දවසේ පැය 24ම වාහන ඇතුල්වීම තහනම් කර ඇති ගාලු කොටුවේ අභිමානය වූ ප්‍රධාන ද්වාරය. 1796 න් පසු ඉංග්‍රීසින් විසින් කොටුව අත්පත් කර ගැනීමෙන් අනතුරුව අනාගතයට ද ඔරොත්තු දෙන ලෙස වාහන දෙකක් පහසුවෙන් හුවමාරු විය හැකි සේ ශක්තිමත්ව නිමවා ඇත.
වගකිවයුත්තේ ආණ්ඩුකාරවරයා ද රථවාහන පොලිසියද…
යුනෙස්කෝව විසින් ලෝක උරුමයන් ලෙස නම් කර ඇති අපේ රටේ ජාතික උරුමයන් අතර ආර්ථික සමාජ සංස්කෘතික හා දේශපාලනික වශයෙන් බලනවිට වටිනාම ලෝක උරුමය වන්නේ ගාල්ල කොටුවයි.
එහෙත් මේ වන විට ගාලු පුරවරයේ දේශපාලන අධිකාරියත් පොලිසියත් එක්ව ගාලු කොටුවේ වගකිවයුතු රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධානවලින් නොවිමසා ගෙන ඇති අත්තනෝමතික තීන්දුවක් මත ඒ ලෝක උරුමය අනතුරේ වැටී ඇති බව දන්නේ කීයෙන් කීදෙනෙක්ද…
අඩුම තරමින් ලංකාවේ වත්මන් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය තුසිත මෙන්ඩිස් මහතාවත් මා තොරතුරු පවසන තුරුම මේ ගැන දැනුවත් නැති ගාණය. යුනෙස්කෝව 1988 වර්ෂයේදී ගාලු කොටු පවුර ලෝක උරුමයක් ලෙස නම් කරනු ලැබුවේ ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා ඔවුන් තෝරා ගනු ලැබූ නිර්ණායක අතරින් හතරවන ප්‍රධාන නිර්ණායකය මුල් කරගෙනය. ඒ අන් කවරක් වත් නොව, 16 වැනි සියවසේ සිට පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ජනවර්ගයන්ට අමතරව ඉන් පසුවත් විවිධ ජනවර්ගවලට විවිධ ආගම්වලට හා විවිධ සංස්කෘතීන්වලට අයත් ජනප්‍රජාවක් ඉතාමත්ම සාමකාමීව අඛණ්ඩව ජීවත්වන බලකොටු නගරයක් ලෙස ඔවුන්ගේ තක්සේරුවට ගොදුරු වීමයි. දියුණු පුරාවිද්‍යාත්මක හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණවලින් හෙබි ඉපැරණි යුරෝපීය (ඩච්) නගරයක භෞතික ලක්ෂණ හා සැලසුම් ආරක්ෂා සහිතව තිබෙන ලොව සීමිත ස්ථාන ගණන අතරට වැටෙන වටිනාම නාගරික ඒකකයක් ලෙස ගාලු බලකොටු නගරය යුනෙස්කෝවේ ඇගයීමට ලක් විය. දකුණු ආසියාවේ පවතින අනෙකුත් බලකොටු නගර සියල්ල කාලයාගේ ඇවෑමෙන් ගරා වැටී ගියේය. ගාලු බලකොටු නගරයේ භෞතික සංස්කෘතිය හා මානව සංස්කෘතිය මැනවින් ආරක්ෂාවට ලක්විය. එහෙයින් එය තවදුරටත් පවත්වාගෙන යමින් සංරක්ෂණය කළ යුතු විය. ගාලු බලකොටු නගරයට ලෝක උරුම වටිනාකම් තක්සේරුව ලබා දෙනු ලැබුවේ ඒ අනුවය.
එහෙයින් ගාලු බලකොටු නගරයේ ගොඩනැඟිලි පද්ධතිය, භෞතික විද්‍යාත්මක ලක්ෂණ හා ජන ජීවිතයේ සංස්කෘතියට බලපාන්නා වූ යම් වෙනසක් සිදු කරන්නේ නම් ඒ සිදු කළ යුත්තේ එය නිරතුරුව සුරැකීමට ලක් කරන රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිර්දේශ මත පමණක් නොව, බලකොටු නගරයේ නිත්‍ය නේවාසිකව ජීවත්වන විවිධතා සහිත ජනප්‍රජාවේ ද අභිමතය ඇතිවය.
එහෙත් සිදුව ඇත්තේ කුමක්ද? කොටුව ඇතුලේ රථවාහන තදබදය විසඳා දෙන්නයි බලසම්පන්න හෝටල් ව්‍යාපාරික ආයතනයකින් ඉල්ලීමක් පැමිණියේය. ඒ ඉල්ලීම ජනාධිපති කාර්යාලය දක්වා ගියේය. මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙන්නැයි කියා නියෝගයක් දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට පැමිණියේය. ඔහු එම කටයුත්ත ගාලු පොලිසියේ රථවාහන අංශය වෙත භාර දුන්නේය. එහෙත් ඔහු එහිදී පොලිසියට වැදගත් උපදේශයක් දුන් බව අපි අමතක කළ යුතු නැත…
“මේ වැඩේ හරියට කරන්න. ආයේ නැවත නැවත වෙනස් කරන්න මගේ ළඟට උස්සන් එන්න එපා.”
එමගින් ආණ්ඩුකාරවරයා කියා තිබුණේ නිවැරදි හොඳම සැලසුම ක්‍රියාත්මක කරන්න යැයි කියා මිස හිතුවක්කාරයේ අඩුපාඩු සහිත දුර්වල සැලැස්මක් ක්‍රියාත්මක කරන්න කියා නම් නොවන බව ඕනෑම අයෙකුට පැහැදිලිය.
අවසානයේ සිදු වූයේ කුමක්ද. ගාලු කොටුව නම් ආසියාවේ සුවිශේෂීම ලෝක උරුමයේ ප්‍රධාන දොරටුවේ ප්‍රවේශ මාර්ගය වසා දමනු ලැබීය. කොටුවට ප්‍රවේශ වන සියලුම වාහන ගාලු කොටුව වම් කෙළවරේ පැරණි වරාය පැත්තෙන් පිහිටි ලන්දේසි ගේට්ටුවෙන් ඇතුළට ගත්තේය. කොටුව ඇතුලේ ප්‍රධාන මාර්ග තුන වන රැම්පාට් වීදිය, පල්ලිය වීදිය හා ලයිට් හවුස් වීදිය ඇතුළු සියලුම මාර්ග තනි පැත්තට යෑම සඳහා පමණක් නාමනය කළේය. පැරණි කුඩා ලන්දේසි ගේට්ටුවෙන් ඇතුල් වන සියලු වාහන කොටුව දෙපැත්තෙන් හා මැදින් ඉදිරියට ගොස් ප්‍රධාන දොරටුවෙන් පිටව යා යුතු විය.
සාමාන්‍යයෙන් කොටුව ඇතුලේ වාහන තදබදය වැඩි වන්නට ලොකුම හේතුව වූයේ ගාලු පුරවරයේ විශාල ප්‍රධානතම විද්‍යාල දෙකක් කොටුව ඇතුලේ ප්‍රධාන දොරටුවට හොඳින් පෙනෙන මානයේ මීටර් එකසිය පනහක් දුරින් ලයිට් හවුස් වීදියේ පිහිටා තිබීමයි. එකක් ගාල්ලේ ප්‍රමුඛතම බාලිකාව වන සවුත්ලන්ඩ් බාලිකාවයි. අනෙක ඕල්සෙයින්ට් පිරිමි ජාතික පාසලයි. එනමුත් පාසල් නිසා ඇතිවන තදබදය පාසල පටන් ගන්නට මත්තෙන් 6. 30 – 7. 30 අතරත් පාසල් අවසන් වන වේලාව වන පස්වරු 1.00 – 2. 00 අතරත් පැතිර පවතී. කොළඹ පාසල් සියල්ලෙහි වන්නේ අදාළ කාලය තුළ පමණක් එම පාරවල් වන්වේ කිරීමය. ගාල්ලේ රථවාහන පොලීසිය මොන තරම් ඉදිරියෙන්ද? ඔවුන් ගාලු කොටුවේ වන් වේ රථවාහන සැලැස්ම පැය 24ටම පනවා තබන්නට තරම් බුද්ධිමත්ය.
මේ රථවාහන සැලැස්ම නිසා ලන්දේසි දොරටුව ආසන්නයේ කඩ සාප්පු පවත්වාගෙන යන යම් පිරිසක් අමන්දානන්දයට පත්ව ඇති බව රහසක් නොවේ. ඒ අතර සංචාරකයන්ට විවිධ සේවා සපයන්නන්, නවාතැන් හා ආහාරපාන මෙන්ම යානවාහන සොයා දෙන තැරැව්කරුවන්, මඟ පෙන්වන්නන් යම්කිසි පිරිසක් සිටිති. පිටුපස ගේට්ටුවෙන් ඇතුළු වන සංචාරකයන්ට ඔවුන් කිසිසේත්ම තම පහසුකම් හා අවශ්‍යතා සඳහා ඉදිරිපස ප්‍රදේශයට එන්නට ඉඩ නොහරියි. මේ නිසා සංචාරකයන්ට නේවාසික පහසුකම්, ආහාරපාන සපයා සහ ඇඳුම් ආභරණ ආයිත්තම් අලෙවි කර කාලාන්තරයක් තිස්සේ ජීවිකාවකට හුරු පුරුදු වූ ඉදිරිපස පෙදෙසේ බහුතරයක් නේවාසිකයෝ දැඩි දුෂ්කරතාවකය. නේවාසිකයින් වුවත් ඔවුන් වැඩිදෙනා තම තම නිවෙස්වලම සංචාරකයන්ට නේවාසික, ආහාරපාන මෙන්ම වෙනත් පහසුකම් සපයන්නට පුරුදු වූ අය ය.
ඒ හැරුණු විට කොටුව නිත්‍ය නේවාසිකයින් බහුතරයක් අද පසු වන්නේ දැඩි අසහනයකය. ඊට හේතුව ඔවුන්ගේ බලකොටු නාගරික සරල සුන්දර අවිහිංසක ජීවන රටාවට මේ ඒකාකාරී රථවාහන සැලසුම් නිසා දවසේ 24 පැයේම අවහිරතා මතුව තිබීමයි.
මා පසුගිය ඉරිදා හවස් වරුවේ ගාලු කොටුවට ගොඩවී සඳුදා දවස පුරා ගාලු කොටුවේ සැරිසරමින් ජනතාව හමුවෙමින්, රාජ්‍ය හා පුරවැසි සංවිධාන හා ආගමික සංවිධානවලින් කරුණු විමසුවේ ඒ ගැන ඇත්ත නැත්ත කරුණු සොයන්නටය.
එහිදී ගාලු කොටුවේ නේවාසිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රසන්න අබේවික්‍රම මහතා අප හා කතා කළේය… ඔහු ගාලු උරුමය සංවිධානයේ ද පුරෝගාමී සාමාජිකයෙක්ව සිටි බැවින් මේ පිළිබඳ බොහෝ දේ දැන සිටියේය.
“ඇත්තෙන්ම මෙතන ලොකු ප්‍රශ්නයක් නෑ. පුංචි ප්‍රශ්නයක් ලොකු කරගෙන දීපු ලොකු උත්තරයක් විතරයි තියෙන්නේ. අපි මුලදී අපේ නේවාසික සාමාජිකයින් දහසක් පමණ දෙනා හමුවෙලා 2015 දී සැලැස්මක් හැදුවා රථවාහන හසුරුවන්න. අපි කිව්වේ ඇතුලට ගන්න වාහන එළියේ සීමා කරන්න. කොටුවේ නේවාසිකයින්ගේ වාහනවලට විශේෂ අවසර පතක් දෙන්න. සංචාරකයන්ගෙන් ටිකට් එකක් කඩලා යම් කළමනාකරණයකට අනුව ඇතුළට ගෙනත් නිසි පරිදි මාර්ග නීති ක්‍රියාත්මක කරන්න. ගෙවන්න කැමති නැති අයට සමනල පාලම ළඟ වෙනම පාක් එකක් හදන්න.
යූ ඩී එක කියනවා සාමාන්‍ය දවසකට වාහන 6000ක් විතර කොටුව ඇතුළට එන බවත් 6000ක් ඉන් පිටවන බවත්. ඉතින් මේක කළමනාකරණය කළ යුතුයිනේ. අපි හදලා දුන්නා ඊට හොඳ සැලැස්මක්. ඒක ක්‍රියාත්මක වුණේ නෑ. දැන් මේගොල්ලන්ට ඕන විදිහට හිතුවක්කාර සැලැස්මක් තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ සැලැස්මෙන් ප්‍රශ්න වැඩිවෙනවා මිසක් කිසිම තේරුමක් නෑ.”
ප්‍රසන්නගේ විග්‍රහය අනුව ගාලු කොටුවේ නිවාස 400 ක් පමණ තිබේ. නේවාසිකයන් නිවෙස් 200ක පමණ ජීවත් වෙති. වැඩි දෙනා ස්ථිර පදිංචිකරුවෝය. සංචාරකයින් ද නිවාස 100ක පමණ සිටිති.
ඉන් අනතුරුව අප හා කතා කළේ එම්. එස්. ඒ. චන්ද්‍රසිරි මහතාය. කොටුව නේවාසිකයෙකි. ගාලු උරුමය පදනමේ ද හිටපු සාමාජිකයෙකි…
“යුනිස්කෝව ලෝක උරුමයන් තියෙන රටවල් 193ක් නම් කරලා තියෙනවා. හැබැයි ඒවායින් නේවාසිකයින් අඛණ්ඩව ජීවත්වන උරුමයන් තියෙන්නේ ඉතාම අතලොස්සයි. මේක ප්‍රධාන එකක්. මේ වගේ තැන්වල තීන්දු තීරණ ගන්නකොට නේවාසිකයින්ගේ මතයට සාවධාන වීම, සංවේදී වීම ඉතාම වැදගත් කාරණාවක්. හැබැයි මං දන්න විදිහට මේ සැලසුම හදන්න කවුරුවත් අපේ ජනතාව එක්ක කතා කරලා නැහැ. අඩුම තරමින් දේශපාලන අධිකාරියෙන්වත් විමසලා නෑ කියලයි මම දන්නෙ. ඒක හරි කැත වැඩක්. මේක මීට වඩා ලස්සනට කරන්න නගරාධිපතිතුමා පියවර ගන්න ඕන. එතුමා ඒකාධිපතියෙක් නෙවෙයිනේ…”
අනතුරුව අප හා කතා කළ නීල් ප්‍රියන්ත සිරිතුංග කොටුවේ නේවාසිකව සිටිමින් කොටුවෙන් පිට ස්ථාන කීපයක ව්‍යාපාර කටයුතු කරයි. දිනකට හත් අට වතාවක් ඒ සඳහා පිටට යයි. ඇතුළට එයි. ඔහු කතා කළේ ඔහුට ඇති දුෂ්කරතාවය ගැනය.
“මේක නම් කාටවත් ප්‍රයෝජනයක් නැති පිස්සෝ කරපු පිස්සු වැඩක්. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වෙලා තප්පර ගාණෙන් ගෙදරට ආපු මම මගේ කාර් එකේ කොටුව වටේ වටයක් ගිහින් ගෙදරට එන්න වෙලා. පාරක් දෙපාරක් නං කමක් නෑ. මගේ ව්‍යාපාර කටයුතුවලට මම නිතර ගෙදරින් එළියට යන්නම ඕන. මගේ නෝනත් එළියට යන්නම ඕන. හැබැයි ඒ හැම වතාවකම ගිහිල්ලා රවුමක් පෝලිමේ එන්න වෙනවා. ඒ එන්නේ පාරවල් හරියට දන්නේ නැති සංචාරකයින් එන පෝලිමේ. මොනතරම් පීඩාවක්ද කියන්නකෝ. ඉස්සර අපේ නෑයො බස් නැවතුමෙන් බැහැලා ත්‍රීවිලරයකට රුපියල් 200ක් දීල ආපු එක දැන් වන්වේ වටයක් ගහන්න වෙලා නිසා රුපියල් 600කට වැඩි වියදමක් යනවා. දැන් නෑයො ගෙදරට එන්නේ නෑ.
ට්‍රැෆික් තියෙන දවස් තියෙනවා. සති අන්තවල දේශීය සංචාරකයොත් විශාල වශයෙන් එන්න පුරුදු වෙලා ඉන්නවා මේ පාර දිගේ තියෙන කොටු බැම්මට. ඒක තමයි ලංකාවෙ ඉර බහිනවා ලස්සනටම බලන්න තියෙන හොඳම තැන. ඊළඟට ඉස්කෝලෙ වෙලාවල්. මෙන්න මේ වගේ වැඩි තදබදයක් සහිත වෙලාවල් කළමනාකරණය කරලා නිසි විසඳුමක් දුන්නනම් අපට පීඩාවක් නෑ. හැබැයි දැන් වෙලා තියෙන්නේ දවසේ පැය 24ම අපි මේ දුක විඳින්න ඕන එක.”
ඒ අතර අපට හමු වූ කිංස්ලි සුදත් තමන්ගේම නිවසේ සංචාරකයින්ට ආහාර හා නේවාසික පහසුකම් සපයන ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නේ 2012 පමණ සිටය. ඔහුගේ විග්‍රහය අන් ඒවාට වඩා වෙනස්ය.
“මේක ගාලුකොටුව. ලංකාවේ වටිනාම ලෝක උරුමය. මේක බලන්න සංචාරකයෝ පිටරට ඉඳලා දැනුවත්ව එනවා. හැබැයි දැන් එන සංචාරකයන්ට මේ ලෝක උරුමයේ ඉස්සරහ පැත්තෙන් ඇතුල්වන්න තහනම්. පයින් යනවා නම් පුළුවන්. ඒ උනාට සංචාරකයෝ එන්නේ පයින් නෙවෙයි නේ. ඒගොල්ලෝ වාහනවල නැගලා පෝලිමේ ඉඳලා අවදානම් සහිත පස්ස දොරකඩින් ඇතුළු වෙලා තමයි ඉස්සරහට එන්නේ.
ඔන්න එතකොට සංචාරකයින්ගේ ඔලුව කන්න පිටිපස්සෙ ගේට්ටුව පැත්තෙ සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි එහාට මෙහාට සංචාරකයෝ යොමු කරවන්නේ. අන්තිමේ ඒ හරියේ ඉන්න ව්‍යාපාරිකයන්ට හෝටල්වලට බිස්නස් හොඳයි. හැබැයි ඒ අය අපි ඉන්න පැත්තට, ඒ කිව්වේ ප්‍රධාන දොරටුව පැත්තට එන්නේ කොටුවෙන් පිටවෙලා යන්න විතරයි. ඉතින් මේක සාධාරණද?
ඉස්සර නම් සංචාරකයා ප්‍රධාන දොරටුවෙන් ඇතුලට ඇවිල්ලා තමන් යන්න ඕන පැත්ත තෝරගෙන ප්‍රධාන පාරවල් තුනට බෙදිලා යනවා. කාටවත් ප්‍රශ්නයක් නෑ. එයාලා අනිවාර්යෙන් ලයිට් හවුස් එක බලන්න, විවිධ ස්මාරක බලන්න, කොටුවේ පිටුපස තාප්පෙ පැත්තෙන් මුහුද බලන්න පසුපසට යනවාම තමයි. එතකොට හැම කෙනෙකුටම බිස්නස් බෙදිලා යනවා. දැන් මේ ප්‍රධාන දොරටුව පැත්තේ ඉන්න ව්‍යාපාරිකයින්ට ව්‍යාපාර ස්ථාන වහල දාල යන්න වෙලා…”
කිංස්ලි කියන ආකාරයේ ඉරණමකට මුහුණ දුන් අයෙකු අපට හමුවිය. හේ නමින් ශාමෙල් අලහදීන්ය… ලයිට් හවුස් වීදියේ සංචාරකයින්ට වටිනා මැණික් ආභරණ හා විසිතුරු ආයිත්තම් විකුණන ව්‍යාපාරයක් කරගෙන යන ඔහුගේ කතාව තවත් වෙනස්ය.
“මේ කොටුව ඇතුලේ අපි වගේ ව්‍යාපාර කරන අය ගොඩක් ඉන්නවා. වැඩි දෙනෙක් ඉන්නෙ කුලියට ගත් කඩ කාමරවල කුලී ගෙවාගෙන රජයට බදු ගෙවාගෙන, වරිපනම්, සේවකයන්ට පඩි නඩි ගෙවාගෙන ලොකු වියදමක් කරලා. මෙහෙම ගියොත් මේ ව්‍යාපාර අපට වහල දාන්න වෙන්නේ. මේ සැලැස්ම නිසා සංචාරකයෝ දැන් මේ පැත්තට එන්නෙම නැති වෙලා. හරිම අසාධාරණයි. අපි හුඟක් වියදම් කරලා මේ ආභරණ ආයිත්තම් හදන්නේ. මේක කර්මාන්ත සමග බද්ද වුණ ව්‍යාපාරයක්. මේ මැණික් ආභරණ හරි වටිනවා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මට වගේ අසාධාරණයක් මෙච්ච හුඟක් අය මේ වීදියේ ඉන්නවා…”
එවැනිම තවත් ව්‍යාපාරිකයෙක් අපිට හමුවූයේ ප්‍රධාන දොරටුව පෙනි පෙනී තිබෙන ස්ථානයකය. ඔහු නමින් මුලාෆර්ය. මුලාෆර් කළේ ද මැණික් ආභරණ ආයිත්තම් සාප්පුවකි. පටන් ගෙන මාස තුනකි. ඔහුගේ යටතේ සේවකයෝ විස්සක් පමණ වැඩ කරන සාප්පු සංකීර්ණයකි. ඉදින් දැන් ඔහු කුමක් කරන්නේදැයි අපෙන් විමසයි…
ඔහු වැනිම ඉරණමකට මුහුණ දුන් තවත් අයෙකු වූයේ චිරත් ද සිල්වා ය. ගාල්ල කොටුවේ ඇති පැරණිම තේ කඩය ඔහුගේය. ලයිට් හවුස් මාවත ආරම්භයේම අවන්හලක් කරන ඔහුගේ වත්මන් ප්‍රශ්නයටද මේ ක්‍රමය යටතේ විසඳුමක් නැත්තේය.
ගාලු කොටුවට නිරතුරුව එන්නේ සංචාරකයෝම පමණක් නොවේ. විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන එය ඇතුළාන්තයේ පවතී. රාජ්‍ය බැංකු වන මහජන බැංකුව, ලංකා බැංකුව ඇතුළු වාණිජ බැංකු ද කීපයකි. ප්‍රධාන වශයෙන් කතෝලික පල්ලි කීපයකි. මුස්ලිම් පල්ලියකි. ප්‍රධාන පන්සලකි. ලංකාවේ සියලුම ආගමික ස්ථාන ඒ ඇතුලේ තිබේ.
ගාල්ලේ ප්‍රධාන උසාවි සංකීර්ණය ඇත්තේ ද කොටුව ඇතුලේ එහා කෙළවරේය. මේ දිනවල දිනපතා යුක්තිය පතා ඇදී එන සාමාන්‍ය ජනතාව බොහෝය. බැංකුවලින් ගනුදෙනු කරන්නට එන ගනුදෙනුකරුවන් ද සුළුපටු නැත. ඒ හැරුණවිට කොටුවේ තවත් මූල්‍ය ආයතන රැසකි. ඒවට එන ගනුදෙනුකරුවන්ගේ මැසිවිලි නිමක් නැත.
ගාල්ලේ ආරක්ෂක මර්මස්ථානය වූ යුද හමුදා කඳවුර ඇත්තේද ගාල්ල කොටුව රැම්පාට් වීදිය පටන් ගන්නා තැනය. හමුදා කඳවුරේ නිලධාරීන් හා සෙබළුන් ප්‍රධාන ගේට්ටුවේ වම් පස තම හමුදා කඳවුර පෙනි පෙනීම මේ වන්වේ සීමාව නිසා රවුමක් ගොස් වටයක් කැරකී කඳවුරට ඒමම මහත් වධයකි. කිලෝ මීටර් දෙකක් පමණ අමතරව වාහනවල ඉන්ධන පිච්චෙන්නේ මේ අමන මාර්ග සැලසුම් ක්‍රියාන්විතය නිසා නොවේදයි ඔවුහු අසති.
ලස්සනම කතාව කීවේ මහජන බැංකුවේ තතු දන්නා කිට්ටුවන්තයෙකි. ඔහුට ආයතන සංග්‍රහයන්ට අවනත වීම නිසා නම හෙළි කළ නොහැකිය.
“මේක තමයි මහජන බැංකුවේ ප්‍රධාන ආයතනික ශාඛාව මුළු දිස්ත්‍රික්කයටම සල්ලි බෙදා හරින. ඉතින් මේ සල්ලි අරන් යන වාහන රක්ෂණය කරලයි තියෙන්නේ. රක්ෂණය කරනකොට යන එන මාර්ගය ලිඛිතව රක්ෂණ සමාගමට ලබාදිය යුතුයි. දීලා තියන පාර තමයි ප්‍රධාන දොරටුවේ හරහා රැම්පාට් වීදිය ඔස්සේ වෙනදා යන එන පළපුරුදු පාර. නමුත් දැන් අපේ මුදල් අරන් යන එන වාහන යන්නේ හා එන්නේ වෙනම පාරක. එහෙම පිටපාරක ගිහිල්ලා වාහනවලට මුදල්වලට කරදරයක් වුණොත් රක්ෂණ හිමිකම් අහිමිවනවා.
ඕක තමයි බැංකුවට තියෙන ලොකුම ප්‍රශ්නය. වටයක් ගහලා බැංකුවට එන්න ඕන නිසා ගනුදෙනුකරුවෝ වෙනත් බැංකු හොයාගෙන යනවා. පැන්ෂන් සල්ලි ගන්න එන වයසක උදවියට රුපියල් 200 දෙසීයක් වෙනුවට දැන් 800ක් විතර ටැකිසිවලට ගෙවන්න වෙලා….” ඒ බැංකුව පැත්තෙන් ඇසුණු ශෝකාලාපයයි.
ගාලු කොටු පවුරේ ප්‍රධාන දොරටුවේ සිට බලන විට මීටර් එකසිය පනහක් දුරෙන් ගාල්ලේ තිබෙන ප්‍රධානම පාසල් දෙකක් තිබේ. එකක් සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයයි. අනෙක ඕල්සෙයින්ට් පිරිමි ජාතික පාසලයි. බොහෝ දෙනෙකු චෝදනා කරන පරිදි සතියේ දිනවල උදේ හත අට වෙලාවේත් හවස දොළහ දෙක වේලාවේත් කොටුවේ රථවාහන තදබදය වැඩි වන්නට මූලික හේතුව මේ පාසල් දෙකයි. පාසල් දරුවන් කලට වේලාවට පාසලට ගෙනත් දමා රාජකාරී සඳහා පිටත්ව යන්නට යුහුසුළු වන දෙමව්පියන්ද රථවාහන තදබදය නිසා විඳින දුෂ්කරතාවයක් තිබේ. ඒ සියල්ලට විසඳුමක් දෙන්නට යෝජනාවක් හිටපු නගර සභා මන්ත්‍රීවරයකු මෙන්ම මෙවර සභා අපේක්ෂකයකු වන නාමන් ගුණවර්ධන සතුය. රැම්පාට් වීදියේ කුඩා හෝටලයක් අවන්හලක් පවත්වාගෙන යමින් ව්‍යාපාරිකයකු ලෙස ද කටයුතු කරන නාමෙන් කියන්නේ පාසල් සඳහා ළමුන් ගෙන එන වාහන සියල්ල කොටු බැම්ම අසලින්ම නතර කළ යුතු බවකි.
“අම්මල තාත්තලා උත්සාහ කරන්නේ ළමයව වාහනෙන් පන්ති කාමරයටම ගෙනල්ලා ඇරලන්න. එතකන් වාහනය ඇතුලේ ළමයා එන්නේ නිදාගෙන. ඊට වඩා හොඳ නැද්ද ළමයව කොටු බැම්ම ප්‍රධාන දොරටුවෙන් බස්සලා මේ මීටර් එකසිය පනහ පයින් එවන එක. මේ රථවාහන තදබදයෙන් සියයට පනහක් එතනින් ඉවර නැද්ද… ඕක නේද කරන්න ඕන. ඕක නැතුව දැන් වෙන වෙනම විසඳුම් හොයනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද දන්නවද. කවද හරි ගාල්ලට මෙච්චර ප්‍රතිලාභ ලැබෙන ලෝක උරුමයෙනුත් අපිව අයින් කරන එක… දැනටමත් ප්‍රශ්න ඇතිවෙලා.”
අපි ගාලු උරුමය පැත්තටත් ගියෙමු. රැම්පාට් වීදිය පටන් ගන්නා තැන උස් කඳු ගැටයක් මත සුන්දර ස්ථානයක ලන්දේසි ගොඩනැඟිල්ලක ගාලු උරුමය කාර්යාලය පිහිටා තිබේ. එහෙත් එහි කිසිවෙකුත් මාධ්‍යයකට කතා කරන්නට ඉදිරිපත් වූයේ නැත. ඔවුන් සුහදව අපේ ආරාධනාව ප්‍රතික්ෂේප කළේය. සභාපතිවරයා අමතන මෙන් කීවේය. සභාපතිවරයා කාර්යාලයේ නොවීය.
ගාලු උරුමය සම්බන්ධයෙන් මට ඇසිය යුතු ප්‍රශ්නයක් තිබේ. ඒ වූ කලී ගාලු කොටුවේ ලන්දේසි දොරටුව පිළිබඳ ප්‍රශ්නයයි.
“කවුරු හැදුවත් මේ තිබෙන රථවාහන සැලැස්මට අනුව දිනපතා කොටුවට පැමිණෙන 6000ක් පමණ වූ වාහන තොගය දැන් ඇතුල් කරන්නේ පිටිපස්සේ තියන ලන්දේසි දොරටුවෙන්. ඒක අවුරුදු 456 කට වඩා පරණයි. හදලා තියෙන්නේ අළුහුණු මැටි සහ වැලි මිශ්‍රණය බදාමය කරගත් හුණුගල්වලින්. මෙපමණ වාහන සංඛ්‍යාවක් ඇතුළු වන විටදී ඇති වන දෙදරුම් කෑම නිසා ආරුක්කුවේ හුණු බදාම සවිවරවලට අනතුරක් නෙවෙයි කියලා දෙන්න පුළුවන් සහතිකය මොකක්ද…
ඇයි ඉංග්‍රීසින් විසින් පසුකාලීනව කොන්ක්‍රීට් යොදා තනාපු යන්න එන්න දෙකටම හොඳට ඉඩ තියෙන දොරටුව අත ඇරලා මේ වගේ අවදානම් සහිත කුඩා ගේට්ටුවකින් වාහන ඇතුළු කරන්නේ. ගාලු උරුමයට වගකීමක් නැද්ද ඒ ගැන…”
“ඕක ගිහිල්ලා අහන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්. එයාලා තමයි ඕක ගැන කටයුතු කරන්න ඕන…” එතන සිටි නිලධාරි මහත්මා අපට කාරුණිකව කියා සිටියේය.
අපට එම ප්‍රශ්නයට උත්තරය ඉතාමත්ම වැදගත් විය. කොටුවේ ප්‍රශ්න ගැන අන් සියලුම දෙනා දැක්වූ කරුණුවලට වඩා වැදගත්ම කරුණු ඇත්තේ එතනය. මන්ද ලෝක උරුමය තවදුරටත් ගාල්ලට ලබාදෙනවාද නැද්ද කියා තීරණය කරන යුනෙස්කෝ කමිටුව ලබන සැප්තැම්බරයේ ලංකාවට පැමිණෙයි. මෙම කාරණාව ඔවුන්ගේ අවධානය තදින් පැහැර නොගනී යයි කිව හැක්කේ කාටද…
වැලි මැටියෙන් හා හුණු බදාමයෙන් තැනූ යාන්තමින් එකවරකට එක වාහනයක් පමණක් යා හැකි අවදානම් සහිත අවුරුදු 456ක් පැරණි ආරුක්කුවක් සහිත දොරටුවකින් මෙවන් තරමේ විශාල වාහන තොගයක් ඇතුළු කර ගැනීමක් ගැන ඒ නියෝජිතයෝ උරණ වනවා නිසැකය. මන්ද ඔවුන්ට පුරාවිද්‍යාව හා භෞතික විද්‍යාව යන දෙකම ගැන හොඳ අවබෝධයක් තියෙන නිසාය.
සැහැල්ලු වාහන ගියාට කමක් නෑ. බරවාහන යන්නේ නෑ කියා තර්ක කරන පිරිසක්ද ඔය අතර සිටිති. මීටර් තුනහමාරට වඩා උසින් වැඩි ටොන් පහට වඩා බරින් වැඩි සියලු රථවාහන මේ ගේට්ටුවෙන් ඇතුල් කිරීම තහනම් බව කියන පුවරුවක් ද ගේට්ටුව අබියස ගසා ඇති බව ඇත්තය. ඒත් කොටු පවුර ඇතුළාන්තයේ පවතින ඉන්ධන පිරවුම් හල සඳහා ඉන්ධන පුරවාගෙන දිනපතා එන බවුසරයේ බර ටොන් පහට වඩා අඩුවේ යැයි තර්ක කළ හැක්කේ කාටද.
කොටුව ඇතුලේ ඇත්තේ සමුපකාරයට අයත් ඉන්ධන පිරවුම් හලක් බැවින් රජයේ වාහනවලට තෙල් ලබා ගන්නේ එතනිනි. ඒවා පමණක් නොව, පාරේ දුවන ටාටා, ලේලන්ඩ් බස්වලට ද එම ඉන්ධන හල ඉන්ධන සපයයි. ඒවා ද යන්නේ ඔය ගේට්ටුවෙනි. දිනපතා උසාවියට නඩු කටයුතු සඳහා ඉදිරිපත් කරන්නට ගෙන එන චූදිතයින් රැගත් බස් රථ එන්නේ ද මේ ගේට්ටුවෙනි. එපමණක් නොවේ, යුද හමුදා කඳවුරට අයත් සෙබළුන් පටවා ගත් ට්‍රක් රථ මේ දොරටුව ඔස්සේ කී වරක් නම් එහෙ මෙහෙ යනු ඇත්දැයි ගමන් බලා තිබේද…
ඉතින් ලෝක උරුමය රැක ගැනීම කවර නම් කතාවක්ද. මේ බැව් ආරංචි වුවහොත් නිසැකවම ලෝක උරුමය පිළිබඳ රතු වාර්තාවක් ගාල්ල කොටුව සම්බන්ධයෙන් ලියා තබන්නට සැප්තැම්බරයේ පැමිණෙන උගත් කමිටුව තීරණය නොකරනු ඇතැයි කිව හැක්කේ කාටද…? ඒ ප්‍රශ්නය ඇසිය යුත්තේ දකුණේ ආණ්ඩුකාරයාගෙන්ද එසේත් නැත්නම් ගාලු දිසාව භාර පොලිස් ප්‍රධානියාගෙන්ද කියා ඔබ කීරණය කළ යුතුය.
ගාලු උරුමයේදී හමු වූ පුද්ගලයාගේ යොමු කිරීම මත මාගේ ප්‍රශ්නයට උත්තරයක් ගන්නට ගාල්ල කොටුවේ පුරාවිද්‍යා ප්‍රාදේශීය කාර්යාලයේ අධ්‍යක්ෂවරිය හමු වන්නට ගියෙමි. පත්තරෙන් යැයි කිව් පමණින්ම භය බිරාන්ත වූ නිලධාරීන් කිසිවෙකුත් උත්තරයක් දෙන්නට ඉදිරිපත් නොවූහ.
“නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ගෙන් තමයි අහන්න ඕන. එතුමිය අද නැහැ. ිසපචදිසමප එකකට කොළඹ ගිහින්… එතුමිය නැතුව මොනවාවත්ම කියන්න අපිට බැහැ.”
ඊළඟට මම කළේ වසන්තා අලහකෝන් නම් නියෝජ්‍ය අධ්‍යක්ෂවරියගේ දුරකථන අංකය සොයාගෙන ඇයට ආමන්ත්‍රණය කිරීමයි.
“ඕක අහන්න අපේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගෙන්. මට නම් ඕකට උත්තරයක් දෙන්න විදිහක් නෑ. එතුමා අවසර දුන්නොත් මම කියන්නම්…” දුරකතනය විසන්ධි විය.
ඇයගේ උත්තරය එය වූ නිසා මම ඉන් අනතුරුව කළේ දුරකථන අංකය සොයාගෙන මීට මාස කීපයකට පෙර තනතුරට තේරී පත්ව ආ නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාට කතා කිරීමයි. ආචාර්ය තුසිත මෙන්දිස් මහතාගේ කාරුණික කටහඬ අනික් කෙළවරෙන් ඇසෙන්නට විය. එහෙත් මට සැකයක් ඇති විය. ඒ කතා කළේ ඇත්තටම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාද? ඒ ඔහුම නම් ඔහුගේ රාජකාරියට ශක්තිය සපයන පුරාවිද්‍යා පනතෙන් ඔහුට හිමි බලතල ගැන ඔහු දැනුවත් නැතිදැයි මට සැකයක් මතුවිය.
“ඒ ලන්දේසි ගේට්ටුවෙන් දවසකට ඔය රථවාහන සැලැස්මට අනුව වාහන හයදාහක් පමණ ඇතුළුවන බව යූ ඩී එක කියනවා. එසේ වන බව ඔබ දන්නවාද… මේ වගේ පරණ ආරුක්කුවකට එම කම්පනය දරා ගත හැකිද…?
“ඔබ ඔය කියනකම් මම ඒ ගැන දැනුවත් නෑ. මට ගාල්ලෙන් දන්වලා නෑ. දැන් මම කමිටුවක් පත් කරලා ඔය පැමිණිල්ල ගැන පරීක්ෂණයක් පවත්වන්නවා. ඒ පරීක්ෂණය කරලා මම ඔබේ ප්‍රශ්නයට උත්තර දෙන්නම්…”
“රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙලා මාසයක් වෙනවා. ප්‍රාදේශීය කාර්යාලයෙන් එය ඔබට දන්වා නැහැ කියන්නේ එතන සිටින නිලධාරිනිය හරියට රාජකාරිය කරලා නෑ…”
එතුමන් ඒ ප්‍රශ්නයට ලබා දුන්නේ කලින් දුන් උත්තරයටම ආසන්න උත්තරයකි. ප්‍රශ්නය හරියාකාරව සොයා නොබලා උත්තර දිය නොහැකි යැයි ඔහු කීවේය. බලසම්පන්න අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය පිණිස විෂය කාරණයක් යොමු කළ සතුට පමණක් සිතෙහි දරාගෙන මම ඒ දුරකථන සංවාදය අවසන් කළෙමි.
ඉන් අනතුරුව මට හමුවූයේ ගාල්ල කොටුව ගැන අතැඹුලක් සේ දැන සිටි තරුණ පුරාවිද්‍යා රසිකයකි. විද්‍යාර්ථියෙකි. හේ තරංග ලියනාරච්චිය… අවසානයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙනුත් උත්තරයක් නැති වූ ප්‍රශ්නය මට ඔහුට ඉදිරිපත් කරන්නට සිදුවිය.
“ඔය දීපු රථවාහන සැලැස්ම හොඳම එක කියලා මම පිළිගන්නේ නෑ. අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි මොකවත්ම සිද්ධවෙලා නොතිබුණ වෙලාවක මෙහෙම හරි යම් කිසි සැලැස්මක් ඉදිරිපත් කරන්න ක්‍රියා කිරීම හොඳ ආරම්භයක්. හැබැයි මේක හොඳම එක නෙමෙයි. අඩුපාඩු අපි පස්සේ හදාගමු.
මම දන්නවා පිටිපස්සේ ඩජ් ගේට් එක පාවිච්චි කිරීමම ලොකු ප්‍රශ්නයක්. ඒක අපි නතර කරගන්න ඕනා.
පළමුවෙන්ම අපි කරන්න ඕන කොටුවට එන වාහන ටික ඔහේ එන්න දීලා ඒ ටික කළමනාකරණය කරන්න සැලැස්මවල් හදන එක නෙවෙයිනේ. පළමු කාරණාව තමයි අපි ඉස්සෙල්ලාම කොටුවට එන වාහන ප්‍රමාණය සීමා කිරීමට හොඳම සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි.
අපි කොටුවට එන වාහනවලින් 60%ක් අඩු කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? ලොකුම වාහන තදබදය තියෙන්නේ ඉස්කෝල දෙක සම්බන්ධයෙන් නම් අපි එතනින් පටන් ගන්න ඕන. හොඳට බලන්න කොටුව මේන් ගේට් එකේ ඉඳලා. කෙලින්ම ලයිට් හවුස් පාරේ ඉස්කෝලෙ දෙකම පේනවා. ඇයි මොකද වෙන්නේ තමන්ගෙ දරුවාව එතනින් බස්සලා බෑග් එක කරේ එල්ලලා පයින් ඉස්කෝලෙට යැව්වාම. මීටර් එකසිය පනහක් තියෙයි. ළමයා ප්‍රබෝධවත්ම පරිසරයට මුහුවෙලා ආසාවෙන් පාසලට යනවා. ඒකෙන් කොටුවට ඇතුල් වන වාහන 2500ක් අඩුවෙන්නෙ නැද්ද. දවල්ට සැලසුමක් ඇතුව ඇවිත් ළමයින්ව වාහනවලට ගන්නවා. වාහන යවන්නේ නෑ. ළමයා පයින් එළියට එනවා. පොලිසිය ඒ සම්බන්ධයෙන් නිසි ආරක්ෂාව සපයනවා. මේවා කරන්න බැරි වැඩ නෙවෙයි.
දෙවෙනි එක තමයි කොටුව ඇතුලෙන් කොටුවේ තියෙන ෂෙඩ් එක ඉවත් කරන එක. ඒත් එක්කම කොටුව ඇතුළට එන බරවාහන 90%ක් එන එක නතර වෙනවා. උසාවි සංකීර්ණයත් පිට තැනක වෙනම හැදෙන නිසා ඒ ප්‍රශ්නයත් වැඩිම උනොත් තව අවුරුද්දක් තියෙයි. ඔන්න ඔය වගේ පිළිවෙළට සැලැස්මක් අනුව වැඩ කළොත් දැන් ඔය ඇතිවෙලා තියෙන ප්‍රශ්න එකක්වත් ඇතිවෙන්නෙ නෑ. මම හිතන්නේ මේක හොඳට ප්ලෑන් කරලා සාකච්ඡා කරලා කළයුතු වැඩ. නිවැසියන්ගේ සහයෝගය අවශ්‍යයි. කාටවත් තනියම වැඩක් කරලා හොඳම දේ එළියට දෙන්න බෑ…”
තරංග සමග බොහෝ දේ කතා කරන්නට තිබුණත් ඉඩකඩ ප්‍රශ්නයක් වූ බැවින් තවත් දිනයක වැදගත් දේ රැසක් කතා කරන්නට ඉඩ තබාගෙන ඔහු හා කතාව හා එතකින් අතර කළෙමි.
අවසාන වශයෙන් ගාලු ලෝක උරුමය සම්බන්ධයෙන් බරපතළ වැරදීමක් සිදුවී තිබෙන බව බලධාරීන් පිළිගත යුතුය. ඒවාට නිසි විසඳුම් සොයා ගත හැකි වන්නේ එවිටය. වරද කාගේ වුවද දැන් ඒ වරද සිදුවී හමාරය. ආණ්ඩුකාරයා නොව, ජනාධිපති කළත් වරද වරදමය. දෙවනුව නිලධාරීන් ඔවුන්ගේ වගකීම තේරුම් ගත යුතුය. වගකීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පටන් ගාල්ල කොටුව පුරාවිද්‍යා කාර්යභාරය ඉටුකරන ආයතනයේ සුළු සේවකයා දක්වාම තමන්ට හිමි වගකීම සුළු පටු නොවන්නා සේම ඒ සම්බන්ධයෙන් තමන්ට ඇති බලයද සුළුපටු වන්නේ නැත. වරද ඇත්තේ ඔවුන් ඒ බලසම්පන්න පුරාවිද්‍යා පනත තුළ සැඟව ඇති බලය පිළිබඳ හරි තක්සේරුවක නොවීමයි.
ඇත්තටම එය එසේද… නැත්නම් දේශපාලන අධිකාරිය විසින් කරනු ලබන ඕනෑම වරදක්, ඔවුන්ට හරි වැරැද්ද කියාදී වරද නිවැරදි කරනවා වෙනුවට තම තනතුර පමණක් රැක ගන්නට නිලධාරීන් අහක බලා සිටීමේ නිවට නියාලු පුරුද්දදැයි කියා මට වටහාගත නොහැක.
බුලිත ප්‍රදීප් කුමාර