ගාලු ගියත් ඇස නොගැටෙන රස කතා සාගරයේ ගිලුන හිරු ගල් දෙවොල

670

ඉතිහාසයේ නමැති පාර දිගේ ඇවිද යෑම සිතට හරි අපූරුය. තබන තබන අඩියක් පාසා කුහුල දනවනසුලූය. ඓතිහාසික බවින්ද පරිසර සුන්දරත්වයෙන් ද අඩුවක් නැති කොග්ගල ගුවන් තොටුපළට යාබදව පිහිටි හිරු ගල් දේවාලය අතීතය දිගේ ඇවිද යන්නෙකුට දැනුම් සම්භාරයක් ගත හැකි අපූරු තෝතැන්නක්ය. කොග්ගලට නුදුරෙහි කතළුව පන්සලේ තිබෙන ලංකාවේ පැරණිතම මුද්‍රණ යන්ත‍්‍රය දැක ගැනීමට ගිය ගමනේදී හිරුගල් දේවාලය දැක ගැනීමට සිතක් පහළ වූයේ එහි නිදන්ව ඇති කුහුල දනවන අතීත කතා කනින් කොණින් අසා ඇති නිසාය. හිරු ගල් දේවාලය ගැන මුල්ම කියවීම කොග්ගල මහා ප‍්‍රාඥයාගේ තුන් ඈඳුතු නවකතාවේ ආරම්භක පරිච්ඡේදයේම ඇති පරිසර වර්ණනාව බව මට මතකය. මේ රටේ මහා සමාජ පෙරළියේ සාහිත්‍ය සංකේතය වූ තුන් ඈඳුතු නවකතාවේදී හිරුගල් දේවාලය ගැන ගම්පෙරළිය ආරම්භයේදීම එතුමෝ මෙසේ කියන්නාහ.

‘ගමක් වශයෙන් කොග්ගල අවුරුදු හත් අට දහසක් පැරණි යයි කියන ලකුණු පොළව යට මිස උඩ නොදක්නා ලැබේ. බිම් කඩක් වශයෙන් ඒ ගම අවුරුදු කෝටි ගණනක් පැරණි යයි කියන්නේ, රේල් පාර අයිනේ පිහිටි පර්වතයකි. හිරිගල් දේවාලය දේවාලේ ගල නමින් හඳුන්වන මේ මහා ගල වූ කලී වෘක්ෂලතා පහළ වීමට පෙර පටන් මේ පෙදෙසෙයි වූ විපර්යාසයන් දකිමින් නොසෙල් වී සිටින්නෙකි.’

‘ඉෂ්ට අනිෂ්ට ශක්තිය හැඟවුණු දේව බලයක් පිළිබඳ හැඟීම ගැමියන් තුළ පමණක් නොව උගත් මිනිසුන් තුළ ද ඇත්තේය. සමහර ගැමියෝ ඒ බලය ගලට අරක්ගත් දේවතාවකු කෙරෙහි ඇතැයි දකිති. දේවාලේ ගල යන නම ඒ ගලට ආරූඪ කරේ එහෙයිනි.

හිරුගල් දෙවොල හා බැඳි පරිසරය ගැන මෙවැනි වූ දීර්ඝ විස්තරයක් මහා ගත්කරු වික‍්‍රමසිංහයෝ සටහන් කරති. ඒ දැකුමෙන් එතුමෝ අකුරු කෙරූ පිටු අතර සැරිසරමින් මම අද සැබෑවටම එම බිමේ පියවර තබමි. හිරුගල් දේවාලයට ඔබ යන්නේ නම් වර්තමානයේදී ඔබ ඊට පිවිසිය යුත්තේ දේවගිරි විහාරය තුළිනි. හිරුගල් දෙවොල, දේවාලේ ගල, හිරිගල් දේවාලය නමැති නම්වලින් හැඳින් වූ මෙම ස්ථානය බෞද්ධ ආගමික ස්ථානයක් වශයෙන් ගොඩ නැගෙන්නේ 18 ශතවර්ෂයේදී පමණ බව කියැවේ. එහෙත් මේ රටේ ලිඛිත ඉතිහාසය ආරම්භ වීමට පෙර සිටම මෙම ස්ථානය මිනිසුන්ගේ වන්දනීය ස්ථානයක්ව ඇත්තේ අසරණයන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට පිහිට වන අමුතු බලයක් එහි පැවති බවට වූ විශ්වාසයයි. එම විශ්වාස හා බැඳී අතීතය පුරාවිද්‍යා සාධක මතින් තහවුරු කර නැති රාවණ රාජ්‍ය පාලන සමය දක්වාම ඈඳා තිබේ. ඊට හේතුව පැරැන්නන් විසින් අතීතයේදී හිරු දෙවියන් වන්දනා කිරීම මෙහි සිදුකිරීමයි. මේ නිසා ලංකාවේ හිරු දෙවියන් වන්දනාව කිරීම සඳහා පැවති බවට සැලකෙන හිරු දේවාල සතරින් එකක් වන්නේ කොග්ගල හිරු ගල් දේවාලය බව ජනවහරෙන් එන මතකයකි.

ගාලු ගියත් ඇස නොගැටෙන රස කතා සාගරයේ ගිලුන හිරු ගල් දෙවොල

හිරු ගල් දේවාලය කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය තදින් ඇද බැඳ ගැනීමට තවත් හේතුවක් වී ඇත්තේ රාවණ යුගයට පසු කිසියම් කාලයකදී එම ප‍්‍රදේශය පාලනය කළ සමන නම් රජෙකු බල තෙද නිසාය. එවකට කෘපණ නම් රජෙක් ලංකාදීපයේ උතුරු දිගින් පටන්ගෙන ගම් දනව් ලේ විලක් කරමින් මුළු ලංකාද්වීපයම ආක‍්‍රමණයකට පැමිණ තිබේ. කොග්ගලදී මේ පරදේසක්කාර රජු නසා එම විදේශීය සේනාව පලවා හැර තිබෙන්නේ සමන රජු විසින් යැයි කොග්ගල පුරාණයේ සඳහන් බව පැරැන්නෝ කියති. ඒ බවට සඳහන් සෙල් ලිපියක් ඉංග‍්‍රීසින් මුහුදුබඩ ප‍්‍රදේශ ආක‍්‍රමණය කරන කාලය තෙක් සුරැකිව පැවත තිබේ. එම ආක‍්‍රමණයෙන් පසු කොග්ගල පැතිර ගිය මාරාන්තික වසංගත රෝගයකින් සමන රජු විසින් ජනතාව මුදාගෙන තිබෙන්නේ කොග්ගල ඔයේ යන්තර ගලේ කොටවන ලද ආරක්සා යන්තර සෙල් ලිපියකිනි. වර්තමානයේ ද කොග්ගල ඔයේ ඇති දූපතක මේ සෙල් ලිපිය දක්නට තිබෙන බව ගැමියෝ පවසති. දැන් ප‍්‍රදේශයේ ඇතැම් ගැමියන් මේ ගල හඳුන්වන්නේ හරක් අඩි කෙටූ ගල යනුවෙනි. මිනී කන කාපිරීන්ගෙන් කොග්ගල වැසියන් ආරක්ෂා කරගැනීම සමන රජු පෑ තවත් විශ්කමකි. වැලිගම් පටුනෙන් ගොඩ බට රතු ඇස් ඇති මිනී කන කාපිරි පිරිසක් ඩිංගෝ නමැති කාපිරී නායකයා සමග කොග්ගල දක්වා පැමිණ තිබේ. කොග්ගලදී මේ පිරිස නසා ජනතාවගේ බිය දුරු කළ සමන රජු ‘‘විදා නටු සමන දිය ගත්සෙන්’’ යනුවෙන් සෙල් ලිපියක් සටහන් කරවා තිබිණි. සමනගේ සෙනග ජයගත් බවත් විජාතිකයෝ වැනසූ බවත් එම ලිපියෙහි අරුතයි. දෙවන ලෝක යුද්ධය කාලය වන තෙක්ම හිරුගල් දේවාල ගල් පව්වේ මෙම සෙල් ලිපිය ද සුරැකිව පැවති බව හිරිගල් දේවාලය පිළිබඳ ලියැවුණු ලිපි ලේඛනවල සඳහන් වේ. සමන රජුගේ රාජ්‍ය ලාංඡනය වන්නේ ඊයක් හොටින් ගත් කොකෙකි. කොග්ගල කළපුවේ කොකා කෙටූ ගල ලෙස ප‍්‍රචලිතව ඇත්තේ රජුගේ රාජ්‍ය ලාංඡනය කෙටූ ගලයි. කොක්ගලට එනම් වූයේ සමන රජුගේ කොකා කෙටූ ගල නිසා බවද කියති. කොග්ගල පාලනය කළ සමන රජු වූ කලී යුද්ධයේ පමණක් නොව වෙද හෙදකමේ ද නිපුණයෙකි. සංගීතය, වෙදකම, ජ්‍යොතිෂය ආදී ශාස්ත‍්‍ර මනාව දැනගත් එතුමෝ ඒ සියල්ල ජනතාවගේ යහපත සඳහා යෙදවූ රජෙකි. මේ නිසා පසු කලෙක කොග්ගල වැසියන් එතුමන් දේවත්වයෙන් සලකා පුද පූජා පවත්වා තිබේ. කොග්ගලූ ඔයත් හිරු ගල් දෙවොලත් සමන රජුත් එකට එක බැඳි රසවත් ඉතිහාස කතා සාගරයකි. රාම රාවණ මහා සටනේදී විභීෂණ සහ රාවණ පිරිස අතර මහා සටනක් ඇවිළී තිබෙන්නේද හිරුගල් දේවාලය අවට බව කියැවේ. එම සටනේදී ජය ගෙන තිබෙන්නේ රාවණ පාර්ශ්වය බවත් ඊට නායකත්වය දුන් මිලාවිකන් නම් කොග්ගල ප‍්‍රාදේශීය සෙනවියා රාවණගේ පැසසුමට ලක්වූ බවද ජනප‍්‍රවාද කතාවල කියැවේ. එම කතාව වඩාත් වැදගත් සාධකයක් වන්නේ කොග්ගල හිරු ගල් දේවාලය හිරු දෙවියන් වන්දනා කිරීමේ දෙවොලක් පැවති බවට වන මතයටයි. රාවණ රජු හිරු දේව පූජාව කළ රජෙකු නිසා ඔහු බලය පැතිරූ වැදගත් භූ පරිසරයක් ඇති බිමක හිරු දෙවොලක් පැවතිය හැකිය යන්න විශ්වාස කළ හැකි කතාවකි.

කොග්ගල හිරුගල් දේවාලය හා බැඳි මේ ඉතිහාස සාධක යටත් විජිතකරණයේ තෙවන යුගය දක්වාම නිරුපද්‍රිතව පැවතිනි. එම සාධක බොහොමයක් විනාශව ඇත්තේ ඉංග‍්‍රීසින්ගේ පාලන කාලයේයි. එම යුගය වන විට හිරු ගල් දේවාලය සමග දේව ගිරි විහාරය ද එහි ගොඩනැගී තිබිණි. දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමත් සමග ඉංග‍්‍රීසින් විසින් කොග්ගල ගුවන් තොටුපළ පුළුල් කිරීමට පටන් ගෙන තිබෙන්නේ සමුද්‍ර ආසන්න එම බිම සංග‍්‍රාමික අතින්ද වැදගත්කමක් ඉසිලූ හෙයිනි. ගුවන්තොටුපළේ ඉදිකිරීම් සඳහා පස්, ගල් ලබාගැනීමට හිරුගල් දේවාලය පැවති ගලේ විශාල කොටසක් ඉංග‍්‍රීසින් විසින් බෝර දමා විනාශ කර තිබේ. සමන රජුගේ සෙල් ලිපි ඇතුළු ඓතිහාසික තොරතුරු සාධක රාශියක් එම විනාශයෙන් සදහටම වැනසිණි. පුදබිමට කළ එම විනාශය නිසා සුද්දන්ට දිට්ඨ ධම්මවේදනීය කර්මය පළිසන් දුන් හැටි එහි ඇති වර්තමාන දේවගිරි විහාරයේ විහාරාධිකාරි කොග්ගල විමලකීර්ති හිමියෝ හරි අපූරුවට පවසති.

ගාලු ගියත් ඇස නොගැටෙන රස කතා සාගරයේ ගිලුන හිරු ගල් දෙවොල

‘‘ඉස්සර මෙහේ වැඩසිටි කොග්ගල පඥාරංසි අපේ ලොකු හාමුදුරුවෝ මේ කතා අපිත් එක්ක කියනවා. ඉස්සර මෙතන තිබුණ කන්දෙන් කොටසක් තමා මේ ඉතුරු වෙලා තියෙන්නෙ. පුරාණ දේවාලය තිබිල තියෙන්නෙ පන්සල ඉස්සරහා පාරේ බස්නාහිර දිශාවට. ඔය පාරත් දෙවන ලෝක යුද්දෙදි සුද්දො හදපු එකක්. කන්ද ඒ හරියටම විහිදිලා තිබිලා තියෙනවා. එතන හිරු ලාංඡනය කොටපු ගලේ තමා හිරු වන්දනාව කරල තියෙන්නෙ. එතන තිබුණ සෙල් ලිපි ඒ සියල්ල විනාශ කරපු සුද්දො ගමත් සමතලා කරල ගුවන්තොටුපළක් හැදුවා. පැය විසිහතරක් ඇතුළත විහාරස්ථානවල හිටිය හාමුදුරුවන්ට පිටවෙන්න කියල සුද්දො නියෝග දුන්නලූ. ඊට පස්සෙ මේ ප‍්‍රදේශ පාළුවට ගිහින් තිබිල තියෙන්නෙ. හැබැයි මේ විනාශය කරපු ඒවට නියෝග දීපු එක සුදු නිලධාරියෙක්වත් යහතින් ඉඳල නෑ. මෙතනින් නග්ගපු ගුවන් යානාවල හිටපු ඒ නිලධාරින් මුහුදට වැටිලා විනාශ වෙලා තියෙනවා. ධීවරයෝ කියන්නෙ අදත් ඒ වැටිච්ච ගුවන් යනා ඔය පේන මානයේ මුහුදේ තියනවලූ. සමහරුන්ට මෙතන බඹරු දෙබරු ඇනලා ජීවිත හානි වෙලා තියෙනවා. ඉස්සරා දුම්රියේ හැපිලා හමුදා ට‍්‍රක් එකක ආව සේරම මැරිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෑත කාලයේ ගුවන්තොටුපළ ළඟ ඔය ඉතුරුවෙලා තියෙන පස් ගොඩැල්ල ළඟ බෝධීන් වහන්සේ විනාශ කරන්න ගිහින් ඒ නිලධාරීන්ට ජීවිත හානි සිදුවුණා. මිනිස්සු අතර තවමත් විශ්වාසයක් තියෙනවා ඒ නිසා මෙතනට අත තියනවා කියන්නෙ ලොකු විනාශයක් තමා කියල.

පුරාණ දේවාලයට අමතරව මෙතන සෑම අංගයකින්ම සමන්විත විහාරයක් තිබිල තියෙන්නෙ. මේ තියෙන ධර්ම ශාලාවත් අවුරුදු එකසිය විස්සකට වඩා පැරණියි. සුද්දො ඒක විතරක් කඩන්නෙ නැතිව ඒක එයාලගේ බාර් එකට පාවිච්චි කරල තියෙන්නෙ. හැබැයි සුද්දගෙ කාලෙත් කව්රු හරි රට වැසියෙක් වැරැද්දක් කළාම උසාවියට ගේන අය මේ ස්ථානයට අරන් එනවලූ දිව්රුමක් ගන්න. මොකද කව්රුත් මෙතනදි බොරුවට දිව්රන්න බයයි, ඒ තරමට මෙතන බලසම්පන්නයි කියල මිනිස්සුන්ගෙ විශ්වාසයේ තියෙනවා.’’

ස්වාමින් වහන්සේ කීවේ සීනිගම දේවාලයේ මිරිස් ඇඹරීමේ අභිචාර විධිය හිරු ගල් දේවාලයේද මිනිසුන් කළ බවකි. ‘‘හැබැයි ඉතින් දෙවොල් දෙවියන්ටත් සම්බන්ධයක් තියෙන මෙතන ඒවා ඉතින් කළොත් කළාම තමා, දඬුවම් ලැබෙනවා’’ උන්වහන්සේ කියති.

වර්තමානයේ පැරණි විහාරය වම්පස විෂ්ණු, කතරගම, දෙවොල්, පත්තිනි දේව ප‍්‍රතිමා දේවගිරි විහාරයේ ආවාසයට උඩින් ඇති කඳු ගැටයේ දක්නට ලැබේ. එම විහාරයේ ඇති සිතුවම් නුවර යුගයේ සිතුවම් සම්ප‍්‍රදාය අනුව සිතුවම් කර ඇත. අතීතයේදී රිහිර දේවාලය, හිරුගල් දේවාලය, ලෙසින් හැඳින් වූ මෙහි වර්තමානයේදී හිරු දෙවි වන්දනාව නොකෙරුණද වසරකට වරක් විෂ්ණු, පත්තිනි, කතරගම මහා දේව පූජාවක් සිදුකිරීමට බැතිමත්හු මේ පුදබිමට පැමිණෙති. එම ඓතිහාසික තොරතුරුවලට අමතරව ඉතා වැදගත් දසුනක් මෙම ඉපැරණි පරිසරයේ දේවාල පිහිටි උස් බිමේදී මම දැක ගත්තෙමි. ඒ මානවයා විසින් ගමනාගමනය සඳහා භාවිතා කරන සියලූම මාර්ග එකම දසුනක් ලෙස එහිදී කෙනෙකුට දැක ගත හැකි වීමයි. මුහුදු මාර්ගය, රේල් පාර, ගුවන් පථය, මහා මාර්ගය, බොරළු පාර, ඇවිදින මං තීරුව ආදී සෑම ගමනාගමන මාර්ගයක්ම එකම ස්ථානයකදී එකම දසුනක් ලෙස දැකිය හැකි නම් එම ස්ථානය වන්නේ කොග්ගල ඉපැරණි හිරුගල් දේවාලය පිහිටි භූමියයි. ඔබ කොග්ගල පසු කර යන්නේ නම් මෙකී ඉතිහාසය රස විඳින අතරම එම විරල රමණීය දසුන දැක ගැනීමට අමතක නොකරන්න.

ගාලු ගියත් ඇස නොගැටෙන රස කතා සාගරයේ ගිලුන හිරු ගල් දෙවොල

තිස්ස ගුණතිලක
ඡායාරූප – ඕ.ටී.පාරමී

advertistmentadvertistment
advertistmentadvertistment