ගෑස් අමතක කර විකල්ප ලිපකින් උයමු

169

“උයා ගන්න ගෑසුත් නෑ
කන්න බොන්න විදියක් නෑ
දියව් දියව් ගෑස් දියව්
උයා ගන්න ගෑස් දියව්”

පහුගිය දවස්වල රට පුරා පැවැති අරගලවලින් ගෑස් ඉල්ලා නැගුණු හඬ කිසිවෙකුටත් අමතක නැතැයි සිතමි. තවමත් රට පුරාම ගෑස් ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් සඳහා දිගු පෝලිම් ය. තමාට සමීපයේම ඇති ගෑස් අලෙවි සලට ගෑස් ලැබෙන ආරංචියට මිනිසුන් පෝලිම් වන්නේ පෙරදා රාත්‍රියේ සිට ය. ඇතැමුන් කුසට හරිහමන් ආහාරයක්වත් නොගෙන ගෑස් වෙනුවෙන් බලා සිටියි.

පැය ගණනාවක් තිස්සේ කිලෝමීටර් ගණනාවක් දුර ගෙවාගෙන වෙළෙඳපොළ සමීපයට යන විට ගෑස් ඉවරයි ලෙස මුදලාලි කියද්දී මිනිසුන්ගේ බඩේ ගෑස් ඉහට ගසනවා මිස වෙනත් යමක් සිදු වන්නේ නැත.

ගෑස් ප්‍රශ්නයට අද හෙට විසඳුම් ලැබෙන බවට බලධාරීන් හිත සනසන වදන් පැවසුවද තවමත් ගෑස් ප්‍රශ්නයට විසඳුමක් පෙනෙන තෙක් මානයේ නැත. ඇතැම් අවස්ථාවල දුෂ්කර ගම්මානවල ඇති ගෑස් අලෙවිසල් වෙත ගෑස් ලැබුණ කාලයක් මතක නැතැයි වෙළෙඳුන් පවසයි.

කොළඹ සහ නාගරික ප්‍රදේශවල ජීවත්වන පිරිසටත්, ග්‍රාමීයව ජීවත්වන පිරිසටත් ගෑස් හිඟයත් සමඟම වචනයෙන් කිව නොහැකි තරම් ගැටලු රාශියකට මුහුණ පාන්නට සිදු වී ඇත. ගෑස් හිඟය නිසා රට පුරා ඇති අවන්හල්, ආපනශාලා සහ බේකරි විශාල ප්‍රමාණයක් මේ වන විටත් වසා දමා අවසන්ය.

ගෑස් හිඟවීමත් සමඟ බොහෝ දෙනකු විදුලියෙන් ආහාර පිසීම සඳහා යොමු වුවත් විදුලි බිල ඉහළ නැංවීම සහ විදුලි කප්පාදුව නිසා විදුලියෙන් ආහාර පිසීමේ ක්‍රමවේදය ද එතරම් සාර්ථක වූයේ නැත. ඒත් සමඟම බොහෝ දෙනෙක් දර ළිප්, මැටි ළිප් සහ භූමිතෙල් ළිප් වැඩි වශයෙන් මිලදී ගත්තේ ඒවායේ විකුණුම් මිල වෙළෙන්දන් විසින් සිතූ සේ වැඩි කළ යුගයක ය.

නමුත් අද වන විට භූමිතෙල් ළිප් වලින් ආහාර පිස ගැනීමටද නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. ගෑස්වලට මෙන්ම භූමිතෙල් සඳහාද ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් ය.

මේ අතර ගෑස් පෝලිමට එක් වන්නට නොආ කොටසකුත් තවමත් අපි අතර සිටින බව සිහිපත් කළ යුතුය. ග්‍රාමීයව ජීවත්වෙන බොහෝ දෙනකු දන්නා දා සිට ආහාර පිස ගත්තේ දර ළිපට පින් සිදු වන්නටය. ඒ සඳහා අවශ්‍ය දර හිඟයක් නැතිව ගම්වලින් සපයා ගත හැකිය. විවෘත ආර්ථිකයත් සමඟ සියලු දේ පහසුවෙන් සහ ඉක්මනින් කර ගැනීමට පෙළඹුණු මිනිස්සු දර ළිප සහ දර ළිප් සංස්කෘතිය අමතක කර දමා ඒ වෙනුවට විදුලිය සහ ගෑස් ආධාරයෙන් ආහාර පිසීම සඳහා පෙළඹුණහ. විශේෂයෙන්ම මහල් නිවාස සහ පැල්පත් නිවාසවල ජීවත් වන පිරිසට ගෑස්වලින් ලැබුණේ වචනයෙන් කිව නොහැකි සහනයකි.

කළු දැලි සහ දුම නිසා දර ළිපේ ඉවීම බොහෝ දෙනකු ප්‍රතික්ෂේප කරයි. නමුත් සැබෑවටම දර ළිපේ පිසින ආහාර රසවත්ය. එහෙත් කාර්යබහුල ජීවිතයක් ගත කරන බොහෝ දෙනකුට ආහාරවල රස ගුණ ගැන හිතනවාට වඩා පහසුව ගැන සිතා තීරණ ගන්නට සිදුවිය. ඒ නිසා ඔවුහු ගෑස් ළිප මුළුතැන්ගෙයි සමීපතමයා බවට පත්කර ගත්හ.

නමුත් ගෑස්වල සංයුතිය වෙනස් වීමත් සමඟ දිගින් දිගටම ගෑස් පුපුරා යද්දී, විදුලි බිල වැඩි වෙද්දී ගෘහණියන් බොහෝ දෙනෙක් අකැමැත්තෙන් වුවත් ගෑස් වලින් ඈත් වී විකල්ප ක්‍රම වෙත යොමු විය.

ගෑස් අමතක කර විකල්ප ලිපකින් උයමු

යුග ගණනාවක් ආපස්සට ගියද දර ළිපේ ආදීනව වචනයෙන් කිව නොහැකි තරම්ය. නාගරික පිරිසට දර ළිප දල්වා ගැනීම අපහසු වුවත් ග්‍රාමීය පිරිසට දර ළිප දල්වා ගැනීම පහසු කාර්යයකි.

මේ උත්සාහ ගන්නේ නැවතත් ගල් යුගයට ගොස් දර ළිපට ආවඩන්නට මිනිසුන්ගේ මනස හදන්නට නොවෙයි. නමුත් ගෑස් එකදිගට ගෑස් පෙන්වද්දී ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද සෙවීම යුගයේ අවශ්‍යතාවයි.

ගෑස් හිඟයත් සමඟ ග්‍රාමීයව වෙසෙන බොහෝ දෙනෙක් දර ළිප් භාවිත කරන නමුත් නාගරිකව ජීවත්වන පිරිසට දර සපයා ගැනීමේදීද ගැටලු පැන නඟී. නමුත් අද වන විට නාගරිකව ජීවත්වන බොහෝ දෙනෙක් ද දර මිලදී ගනිමින් හෝ දර ළිප් භාවිත කර ආහාර පිසීමට පෙළඹී සිටිති. මේ අතර පිටරටින් ගෙන්වන ගෑස්වල ගෑස් නොබලා ජීව වායුව හරහා ආහාර පිසීමේ ක්‍රමවේදය පිළිබඳවද බොහෝ දෙනකුගේ අවධානය යොමු විය. රුපියල් 20,000 ක් වැනි මුදලකට ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ගොස් ජීව වායුව හරහා ආහාර පිසීමේ ක්‍රමවේදයට අවශ්‍ය පහසුකම් සලසා දෙන අපූරු මිනිසකු අපට මුණගැසෙන්නේ මේ අතර ය.

ඔහු තිස්සමහාරාමයේ පදිංචි ප්‍රසන්න මුතුමාලය. ජීව වායුව ආශ්‍රයෙන් ආහාර පිසීම සම්බන්ධයෙන් ප්‍රසන්න දැක්වූයේ මෙවැනි අදහසකි.

“ගෑස් නැති එක දැන් රටටම ප්‍රශ්නයක් වෙලා. ඇත්තටම ගෑස්වලට හුරු වුණ හින්ද තමයි ඒක අපිට බරපතළ ප්‍රශ්නයක් විදිහට දැනෙන්නේ. නමුත් ඉසද ට්ි හෙවත් ජීව වායුව කියන්නේ ස්වභාවික ක්‍රියාවලියක්. ඒකට කිසිම සීමාවක් පනවන්න කාටවත් බෑ. මුළුතැන්ගෙයින් ඉවත දමන ආහාර කොටස්, සත්ත්ව මළ පහ වැනි දේවල් උපයෝගි කරගෙන අපිට මේ ජීව වායුව සකස් කරන්න පුළුවන්.”

මුළුතැන්ගෙයින් ඉවත දමන අපද්‍රව්‍ය භාවිත කරමින් ජීවිත කාලයටම අවශ්‍ය ගෑස් ලබා ගැනීමට හැකියාව ඇති බවත් ප්‍රසන්න වැඩිදුරටත් කියා සිටියි. එමෙන්ම ගොම වැනි සත්ත්ව මළ පහ භාවිතයෙන් මහා පරිමාණයෙන් වුවද ජීව වායුව නිෂ්පාදනය කරගත හැකි බවත් ඒ හරහා ආපන ශාලාවල පවා ආහාර පිසිය හැකි බවත් සිහිපත් කළ යුතුය.

“සාමාන්‍යයෙන් මුළුතැන්ගෙයින් කොයිතරම් ආහාර ප්‍රමාණයක්, ඉවත දානවද? මහා පරිමාණයෙන් මේ ජීව වායුව නිෂ්පාදනය කළොත් දවසේ පැය 24ම වුණත් ආහාර පිස ගන්න හැකියාව තියෙනවා. ඇත්තටම අපිට අඩුම මුදලකට ජිවිත කාලයටම ගෑස් ලබා ගන්න හැකියාව තියෙනවා. අපි ඒ ක්‍රම හොයාගන්නේ නැති එක තමයි ප්‍රශ්නේ.”

තිස්සමහාරාමයේ පදිංචි ප්‍රසන්නට දර වලින් අඩුවක් නැත. නමුත් ඔහු මේ ක්‍රමය පිළිබඳව දිගින් දිගටම අත්හදා බලන්නේ ගෑස් නොමැතිව පීඩා විඳින ජනතාවට සහනයක් වනු පිණිසය. ලීටර් පන්සියයේ වතුර ටැංකි දෙකක් හෝ දාහක වතුර ටැංකියක් ගෙන ජීව වායුව සකස් කර ගැනීම සඳහා අවශ්‍ය මූලික උපකරණ නිර්මාණය කරන නිසා ඒ වෙනුවෙන් මුදලක් අයකර ගැනීමට සිදු වුවද ඉන්පසුව ඒ සදහා කිසිදු මුදලක් වැය වන්නේ නැති බවට ද ප්‍රසන්න සහතික වෙයි.

අපේ රට තුළ ඉවතලන ආහාර කොටස් ආහාර කොයිතරම් ද යන්නට කුණු කඳු සාක්ෂි දරනු ඇත. එවන් වටපිටාවක තවත් ගෑස් නැවක් එනතුරු පැය ගණනාවක්, දින ගණනාවක් පෝලිම්වල බලා සිටිනවාද එසේත් නොමැති නම් මෙවැනි විකල්ප ක්‍රමවේද සඳහා යොමු වෙනවා ද යන්න ජනතාවගේ තීරණයයි. කෙසේ නමුත් මේ ජීව වායුව හරහා ආහාර පිසීමේ ක්‍රමවේදය ගෑස් හිඟයට විසඳුමක් මෙන්ම ආහාර කොටස් වැනි දිරන කැළිකසළ බැහැර කිරීම කළමනාකරණය කිරීම සඳහාත් අපූරු විසඳුමක් වනු නොඅනුමානය.

