ගැලවීමක් නැති අන්තර්ජාතික මානව හිමිකම් විමර්ශනය

179
2020 මාර්තු මාසයේදී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පැවැති ශ්‍රී ලංකා ආණ්ඩුව විශ්වාස කළේ, ජනාධිපතිවරයාට ලැබුණු දැවැන්ත ජනවරම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා චක්‍රයෙන්, ඒකපාර්ශ්වික ක්‍රියාවලියකින් ඉවත්වීමට රජයට ලබාදුන් බලපත්‍රයක් බවයි. එකල බලාත්මක වූ යෝජනාව ක්‍රියාත්මක කිරීමට තමන් තවදුරටත් බැඳී නොසිටින බව ශ්‍රී ලංකා රජය නිවේදනය කළේය. රජය එහිදී සිය ස්ථාවරය ප්‍රකාශ කළේ “වසර හතරහමාරකට වැඩි කාලයක් සැබෑ ප්‍රතිසන්ධානයක් ලබාදීමට අපොහොසත් වූ බාහිරව මෙහෙයවන රාමුවක් සමඟ ඉදිරියට යෑම තෝරාගැනීම වෙනුවට මහජන වරමකින් සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතාවයට අනුබල දෙන විසඳුමක් ලබාදෙනු ඇත.” යනුවෙනි. කෙසේ වෙතත්, රජය තවදුරටත් එක්සත් ජාතීන්ගේ පද්ධතියේ රාමුව තුළ රැඳීසිටීමට උත්සාහ කළේය. ජාතික සංහිඳියාවේ නව රාමුවක් තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංචාර, උපදෙස් සහ තාක්ෂණික සහාය අඛණ්ඩව පිළිගැනීමට තමන් යෝජනා කරන බව රජය ප්‍රකාශ කළේය.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය දේශපාලන විවාදයේ ප්‍රධාන ප්‍රවාහයට නැවත පැමිණීම දේශීය හා අන්තර්ජාතික දේශපාලන ප්‍රතිවිපාක ඇති කිරීමට හේතුවනු ඇත. ජනාධිපතිවරණය ලබන ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැප්තැම්බර් මාසයේදී ජිනීවාහිදී රැස්වේ. මෙරට කතෝලික සභාවට නායකත්වය දෙන මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ඉටුකරන කාර්යභාරය මෙහිදී වැදගත් බව ඔප්පු වෙමින් තිබේ. සත්‍යය සහ යුක්තිය සෙවීමට රජය ප්‍රතිචාර නොදක්වන බවට එතුමෝ විවෘතව චෝදනා කරති. කාදිනල් හිමියන් සහ පල්ලියේ අනෙකුත් සාමාජිකයන් “මෙම ප්‍රහාර සම්බන්ධයෙන් නව සහ ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර ඇති නමුත්, එය ලැබුණු බවට හෝ ප්‍රතිචාරයක් පවා අප වෙත නැවත එවා නැති” බවට පැමිණිලි කර තිබේ.

පසුගියදා ජනමාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ, ඉදිරි මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා දේශපාලන පක්ෂ දෙකක් තමන් හමුවී යෝජනා ඉදිරිපත් කළ බවයි. සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් කැපවීමට අපොහොසත් වූ හා මේ සම්බන්ධයෙන් නිශ්චිත සැලසුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ පක්ෂවලට ඡන්දය නොදෙන ලෙස කාදිනල්තුමා තම පල්ලියට සම්බන්ධව සිටින අයගෙන් ඉල්ලා තිබේ. මෙහි ඇඟවුම වන්නේ අදාළ ප්‍රකාශය ඉදිරි මැතිවරණවලදී කතෝලික ඡන්දයට බලපානු ඇති බවයි. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කතෝලික සභාව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව කාදිනල් හිමිපාණන් නිවේදනය කර ඇත. මෙය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලියෙන් මිදීමේ ආණ්ඩුවේ සැලැස්මට අහිතකර ලෙස බලපානු ඇත.

වෙනත් ගැටුම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවෙන් ඒකපාර්ශ්විකව ඉවත්වීමට පසුගිය ආණ්ඩුව දැරූ උත්සාහය සාර්ථක වූයේ නැත. ඒ වෙනුවට සිදුවූයේ මානව හිමිකම් කවුන්සිලයේදී, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ සාක්ෂි එකතු කිරීම සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ජිනීවාහි විශේෂ අධීක්ෂණ යාන්ත්‍රණයක් පිහිටුවීමට, වඩා ශක්තිමත් යෝජනාවක් සම්මත කර ගැනීමයි. මෙය ආණ්ඩුවේ සිටින අයට, විශේෂයෙන්ම මානව හිමිකම් කඩකළ බවට චෝදනා එල්ල විය හැකි අයගේ කනස්සල්ලට කරුණක් වන්නේ, විශ්වීය අධිකරණ බලයේ මූලධර්මය පිළිගන්නා අන්තර්ජාතික අධිකරණයක නඩුවක් ගොනුකරන ඕනෑම අවස්ථාවකදී රජයකට හෝ පුද්ගලයකුට නඩු පැවරීමට දොර විවර කරන බැවිනි.

සාමාන්‍යයෙන් විශ්වාසය වන්නේ, ජනාධිපති වික්‍රමසිංහට අන්තර්ජාතික ප්‍රජාව සමඟ සහ විශේෂයෙන්ම අන්තර්ජාතික මානව හිමිකම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බටහිර රටවල් සමඟ කිට්ටු සබඳතාවක් ඇති බවයි. ලෝකයේ ඉහළම නායකයන් ඔහු සමඟ සමීපව කටයුතු කරන අන්තර්ජාතික සම්මන්ත්‍රණවලදී, රාජ්‍ය නායකයන් සමඟ ඔහුගේ පහසු හුරුපුරුදු බව සම්බන්ධයෙන් සැළකිව යුතු ජනමාධ්‍ය ආවරණයක් ලැබී තිබේ. ඔහුගේ අලුත්ම ජයග්‍රහණය වූයේ, බටහිර ලෝකයේ පිටුබලය ලබන ඊශ්‍රායලය, ඉරානය සමඟ විවෘත ගැටුමක් ඇති කර ගැනීම නිසා ලෝකයම දෙදරා ගොස් ඇති අවස්ථාවක, ඉරාන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට රාජ්‍ය ආරාධිතයකු ලෙස පිළිගැනීමයි.

“අනෙකුත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද බොහෝ දෙනා සිතා සිටියේ ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි එම සංචාරය අවසන් මොහොතේ අවලංගු කරනු ඇති බවයි. බටහිර රටවල් සමඟ පවතින වත්මන් ප්‍රශ්නය මෙයට ආසන්නතම හේතුවයි. එහෙත් බටහිරයන් අමනාප නොවී, අසල්වැසියා අමනාප කර නොගෙන, නොබැඳි මාවතක ශ්‍රී ලංකාව ගෙන යන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහයි.” යනුවෙන් ඊට අදාළ පුවත් රාජ්‍ය ජනමාධ්‍යය වාර්තා කළේය.

වර්තමානයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි විශ්වාස කිරීමට තවත් හේතුවක් තිබේ. ඒ, යුක්රේනය ඉක්මවා යමින් ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීමත් සමඟ, ඊශ්‍රායල – පලස්තීන ගැටුම විශේෂ ස්ථානයක් හිමිකරගෙන ඇති අන්තර්ජාතික පරිසරයේ වෙනස්වීම හේතුවෙනි. මේ දෙකම දැනට පවතින ගැටුම් වන අතර, වසර 15 කට පෙර අවසන් වූ ශ්‍රී ලංකාවේ ගැටුමට සාපේක්ෂව ඒවා ප්‍රමුඛත්වය ගෙන ඇත. යුක්රේනය සහ ගාසා තීරය මෙන් නොව ශ්‍රී ලංකාව අද මහා පරිමාණ ප්‍රචණ්ඩත්වයකින් තොර රටකි. ඇත්ත වශයෙන්ම, පාස්කු බෝම්බ ප්‍රහාරයේ අභිරහසට පිළිතුරු සොයාගැනීමට නොහැකිවීම හැර යුද්ධය අවසන් වීමෙන් පසු මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුනොවීම කැපී පෙනේ.

සැඟවුණු වේදනාව

අන්තර්ජාතික සංචාරක මාර්ගෝපදේශ වැඩසටහනක් මගින් තනිකඩ කාන්තාවකට සංචාරය කිරීම සඳහා ලෝකයේ ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ මිනිසුන්ගේ උණුසුම, ශිෂ්ටත්වය සහ ඇත්ත වශයෙන්ම හොඳින් ක්‍රියාත්මක වන ආරක්ෂක පද්ධතියක් හේතුවෙනි. ඊට අමතරව, පශ්චාත් යුද තත්ත්වය සම්බන්ධයෙන් ගත් කළ, විවිධ පරීක්ෂණ කොමිෂන් සභා, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය, වන්දි ගෙවීමේ කාර්යාලය සහ ඉක්මණින් ස්ථාපිත කරන බව කියන සත්‍යය, සංහිඳියාව සහ එකමුතුකම සඳහා වූ කොමිෂන් සභාවක් දක්වා වූ රාජ්‍ය යාන්ත්‍රණ රාශියක් පෙන්වීමට රජයට හැකි වේ. අනෙක් අතට, ශ්‍රී ලංකාව සාමකාමීව ඉහළ ආගන්තුක සත්කාරයේ ප්‍රමිතියක් පිරිනැමීමට සමත් වුවද, සමාජය තුළ නොසැළකිලිමත් ලෙස, සැළකිලිමත් විය යුතු දුක් වේදනා රැසක් පවතින බව දැකගත හැකිය.

වේදනාවේ සහ දුක්විඳීමේ විශාලතම පරිමාණය වන්නේ එදිනෙදා ජීවිතය ගැටගසා ගනිමින් සිටි මිනිසුන් මත හදිසියේ පතිතවූ ආර්ථික අර්බුදයයි. පසුගිය වසර දෙක තුළ ඔවුන්ගේ වැටුප් එලෙසම තිබියදී ගෙවිය යුතු මිල ගණන් තුන් ගුණයකින් වැඩි වී ඇති බව ඔවුන්ට දැනී තිබේ. ආර්ථික බිඳවැටීමේ බලපෑම පිළිබඳ ලෝක බැංකුවේ නවතම අධ්‍යයනයෙන් කියැවෙන්නේ, පසුගිය වසර හතර තුළ දිළිඳුකම, 2019 දී පැවැති සියයට 11 සිට 2024 දී සියයට 26 දක්වා ශ්‍රී ලංකාව තුළ වැඩි වී ඇති බවයි. ශ්‍රී ලංකාවේ කුටුම්භවලින් ආසන්න වශයෙන් සියයට 60ක පමණ ආදායම් අඩු වී ඇති බවත්, බොහෝ දෙනෙක් ආහාර අනාරක්ෂිතභාවයට, මන්දපෝෂණයට හා වර්ධනය අඩාළ වීමට මුහුණ දී ඇති බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ කතෝලික සභාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත පැමිණ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට ගත් තීරණය මිනිසුන්ගේ හදවත් තුළ දිගින් දිගටම දැවෙන අසාධාරණය නිසා ඇති වන වේදනාවේ සහ දුක්ගැනවිලිවල සළකුණකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි යෝජනාවලට යුක්රේනය සහ ගාසා තීරය ඇතුළත් වුවත් නැතත්, න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇති ශ්‍රී ලංකාව දිගටම න්‍යාය පත්‍රයේ පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. ශ්‍රී ලංකාවේ වත්මන් සාමය පවත්වා ගැනීම සඳහා ආණ්ඩුවල මුහුණු මාරුවෙන් ඔබ්බට ගිය වෙනසක් අවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙක පොරොන්දු වන සහ ආණ්ඩුව සූදානම් බව කියන වඩා වැඩි කැපවීමක් අවශ්‍ය වේ.

● ජෙහාන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment