ගෑස් මදිවට පාන් ගෙඩියත් පුපුරයි…

79

මේ අවුරුද්දට රුපියල් 27.50කින් පාන්පිටි මිල වැඩි වුණා…

ඉතිහාසයේ වැඩිම පාන්පිටි මිල වැඩිවීම…

සෑම මාස දෙකකට සැරයක් යළි යලිත් මිල ඉහළට…

දේශපාලනය තුළ ‘පාන්’ යනු වැදගත් සාධකයකි. 1994 වර්ෂයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ජනාධිපතිවරණ පොරොන්දුවක් වූයේ ද තමා බලයට පත් වූ පසු රුපියල් තුනයි පනහට පාන් රාත්තලක් ලබාදෙන බවය. ඇය බලයට පැමිණ එම පොරොන්දුව ඉෂ්ට කළ ද, ඉතාම කෙටි කාලයක් තුළ පාන් මිල නැවත වැඩි විණි. එහෙත් මෙවර පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම දේශපාලන ‘රස කතාවක්’ නොවන්නේ ‘ගෑස් ටැංකි පිපිරීම’ කරළියේ රැව් පිළිරැව් දෙන නිසාය. එසේ නොවෙන්න 1939 – 1945 යුගයේ ශත 10 – 25ට තිබුණු පාන්ගෙඩිය මේ වනවිට රුපියල් 75ට වැඩිවීම ගැන ‘පල්හෑලි’ සහිත දේශපාලන රස කතා අතොරක් නැතිව අසන්නට තිබිණි. පාන් මිල ‘චූන්’ කිරීමට වඩා ගෑස් ටැංකි පිපිරීම විපක්‍ෂයට හොඳ කට ගැස්මක් වූ බැවින් බේකරි නිෂ්පාදන මිල වැඩිවීම යට ගියේ්ය. එහෙත් ගෑස් ටැංකි පිපිරීම මෙන්ම බේකරි නිෂ්පාදනවල මිල වැඩි වීම ද ජනතාව දැවෙන ගැටලූවක් බව සැබෑය.

පාන් දුප්පතාගේ ආහාරයකි. වතුකම්කරුවන්ගේ ප‍්‍රධාන ආහාරය රොටිය. එදත් අදත් මෙරට පාන්පිටි වැඩිපුරම පරිභෝජනයට ගන්නේ වතුකම්කරුවන් සහ මධ්‍යම පාන්තික ජනතාවය. එමෙන්ම කර්යබහුල මිනිසුන් පහසුවට බඩ පුරවා ගැනීමට පාන්පිටි ආහාරවලට හුරු වී සිටින බව ද සැබෑය. සවස් වරුවේ පමණක් නොව, සමහරවිට උදේටත් දහවලටත් ක්‍ෂණික කෑම කඩ, බේකරි කඩවල පිරි සිටින සෙනඟ කන්දරාව ඊට සාක්‍ෂිය. එහෙත් දැන් පාන්පිටි කෑමත් ගිනි ගණන්ය. මේ වසරේ පමණක් තිරිඟුපිටි මිල දෙවතාවක් වැඩි වී ඊට සාපේක්‍ෂව බේකරි නිෂ්පාදනවල මිල ද ඉහළ ගියේය.

‘‘පාන් කියා ගන්න බැරි තරමට ආර්ථික ගැටලූවලින් හෙම්බත් වී සිටින ජනතාව අසරණ කරන්න අපි කැමැති නෑ. ඒත් තිරිඟුපිටි මිල වැඩිවීම අපිට දරාගන්න බෑ. රුපියල් 85ට තිබුණු පාන්පිටි කිලෝව මේ අවුරුද්දට දෙපාරකට රුපියල් 27.50 කින් වැඩි වුණා. ඒ නිසා තමයි බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට අපි තීරණය කළේ…’’ එසේ කියන්නේ සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ය.

‘‘පහුගියදා පාන්පිටි මිල වැඩිවීම මෙරට ඉතිහාසයේ වැඩිම මිල වැඩි වීම. පාන්පිටි කිලෝවක් රුපියල් 17.50 කින් ඉහළ ගියා. ඒත් තිරිඟුපිටි ආනයන සමාගම්වත් විෂය භාර අමාත්‍යවරුන්වත් මේ මිල වැඩිවීම සම්බන්ධයෙන් වචනයක්වත් කතා කළේ නෑ. ආණ්ඩුවත් නොමඟ යවලා කොම්පැනිකාරයන්ගේ හිතුමතේට ඉතාම ආසාධරණ විදිහට තමයි මේ මිල වැඩි කිරීම කරලා තියෙන්නේ. රටේ ජනතාවගේ කරුමෙට අදාළ ඇමැතිවරු දෙදෙනාම ඉන්නේ කොම්පැනිකාරයන් එක්ක. ඔවුන් සෑම තීන්දු තීරණයක්ම ගන්නේ ජනතාව ගැන හිතලා නෙමෙයි, කොම්පැණි ගැන හිතලා. ඒ වගේම ගුණාත්මක තත්ත්වයෙන් උසස් පාන්පිටි ලබාදීලා යම් මුදලක් වැඩි කළත් ගැටලූවක් නෑ. දැන් තියෙන පාන්පිටිවලින් නිෂ්පාදනය කරන ආහාරවල පෙනුම, රස, සුවඳ අඩුයි. නිෂ්පාදන කටයුතු කරගෙන යන්න අපහසුයි. රොටියක් ගහනකොට තුනට, හතරට කැඩෙනවා. වැඩ කරන්න හරිම අමාරුයි…’’

‘‘ඒ වගේම රුපියල් 17.50කින් පාන්පිටි කිලෝ එකක මිල වැඩි වුණාම පිටි නිෂ්පාදනවල මිල වැඩි නොකර අපිට ව්‍යාපාර කරගෙන යන්න බෑ. ඒ නිසා තමයි පාන් රාත්තලක මිල රුපියල් 10ක්, ෂෝට්-ඊස්ට් එකක මිල රුපියල් පහකින් සහ කොත්තුවක මිල රුපියල් 10කින් වැඩි කළේ. ඒ වගේම සමහර ආපනශාලා හිමිකරුවන් සිතැඟි පරිදි මිල තීරණ කරලා අසරණ පාරිභෝගිකයන් සූරාගෙන කනවා. ඒ හෝටල් හිමියන්ට වැට බැඳීමට පාරිභෝගිකයන් දැනුවත් කිරීමටත් අපි මේ මිල වැඩි කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. පාරිභෝගිකයෝ දැනගන්න ඕනෑ රුපියල් 40ට ගත්ත රෝල්ස් එක දැන් රුපියල් 45 යි, රුපියල් 180ට ගත්ත කොත්තුව දැන් රුපියල් 190 යි කියලා. මේ මිලට වැඩියෙන් විකුණන ආපනශාලා හිමිකරුවන්ට නීතිය ක‍්‍රියාත්මක කරවීමට අදාළ ආයතන වගබලා ගන්න ඕනෑ. ඒ වගේම තිරිඟුපිටි ආනයනයට මේ රටේ පවතින ඒකාධිකාරිය බිඳලා පිටි ආනයනයට ආයෝජකයන්ව දිරිමත් කරන්න ඕනෑ. එහෙම නැති වුණොත් පාලන මිලක් නැති පාන්පිටිවල මිල තවත් ඉහළ යනවා. පාලන මිලක් තිබුණා නම් මිල වැඩි කරන්න පාරිභෝගික අධිකාරියේ අනුමැතිය හරි ලබා ගන්න ඕනෑ. දැන් කිසිම අනුමැතියකින් තොරව කොම්පැණිකාරයන්ට හිතුමතේ මිල වැඩි කරන්න පුළුවන්. කොම්පැනිකාරයෝ තිරිඟුපිටි මිල වැඩි කරනකොට අපිටත් පාන්පිටි නිෂ්පාදනවල මිල ඉහළ දාන්න වෙනවා. පිටි කෑමවල මිල ඉහළ යනකොට පාරිභෝගිකයන් අඩු වෙනවා. අපේ රටේ විසිදහසකට ආසන්නව තිබුණු ආපනශාලා සංඛ්‍යාවෙන් කොරෝනා ව්‍යසනයත් එක්ක දහසකට ආසන්න සංඛ්‍යාවක් වැහිලා ගිහින් තියෙනවා…’’

‘‘පහුගිය කාලේ උදේ පාන්දරට ඇඹුල් තියල් මාළු කෑල්ලයි, රතු කැකුළු බතුයි කාලා, දවල්ට මස් කෑල්ලක් එක්ක බත් ටිකක් කාපු පේව්මන්ට් වෙළෙන්දා, අනෙකුත් සුළු වෙළෙන්දෝ දැන් උදේ නවයට විතර හෝටලයකට ගිහින් පරාට දෙකක්, බිත්තර රොටියක් කපලා කළවම් හොඳි ටිකක් දාගෙන කාලා, දවල්ට වතුර එකක් බොනවා. සල්ලි පොලියට ගත්ත වගේ බඩ පිපිලා තියෙනවා. ?ට ගෙදර ගිහින් කනකම් කුසට ආහාර එච්චරයි. ඒ වගේම පහුගිය කාලේ උදේට ආහාර වර්ග ගොන්නක් තිබුණු ආපනශාලාවේ දැන් තියෙන්නේ කෑම වර්ග දෙක තුනයි. ආපනශාලා හිමිකරුවෝ භාගෙට භාගයක් ණයකාරයො වෙලා. ඒත් අයවැයෙන් අපිට කිසිම සහනයක් ලැබුණේ නෑ. අපි උන්නද? මලාද? කියලා ආණ්ඩුව බලන්නෙත් නෑ. ඉතිං අපි නිෂ්පාදනවල මිල වැඩි නොකර වෙන මොනව කරන්නද? ඒත් අපි පාරිභෝගිකයන් අසරණ වෙන විදිහට වියදම පියවාගැනීමට යන්නේ නෑ. පහුගිය කාලේ ගෑස් මිල වැඩි කිරීමත් එක්ක බත් පැකට් එකක් රුපියල් 10කින් මිල වැඩි කළා. තේ එක රුපියල් 5කින් වැඩි කළා. ඒත් බේකරි නිෂ්පාදනවල මිල වැඩි කළේ නෑ. මේ මිල වැඩි කිරීමටත් අපිට දුකයි. අසරණ පාරිභෝගිකයන් කන හැටි දන්නේ අපි විතරයි…’’ පවතින ආර්ථික ක‍්‍රමය තුළ එදිනෙදා කීයක් හරි හම්බ කරගෙන පානුයි පරිප්පු හොදියි කාලා ප්ලේන්ටියක් බීල ජීවිතය ගැටගසා ගන්න උදවියට මේ මිල වැඩිවීම බඩට පහරක් බව සැබෑය. එමෙන්ම පාන්පිටි මිල වැඩිවීමට සාපේක්‍ෂව ඇඟිලි විස්කෝතුවේ සිට බිස්කට් මිල ද වැඩිවන බව සැබෑය. රත්මලාන එයාර්පෝට් හන්දියේ ආපනශාලාවක් පවත්වාගෙන යන නෙල්සන් මහතා ද ඒ බව අපට මතක් කළේය.

‘‘දැන් හැම කෙනෙක්ම කතා කරන්නේ බේකරි නිෂ්පාදනවල මිල වැඩිවීම විතරයි. පාන්පිටි මිල වැඩි වෙනකොට උපරිමයෙන් මිල වැඩි කෙරෙන්නේ බිස්කට් නිෂ්පාදනවල. ඒ මිල වැඩි කිරීම් ප‍්‍රසිද්ධියේ වෙන්නේ නෑ. අපේ වගේ අඬබෙර ගහන්්නෙන් නෑ. බිස්කට් පැකට් එකක් ගන්න ගියාම තමයි පාරිභෝගිකයින්ගේ ඇස් උඩ යන්නේ. ඒ වගේම බේකරි ව්‍යාපාරිකයො කියන්නේ ප‍්‍රකෝටිපතියන් නෙමෙයි. බේකරිවල වැඩ කරන්නෙත් දුප්පත් මිනිස්සු. පැවැති කොරෝනා ව්‍යසනයත් එක්ක ව්‍යාපාර කටයුතු අඩාල වෙලා අපේ බේකරියේ වැඩ කරපු බාස්ලා දෙදෙනෙක් නතර කරන්න වුණා. ඒක මට දුකක්. ඒත් වෙන විසඳුමක් තිබුණේ නෑ. ඒ වගේම දැන් මේ ව්‍යාපාරය කරගෙන යන්න බෑ. කොළඹ ඇස්වාට්ටුව හන්දියේ තිබුණු මගේ හෝටලය පහුගිය දවස්වල වහලා දැම්මා. තව ටික දවසකින් මේ හෝටලයත් වහලා දාලා ගමට යන්න තමයි මම අදහස් කරගෙන ඉන්නේ…’’ වයස අවුරුදු හැටඑක පසුකරගෙන යන නෙල්සන් මහතාගේ උපන් ගම මාතරය. 1977 අවුරුද්දේ කොළඹට පැමිණි තරුණ නෙල්සන් බේකරි ව්‍යාපාර කරගෙන ගොස් මේ වනවිට ආර්ථික වශයෙන් ශක්තිමත්ව සිටින දිරිය ව්‍යාපාරිකයෙකි. එහෙත් පවතින ආර්ථික අර්බුදය තුළ ඔහු ද අසරණය. සමස්ත බේරික ව්‍යාපාරිකයන්ම දැඩි අර්බුදයක පැටලී සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ද අප සමග පවසා සිටියේය.

‘‘මේ අවුරුද්දට පාන් රාත්තලක මිල දෙපාරකට වැඩි කරන්න වුණා. මාස කිහිපයකට පෙර පාන් රාත්තලක මිල රුපියල් 05කින් වැඩි කළා. මේ වතාවේ රුපියල් 10කින් වැඩි කළා. ඊට සාපේක්‍ෂව සෙසු පාන්පිටි ආහාරවලත් මිල වැඩි වුණා. මිල වැඩි කිරීමත්, පැවැති කොරෝනා තත්ත්වයත් එක්ක අපේ වෙළෙඳාම ගොඩක්ම අඩු වෙලා තියෙනවා. මේ මිල වැඩි කිරීමත් එක්ක තවත් පාරිභෝගිකයො අඩු වෙනවා. ඒකෙනුත් පාඩුව අපිටමයි. ඉස්සර පිටිමිටි දෙකක වැඩ කරපු බේකරිවල දැන් පිටිමිටියකවත් වැඩ කරන්නේ නෑ. නිෂ්පාදන කටයුතු අඩාලවීමත් එක්ක බැංකු ණය ගෙවාගන්න බැරිව අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්න බේකරි හිමියන් විශාල පිරිසක් ඉන්නවා. ඒත් ඉතිං මේ ප‍්‍රශ්නයට රටේ පාලකයන්ට දොස් කියලා තේරුමක් නෑ. මේක අපේ රටට විතරක් බලපාන ගැටලූවක් නෙමෙයි, මුළු ලෝකයටම තියෙන ගැටලූවක්…’’ පුද්ගල නාමය, ආයතනික නාමය ප‍්‍රසිද්ධ කිරීමෙන් තොරව අපට කරුණු දැක් වූ තිරිඟු පිටි ආනයන සමාගමක ප‍්‍රධාන නිලධාරියෙක් පවසා සිටියේ ද පාන්පිටි මිල වැඩිවීම ගෝලීය අර්බුදයේ ප‍්‍රතිඵලයක් බවය.

‘‘මේ පිටි මිල වැඩිවීමට ප‍්‍රධාන හේතුව ඩොලර් හිඟකම. මේ වෙනකොට තිරිඟුඇට ප‍්‍රවාහනය කරන නැවකට පියවගන්න ඩොලර් නෑ. පහුගිය කාලේ බැංකු අපේ පස්සෙන් ඇවිත් ඩොලර් දුන්නා. දැන් මාසෙකට ඩොලර් මිලියන 25ක, 30ක බිලක් ගෙවන්න බැංකු පහකට විතර යන්න වෙලා තියෙනවා. ඒ වගේම ලෝක වෙළෙඳපොළේ තිරිඟුඇට මිල අසීමිත ලෙස වැඩි වෙමින් තියෙනවා. ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ තිරිඟුඇට මිල තවත් වැඩි වෙනවා. ඊට සාපේක්‍ෂව තිරිඟුපිටි මිල වැඩි කරන්න වෙනවා. සෑම මාස දෙකකට වතාවක් දේශීය වෙළෙඳපොළේ පාන්පිටි මිල වැඩි කිරීමක් බලාපොරොත්තු වෙන්න ඕනෑ. එහෙම නැතිව අපිට මේ ආයතනය පවත්වාගෙන යන්න අමාරුයි. අදටත් අපි ආයතනය පවත්වාගෙන යන්නේ පාඩුපිට. දැනටත් මේ ආයතනයේ බිල් ගෙවන්නේ මවු සමාගමෙන්. අපේ රුපියල් ඩොලර්වලට මාරු කරලා යැව්වේ නැති නම් මවු සමාගමට අපේ බිල් ගෙවා ගන්න බැරි වෙනවා. මවු සමාගමත් අපේ බිල් ගෙවන්නේ ණය වෙලා…’’

දේශීය වෙළෙඳපොළේ තියෙන තිරිඟුපිටිවල ගුණාත්මක තත්ත්වය අඩුයි කියලා චෝදනාවක් තියෙනවා…?

‘‘එහෙම දෙයක් නෑ. ඕනෑම දේකට එස්.එල්.එස් ප‍්‍රතිමියක් තියෙනවා. සියලූ ප‍්‍රමිති සහතිකවලට අනුකූලව තමයි ව්‍යාපාර කටයුතු කෙරෙන්නේ. සමහරවිට කන්නයෙන්, කන්නයට ගුණාත්මක තත්ත්වයේ පුංචි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. ඕනෑම වගාවකදී එහෙම වෙනවා. ඒ නිසා සීයට සීයක් ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත තිරිඟුපිටි ලබාදෙන්න බෑ…’’ මෙරට ප‍්‍රසිද්ධ තිරිඟුපිටි සමාගමක ප‍්‍රධාන නිලධාරියෙක් කියන විදිහට සෑම මාස දෙකකට වතාවක් දේශීය වෙළෙඳපොළේ පාන්පිටි මිල වැඩිවීමක් බලාපොරොත්තු විය යුතුය. ප‍්‍රංශ නිදහස් සටන නිසා ආර්ථික අර්බුදයකට මැදි වූ ජනතාව ප‍්‍රංශයේ ‘ලූවී රජුගේ මාලිගය ඉදිරියට පැමිණ කෑගසනවිට ලූවීගේ බිසව වූ මාරි ඇන්ටනොව් රැජන ‘පාන් නැති නම් කේක් කාපල්ලා’ කීවාය. ප‍්‍රංශයට ඒ කතාව වලංගුය. අපට හරි යන කතාව නම් ‘බතට හුරුවෙල්ලා’ යන්නය. සහල්පිටි උපයෝගී කරගෙන බේකරි ආහාර නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයන් සහ එම නිෂ්පාදන පරිභෝජනය කරන අයත් කියන්නේ රසයෙන් මෙන්ම ගුණයෙන් ද සහල් පිටි නිෂ්පාදනවල කිසිදු අඩුවක් නොමැති බවය. පෙනුමෙන් ද වෙනසක් නොමැති බවය. එහෙත් ගැටලූව වන්නේ සහල් ගිනි ගණන් වීමය. ‘හාල් මෝල්ලූ’ සහල් මාෆියාවක් කරගෙන සිටීමය. බේකරි නිෂ්පාදකයන් කියන අකාරයට සහල්පිටි නිෂ්පාදනවල රස ගුණ ගැන නිවැරැදි ආකාරයෙන් සමාජගත නොවීමය. එම පණිවුඩය සමාජගතවීම අදිසි හස්තයක් විසින් වළකාලීමය.

එහෙයින් තිරිඟුපිටි සමාගම් ‘ගෑස්’ පෙන්වනවිට රජය කළ යුත්තේ සහල්පිටි ආහාර නිෂ්පාදන රට තුළ ප‍්‍රචලිත කිරීමේ විදිමත් වැඩපිළිවෙළක් සමාජගත කිරීමය. එවැනි ක‍්‍රමවත් වැඩපිළිවෙළකට යෑමට පෙර මෙරට මහ පරිමාණ වී මෝල් හිමියන් පාලනය කරගැනීමට ශක්තිමත් කෙවිටක් රජය සතු විය යුතුය. වී ගොවීන් ශක්තිමත් කිරීමේ ස්ථිරසාර වැඩපිළිවෙළක් රජයට තිබිය යුතුය. එසේ නොවෙන්න රසායනික පොහොර තහනම අකුල ගත්තා සේ ඒ වැඬේ ද අතර මඟ නතරකර විලිලැජ්ජාව වසා ගැනීමට කෘෂිකර්ම ඇමැතිවරයා මෙන්ම වෙළෙඳ ඇමැතිවරයාට ද විලම්භීත දෙඩවීමට සිදු වේ. දේශපාලනඥයන්ගේ ඒ කතා ඇසෙනවිට ආර්ථික ගැටලූවලින් මිරිකී පාන් කියාගන්න බැරිව පීඩාවිඳින රටේ ජනතාවගේ මල දොට්ට එන බව ද මතක්කර තැබිය යුතුය.

තරංග රත්නවීර

advertistmentadvertistment