මේ අතර නවීන ක්‍රමයට සකස් කරන ලද පොල්කටු අඟුරු ළිප් නිෂ්පාදනය කරන චමෝද් කවිශ්ක අපට හමුවන්නේ කැලණිය ප්‍රදේශයෙනි. නිවසේ ඉවතලන පොල් කටු, පොල්කටු අඟුරු කර භාවිත කිරීමට හැකියාව ඇති මෙම ළිපෙහි දැලි සහ දුම නොමැතිවීම ගෘහණියන්ට අපූරු ප්‍රතිලාභයකි. මේ පොල් කටු අඟුරු ළිප් සකස් කර ඇත්තේ කොන්ක්‍රීට්වලින් වීම නිසා සවි ශක්තිය පිළිබඳව ගැටලුවක් ඇතිවන්නේ ද නැත.

“මේ ළිප අපි හැදුවේ ගෑස් හිඟයට විසඳුමක් විදියට. පොල් කටු අඟුරු දාලා උයන්න හැකියාව තියෙනවා. අළු ටික පහසුවෙන් ඉවත් කරන්න පුළුවන්. ගිනිගන්න දේවල් නැති නිසා ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. කුඩා විදුලි පංකාවක් තියෙනවා විදුලියට සම්බන්ධ කරන්න. හැබැයි විදුලියට සම්බන්ධ නොකර භාවිත කරන්නත් අවශ්‍ය පහසුකම් සලසලා තියෙනවා. පොල් කටු තුනක අඟුරුවලින් වෑංජන තුනක් වගේ පිළියෙල කරගන්න පුළුවන්. ගින්දර අඩු වැඩි කිරීමේ හැකියාව තියෙන නිසා වලට සමානවම පොල්කටු අඟුරු ළිපෙනුත් උයන්න පුළුවන්. පොල් කටු අඟුරු සපයා ගන්න බැරි කෙනෙක් හිටියොත් අඟුරු කිලෝ එකක් රුපියල් දෙසීයක් වැනි මුදලකට අපෙන් ලබාගන්න පුළුවන්.”

මෙම ළිපක් වෙළෙඳපොළේ රුපියල් හත්දාහක් අටදාහක් අතර ප්‍රමාණයකට මිලදී ගැනීමට හැකියාව ඇත.

මේ ගෑස් හිඟයට සාර්ථක විකල්ප ක්‍රම සෙවූ පුද්ගලයන් දෙදෙනකු පමණි. මෙවැනි සාර්ථක නව නිර්මාණ කරන බොහෝ දෙනෙක් අපේ රටේ තවමත් සිටිනවාට සැකයක් නැත. ගැටලු ඇත්තේ ඔවුන්ට ඒ නිෂ්පාදනයන් කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය නොවීමයි. තවදුරටත් ගෑස්වල ගෑස් බලමින් මහා පාරටම දවසේ පැය 24න් වැඩි කාලයක් දිය කරනවාද, එහෙමත් නැත්නම් මෙවැනි විකල්ප ක්‍රම අනුගමනය කරමින් අපි අපිම මේ ප්‍රශ්නයෙන් ගොඩ එනවාද යන්න තීරණය කළ යුත්තේ අපිමයි.

දේශීයව බිහිවන මෙවැනි නිපැයුම් සඳහා නිසි වටිනාකමක් ලබාදී එම නිෂ්පාදන ලංකාව පුරා බෙදා හැරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට බලධාරීන්ගේ අවධානය දැන්වත් යොමුවිය යුතුය. එමෙන්ම සියලු දේම රුපියල් සත මත තීරණය වන යුගයක මැටි ළිපේ සිට මෙවැනි නිපැයුම් සිදුකරන සියලු දෙනාද සාධාරණව මුදල් උපයමින් මේ මොහොතේ ජනතාවට ද ජනතාවට ද සහනයක් සැලසිය යුතු බවද සිහිපත් කරමි.

කුමාරි ඉරුගල්බංඩාර

advertistmentadvertistment
advertistmentadvertistment