ගැහැනියකගේ නිහඬ විලාපය

1102

Nun Other Than. නම් වූ නවතම වාර්තා චිත්‍රපටය පිළිබඳ කියවීමක්

‘Nun Other Than. නමින් වූ නවතම වාර්තා චිත්‍රපටය පසුගියදා නිල වශයෙන් කොළඹ දී එළිදැක්වුණි. එක්තරා යුගයක දී මෙරට පැවති දුර්දාන්ත පාලන ක්‍රමයට එරෙහිව නැඟී සිටි තරුණ කණ්ඩායම්වලට විඳින්නට සිදු වූ වධ හිංසා සියැසින් දැක ඉන් කලකිරීමට පත්ව උපැවිදි වූ බැතිමත් චිත්‍රා නමැති කන්‍යා සොහොයුරිය, ඉන් අනතුරුව ලෝක දෙකක් අතර සිරවී ගත කළ සංකීර්ණ ජීවිතයක අනුවේදනීය අවස්ථා මෙම වාර්තා චිත්‍රපටයෙන් පිළිබිඹු කෙරේ.

මෙහි කතා නායිකාව වන චිත්‍රා කන්‍යා සොහොයුරියගේ ජීවිත කතාව බලගතු එහෙත් සෘජුවම නොකියැවෙන කතාවකි. ආඛ්‍යානය සඳහා අධ්‍යක්ෂවරයා ඇගේ පවුලේ සහෝදර සහෝදරියන් සහ ඇය ඇසුරු කළ සමකාලීන කතෝලික සභා පියවරුන්, පැවිදි සොහොයුරියන් මෙන්ම ඇගේ සමීපතමයින් ද විවිධ සිනමාත්මක දෘෂ්ටි කෝණ ඔස්සේ ප්‍රේක්ෂකයා ඉදිරියට කැඳවයි. මූලිකව ම චිත්‍රාගේ කථනයෙන් දිගැහැරෙන අතිශය හැඟුම්බර මෙම අතීතානුස්මරණ කතාව ශ්‍රී ලංකා ඉතිහාසයේ කැලඹිළි සහිත කාල පරිච්ඡේදයක සමීප රූපයක් වැනිය.

අවිස්සාවේල්ල බල ප්‍රදේශයේ විසූ දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලක ගැහැනු ළමයි සතර දෙනාගෙන් බාලයා වන චිත්‍රා කුඩා කළ සිටම දඟකාර එහෙත් නැටුමට ගැයුමට දක්ෂ දැරියක් වූ බව ඇගේ සොහොයුරා පවසයි. නිතර ඇයගේ සෙවනැල්ල මෙන් සිටි පොඩි අක්කා පවසන්නේ, ඇය සතු ගායන කුසලතාව නිසා පාසලේ සෑම විවිධ ප්‍රසංගයකදීම චිත්‍රාට එහි ප්‍රධාන තැනක් හිමිවූ බවයි. එසේ වුවද තරුණ වියට එළඹෙත්ම ඇය පැවිදි සොහොයුරියක් වීමට ගත් තීරණය පවුලේ සැමගේ විමතියට හේතු වූ කාරණයක් බව ද ඇය වැඩිදුරටත් පවසයි. කන්‍යාරාමයක ඇයගේ මුල් කාලය ගත වන්නේ සුවපහසුව, ආගමික භක්තිය සහ සාපේක්ෂව ප්‍රජාවගේ ආර්ථික හා සාමාජීක අවශ්‍යතා කෙරෙහි සිය දෑස් විවර කරමිනි. ඇයට ඇක්වයිනාස් විද්‍යාතනයේ නේවාසික පාඨමාලාවක් හැදෑරීම සිදු වන්නේ මේ අවදියේදීය. එය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය යි. ඇයට 1971 ජවිපෙ කැරැල්ල පිළිබඳ පර්යේෂණ ලිපියක් ඉදිරිපත් කිරීමට සිදුවේ. මේ වන විටත් එම පාඨමාලාව හදාරමින් සිටි අය අතර ජේවීපීයට සම්බන්ධ තරුණයන් ද විය. විවේකයේදී ඇය ඔවුන් ඉදිරියේ පල්ලියේ ගීතිකා මිහිරට ගැයීය. ඇය සතු ගායන ප්‍රතිභාව නිසා වැඩිකල් නොයා ම මේ අය අතර ජනප්‍රිය චරිතයක් බවට පත් වූවාය. සමහර අවස්ථාවලදී ඔවුන්ගේ ඉල්ලීම මත සංවිධානයේ විමුක්ති ගී වැඩසටහන්වලට පවා සහභාගිවීමට ඇයට සිදුවිය. ඇය මෙහිදී සිය දායකත්වය සැපයූයේ කිසියම් අවබෝධයකින් නොව හුදෙක් ගායනයට ඇති ආශාව නිසා බව ඇගේ සොහොයුරිය පවසයි.

තමාට පැවරුණු පර්යේෂණය කාර්ය සඳහා ඇයට වැලිකඩ බන්ධනාගාරයට යෑමට සිදුවේ. එහිදී, අත්අඩංගුවට පත් ජවිපෙ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් රඳවා සිටින ආකාරයත් කැරැල්ලේ කුරිරු ප්‍රතිවිපාක, වශයෙන් විශේෂයෙන්ම එම ව්‍යාපාරයට සම්බන්ධ වූ තරුණියන්ට වධහිංසා පමුණුවමින් රඳවාගෙන සිටින ආකාරයත් දකින චිත්‍රා විමතියට පත්වේ. දෙපයින් ඇවිද ගැනීමට පවා නොහැකි තරම් දරුණු වධ හිංසාවලට ලක්ව සිටි තරුණියන්ගේ දුක්ඛිත තත්ත්වය ඇයට දරාගත නොහැකි වූ බවත්, ඇගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ මේ සිද්ධිය “ඒ මගේ මුළු ජීවිතයම වෙනස් වූ මොහොතයි” යනුවෙන් ඇය පවසයි.

කන්‍යාරාමයේ සිට කුටියට යන චිත්‍රා සොහොයුරිය එහි මේසය මත තබා ඇති කේක් කෑල්ල සහ කිරි තේ කෝප්පය දෙස බලා සිටින දර්ශනය ප්‍රේක්ෂකයන්ට අමතක කළ නොහැක. කිසිදු හව්හරණයක් නොමැතිව කුසට අහරක් නොමැතිව ලත වන තරුණ ජීවිත හමුවේ, අප ගෙවනා මේ සුඛෝපභෝගී ජීවිතය ගැන ඇය තමාගේ හෘද සාක්ෂියෙන් ප්‍රශ්න කරයි. සියල්ල අත හැර කිතු සමිඳුන් වෙත ගිය චිත්‍රාට, ආපසු හැරෙන්නට සිදු වී තිබේ. තවදුරටත් මෙහි සිර වී නොසිට අසාධාරණයට ලක්ව සිටින්නන්හට සාධාරණය ඉටු කිරීම සඳහා උපැවිදි වී එම අරමුණුවලට අනුව ක්‍රියා කිරීමට තීරණය කරයි. එහෙත් මේ උපැවිදිවීම සම්බන්ධයෙන් ඇගේ පවුලේ අය කිසිදු කැමැත්තක් නොදැක්වූ බව ඇගේ සෙහොයුරා පවසයි.

චිත්‍රාගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ඇරඹුම සිදුවන්නේ මෙතැන් සිටය. එහෙත් එය අතී ශෝකජනක හා වේදනාකාරී අත්දැකීම් සහිත කාලවකවානුවකි. ඇය දැන් සෘජුවම සංවිධානයේ ක්‍රියාකාරිනියකි. කාලයාගේ ඇවෑමෙන් ඇයට කලින් දැන හැඳුනුම්කම් තිබුණු සිය අනාගත හිමිකරුවා හමුවන්නේ මෙතැන් සිට ය. ඔහු ද සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බව කියැවේ. චාම් විවාහයකින් පසු දෙදෙනා අලුත් ජීවිතයක් ආරම්භ කරති. මව් පදවිය ද ලබයි. පවුල් ජීවිතය ඇරඹුනා පමණි. අනපේක්ෂිත ලෙස ඇගේ ස්වාමියා අත්අඩංගුවට ගැනේ. එතැන් සිට දරුවන් දෙදෙනා ද සමග සිරකඳවුරුවල ඇවිදිමින් ජීවිතයත් මරණයත් අතර සිටින සිය සැමියා බේරා ගැනීමට ඇය කළ අරගලය ඇගේ සොහොයුරා කරන විස්තරයෙන් අපට පැහැදිලි වේ. අවසානයේදී නිදහස ලබන මෙම ප්‍රබල ක්‍රියාකාරිකයාහට සිදුවන්නේ පැන නැගුණු දහසක් අර්බුද හමුවේ විදෙස් රටකට සංක්‍රමණය වී සුළු රැකියාවක් කරමින් සරණාගතයකු ලෙස ජීවත්වීමටය.

පැවිදි සොහොයුරියක ලෙස කටයුතු කරමින් සිටි අවදියේ ඇති වූ දේශපාලන පිබිදීම, සහ සිය සැමියා සමග දේශපාලනික හා පෞද්ගලිකව විශ්වාසවන්ත ජීවිතයක් ගත කිරීම සඳහා පල්ලියෙන් නික්මයෑමට ගත් තීරණය හා ඉන් අනතුරුව චිත්‍රාගේ ගමන් මග, ‘Nun Other Than. මගින් ආවරණය කරයි. ඇය චිත්‍රපටයට අවසානයේ දී මෙසේ කියයි. “බොහෝ දේවල් සිද්ධ වුණා. පොතක් ලියන්න වුණත් පුළුවනි.” මේ වන විට ඈත දුරු රටක සිය සැමියා හා දරු දෙදෙනා සමග හුදකලාව වෙසෙන ඇය සිය උපන් රටේ දිවි ගෙවීමට තරම් වාසනාවන්ත නොවූවාය. වත්මනේ සුහුරු දිවි පෙවෙතක් ගතකරන අපේ තරුණ පරපුර එදා මේ චිත්‍රාවන්ලාගේ ඛේදවාචකය නොදනී. ඔවුනට මේ දේශයේ නිදහසේ ඇවිද යන්නට මග එළිපෙහෙළි කළේ මේ චිත්‍රාවන්ලා බව ඔවුන් දැනගත යුතුය.

පසුබිමෙන් ඇසෙන රෝහණ වීරසිංහයන්ගේ සුවිශේෂ නාද රටා තුළින් නැගෙන වේදනාකාරී හඬ පෞරුෂය තුළ ගැබ්ව ඇත්තේ චිත්‍රාගේ ඉකිබිඳීම නොවේදැයි අපට සිතේ. මෙහිදී චිත්‍රාගේ තරුණ අවදිය ප්‍රතිනිර්මාණය කරමින් නිරූපනය කරන රංගන ශිල්පිනී දිනරා පුංචිහේවා චිත්‍රාගේ කතාවට පරිකල්පනීය අර්ථකථනයක් නිර්මාණය කරයි.
‘Nun Other Than. යනු අපගේ ඉතිහාසයේ අප පමණක් දන්නා එක් කොටසක් හෝ පැත්තක් තේරුම් ගැනීම හා දැකීම සඳහා කරන ආඛ්‍යානයකට ආරාධනා කිරීමකි. මෙම ඉතිහාසය තුළ ඒ පිළිබඳ ඉතා වෙනස් ස්ත්‍රී මූලික ආඛ්‍යානයක් සහ නිරූපණයක් අපි දකිමු’ යයි පවසන උදාන් එය වැඩිදුරටත් සීතාගේ දෘෂ්ටිකෝණයෙන් රාමායනය කියවීමකට සමාන කරයි.

Nun Other Than 2019 දී සිනමාවට පිවිසි උදාන් ප්‍රනාන්දුගේ නවතම සිනමා නිර්මාණය යි. ඔහු මෙයට පෙර සමාජ හා දේශපාලන කරුණු ගවේෂණය කරමින් කළ සිනමා නිර්මාණ අතර ‘Dwandha – A Tale of Two Rebels’ (2019) සහ ‘Not So Greener Pastures’ (2023), කැපී පෙනේ. තවදුරටත් ඔහු මෙම නිර්මාණය තුළින්ද ගැහැනියකගේ විශිෂ්ට පරිවර්තනීය ජීවිත ගමනට ආලෝකයක් විහිදුවමින්, ඇයගේ පෞද්ගලික ප්‍රතිබිම්භයන් හා ඇයගේ ජීවිතයේ ආතතීන් පිළිබඳව අපට ගැඹුරු අවබෝධයක් ලබා දීමට සමත් වෙයි.

ඩඩ්ලි පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment