ගෑස්වල ගෑස් වාෂ්ප කරන ආණ්ඩුවේ මෙහෙයුම

387

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70 ක්…
ඔක්තෝබර් අවසානය තෙක් ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක්…
ඩොලර් මිලියන 22 ක අමතර මුදලක් මහාභාණ්ඩාගාරයට..

හැත්තෑව දශකයෙන් පසු මේ රටේ දක්නට ලැබුණු දැවැන්තම පෝලිම් දකින්නට ලැබුණේ මෑත භාගයේදීය. ඒවා සුළු පටු පෝලිම් නොව කිලෝමීටර් හය හත නොව ඊටත් වඩා දිගු පෝලිම්ය. දැන් අලුත් ආණ්ඩුවක් පත්ව තිබේ. ඉදිරියේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් තැනීමටද නියමිතය. පෝලිම් සංස්කෘතියට තිත් තබන බව අතරමැදි ආණ්ඩුවේ පොරොන්දුවයි. නව ජනාධිපතිවරයාද එසේ කියන්නේය. තෙල් සඳහා ූඍ කේතය පැමිනේන්නෙත්, තෙල් නැව් එන්නට පටන් ගන්නේත් ඒ අනුවය. ඊට අවශ්‍ය ඩොලර් සොයා ගැනීම ආණ්ඩුවේ රාජකාරියකි. ඒ ගැන අප කලබල විය යුතු නැත. ගෑස් ප්‍රශ්නයද එබඳුය. ඒ ගැනද ආණ්ඩුවට වැඩපිළිවෙළක් ඇති බව කියති. එය විසඳීමටද කටයුතු කරන බව ආණ්ඩුව කියා තිබේ. ආණ්ඩුවේ එම වැඩපිළිවෙළ ගැන අප කතා කළයුතුය.

● ගෑස් අර්බුදයේ ආරම්භය

මෙය මේ වන විට රටේ බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් එළැඹ තිබූ ගිවිසුම 2022 පෙබරවාරි මස 28 වන දිනෙන් අවසන් විය. නමුත් ගෑස් සැපයුම අවසන් වූවේ මාර්තු මාසයේදී ය. නව සැපයුම්කරුවෙකු වෙනුවෙන් ටෙන්ඩරයක් පිරිනැමීමේ කාර්ය සමාගම විසින් සකස් කරමින් පැවතුනි. එය ආරම්භ වූවේ ජනවාරි මාසයේ සිටය. එහිදී සැපයුම්කරු විසින් දීර්ඝ කාලීන ණයවර ලිපියක් අවශ්‍ය බව සමාගමට දැනුම් දුන්නේය.

ඒ වන විට ඩොලර් අර්බුදය රටට දැනෙමින් පැවැතිනි. ඩොලර් අර්බුදය තීව්‍ර කරමින් මහ බැංකුව විසින් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ප්‍රකාශ කළේ අප්‍රේල් 08 දා ය. ඉන් පසුව එළැඹියේ අතිශය දුෂ්කර කාල පරිච්චේදයකි. කිසිදු පෞද්ගලික බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් ඊට මැදිහත් වූයේ නැත.

සමාගම සතුව පැවැති ගෑස් තොග අවසන් වීමත් සමඟ රටපුරාම පාරිභෝගිකයන් 80,000 ත් 100,000 ත් අතර සංඛ්‍යාවක් පෝලිමට එකතු වන්නට වූහ. එක පසෙකින් දීර්ඝ කාලීන සැපයුම්කරුවෙකු අහිමි වෙද්දී අනෙක් පසින් ඩොලර් සොයා ගැනීමට නොහැකි තත්ත්වයකට ද ලිට්‍රෝ සමාගම පත්ව සිටියේය. ඊට විකල්ප සෙවීමද අතිශය අසීරු කාරණයක්ව තිබිණි

● අර්බුදයට හේතුව

යහපාලන ආණ්ඩුව ඉවත් වන විට ලිට්‍රෝ ආයතනය සතුව රුපියල් බිලියන 21 ක තැන්පතු පැවැතිනි. මහාභාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 11 ක ලාභංශ ගෙවන ආයතනයක් බවට පත්ව තිබිණි. නමුත් 2022 ජුනි මාසයේ වත්මන් සභාපති මුදිත පීරිස් ආයතනය බාර ගනිද්දී ආයතනයේ ණය බර රුපියල් බිලියන 11 ක් දක්වා ඉහළ ගොස් තිබුණු බව කියති. වසර දෙකක කාලයක් තුළ ණය බර ඉහළ ගියේ එලෙසය. ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළයෑමට සමාන්තරව ගෑස් මිලෙහි වෙනසක් නොකිරීම මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව එහි මූල්‍ය අධ්‍යක්ෂිකා ලක්මාලි සී. හපුආරච්චි කීවාය.

ආයතනය සතුව පැවැති බිලියන 10.4 ක මුදල් සංචිතය 2021 වෙද්දී සෘණ මිලියන 100 ක් දක්වා පහත වැටුණේය. මේ නිසා ආයතනය තුළ රුපියල් හිඟයක් ද මතුවුණේය. ඒ 2019 යේ බිලියන 6 ක වාර්ෂික ලාභයක් ඉපැයූ ආයතනයකි. මිල සංශෝධනය නොකිරීම මෙන්ම දුර්වල කළමනාකාරිත්වය ආයතනය පාඩු ලබන ආයතනයක් දක්වා ගමන් කරන්නට වූවේය. මහාභාණ්ඩාරයට බදු සියල්ල සමග බිලියන 11 ක් ලාභංශ ලෙස ගෙවා තිබිණි.

කෙසේ නමුත් මුදල් හොයාගෙන කරන ගෑස් ඇණවුම්වලින් ලැබෙන ගෑස් පවා ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයන්ට ලැබුණේ නැත. ඒවාද අත්‍යවශ්‍ය සේවාවන් ලෙස හඳුනාගත් ස්ථානවලට හා කර්මාන්ත ශාලාවලට බෙදා දුන් බැවින් ගෘහස්ථ පාරිභෝගිකයන්ට ගෑස් ලැබුණේ තවත් අඩු ප්‍රමාණයකිනි. ලිට්‍රෝ සමාගම සතුව සිටිනා පරිභෝගියක් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි.

ගෑස්වල ගෑස් වාෂ්ප කරන ආණ්ඩුවේ මෙහෙයුම

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසුව ගත් පළමු තීරණය වූයේ, නැවතත් පෙර පැවති ඔමාන් ටේ්‍රඩින් සමාගමට කෙටි කාලීන සැපයුම් ලබාදීමය. පළමුව මාස 4 ක කාලයක් වෙනුවෙන් කෙටි කාලීන සැපයුමක් ලබාදී පවතින ගෑස් අර්බුදය සමනය කරන අතර මාස 12 ක දිගුකාලීන සැපයුම්කරුවෙකු සොයා ගැනීම වෙනුවෙන් නැවත ටෙන්ඩර් කැඳවන ලෙසට ද කැබිනට් මණ්ඩලය ලිට්‍රෝ සමාගමට නියම කරන්නේ ඒ අනුවය.

දිගු කාලීන ණයවර ලිපි නිකුත් කිරීමේ නොහැකියාව මත විකල්ප ක්‍රම මගින් ගෑස් මිලදී ගැනීමට උත්සාහ කරන ලෙස ද කැබිනට් මණ්ඩලය උපදෙස් ලබා දී තිබිණි. එම උපදෙස් මත යමින් හිටපු සභාපතිවරයා කටයුතු කර තිබිණි. ඔමාන් ටේ්‍රඩින් ආයතනයෙන් කෙටි කාලීනව ගෑස් ලබා ගත්ත ද ගෑස් සැපයීම සම්බන්ධයෙන් වගකීමක් ඔවුන් සතු නොවූවේ දිගු කාලීන ගිවිසුම් අත්සන් කර නොතිබූ බැවිනි.

මූල්‍ය අර්බුදය හමුවේ සැපයුම්කරුවන්ගේ විශ්වාසය පවා බිඳ වැටී තිබුණු බැවින් ඔවුන් සැපයුම් කරන ලද්දේ මුදල් ගෙවන ආකාරයට පමණකි. ණය මත ඔවුන් ගෑස් සැපයීම අත්හිටුවා තිබිණි.

