බිත්තර මිල සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන ගැසට් පත්‍රය අහෝසි කළහොත් බිත්තරයක් 35 ත් 40 ත් අතර මිලකට වෙළෙඳපොළෙන් මිලදී ගත හැකි යැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා ‘දිවයින’ ට පැවසීය.
බිත්තරයක මිල රුපියල් 42 (සුදු) සහ 43 (රතු) ලෙස ගැසට් කිරීම නිසා කුඩා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් බිත්තර දමන කිකිළියන් මසට විකිණීමට පෙළඹී ඇතැයිද ඔහු කීය.
මේ වනවිට කේක් නිෂ්පාදකයින් මහා පරිමාණ කුකුළු නිෂ්පාදකයින් වෙත පැමිණ බිත්තර මිලදී ගන්නා බවත් මේ වනවිට කේක් නිෂ්පාදකයින්ට අවශ්‍ය බිත්තරවලින් සියයට 75 ක් ඔවුන් ගබඩා කරගෙන අවසන් බවත් ඔහු පැවසීය.
බිත්තර මිල සම්බන්ධයෙන් ගැසට් ගැහුවත් ඊට පෙර වයඹට පැමිණි ගොවීන් සමග සාකච්ඡා කළා නම් බිත්තර නිෂ්පාදනයේ ඇත්ත තත්ත්වය ගොවීන්ගෙන් දැනගත හැකි බවත් පැවසූ ඒ මහතා බේකරි නිෂ්පාදන සඳහා ඉන්දියාවෙන් බිත්තර ගෙන එන බව පැවසුවත් මෙරට බිත්තරයක බර සමග සමාන කිරීමට ඉන්දියානු බිත්තර දෙකක්වත් යොදා ගැනීමට සිදුවිය හැකි බවත් කීය. මේ වනවිට බේකරි නිෂ්පාදකයින් (කේක්) සඳහා බිත්තර ගබඩාකර ගෙන තිබෙන නිසා ඉදිරි දිනවල බිත්තර මිල පහළ යනු ඇතැයිද රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා