අඩි 80ක් (මීටර් 25ක්) පමණ උසැති ගිනිදැල් සහිත ලැව් ගිනි 40ක් පමණ ග්‍රීසියේ ඇතන්ස් නගරය ආසන්නයේ පිහිටි මිනිස් ජනාවාස වෙත ශීඝ්‍රයෙන් පැතිර යමින් පැවතීම හේතුවෙන් නිවාස හා රෝහල්වලින් දහස් ගණනක පිරිසක් ඊයේ (12දා) දිනයේ ඉවත් කරගැනීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙන අතර තවත් විශාල පිරිසක් සිය නිවෙස් අතහැර පලා ගොස් තිබේ. දරුණු ලැව් ගිනි පැතිරෙමින් තිබීම හේතුවෙන් ග්‍රීසියේ ඇතැන්ස් අගනුවර ආසන්නයේ පිහිටි මිනිස් ජනාවාස පහක වෙසෙන සියලු වැසියන්ට සිය නිවෙස්වලින් ඉවත් වන ලෙස ග්‍රීක බලධාරීන් විසින් ඊයේ නියෝග කර ඇති අතර ‘පෙන්ටෙලි’ ප්‍රදේශයේ පිහිටි ළමා හා යුද හමුදා රෝහල් දෙකක් සම්පූර්ණයෙන් හිස් කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ගිනි නිවන හමුදා භටයන්ටද පාලනය කිරීම අසීරු වී ඇති මෙම දරුනු ලැව්ගිනි මැඬලීම සඳහා ග්‍රීක බලධාරීන් විසින් ගිනි නිවන හමුදා භටයන් 510ක්, ගිනි නිවන හමුදා රථ 152ක් හා ගුවන් යානා 29ක් යොදවාගෙන ඇති බව වාර්තා වේ. ලැව් ගිනි පැතිරීම පාලනය කිරීම සඳහා යොදවා ඇති ගිනි නිවන හමුදා භටයන් පෙරේදා දිනයේ ලැව් ගිනි 33ක් පැතිරීම පාලනය කිරීමේ කටයුතුවල නිරතව සිටි බව වාර්තාවේ. මෙම දිනවල ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 දක්වා ඉහළ ගොස් තිබීම හා පවතින සුළඟේ වේගය වැඩි වී තිබීම හේතුවෙන් පැතිරෙමින් පවතින ලැව් ගිනි කෙටි කාලයක් තුළ විශාල ප්‍රදේශයක් තුළ පැතිර ගොස් ඇති අතර මේ හේතුවෙන් නිවාස, ගොඩනැඟිලි මෙන්ම ගස් විශාල සංඛ්‍යාවක් විනාශ වී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. බුර බුරා පැතිර යමින් පවතින ලැව් ගිනි හේතුවෙන් එම ගිනි නිවීමේ කටයුතුවල නිරතව සිටින ගිනි නිවන හමුදා භටයන් කිහිපදෙනකුට සුළු තුවාල සිදුව ඇති අතර ගිනිවලින් නැඟෙන දුම ආශ්වාස කිරීමෙන් රෝගාතුර වූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ. මේ අතර නිවාඩුවක් ගත කිරීම සඳහා අගනුවරින් බැහැරව සිටි ග්‍රීක අගමැති කයිරියකොස් මිට්සොටාකිස් පවතින හදිසි තත්ත්වය සැළකිල්ලට ගෙන සිය නිවාඩු අවලංගු කරමින් ඇතැන්ස් නගරයට පැමිණ තිබේ. ඇතැන්ස් නගරය ආසන්නයේ පැතිරෙමින් තිබෙන ලැව්ගිනිවලින් නිකුත් වී ඇති දුම හේතුවෙන් අහස කළු පැහැ ගැන්වී තිබෙන බව ග්‍රීක මාධ්‍ය පවසයි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