● සැපයුම්කරුවන්ට චෝදනා එල්ල කිරීම

ඕමාන් ටේ්‍රඩින් සමාගම සමඟ ගනුදෙනුවේදී හිටපු සභාපති තෙෂර ජයසිංහ විසින් එම සමාගම දූෂිත ගනුදෙනුවලට උත්සාහ කරන බවට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළේය. පරණ සැපයුම්කරු දූෂිත ගනුදෙනුවලට යොමු වන්නේ නම් එය නීතියෙන් විසඳා නොගෙන මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කිරීම තුළ ගෑස් සැපයුම්කරුවන් ලිට්‍රෝ සමඟ ගනුදෙනු කිරීමට මැලිකමක් දක්වන්නට වූවේය.

ගෑස් සැපයුම අඩාල වීමට මෙය ද හේතුවක් විය. හිටපු සභාපතිවරයා එම අවස්ථාවේදි මුදල් සොයා ගනිමින් ක්ෂණික ඇණවුම් කරමින් ගෑස් ගෙන්වා ගත්ත ද එය රටේ ගෑස් අර්බුදයට විසඳුමක් වූවේ නැත. සැපයුම්කරුවන් රාජකාරී මට්ටමෙන් කටයුතු කළා විනා සුහදව ගැටලු විසඳා ගැනීමට සූදානම් වූවේ නැත. ඔහු චෝදනා එල්ල කිරීම නිසා වෙනත් සැපයුම්කරුවන් පවා ණය පදනම මත ගෑස් සැපයීම ප්‍රතික්ෂේප කරන ලදි.

ලෝකයේ රටවල් සිටිනා සැපයුම්කරුවන් තබා ගැනීමට කටයුතු කරනවා විනා ඔවුන් ඉවත් කර ගැනීමට කටයුතු කරන්නේ නැත. ඊට හේතුව නම් බලශක්ති අර්බුදයක් ලෝකය පුරාම පවතින බැවිනි. නමුත් හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් හොඳම සැපයුම්කරුවෙකු අමනාප කර ගත්තේය. එහි අවසාන ප්‍රතිඵලය වූවේ ඔහු ධූරයෙන් ඉල්ලා අස්වීමය. යටි අරමුණු සහිතව ක්‍රියාකිරීමේ ප්‍රතිවිපාක බුක්ති විඳීමට සිදුවූවේ මහජනතාවට මිස සභාපතිවරයාට නොවේය.

ඉන් පසු වැඩබලන සභාපතිවරයෙකු පත්වූ අතර ඔහුට ද අර්බුදය අවසන් කර ගැනීමට නොහැකි විය. අර්බුද උග්‍ර වෙද්දී අගමැති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වූ අතර 20 දෙනකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් පිහිටුවනු ලැබීය.

● ලෝක බැංකුවේ සහාය

එවක අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ගෑස් අර්බුදය විසඳීමට අවශ්‍ය පියවර ගැනීමේ වගකීම බාර දෙනු ලැබූවේ සාගල රත්නායකටය. ඔහුගේ පළමු ඉල්ලීම වූවේ වැඩබලන සභාපතිවරයා වෙනුවට නව සභාපතිවරයෙකු පත් කිරීමය. සාගල රත්නායකගේ නිර්දේශය වූවේ නව සභාපති ලෙස මුදිත පීරිස් පත් කළ යුතු බවය. මන්ද ඔහු 2019 දක්වා ලිට්‍රෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක යන තනතුර දරමින් සිටි තැනැත්තා වූ බැවිනි.

ජුනි 15 වන දින ඔහුට සභාපති ධුරය හිමිවන අතර ඉන් පසුව ඕමාන් ටේ්‍රඩින් සමාගම සමග ලිට්‍රෝ ආයතනය යළි සාකච්ඡා ආරම්භ කළේය. පසුව ඔවුන්ව මෙරට කොන්දේසිවලට එකඟ කර ගැනීමට හැකිවීමත් සමඟ මුදල් සොයා ගැනීමේ මාර්ගයට පිවිසි බව සභාපති මුදිත පිරිස් කීවේය.

