ගව ගාලක් හදන්න පරිසර වාර්තාව දෙන්න ලක්ෂ 300 ක් ඉල්ලනවා – මහින්දානන්ද

206

එහෙම ඉල්ලා තිබේ නම් ඒ ආයතනය බ්ලැක් ලිස්ට් කරනවා – පරිසර ඇමැති අමරවීර

අක්කර 100 ක ගව ගාලක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර වාර්තාව ලබාදීමට එක් ආයතනයක් රුපියල් ලක්ෂ 300 ක් ඉල්ලා ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22 දා) ප‍්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අයකුගෙන් ලිඛිත හෝ වාචික පැමිණිල්ලක් ලැබී නැතැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.

ගව ගාලක් හදන්න පරිසර වාර්තාව දෙන්න ලක්ෂ 300 ක් ඉල්ලනවා - මහින්දානන්ද

සමගි ජනබලවේගය මන්තී‍්‍ර චමින්ද විජේසිරි මහතා විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසන ලද ප‍්‍රශ්නයකට ඇමැතිවරුන් දෙදෙනාම පිළිතුරු දීමට යෑමේදී මෙම කරුණු හෙළි වූ අතර එවැනි මුදලක් ඉල්ලා ඇත්නම් එම ආයතනය අසාදු ලේඛන ගත කරන බව ද පරිසර ඇමැතිවරයා කියා සිටියේය.

චමින්ද විජේසිරි මහතා – ඛනිජ වැලි කැණීම් සඳහා පරිසර වාර්තා ගත යුතුයි. ඒ සඳහා විශාල මුදලක් පරිසර අමාත්‍යාංශයේ ආයතන විසින් ලබා ගන්නා බවට චෝදනාවක් තිබෙනවා. කෘෂිකර්ම ඇමැතිවරයාත් ඒ ගැන කියනවා දැක්කා. එක් ව්‍යාපෘතියක් සඳහා අවසර ගන්න ලක්ෂ 300 ක් ඉල්ලනවා කියනවා අපි දැක්කා. මේක විශාල ගැටලූවක්.

මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම ඇමැතිතුමා කියපු කාරණය ගැන මම පැහැදිලි පිළිිතුරක් දුන්නා. පරිසර අමාත්‍යාංශයෙන් එවැනි මුදලක් අරන් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය තමයි ඒ අනුමැතිය ලබා දෙන්නේ. එම අධිකාරිය විසින් එවැනි මුදලක් අරගෙන නෑ කියලා අපිට වාර්තා කර තිබෙනවා. එහෙම පැමිණිල්ලක් ලිඛිතව හෝ වාචිකව ලැබී නෑ. ඒත් අපි අර මුදලක් ඉල්ලූවා කියලා කියන ආයතනය සොයානවා.

මධ්‍යම පරිසර අධිකාරිය එවැනි මුදලක් අය කරන්නේ නෑ. සුළු මුදලක් තමයි අය කරන්නේ. අනෙක මේ ප‍්‍රශ්නය විසඳලා තිබෙන්නේ. අපේ අමාත්‍යාංශය හෝ මධ්‍යම පරිසර අධිකාරිය පරිසර වාර්තාවක් හදන්න එවැනි මුදලක් අය කරන්නේ නෑ. පරිසර වාර්තාවක් හදන්න අපි සැලැස්ම දෙන එක විතරයි කරන්නේ.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා- අපි මහා පරිමාණ ගොවිපළවල් ඇතිකිරීමට ව්‍යාපෘතියක් සකස් කළා. ඒ සඳහා පරිසර අනුමැතිය අවශ්‍යයි. ඒ අනුව පරිසර අධිකාරියට ගිහින් අවසරය ඉල්ලන විට ඒ එක් ආයෝජකයකුගෙන් රුපියල් ලක්ෂ 300 ක් ඉල්ලලා තිබුණා. මහවැලි අධිකාරිය පමණක් ලක්ෂ 120 ක් ඉල්ලලා තිබෙනවා. දැනට ලක්ෂ 370 ක් ගෙවලා වසර දෙකහමාරක් පමණ වුණත් මේ වාර්තාව තවම ලැබිලා නෑ. අපි මේ ගැන කියන්න පරිසර අමාත්‍යාංශයට ගියා. අපි කියන්නේ මේක නිවැරදි කරන්න කියලා. මේ ඇමැතිතුමාගේ ප‍්‍රශ්නයක් නොවෙයි. නමුත් මේක නිවැරදි කළ යුතුයි.

මහින්ද අමරවීර මහතා – මේ වගේ ව්‍යාපෘතියකට නිවැරදි පරිසර වාර්තාවක් ලබාගන්න ඕනෑ. අපි පරිසර අනුමැතිය ගන්න අයැදුම්පත‍්‍රය පමණයි දෙන්නේ. ඒක අරගෙන ඒ අය රජයේ ආයතනයකට යන්න ඕනෑ. එහෙම ආයතන තිබෙනවා නම් අපි ඒවා අසාදු ලේඛනගත කරනවා.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා – අක්කර 100 ක ගව ගාලක් ඉදිකරන්න ලක්ෂ 300 ක් ඉල්ලනවා නම් ඒ සඳහා පරිසර අනුමැතිය ගන්න අවුරුදු තුනක් යනවා නම් ආයෝජකයෝ අපේ රටට එයිද? මේක නිවැරදි කළ යුතුයි. අපි එකතුවෙලා මේවා හදමු ඇමැතිතුමා.

චමින්ද විජේසිරි මහතා- මේ ලක්ෂ 300 ඉල්ලූවේ කවුද කියලා කියන්න. මේක අල්ලසක්.

මහින්ද අමරවීර මහතා – පරිසර පනතට මම සංශෝධනයක් ගේනවා. ඒකට සහයෝගය දෙන්න. අපි මේවා ප‍්‍රමාද කරන්නේ නෑ. රජයේ ව්‍යාපෘති සඳහා අපි නිකං වුණත් දෙන්න කැමතියි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment