ගෑස්, විදුලිය සහ පොහොර ගැටලුවලට තිත මෙන්න ජපානයෙන් නිදසුන්

1037

කාබනික ද්‍රව්‍ය නිර්වායු වියෝජනය, ශ්‍රී ලංකාවට කිසිසේත්ම නැවුම් සංකල්පයක් නොවන නමුත් අද වන විටත් මෙම තාක්ෂණය පිළිබඳ මහජනයා සතු දැනුම ඉතාම මූලික අවධියේ පවතී. එහෙයින් මෙය භාවිතා කර ශක්ති ජනනය සහ පොහොර නිෂ්පාදනය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැත. කෙසේ නමුත් ඉහත සඳහන් කළ ක්‍රමෝපායන් භාවිතා කරමින් අප රට තුළ ද බලශක්තිය සහ පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ඉහළ විභවයක් පවතී. මෙමගින් අපට දැනට පවතින ප්‍රශ්න කීපයකටම පිළිතුරු ලබා ගත හැකි අතර ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පරිසරය ද  සුරැකිව තබාගත හැකිය. එහෙයින්, මේ පිළිබඳව අවධානය යොමුකර එවැනි වැඩපිළිවෙළක් අප රට තුළ ද ආරම්භ කිරීමට හැකි නම් ඉතා අගනේය.

 ගෑස්, විදුලිය සහ පොහොර යන තුනම එකම ක්‍රියාවලියක් මගින් අපිම නිපදවා ගමුද? ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ මුළුතැන්ගෙයින් ඉවත දමන ආහාර අපද්‍රව්‍ය, ගෙවත්තේ ඇති කොළරොඩු, මානව මළමුත්‍රා වැනි දෑය. ඉහත කී ආකාරයේ දිරාපත් වන අපද්‍රව්‍ය යොදාගෙන බලශක්තිය සහ පොහොර නිෂ්පාදනය ඉතාමත් සාර්ථකව කරගෙන යන ජපානයේ ඇති නගරයක් පිළිබඳ පුවතක් මෙම ලිපිය මගින් ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමි.

 මා මේ කියන නගරය නමින් “ඕකී” වේ. එය ජපානයේ ෆුකුඕකා ප්‍රාන්තයේ පිහිටා ඇත. “ඕකී” නගරය මේ වනවිටත් කසළ ශූන්‍ය නගරයක් ලෙස නම් කර ඇත. සරලවම කිවහොත් කුණු නැති නගරයක්. මෙයට හේතු පාදක වී ඇත්තේ “ඕකී” නගරයේ අවුරුදු 20 ක් පමණ පැරණි කසළ සම්බන්ධ ව්‍යාපෘතියකි. මේ ව්‍යාපෘතිය තුළින් කැලිකසළ නිවැරදිව බැහැර කරන්නේ කෙසේද ඒවා නැවත ප්‍රයෝජනවත් ද්‍රව්‍ය බවට පත් කරන්නේ කෙසේද එයින් සමාජ සුබසාධනය සලසන්නේ කෙසේද වැනි කරුණුවලට සාර්ථක විසඳුම් සොයා බලා ඒවා ක්‍රියාත්මක කරනු ලබයි.

 ඉහත කී ව්‍යාපෘතියේ වඩාත් වැදගත් අංගයක් වන්නේ කාබනික අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරන ආකාරයයි.

 මේ කතාව කොම්පෝස්ට් ගැන නම් නොවේ

 කාබනික අපද්‍රව්‍ය යොදා ගනිමින් කොම්පෝස්ට් සෑදීම පිළිබඳව බොහෝ දෙනා දැනුවත් අතර එය ඔබට වඩාත් හුරුපුරුදු යැයි සිතමි. කොම්පෝස්ට් සෑදිය හැක්කේ ඔක්සිජන් වායුව සහිත පරිසරයකදී ක්ෂුද්‍ර ජීවීන් මගින් කාබනික ද්‍රව්‍ය දිරාපත් කිරීම හරහා ය. එසේ නම් ඔක්සිජන් රහිත පරිසරයක දී කුමක් සිදුවේද? ඔක්සිජන් නැති පරිසරයකදී කාබනික ද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන් මගින් දිරාපත් කිරීම නිර්වායු වියෝජනය ලෙස හඳුන්වා දිය හැකියි. මෙම නිර්වායු වියෝජනයට දායක වන ක්ෂුද්‍ර ජීවීන් සෙල්සියස් අංශක 25 ට ඉහළ උෂ්ණත්වවලදී ක්‍රියාකාරී වන අතර මෙහිදී පිටවන ඵල වන්නේ ජීව වායුව සහ තාපයයි. ජීව වායුව, වායූන් කිහිපයක එකතුවක් වන අතර එහි වැඩි ප්‍රමාණයක් (50-70%) පවතින්නේ මීතේන් වායුවයි. වියෝජනයෙන් පසු ඉතිරි වන කොටස ශාක පෝෂක බහුලව අඩංගු දියරමය කොටසකි.

 ඕකී නගරයේද, නගරය තුළ නිපදවෙන ආහාර අපද්‍රව්‍ය මානව මළමුත්‍රා යොදාගෙන බලශක්තිය සහ පොහොර නිෂ්පාදනය කරයි. ඒ ඉහත කී ආකාරයෙන් ඔක්සිජන් රහිත පරිසරයකදී ක්ෂුද්‍ර ජීවීන් මගින් දිරාපත් කිරීම මගිනි.

 කවුද කරන්නේ ?

 ඕකී නගරයේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ නගර සභාව මගිනි. අපද්‍රව්‍ය එකතු කිරීම, ඒවා ප්‍රවාහනය, අපද්‍රව්‍ය දිරාපත් කරවීම, බලශක්තිය සහ පොහොර නිපදවීම, ගොවීන් සඳහා පොහොර බෙදාදීම වැනි සියලු කටයුතු ක්‍රියාත්මක කිරීම සහ අධීක්ෂණය නගර සභා නිලධාරීන් මගින් සිදු කරයි.

 මෙම ව්‍යාපෘතිය ආරම්භයේ දී, නගර වැසියන් මේ පිළිබඳව දැනුවත් කරවීමටත් ඒ සඳහා ඔවුන්ගේ සහාය ලබා ගැනීමටත් නගර සභා නිලධාරීන් ගෙයින් ගෙට ගොස් සාකච්ඡා පවත්වා ඇත. ඊට අමතරව නගරය තුළ ඇති පාසල්වල ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ද අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ ඉන් ප්‍රයෝජන ගැනීම පිළිබඳව කරුණු ඇතුළත් කර ඇත්තේ කුඩා කල සිටම දරුවන් මේ සඳහා පුහුණු කරවීමේ අටියෙනි.

 මෙහිදී මහජනතාව සතු කාර්යභාරය වන්නේ මුළුතැන් ගෙයින් පිට කරන කාබනික අපද්‍රව්‍ය, නගර සභාව මගින් ලබාදී ඇති බාස්කට්ටුවකට එකතු කිරීම පමණයි. නමුත් මෙම බාස්කට්ටුව තුළ දිරාපත් නොවන ද්‍රව්‍ය කිසිසේත් නොතිබීමට වගබලා ගත යුතුය. සතියකට දින දෙකක් නගර සභා ට්‍රක් රථ පැමිණ ඉහත කී ගෘහස්ථව නිපදවෙන අපද්‍රව්‍ය එකතු කිරීම සිදු කරයි. ඊට අමතරව නගරයේ ඇති ආපන ශාලා සහ වෙනත් ආයතනවල කාබනික අපද්‍රව්‍යද නගර වැසියන්ගේ මානව මළමුත්‍රා ද දෛනිකව එකතු කරනු ලබයි.

 මොකක්ද මේ ක්‍රියාවලිය?

 ඒ අනුව දිනකට කාබනික අපද්‍රව්‍ය ටොන් 40.4 ක් පෝෂක මාධ්‍ය, සරල බසින් කිවහොත් ක්ෂුද්‍ර ජීවීන් මගින් දිරාපත් වීමට භාජනය වන ද්‍රව්‍ය, ලෙස ක්‍රියා කරයි. මෙම ක්‍රියාවලිය ඔක්සිජන් රහිත ටැංකියක් තුළදී සිදුවන අතර එය නිර්වායු වියෝජක ටැංකිය නම්වේ. වරකදී ඇතුළත් කරන ලද පෝෂක මාධ්‍ය නිර්වායු වියෝජක ටැංකිය තුළ රඳා පවතින කාලය දින 22ක් වේ. මෙහිදී නිපදවෙන ජීව වායුව, වියෝජක ටැංකියට යාබදව ඇති වෙනත් ටැංකියකට එකතුවන අතර දියරමය කොටස තවත් ටැංකියකට රැස්කර ගනී.

 මෙහිදී දිනකට නිපදවෙන ජීව වායුව ප්‍රමාණය ඝන මීටර් 350-400 වේ. ජීව වායුව සහ වියෝජන ක්‍රියාවලියේදී නිපදවෙන තාපය විදුලිය බවට පරිවර්තනය කරන අතර එහිදී දිනකට කිලෝවොට් පැය 700-800 ක බලශක්තියක් නිපදවයි. වියෝජනයෙන් පසුව ඉතිරිවන කොටස දියර පොහොරක් ලෙස භාවිතයට සුදුසු වන අතර වාර්ෂික නිෂ්පාදනය ටොන් 5000-6000 අතර වේ.

 නොමිලේ පොහොර, අඩු මිලට සහල් සහ පාසල් ළමුන්ට දිවා ආහාරය

 ජපානයේ පොහොර පාලන පනතට අනුව යම් පොහොරක, විවිධ සංඝටක පැවතිය හැකි සීමා නිර්ණායකවලට අනුකූල බැවින්, මෙම දියර පොහොරද භාවිතයට ගතහැකි සාමාන්‍ය පොහොරක් ලෙස රාජ්‍ය අනුමැතිය ලබා ඇත. “ඕකී” නගරවැසියන්, මෙම පොහොර වී සහ අබ වගාව සඳහා යොදා ගනී. පොහොර, වගා භූමිවලට යෙදීමේදී භාවිතා කරන විශේෂ උපකරණ සඳහා අක්කර දහයකට යෙන් දාහක මුදලක් අය කරන අතර ගොවීන්ට මෙම දියර පොහොර නොමිලේ ලබාගත හැක.

 පොහොර යෙදිය යුත්තේ පෙර කන්නයේ අස්වැන්න කපාගත් පසු ඉතිරි වන පිදුරු ගස් භූමියේ තිබියදීමයි. හෙක්ටයාරයකට දියර පොහොර ටොන් 50ක් එක කන්නයක් සඳහා ප්‍රමාණවත්ය. පොහොර යෙදීමෙන් පසු භූමියට ජලය ද සපයා පසට හොඳින් මිශ්‍ර කරගත යුතුය. මේ ආකාරයට දියර පොහොර යෙදීම මගින්ද රසායනික පොහොර භාවිතයේදී හෙක්ටයාරයකට ලැබෙන වී නිෂ්පාදනයම ලබාගත හැකිය.

 ජීව වායුව සහ තාපය යොදා ගනිමින් නිපදවන බලශක්තිය ව්‍යාපෘති භූමිය තුළ ඇති යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරවීමටත් මෙම භූමි පරිශ්‍රයේම නගර සභාව මගින් පවත්වාගෙන යන අවන්හලේ ආහාර පිසීම ඇතුළු එහි වූ සියලුම ශක්ති අවශ්‍යතාවයන් සපුරාලීමටත් යොදාගනී.

 දියර පොහොර භාවිතය මගින් නිෂ්පාදිත සහල්වලින් කොටසක් ප්‍රදේශයේ පාසල්වල දිවා ආහාරය සැකසීම සඳහා ලබාදෙයි. තවද මෙම පොහොර භාවිතයෙන් නිෂ්පාදිත සහල් සාමාන්‍ය වෙළෙඳපොළ තුළදී අනෙක් සහල්වල මිල ගණන්වලට සමාන වුවද මෙම ප්‍රදේශය තුළ ඇති වෙළෙඳසල්වල දී ඊට අඩු අගයකට මිලදී ගත හැක.

 ජපානය තුළ වුවද කෘෂිකර්මාන්තය සියයට සියයක් කාබනික පොහොර මත හෝ රසායනික පොහොර මත නොයැපේ. රටක කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය මුළු පොහොර ප්‍රමාණයෙන් කොටසක් කාබනික පොහොර මගින්ද අනුපූර්ණය කළ හැකි බව මෙන්ම කාබනික අපද්‍රව්‍ය ඔක්සිජන් රහිත තත්ත්ව යටතේ දිරාපත් කිරීම මගින් නිපදවෙන බලශක්තිය රටේ ශක්ති අවශ්‍යතාව පූරණය සඳහා දායක කරගත හැකි බවට සාක්ෂි ඕකී නගර ව්‍යාපෘතිය මගින් ගෙනහැර දක්වයි.

 කාබනික ද්‍රව්‍ය නිර්වායු වියෝජනය, ශ්‍රී ලංකාවට කිසිසේත්ම නැවුම් සංකල්පයක් නොවන නමුත් අද වන විටත් මෙම තාක්ෂණය පිළිබඳ මහජනයා සතු දැනුම ඉතාම මූලික අවධියේ පවතී. එහෙයින් මෙය භාවිතා කර ශක්ති ජනනය සහ පොහොර නිෂ්පාදනය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුවී නොමැත. කෙසේ නමුත් ඉහත සඳහන් කළ ක්‍රමෝපායන් භාවිතා කරමින් අප රට තුළ ද බලශක්තිය සහ පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ඉහළ විභවයක් පවතී. මෙමගින් අපට දැනට පවතින ප්‍රශ්න කීපයකටම පිළිතුරු ලබා ගත හැකි අතර ක්‍රමවත් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් පරිසරය ද සුරැකිව තබාගත හැකිය. එහෙයින්, මේ පිළිබඳව අවධානය යොමුකර එවැනි වැඩපිළිවෙළක් අප රට තුළ ද ආරම්භ කිරීමට හැකි නම් ඉතා අගනේය.

සෆ්නා නවරත්න
 සගා විශ්වවිද්‍යාලය, ජපානය.

advertistmentadvertistment
advertistmentadvertistment