ගෑස් ත‍්‍රස්තවාදය සහ කුස්සියේ ඛේදවාචකය

1002

විසඳී ඇත්තේ කිරි පිටි ප‍්‍රශ්නය පමණි. ඒ ද වැඩි මිලටය. ගෑස් ප‍්‍රශ්නය ද පසුගියදා වැඩි මිලට විසඳින. සීනි ප‍්‍රශ්නය එහෙමමය. හාල් ප‍්‍රශ්නය ඒ විදියට වැඩිමිලටම පවතී. ඒ අතර මේ දිනවල නැවත වතාවක් ගෑස් හිඟයක් තිබේ. රුපියල් 1500 සිට රුපියල් 2840 දක්වා මිල නංවන ලද ගෑස් කිලෝ 12.5 හේ සිලින්ඩරය පසුගිය සති අන්තයේදී අලෙවි වුණේ රුපියල් 3500 බ්ලැක් මාකට් මිලටය. ලෝක ආර්ථික අර්බුදය නමැති මී කතුරට අපගේ වලිගය හසුවී තිබේ. විදේශීය ණය උගුල නමැති මී කතුර අප දිහාට එමින් සිටී. එයට හසුවූ දාට අපේ බෙල්ල ළඟින්ම යන අතර ඉතිරි වන්නේ වලිගයත් නැති බෙල්ලත් නැති ක්වන්ධය පමණි. මේ රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වූ මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කිරීමෙන් චීන්නු තමන් සතු බලයෙන් ප‍්‍රකෝටියෙන් එකක් අපට පෙන්වූහ. මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරන ලද්දේ චීනයෙන් ගෙනා ක්ෂුද්‍ර ජීවීන් අඩංගු කාබනික පොහොර වලට මුදල් ගෙවීම එම බැංකුව විසින් අත්හිටුවන ලද හෙයිනි. මේ අතර නැවත වතාවක් ගෑස් ප‍්‍රශ්නය අපට සිහිවේ. මේ රටේ පවුල් විසි එක් ලක්ෂයකට වඩා ආණ්ඩුවේ ලිට්‍රෝ ගෑස් සමාගමේ ගෑස් වලින් බත් උයති. මේ රටේ පවුල් පන් ලක්ෂයත් දස ලක්ෂයත් අතර පිරිසක් ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය ගේ ලාෆ්ස් ගෑස් වලින් බත් උයති. මේ මොහොත වනවිට ලාෆ්ස් ගෑසුත් නැත. වෑගපිටියත් නැත. ලිට්‍රෝ ගෑස් නැත. එම සමාගමේ සභාපති ටෙශාර ජයසිංහ ඇත. පසුගියදා මාධ්‍ය ඉදිරියේ පෙනී සිටි ටෙශාර පැවසුවේ ගෑස් නැව් ලංකාව කිට්ටුවට පැමිණ වෙනදාට වඩා වැඩි මිලක් ගෙවා එම ගෑස් ලබා ගන්නැයි ලංකාවට තර්ජනය කරන බවය. ලංකාවේ එල් පී ගෑස් සැපයුමෙන් 60% ක් දරනු ලබන්නේ ටෙශාර ගේ ලිට්‍රෝ ගෑස් සමාගමයි. ත‍්‍රස්තවාදී ගෑස් නැව යෝජනා කළ ආකාරයට වැඩි මිලට ගෑස් මිලදී ගැනීමට ලිට්‍රෝ ගෑස් සමාගමට සිදුවී නම් ලංකාවට රුපියල් බිලියන දහයක් පමණ පාඩුවන බව ටෙශාර ජයසිංහ මාධ්‍යවලට කීවේය. මෙසේ අහිමිවන මුදල ලංකා ආණ්ඩුවේ රුපියල් කොළ නම් ප‍්‍රින්ටින් මැෂින් කිහිපයක් මිලට ගෙන ඒවා අච්චු ගසා දිය හැකිය. එහෙත් එම මුදල් අහිමිවන්නේ රුපියල්වලින් නොව ඩොලර් වලිනි. ගෑස් හිඟය සම්බන්ධයෙන් ටෙශාර ජයසිංහ දක්වන කරුණු මඳක් ව්‍යාකූලය. එයට හේතුව ආණ්ඩුවේ ආයතනයක ප‍්‍රධානියා වශයෙන් හෙළිකළ හැකි දේ මෙන්ම හෙළි නොකළ හැකි දේද ඔහුට තිබීමය. ඔහු ආණ්ඩුවත් රැුකගත යුතුය. සිය රස්සාවත් රැුකගත යුතුය. කෙසේ හෝ වේවා අවසානයේදී මේ සියලූ කතන්දර මේ ආකාරයෙන් සරල කරගත හැකිය. එනම් ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් නැවක් ඇනවුම් කර තිබිණ. එය කොළඹ වරායට පැමිණ වෙනදා විකුණන මුදලට වඩා රුපියල් බිලියන දහයක් වැඩි මිලක් ඉදිරිපත් කොට එම මිලට ගෑස් නොගන්නේ නම් ආපසු හැරී යන බව කීවේය. සෝමාලියාව වැනි රටවල වටිනාකම මෙවැනි වෙලාවලදී අපට දැනෙයි. මේ කියන ගෑස් නැව සෝමාලියානු මුහුදේදී මෙවැනි කතාවක් කීවේ නම් ඒ නැවට ගමන් කරන්නට සිදුවන්නේ මුහුද මතුපිට නොව මුහුද යටින්ය. සෝමාලි මුහුදු කොල්ලකරුවන් ගෑස් ටික ගොඩට ඇදගෙන නැවේ සිටින කාර්ය මණ්ඩලය ඝාතනය කර නැව් කපිතාන් උස්සා මාළුන්ට කෑම පිණිස මුහුදට දමා නැව සිදුරුකොට සාගර පත්ලට යවනවා ඇත.

 ගෑස් යනු මෙරට ජන ජීවිතයේ ප‍්‍රමුඛ දායකයෙකි. ගෘහස්ථ ආහාර පිසීමේ සිට වාණිජ මට්ටමේ ආහාර පිසීම් දක්වා (හෝටල්) සියලූ පිසීම් කටයුතු සිදුකරන්නේ එල් පී ගෑස් මගිනි. එල් පී ගෑස් ලංකාවට හඳුන්වා දෙනු ලබන්නේ 1872 දී බි‍්‍රතාන්‍ය ආණ්ඩුව විසිනි. එකල මේ රටේ ලයිට් නැත. මෙරටට මුලින් ලයිට් එන්නේ 1895 දීය. එබැවින් ඒ දිනවල බි‍්‍රතාන්‍ය ආණ්ඩුවේ ප‍්‍රමුඛ අවශ්‍යතාව වූයේ එල් පී ගෑස් වලින් කෑම පිසීම නොව කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පිහිටි ගෑස් ලාම්පු ද කොළඹ පිහිටි ප‍්‍රභූ නිවාසවල ගෑස් ලාම්පුද එම ගෑස් මගින් දල්වා රාත‍්‍රිය ආලෝකවත් කිරීමය. එකල ගෑස් සිලින්ඩර නැත. මුළු කොළඹ නගරයම භූගත ගෑස් නළ ජාලයකින් එකල ආවරණය වී තිබිණ. අදටත් යුරෝපයේ රටවල් වැඩි හරියක ගෑස් සිලින්ඩර නැත. ඒ වෙනුවට පැරණි ලංකාවේ තිබුණාක් මෙන් භූගත ගෑස් නළ ජාල ඒ රටවල තිබේ. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව ගෑස් ලාම්පු මගින් කොළඹ මුල්වරට ආලෝකවත් කරන්නේ 1872 දී පිහිටවන ලද ගෑස් සහ ජල සමාගම ඔස්සේය. මේ සමාගම එදා තිබුණේ කොළඹ ගෑස් පහ හංදියේ ය. ලංකාවට විදුලි බලය එන්නේ මෙයින් බොහෝ කලකට පසුවය. විදුලි බලය පැමිණීමත් සමගම ගෑස් ලාම්පු අභාවයට ගිය අතර එල් පී ගෑස් ආහාර පිසීමේ ඉන්ධනයක් බවට පත්විය. අද වනවිට අවුරුදු 140 ක් පමණ පරණ ශ‍්‍රී ලංකාවේ ගෑස් කතන්දරය ජනතාවට වැඩිම බලපෑමක් කරන කතන්දර වලින් එකක් බවට පත්ව තිබේ. මේ කතන්දරය ඛේදවාචකයක් ලෙස අවසන් වුණොත් ලංකාවේ නාගරික ජනතාව බත් කා ඉවරය.

advertistmentadvertistment
advertistmentadvertistment