ගෑස් අවුල

645

අප රටේ යුද්ධය දශක තුනක් තිස්සේ ඇදී ගියේය. ඒ කාලයේදී කොතැනක හෝ ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් බෝම්බ පිපිරීම් සිදුකරනු ඇතැයි බියෙන් අපි වෙළී සිටියෙමු. කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් ඇතිකළ එම බිය පහව යද්දී සහරාන්ලා අප රටේ දේවස්ථාන මූලික කරගෙන බෝම්බ පුපුරුවා, යළිත් බෝම්බ බිය ඇති කළේය. ඉන්පසු අපට දැනුණු ලොකුම බිය වූයේ කොරෝනා බියයි. එම බියෙන් ගැලවීම සඳහා අප රටේ ජනතාවට නොපෙනෙන වෛරසයක් සමග සටන් කිරීමට සිදුවිය. කොරෝනා බිය මුළුමනින්ම පහව නොගොස් ඇති අවධියක දැන් අපට අලූත් බියකින් පෙළීමට සිදුව ඇත. ඒ ගෑස් පිපිරීම් පිළිබඳවය. බෝම්බ පිපිරුණේ මහ පාරේය. ගෑස් ටැංකි ලිප් පුපුරන්නේ මුළුතැන්ගෙයි ය. එනිසා නිවසේ ගෘහනිය ඇතුළු සාමාජිකයන්ට දැඩි මානසික පීඩනයකින් කාලය ගතකරන්නට සිදුවී ඇත. පෙරේදාත් (2 වැනිදාත්) වේයන්ගොඩ, පල්ලෙවෙල, නොරොච්චේලේ, ගාල්ල, පෝද්දල, නුවරඑළිය, දිඹුලාගල, පූජාපිටිය, ගම්පහ, කාත්තන්කුඩි, මහාවිලච්චිය, හෝමාගම, ගෝනපීනුවල, අම්බලන්ගොඩ, කින්නියා, වාද්දුව, මීගමුව සහ මිද්දෙනිය යන ප‍්‍රදේශවලින් ගෑස් පිපිරීම් වාර්තා විය. දිනෙන් දින වාර්තා වන ගෑස් පිපිරීම් නිසා අප සමාජය දැඩි තැතිගැනීමකට ලක්ව ඇති බව නොරසකි.

එනිසා මෙම තත්ත්වය පාලනය කර ජනතාවට මානසික පීඩනයකින් තොරව ගෑස් භාවිතා කිරීමට අවකාශ සැලසීම බලධාරීන්ගේ වගකීමක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙතෙක් කළ පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණවලදී හෙළිදරව් වී ඇත්තේ සිලින්ඩරයේ ඇතුළත් ගෑස්වල සංයුතියේ (බියුටේන් සහ ප්‍රොපේන්) සිදුකළ වෙනස්කම් නිසා මෙම පිපිරීම්වලට හේතු වී ඇති බවයි. මෙම පිපිරීම්වලට ආසන්නම හේතුව එය නම් මෙතෙක් වෙළෙඳපොළට නිකුත් කළ ගෑස් සිලින්ඩර භාවිතයේදී යම් අවදානමක් තිබෙන බව සිතාගත යුතුය. ජාඇල පැවැති උත්සවයකදී රාජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතා පෙන්වාදී තිබුණේ ගෑස්වල සංයුතියේ හෝ වෙනයම් වෙනස් කිරීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා ප‍්‍රමිති ආයතනය සහ අදාළ නියාමන ආයතනවල අනුමැතිය අනිවාර්යයෙන්ම ලබාගත යුතුව තිබූ බවයි.

මේ අතර පාරිභෝගික කටයුතු ඇමැති ලසන්ත අලගියවන්න මහතා ඊයේ ප‍්‍රකාශ කරනු ලැබුවේ ගෑස් කාන්දුවක් හඳුනාගැනෙන එතිල් මර්කැප්ටන් නමැති රසායන සංයෝගය ප‍්‍රමිතියකට නොතිබීම හේතුවෙන් ගෑස් සිලින්ඩර් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවන ලෙස ගෑස් සමාගම්වලට දැනුම් දුන් බවයි. ගෘහස්ථව පාවිච්චි කරනු ලබන ගෑස් යම් පිපිරීමකට ලක්ව යෑමේ අවදානමක් තිබියදී යම් අවස්ථාවක ගෑස් ලීක්වන්නේ නම් එය හඳුනා ගැනීමට පාරිභෝගියන්ට අවස්ථාව අහිමි වේනම් ඔවුනට යම් අනතුරක් වළක්වා ගැනීමේ අවස්ථා ද අහිමිවනු ඇත. මෙම කාරණා බරපතළය. එනිසා ඉදිරියේදී හෝ ගෑස් පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව ගෑස් පාවිච්චි කිරීමට ඉඩකඩ ලබාදීමට අදාළ සමාගම් වහාම කටයුතු කි‍්‍රයාත්මක කළ යුතුව ඇත.

මේ ගැන අදහස් දක්වන පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසන්නේ ගෑස්වල සංයුතිය වෙනස් කිරීමට සමාගම ගත් තීරණය බරපතළ වරදක් බවයි. කවරක් නමුත් දැන් සිදුව ඇති වරද යළි ආපස්සට හැරවිය නොහැක. කළ යුත්තේ ඉදිරියේදී මෙවැනි වැරදි නොවීමට වගබලා ගැනීමයි. ගෑස් වෙළෙඳපොළට සම්බන්ධ සියලූ පාර්ශ්ව විiාත්මක ප‍්‍රවේශයක් ඔස්සේ මෙම ගැටලූව නිරාකරණය කරගැනීමට වගබලා ගත යුතුය. නැවෙන් එන ගෑස් කුස්සියට නැතහොත් මුළුතැන්ගෙට එද්දී එය සුරක්‍ෂිත වන, ජීවිත තර්ජනයක් නොවන භාණ්ඩයක් බවට පත්විය යුතුය. ජීවන බරින් මිරිකී, කොරෝනාව නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට ගෑස් සිලින්ඩරයත් අවදානම් භාණ්ඩයක් වුවහොත් ඉන් ඇතිවන මානසික පීඩනය ජන ජීවිතය අවුලෙන් අවුලට පත්කරනු ඇත. ගෑස් අද වනවිට අත්‍යවශ්‍ය භාණ්ඩයක් වී ඇත. නාගරික ජනතාවට ගෑස් නැතිවම බැරිය. ගෑස් නැති වුවහොත් පුංචි තේ කඩයක් පවත්වාගෙන යන මිනිසාගේ සිට ඉහළ සංචාරක හෝටල් ව්‍යාපාරය දක්වා එය බලපානු ඇත. එනිසා මොන අභියෝග දුෂ්කරතා තිබුණත් ගෑස් අවුල ඉක්මනින් විසඳා ගත යුතුව තිබේ.


advertistmentadvertistment