද ඒ අවියත් දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී මාවතට යොමු කිරීම සඳහා පාලකයන්ට සැබෑ වුවමනාවක් ද නොවීය. හිටපු මැතිවරණ කොමසාරිස්වරයකු වූ චන්ද්‍රානන්ද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද මැතිවරණ වාර්තාව (1982 ජනමත විචාරණය මත පදනම් විය).
එදා සිදුවූ ඡන්ද මංකොල්ල හා ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලනයක අනතුර ද විශද කරන්නකි. 1988 පළාත් සභා මැතිවරණය ඒ දූෂිත ඡන්ද මංකොල්ලයේම දිගුවක් විය. එදා ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක වැනි ප්‍රබුද්ධ දේශපාලන චරිත පවා සිය ගෞරවය බින්දුවට දමමින් එකල සිදුවූ ඇතැම් කුප්‍රකට ක්‍රියාකාරකම්වලට දායක වූ බව ද ප්‍රකටය.
ජයවර්ධන හා ප්‍රේමදාස පාලන යුගවල සිදුවූ අනිසි හා අශිෂ්ට, ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිචාර නොඉවසූ සමාජ ක්‍රියාකාරීන් විසින් ගෙනයන ලද අරගල හා උද්ඝෝෂණ නිසාම, පසුකාලීනව සාධාරණ මැතිවරණ සංස්කෘතියක් යම් ප්‍රමාණයකට හෝ ගොඩනඟා ගැනීමට හැකි විය. විධායකයේ අණසකට යටත් වූ ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයෑමටත් මැතිවරණ ක්‍රියාදාමය සුරැකීමටත් සාධනීය පියවර ගත හැකි විය. මැතිවරණ කොමිෂන් සභාව ඇති කිරීමත් එහි සභාපතිවරයා බලගැන්වීමත් සිදු වූයේ ද ඒ අනුවය. ස්වාධීන මැතිවරණ කොමිසම අද ක්‍රියාත්මක වන ආකාරය මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු ජනකොටස්වල ප්‍රශංසාවට ද ලක්ව තිබේ. එසේ වුවද පවතින මැතිවරණ නීති රීති හා විධිවිධාන ප්‍රමාණවත් නොවන බව ද රහසක් නොවේ. මෙරටේ පුරවැසිකමක් පවා නොමැති, ඩයනා ගමගේ පාර්ලිමේන්තු නියෝජනය කිරීම වළක්වාලීමට හැකි වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයටය. මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා දුන් බහුතරයකට ඒ සඳහා දේශපාලන පදනමක් නොවුවද කොමිසමට ගත හැකි පියවරක් නොවීය. සමහර අපේක්ෂකයන් ආගිය අතක් නැති බවද කියනු ඇසෙයි. තවත් අයෙක් වෙනත් ජනාධිපතිවරණ අපේක්ෂකයකුගේ වේදිකාවට ගොඩවී ඔහුට සහාය දක්වන බව සඳහන් පුවතක් ද වාර්තා විය. මේ මුග්ධ හැසිරීම් නිසා විනාශ වන්නේ ජනතාවගේ මුදල් බව ඒ වෘෂභයෝ නොදනිත් ද? ඒ අලාභය පියවා ගැනීමට නීති සම්පාදනය නොකළ යුතු ද?
ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර එය ප්‍රජාතන්ත්‍රවාදයේ හා සාධාරණත්වයේ මෙන්ම නීතියේ විධිවිධානවලට ද අනුව පැවැත්වීම පිළිබඳ ආදර්ශය මුලින්ම දිය යුත්තේ පාලකයන්ය, නැතහොත් ආණ්ඩුවය. එහෙත් ආණ්ඩුවත් ඇතැම් රාජ්‍ය නිලධාරීනුත් ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාර ගැන අප කිව යුත්තේ කුමක් ද? මේ සතියේ ඇතැම් මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් බවට පත් වූයේ, බස්නාහිර ආණ්ඩුකාරයා විසින් ඡන්ද නීති කඩන ලද බවය. එයට හේතු විමසමින් මැතිවරණ කොමිසම ලිපියක් ද යවා තිබෙන බවය. මෙරටේ ආණ්ඩුකාරයන් යනු පවතින ආණ්ඩුවල හා ජනාධිපතිවරුන්ගේ අභිමතය පරිදි කෙරෙන පත්වීම් බව සැබෑය. බොහෝ විට ඒ සඳහා තෝරා ගනු ලබන්නේ ද පරාජිත දේශපාලනඥයන්ය. ඇතැම් විටෙක පිළිගත හැකි පත්වීම් ද තිබුණි. කොහොමටත් මේ දේශපාලන ක්‍රමය තුළ ආණ්ඩුකාරයන් සිතිය යුත්තේ ද ජනාධිපතිවරයාගේ ඔළුවෙන්මය. එසේ නොසිතන ආණ්ඩුකාරයකුට තබා කාර්යාල කාර්ය සහායකයකුටවත් රැකවරණයක් නැත. ඒ, මේ දේශපාලන ක්‍රමයේ ස්වරූපයයි. මේ අතර ගම්පොළ ප්‍රදේශයේ ද ස්වාධීන අපේක්ෂකයකුගේ ජනහමුවක ආහාරපාන සංග්‍රහයක් නැවැත්වීමට මහනුවර සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත් බව සඳහන් පුවතක් ද වාර්තා විය. මේවා මොනතරම් අලජ්ජි වැඩ ද? රටක නීතිය කෙසේ වෙතත් සීලාචාර පැවැත්ම පවා මායිම් නොකරන මෙබඳු සිදුවීම් හෙළා දැකිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණය උදෙසා ද වඩාත් වාද විවාද කෙරෙන සමාජ පසුබිමක, මෙබඳු නොසන්ඩාලකම් සිදුවිය යුතු නැත.
ප්‍රජාතන්ත්‍රවාදයට පමණක් නොව නීතියට ද උඩින් පනිමින් මෙම ජනාධිපතිවරණය ජය ගැනීම සමහරුන්ගේ අපේක්ෂාව බව පෙනේ. එහෙත් අද තිබෙන්නේ දශක දෙක තුනකට පෙර තිබුණු සමාජ දේශපාලනය නොවන බව, මේ වේදිකා දෙදරවන තරම් උද්වේගයකින් කතා කරන අය නොදනිති. මෙම ජනාධිපතිවරණය සමාජගත වී තිබෙන්නේ ගල උඩ සටන ලෙසය. එසේ වුවද ගල උඩ සටන මඩකාරයන් අඩු වැඩි ලෙස අල්ලාගෙන සිටින බව බිම සිට එදෙස බලා සිටින වැඩකාරයෝ දකිති. වේදිකාවල කෙරෙන මඩ ගසා ගැනීම්, අක්‍රෝශ පරිභව කිරීම් අවලාද හා පොරොන්දු ගොඩගැසීම් මෙන්ම ගල් පැළෙන බොරු ද ඒ බිම සිටින ජනතාව බලා සිටින්නේ උත්ප්‍රාසය හා හාස්‍ය මුසු නාට්‍යමය චමත්කාරයක් ද විඳිමින්ය.
අපේ දේශපාලනය හුදු බලය ලබාගැනීමත් ධනය ඉපයීමත් මුල්කරගත් ක්‍රියාදාමයකට පත්ව තිබෙන්නකි. අපේ අසල්වැසි ඉන්දියාවෙන් ලොවට දායාද කළ අද්විතීය හා අසාමාන්‍ය උත්තමයා ලෙස බුදුන් වහන්සේ හැඳින්විය හැකිය. ඒ ආධ්‍යාත්මික වර්ධනයේ උත්කර්ෂයයි. මේ හැරුණු විට ඉන්දියාවෙන් බිහිවූ පරමාදර්ශී දේශපාලන චරිතය ලෙස මහත්මා ගාන්ධි සුප්‍රකටය. ගාන්ධිතුමන් දේශපාලනඥයකු නොවුවද ඉන්දියාවේ දේශපාලනය සාරධර්මවලින් විචිත්‍ර කළ නායකයා ඔහු බව පිළිගනු ලැබේ. පෞද්ගලික ජයග්‍රහණ හෝ සුඛවිහරණ අපේක්ෂාවෙන් සමාජ සේවයට ඉදිරිපත් විය යුතු නැති බව ගාන්ධිතුමන්ගේ පරමාදර්ශය විය. අපට එබඳු පරමාදර්ශ තිබේ ද?
පසුගිය දිනක මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමිපාණන් ප්‍රකාශ කර තිබුණේ ද මැතිවරණ සමයේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල හා වේදිකාවල බොහෝ දේවල්, එනම් සහන දෙන හැටි, රට නඟන හැටි, දූෂණ වංචා තුරන් කර නීතිය බලගන්වන හැටි ආදිය සඳහන් වුවත්, ඒවා බොහෝ විට රැවටිල්ලක් පමණක් බවය. තට්ටු මාරු දේශපාලනඥයන්ගේ බොරු පොරොන්දු හා වංචා දූෂණ මේ රට විනාශ කළ බව ද මහ නාහිමියෝ පැවසූහ. මහ නාහිමියන් ඒ අනුශාසනය කර තිබුණේ, පසුගියදා උන්වහන්සේට සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිගැන්වීමට ගිය විපක්ෂනායක මෙන්ම සජබ නායක සජිත්ටය. ඇත්ත වශයෙන්ම මේ වනවිට රනිල්, සජිත්, අනුර මෙන්ම දිලිත් ද සිය ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදක්වා තිබේ. පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ද ඉකුත් 02 වැනිදා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබුණි. ‘නාමල් දැක්ම’ ලෙස හැඳින්වූ එය අලුත් පරම්පරාවේ ප්‍රකාශනයක් ලෙස ද හඳුන්වා ඇත. ‘නාමල් දැක්ම’ තරුණ ප්‍රශ්න ගැන වඩාත් සාකච්ඡා කරමින් ම මේ රටේ දූෂණ වංචා ආදිය තුරන් කිරීම හා උතුරේ හා දකුණේ තරුණයන්ගේ විරැකියාව, අධ්‍යාපන හා ආර්ථික ප්‍රශ්න කෙරෙහි ද අවධාරණය කර ඇත.
කෙසේ හෝ වේවා මේ වනවිට ජනගත කර තිබෙන කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ගැන පුළුල් සංවාදයක් ගොඩනැඟී නැති බව ද පෙනේ. එසේ වුවද මේ ප්‍රකාශනවල එන බොහෝ දේවල් යථාර්ථයක් බවට පත්වීම පිළිබඳව නම් පොදුවේ ජනතාවටම ඇත්තේ අවිනිශ්චිත බවකි. ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් පවසන්නේ බොරු පොරොන්දුවලට රැවටී රෑ වැටුණු වළේ දවල් නොවැටෙන ලෙසය. රනිල්ගේ ප්‍රතිපත්තිවල වැඩි බරක් දමා ඇත්තේ ආර්ථිකයට බව ද පෙනේ. එහි හරය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මත පදනම් වූ ආර්ථික සැලසුම් සමග ඉදිරියට යන්නෙහි ද නැතහොත් රට 2022 තිබුණු පෝලිම් යුගයට ආපසු යන්නෙහි ද යන්න ජනතාව තීන්දු කළ යුතු බවයි.
විපක්ෂනායක හා සජබ අපේක්ෂක සජිත්ගේ ආණ්ඩුව ගජමිතුරන්ගේ ණය කපාහැරියත්, ගොවි ණය කපා නොදැමීම ගැන චෝදනා පත්‍රයක් ද ඉදිරිපත්ව ඇත. එසේම දුප්පත්කම තුරන් කිරීම සඳහා විසිදහසක මුදලක් මාසිකව වසර දෙකකට ලබාදීමේ පොරොන්දුවක් ද ඔහු ලබා දෙයි. ජාජබයේ අනුර ගොවි ණය අවසන් කිරීම, විදුලි බිල අඩු කිරීම හා නීතිය ඉදිරියේ සමානත්වය ලබාදීම හා දූෂණ වංචා දුරැලීමට කැපවන බව ද පවසයි. ඔහු අවධාරණය කරන්නේ දුක් විඳින යුගය මෙම පරපුරෙන් අවසන් කළ හැකි ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැඟිය යුතු බවය. පොහොසත් රටක දුගීභාවය දුරු කෙරෙන සමාජ ආර්ථික මෙන්ම දේශපාලන වැඩපිළිවෙළක් සඳහා ශක්තිමත් ජනවරමක් ලබා දෙන ලෙස ද ඔහු පවසයි. ඔහු ප්‍රශ්න කරන්නේ රනිල්ට හෝ සජිත්ට දූෂණයට එරෙහිව පියවරක් ගත හැකි ද යන්නයි. දිගු කාලයක් මෙරටේ ආණ්ඩු කීපයකම ඇමැතිධුර හෙබවූ පිරිසක් (නම් කීපයක්ම ඔහු දක්වයි) දූෂණ වංචා අල්ලස් ගැන චෝදනා ඉදිරිපත්ව සිටින අයත් සමග රටකට ඉදිරියට යා නොහැකි බව ඔහු කියයි. (කිරි දෙනුන් මේ රටට ගෙන්වීම සම්බන්ධව චෝදනා ලද ඇමැතිවරු දෙදෙනෙක් ද නම් කරයි) මේවා මේ රටේ ජනතාවට අලුත් පුවත්ද නොවේ. අද රටට බණ කියන, පරමාදර්ශ ගැන කතා කරන මැති ඇමැතිවරුන්ගේ මුහුණු, ඔවුන්ගේ අතීත කතා සියල්ල ජනතාවට හොඳින් මතකය. නඩු නැති රටකැයි කිව හැකි තරමටම නීතිය පසුබැස තිබෙන මේ සමාජ දේශපාලනය ගැන ඒ කිසිවකුට අටුවා ටීකා අවශ්‍ය ද නැත. තමන් සමග සිටින කණ්ඩායම හොඳම දක්ෂයන් නැතහොත් සරලව කිවහොත් ‘වැඩ්ඩන්’ යැයි ඒ එකම නායකයකුටවත් කිව හැකිද? දේශපලාන වශයෙන් පමණක් නොව චර්යාව අතින් ද ජනතාවගේ අප්‍රසාදයට, පිළිකුලට ලක්වූ බහුතරයක් මේ ප්‍රධාන වේදිකාවල සිටිති. එසේම ජනතාව අතර පිළිගැනීමක් තිබෙන ස්වල්ප දෙනකු ද ඒ අය අතර සිටින බව ද සඳහන් කළ යුතුය.
පසුගිය දිනක අර්ථ ගවේෂක ප්‍රකාශනයක් ලෙස එළිදැක්වුණු ආර්. ඒ. ජයවීර විසින් ලියන ලද “නව යුගයක පිවිසුම් මග ආණ්ඩුක්‍රම වෙනස” නමැති කෘතියෙහි මෙරටේ සමාජ ආර්ථික හා දේශපාලනය අළලා ලියන ලද සාර ලිපි සමූහයක් ඇත. එහි පූර්විකාවේ සඳහන් වන්නේ 2022 ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටින අප, අවිචාර කළමනාකරණයක විපාක සමග අඳුරු අභාවයක වැටී සිටින බවය. එහි අපූරු අවධාරණයක් ද ඇත. එනම් රටක් ආණ්ඩු නොකළ යුත්තේ කෙසේ දැයි අප මුළු ලොවටම පෙන්වා දී ඇති බවකි. මේ සමස්ත කෘතිය පාලක, පාලිත දෙපක්ෂයම බැරෑරුම් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සරලව පෙන්වා දෙන්නකි. දේශපාලනය යනු කීර්තිමත් හා වැදගත්ම වෘත්තිය බවත් එහි පෙන්වා දෙයි. කැපී පෙනෙන හා ව්‍යාජ ප්‍රතිරූප ගොඩනඟා ගත් චරිත හඳුනාගැනීම මේ දේශපාලනයේ ගෞරවයට හේතු වන බව එහි අවධාරණය කර ඇත.
ඇත්තටම අද පළමුවෙන්ම සිදු කළ යුත්තේ දේශපාලනය ගෞරවනීය වෘත්තියක මට්ටමට වර්ධනය කිරීමය. දශක ගණනක් තිස්සේ දේශපාලන පවුල් ඥාති සමාගම් ජාලයක් ගොඩනැඟුණු ආකාරය කව්රුත් දනිති. ආණ්ඩුවකට නීතිය, යුක්තිය තබා ශීලාචාරකම වත් රැකගත නොහැකි විය. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් එළිදක්වන ලද වාර්තාවකට අනුව මෙරටේ මහා පරිමාණ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඇත්තේ සැක සංකා පමණි. 2024 වනවිට ක්‍රියාත්මක වූ මහා පරිමාණ ව්‍යාපෘති පනහක් මේ විමර්ශනයට ලක්වුව ද ඒවායේ ප්‍රසම්පාදනය මූල්‍ය ගනුදෙනු පිරිසිදු නැත. ඇතැම් තොරතුරු වසන් කර හෝ නොදක්වා ඇති බව ද සඳහන් වේ. මේ ජනාධිපතිවරණ වේදිකාවල ද ප්‍රමුඛ තේමාවක් වී ඇත්තේ දූෂණ වංචා මැඬලීමය. සජිත් මෙන්ම අනුර ද ඒ ගැන විධිවිධාන පවා සිය ප්‍රකාශනවල ඇතුළත් කර ඇත. කුමක් වුවත් රටක ප්‍රජාතන්ත්‍රවාදය පිරිහෙන විටත් නීතියේ සමානාත්මතාව බිඳවැටෙන විටත් එහි පළමු වින්දිතයන් බවට පත් වන්නේ ජනතාවය.
2022 දී මෙරටේ සිදුවූ ජනතා විරෝධතාව, එය අබියස රාජපක්ෂවරුන් පසුබැසීම යන බරපතළ සිදුවීම් මාලාව අද බොහෝදෙනකුට අමතකව තිබේ. මෙම ජනාධිපතිවරණයේදීත් එදා අරගලකරුවන් විසින් ඉල්ලන ලද වෙනස පිළිබඳ බැරෑරුම්ව කල්පනා කර තිබේ ද යන්න නම් ප්‍රශ්නයකි. රාජපක්ෂ කඳවුරේ වැඩි පිරිසක් රනිල්ට එක්වීමත් තවත් සුළුතරයක් රාජපක්ෂවරයකු වෙනුවෙන් පෙනී සිටීමත් ඒ අලුත් වෙනස නොවේ. 2022 අරගලයෙන් අපේක්ෂා කළ විධායක අධිපතිවාදය පරාජය කිරීම වෙනුවෙන් රනිල් ඒ රාජපක්ෂ සහායෙන්ම ජනාධිපතිධුර නමැති මතුමහලට නැඟ සිටියි. ජනාධිපතිධුරයට පත් රනිල් පසුගිය දෙවසර තුළ විධායක බලය භාවිත කළ ආකාරය ප්‍රශ්නකාරී විය. එළැඹෙන ජනාධිපතිවරණයේදී අවම වශයෙන් ඒ විධායක බලය අහෝසි කිරීමේ අවශ්‍යතාව හෝ ගැඹුරින් අවධානයට ලක්ව නැත. විධායක ක්‍රමය අහෝසි කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව ජාජබය වැඩි අවධානයක් ද සජබය අඩු අවධානයක් ද යොමා තිබේ. විධායක ක්‍රමය සමග ගැටගැසී තිබෙන මෙරටේ මැතිවරණ ක්‍රියාදාමය ගැන ද මේ අවස්ථාවේ රටට ප්‍රතිඥාවක් අවශ්‍යය. විධායක ක්‍රමය අහෝසි කිරීමෙන් පමණක් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ශක්තිමත් කළ නොහැකි බව ද කිව යුතුය. බංග්ලාදේශයේ ෂෙයික් හසීනා විධායක ජනාධිපතිවරියක නොව අගමැතිය. ඇය ගෙනගිය පුද්ගලවාදී පාලනය ජනතාවගේ විරෝධයට හේතු විය. ඒ ව්‍යාකූලත්වය මෙරටේ 2022 කාලයට සමාන කරමින් සමහරුන් කරන විවේචනය මතුපිටින් බැලීමක් පමණි. පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය ද සංවරණ හා තුලන ක්‍රමයක් ලෙස වර්ධනය විය යුත්තකි. අපට වුවමනා, ප්‍රජාතන්ත්‍රවාදී සමාජ දේශපාලන ක්‍රමය බුද්ධිමත් සංවාදයකින් පසු ඉදිරියට ගත යුතු ප්‍රතිසංස්කරණයක් විනා, ක්‍ෂණික දෙයක් නොවිය යුතුය. ජේ. ආර්. ජයවර්ධනගේ සිට රනිල් වික්‍රමසිංහ දක්වා දිවෙන පාලනය තුළ විධායක බලය භාවිත වූ ආකාරය පිළිබඳ මෙරටේ ජනතාවට ඕනෑවටත් වඩා අත්දැකීම් තිබේ. ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අද තිබෙන ගර්හිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට ප්‍රමුඛතාවක් ලබාදී තිබේ. ඇමැති මණ්ඩලය 25කට සීමා කිරීම, ඇමැතිවරුන්ගේ වාහන මෙන්ම විශ්‍රාමික ජනාධිපතිවරුන් නඩත්තුව ගැන ද එහි සාධනීය වැඩපිළිවෙළක් දක්වා ඇත. ඒවා රනිල්ගේ හා සජිත්ගේ ප්‍රතිපත්තිවලට වඩා ඉදිරි පියවර ලෙස ද සඳහන් කළ යුතුය.
මෙම ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සමාජගතව තිබෙන සමීක්ෂණ සියල්ලම නායකයා හා පිල පිළිබඳ භක්තිය මත පදනම්ව කරන ලද ඒවාය. වජිරට අනුව රනිල්ට සියයට 51කි. ටිල්වින්ගේ ගණන අනුරට 60%කි. මරික්කාර් සූත්‍රය අනුව සජිත්ට 50%කි. එසේ වුවද උතුරේ ජනතාවගේ කැමැත්ත කාටදැයි තවම නිශ්චිතව කිව නොහැක. උතුරේ ප්‍රබල දෙමළ සන්ධානය තුළ ද අද බෙදීම් ඇත. එහෙත් එහි ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි සජිත්ට සහාය දෙන බව සුමන්තිරන් මන්ත්‍රීවරයා කියද්දී එහි නායක මාවෙයි සේනාධිරාජා පවසන්නේ එය පක්ෂයේ තීරණයක් නොවන බවය. ජනාධිපති රනිල් මෙන්ම විපක්ෂ නායක සජිත් යන දෙදෙනාම කෙරෙහි උතුරේ ඇතැම් නායකයන් මෙන්ම නැඟෙනහිර නායකයන් ද රොක්වනු පෙනේ. දෙමළ හා මුස්ලිම් ඡන්ද වෙන්දේසිය මෙරටේ බල දේශපාලනයේ ප්‍රබල හා කුප්‍රකට ක්‍රියාවකි. ඒ වෙනුවෙන් කුමක් සිදු විය නොහැකි ද? සුළු පක්ෂවල නායකයන්ගේ කේවල් කිරීම් ගැන ජනතාව ද දනිති.
මෙවර මුස්ලිම් නායකයන් වන රිෂාද් බදියුදීන් හා රවුෆ් හකීම් සජිත්ට සහාය දෙති. එහෙත් මුස්ලිම් මන්ත්‍රීවරු ජනාධිපති රනිල් සමගය. එකල සිටි ප්‍රබල මුස්ලිම් නායක අෂ්රොෆ්ගේ ඡන්ද දෙස බලාගෙන රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ද සංශෝධනය කළ අයුරු අපට මතකය. ඒ ප්‍රේමදාස ජනාධිපති වීමට පෙරය. දිස්ත්‍රික්කයකින් මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ අවම ඡන්ද ප්‍රතිශතය තවත් පහළට දැමීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වූයේ ඒ අනුවය. ඒ 14 හා 15 ලෙස සිදු කළ සංශෝධනයි. අපේ ඡන්ද ක්‍රමය පවා අවුල් ජාලයක් වූයේ එවැනි ක්‍රියාකාරකම් නිසාය. ඒ අෂ්රොෆ් ඊළඟ මැතිවරණයේ චන්ද්‍රිකාට සහාය දී වරාය ඇමැති ධුරය දිනා ගත්තේය. ඔලුවිල් වරාය ව්‍යාපෘතිය දේශපාලන කප්පමකි.
මේ වනවිට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය ද අවුලකය. ඒ සජිත්ට සහාය දිය යුතු බව සුමන්තිරන් පවසද්දී මාවෙයි සේනාධිරාජා එය අනුමත නොකරයි. හෙට අනිද්දා වනවිට මේවා නිරාකරණය විය හැකිය. එසේම උතුරේ නායකයන් කීපදෙනෙක් මේ වනවිට රනිල්ට ද සහාය පළකර සිටිති. දෙමළ ජනතාවට වැඩි යහපතක් කරන නායකයා ලෙස තීන්දු කෙරෙන කාට හෝ උතුරේ ඡන්ද හිමිවන බව අපට නිසැකවම කිව හැකිය.
ගාමිණි සුමනසේකර