ග්‍රහලොව රජුගේ අපල ගැන හඳුනාගනිමු

115

ග්‍රහලොව රජු වන රවි හෙවත් සූර්යයාට මහ දශාවක් වශයෙන් වසර 6ක් හිමිවේ. යම්කිසි කෙනෙකුගේ කේන්දරයේ පියා සම්බන්ධව නිවේදනය කරන ප්‍රබලම ග්‍රහයා රවිය.

රවි ග්‍රහයා, පුද්ගලයෙකුගේ ආත්ම ශක්තිය නිවේදනය කරයි.

රවි මහ දසාව ලැබුණුවිට පුද්ගලයාගේ සමාජ තත්ත්වය ඉදිරියට යයි. පුද්ගලයා තේජමාන පුද්ගලයෙක් වේ. රජයේ සමාජයේ හොඳ ස්ථාන ලැබේ. ඇත්ත වශයෙන්ම කිවහොත්

ග්‍රහ බලය අනුව පුද්ගලයා රජෙක් සමානව ජීවත්වීමට වරම් ලැබෙන්නේ ද මේ කාලයේදීය. මෙය ධනු ලග්නයේ ධර්මකර්මාධිපති රාජයෝගය යෙදී තිබුණේ නම් එසේම වේ.

රවිගේ සඳු අන්තර් දශාවේදී පිටපළාත්වල වාසය, අලංකාර නිවාස ලැබීම, යාන වාහන ලැබීම, එසේම විදේශ රටවල්වල සංචාරය සිදුවේ.

රවිගේ කුජ අන්තර් දශාවෙදි බලවත්ව පිහිටියොත් විවිධ කර්මාන්ත ශාලා අරඹන්නට ලැබීම, භූමි ලාභ, වාසනා ලාභ ලැබීම සහ බලවත් සහෝදරයන්ගේ උදව් උපකාර ලැබේ.

දුර්වලව සිටියොත් සතුරු කරදර, ආයුධවලින් විපත් සහ මුත්‍රාගල්, මුත්‍රා අමාරු ඇතිවිය හැක.

රවිගේ රාහු අන්තර් දශාවේදී, විදෙස් ගමන් තීව්‍ර වීම හදිසි ධන වාසනාව, ලොතරැයි ලැබීම ආදිය සිදුවේ.

අයහපත්ව නම් පියා සමග දබර, නීතියෙන් දඬුවම්, ලේ විෂවීම් ආදිය ඇතිවේ.

රවිගේ ගුරු අතුරු දසාව ඉතාම ශුභ කාලයකි. පදවි නිලතල ලැබේ. දේශපාලන ක්ෂේත්‍රවල සිටින අයට මැති ඇමති ධුර ලැබේ.

අයහපත්ව පිහිටා සිටියොත් යම් වෙලාවක උදරාබාධ හෝ ගෙඩි හටගැනීමට පුළුවන.

රවිගේ ශනි අන්තර් දශාව ඇත්ත වශයෙන්ම අශුභ කාලයකි. අයහපත්ව පිහිටා සිටියොත් ගින්නෙන්, විදුලියෙන් අනතුරු විය හැක. රවි – ශනි යෝගය එතරම් හොඳ නැත. මුදල් වැයවීම අයහපත, කනස්සල්ල, පවුල් සංස්ථාවේ විවිධ ප්‍රශ්න මේ ආදිය සිදුවේ.

පූර්වාචාරීන් සඳහන් කරන ආකාරයට මෙය ඉතාම නරක කාලයක් බව සඳහන්ය.

රවිගේ බුධ අන්තරය ඉතාම ශුභයි. ඉගෙන ගන්නා වයසේ අයට ඥානය දියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනවා සේම, බුද්ධිමත්ව කටයුතු කරන ප්‍රඥාව ලැබෙන කාලයයි. වැරදුණු ජීවිතය හරි මඟට එන කාලයයි.

විශේෂයෙන්ම සෙනසුරු අතුරු දසාවෙන් පසු ලබන බුධ අතුරු දසාව ඒ තරමට ම සුබයි.

රවිගේ කේතු අන්තරය, සැබැවින්ම සුබදායක නොවනු ඇත. මෙම තත්ත්වය නිසා මුත්‍රා අමාරු, එසේම ලේ කෝපවීමේ දෝෂ හටගැනීමට පුළුවන්. එමෙන්ම යම් යම් සිත තුළ මානසික ව්‍යාකූලතාවය ඇතිවෙන්න පුළුවන්.

රවිගේ සිකුරු අන්තරය ඉතාම ශුභයි. මංගල්‍යය සහිත කාලයක්, සියලුම සුබ කටයුතු මෙන්ම ප්‍රේම සබඳතා ඉෂ්ට සිද්ධ වීම, අධිසුඛෝපභෝගි ජීවිතයක් ලැබීම මේ කාලයේදී සිදුවේ.

කිසියම් ජන්මියකුට රවිගේ මහ දශාව ආරම්භ වූ කල ශුභ අශුභ ප්‍රතිඵල මිශ්‍රව ලැබීමට පුළුවන. ඒ ඒ ජන්මියාගේ ග්‍රහ පිහිටීම් අනුව ඉහත දැක්වූ ප්‍රතිඵල සුළු වශයෙන් වෙනස් වීමට පුළුවන. කෙසේ වෙතත් රවි මහ දශාව පවතිනවිට පූජා කළ යුතු මල් ලෙස මූණමල්, රත්නෙළුම් හා සියලුම රත්මල් පූජා කිරීමෙන් අපල දුරු කරගත හැක. තවද පද්මරාග පාෂාණය පැලඳීමෙන් අපල දුරුවේ. පැලඳිය යුතු යන්ත්‍ර ලෙස අඝෝරය, ශිව සූර්ය මණ්ඩලය, ශිව සිලම්බරිය, යහපත් වනු ඇත. ඉඹුල් වෘක්ෂයකට සාත්තු කිරීම ආවතේව කිරීම ගස ස්පර්ශය කිරීමෙන් රවි අපල දුරු කරගැනීමට හැකි වනු ඇත. ඔබට රවි අපල තිබේ නම් ඉහත ප්‍රතිකර්ම කිරීමෙන් ශුභ ප්‍රතිඵල ලබාගැනීමට හැකි වනු ඇත.

ග්‍රහලොව රජුගේ අපල ගැන හඳුනාගනිමු

ජ්‍යොතිෂවේදී සහ වාස්තුවේදී,
විද්‍යා කීර්ති ශ්‍රී විභූෂණ
ආචාර්ය එච්.ඩී. නුවන්දිකා ඌෂාන්ත්‍රි
076 641 3242


advertistmentadvertistment