ඉන් පසු දවස් 20 ක් තුළ ටොන් 33000 ක් ගෙන්වා ගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ වූවේ ගෑස් පෝලිම් අවසන් කර ගැනීම වෙනුවෙනි. ලෝක බැංකුව සමඟ අවශ්‍ය සාකච්ඡා ආරම්භ වූවේ සාගල රත්නායකගේ මැදිහත් වීමෙනි. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහාය දෙද්දී අපනයනකරුවන්ගේ සංගමය මැදිහත්වී ඩොලර් සොයාදීමේ විශේෂ මැදිහත්වීමක් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.

තමා පැමිණීමට පෙර ලෝක බැංකු සාකච්ඡා ආරම්භ වී තිබුණත් එය සාර්ථක මට්ටමක නොතිබුණු බවද මුදිත පීරිස් කීවේය. උදේට සාකච්ඡා කොට හවසට ඉදිරි වැඩපිළිවෙළ ඉදිරිපත් කරමින් ගෙන ගියා වූ වෙහෙසකර ගමනක ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ලබාගැනීමට හැකිවූ බව ද ඔහු සඳහන් කර සිටියේය.

ලෝක බැංකු නිලධාරීන් සමඟ ගනුදෙනුවේදී ඉතා ප්‍රවේසම් විය යුතුය. ඒ මන්ද ඔවුන් ඉතාම විනිවිදභාවයෙන් කටයුතු කරන ආයතනයක් බැවිනි. දූෂණයට වංචාවට ඔවුන් සතුව ඉඩක් නොමැත. ලිට්‍රෝ සමාගම නිසි ලෙස වැඩකර ඇතිදැයි ඔවුන් සෑම අංශයකින්ම සොයා බලා තිබුණි. ලෝක බැංකුව ලංකාව වෙනුවෙන් වෙනත් වෙනත් ව්‍යාපෘති සඳහා වෙන් කර තිබූ මුදල් තවත් කටයුතු වෙනුවෙන් ලබා ගැනීමට කළ සාකච්ඡාවන් අතුරින් මේ වන විට සාර්ථකව ඇත්තේ ගෑස් ගෙන්වීම පමණකි.

ඒ අනුව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 70 ක් ලබා ගැනීමට ගිවිසුම්ගත වීමට හැකියාව ලිට්‍රෝ සමාගමට ලැබිණි. ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමකට එලැඹි අතර එහිදී ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක් ලබාදීමටත්, ලිට්‍රෝ සමාගම ඩොලර් මිලියන 20 ක් ලබාදීමටත් එකඟ වීමෙන් පසු ගෑස් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ඔක්තෝබර් අවසානය දක්වා ලබා ගැනීමට අවස්ථාව උදා විය.

මේ වන විට ටොන් 30,000 ක් ආනයනය කර තිබෙන අතර එයින් ගෑස් පෝලිම් අවසන් කිරීමට අවස්ථාව උදා විය. ලෝක බැංකුවත් සමඟ ඇතිකර ගත් ගිවිසුමේ තවත් වාසියක් තිබේ. එනම් ලිට්‍රෝ සමාගම මහා භාණ්ඩාගාරය වෙත ලෝක බැංකුවේ ණය මාස

5 ක් තුළ මාස් පතා ගෙව්වද මහාභාණ්ඩාගාරයට එය ලෝක බැංකුවට ගෙවීමට ඇත්තේ තවත් අවුරුදු 15 කිනි. ඒ අනුව ඩොලර් මිලියන 22 ක අමතර මුදලක් මේ නිසා මහාභාණ්ඩාගාරය සතු වන්නේය.

ලිට්‍රෝ සමාගම මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත මිල සූත්‍රයක් ආරම්භ කර තිබේ. එහි පළමු පියවර ලෙස ගෑස් මිල අඩු කිරීමට නියමිතය. දවස් 22 ක මෙහෙයුමකින් ගෑස් පෝලිම් අවසන් වූ බව ආණ්ඩුව කීවද අප ඒ ගැන අමන්දානන්දයට පත් වන්නේ නැත. හොඳ කියන්න තව කල් වැඩිය.

චන්දිම ටයිරසී බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment