ගෑස් සමග පුපුරා ගිය ජනතාවගේ පීඩනය

212

‘‘පහුගිය දවස්වල මිනිස්සු ගෑස් එකක් ගන්න පුදුම විදිහට දුක් වින්දා. උදේ ඉඳලා රෑ වෙනකම් පෝලිමවල ඉඳලා තමයි ගෑස් එකක් ගත්තේ. සමහර පැතිවල පැය ගණන් පෝලිම්වල ඉඳලාත් මිනිස්සුන්ට හිස් ගෑස් ටැංකියම අරගෙන ආපහු යන්න වුණා. තවත් පැතිවල තියෙන මිලටත් වඩා වැඩි මිලකට තමයි පාරිභෝගිකයන් ගෑස් මිලදී ගත්තේ. මේ හැමදේම අතරේ දැන් ගෙදරට ගෙනාව ගෑස් එක පාවිච්චි කරනවද නැද්ද කියලා දෙපාරක් හිතන්න වෙලා. ගෑස් පුපුරනවලූ, ගිනි ගන්නවලූ, දවසින් දවසට එහෙම සිදුවීම් පහ හයකට වැඩිය අහන්න දකින්න ලැබෙනවා. මේ ඇහෙන දේවල් එක්ක ගෑස් පාවිච්චි කරන්නත් මිනිස්සු බයයි. ගෑස් එකක් පුපුරලා මැරෙන්න වුණා කියන්න වෙන තරමටම අපේ ජීවිත අවදානමකට වැටිලා.”

පසුගිය මාස කිහිපය තුළම වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ ගෑස් සම්බන්ධ සිදුවීම් ය. ගෑස් මිල වැඩි කිරීමත් සමඟම දිවයින පුරාම ගෑස් හිඟයක් ඇතිවිය. වරු ගණන් පෝලිම්වල රැඳෙමින්, ගෑස් රැගෙන එන වාහන පසුපස පන්නමින් ගෑස් වෙනුවෙන් පොරබැදූ මිනිසුන්ට අද කියන්නට ඇත්තේ වෙනස්ම කතාවකි.

සති දෙක තුනක කාලයක සිට ගෑස් කතාවේ අලූත්ම මාතෘකාව ජනතාව භීතියට පත් කර හමාරය. රටේ ජනතාවගෙන් සියයට පනහකට ආසන්න ප‍්‍රමාණයක් ගෑස් පරිභෝජනයට හුරුවී සිටියි. නමුත් ගෑස් කාන්දු වීම්, ගිනි ගැනීම්, ගෑස් ලිප් පුපුරා යෑම් සහ ගෑස් ආශ‍්‍රිතව සිදුවන අනතුරු ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ යද්දී, සැබෑවටම සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව තේරුම්ගත නොහැකි ජනතාව දස දෙසින් ඇසෙන කතාවලට කන්දෙමින් ජීවිතය වෙනුවෙන් හඬනඟයි.

ගෑස් සමග පුපුරා ගිය ජනතාවගේ පීඩනය

එක් පිරිසක් පවසන්නේ ගෑස් ටැංකි පිපිරී යන බවය. තවත් පිරිසක් පවසන්නේ ගෑස්වල සංයුතිය වෙනස් වී ඇති බවය. මේ අතර මේ කිසිවක් සත්‍ය සිදුවීම් නොවන බවටත් මේ සියල්ල දේශපාලනික පළිගැනීම් උදෙසා නිර්මාණය කරන ලද කටකතා බවටත් ඇතැමුන් අදහස් ඉදිරිපත් කරයි.

එකට එකක් නොගැළපෙන මතවාද නිසා සැබෑවටම අසරණ වී ඇත්තේ මහජනතාවයි. ගෑස් ටැංකිය පුපුරා නොගියත්, ගෑස් ලිප හෝ රෙගියුලේටරය පුපුරා ගියත් සිදු වන අනතුර සුළුකොට තැකිය හැකි නොවේ. පසුගිය සති කිහිපය තුළ පමණක් ගෑස් ආශ‍්‍රිත අනතුරු නිසා විශාල දේපළ හානි සිදු වූ අතර දස දෙනකුට ආසන්න ප‍්‍රමාණයක් තුවාල ලබා රෝහල්ගත කර තිබුණි. සංයුතියේ ගැටලූවක් වුවද, ප‍්‍රමිතියේ ගැටලූවක් වුවද එහි අයහපත් ප‍්‍රතිඵල ලැබෙන්නේ පාරිභෝගික ජනතාවට බව අමුතුවෙන් කිව යුතු නැත.

පෝලිම්වල වරු ගණන් රස්තියාදු වෙමින් නිවසට ගෙන ආ ගෑස් සිලින්ඩරය භාවිතයට සුදුසුද නුසුදුසුද යන්න නිශ්චිතව සනාථ කරගත නොහැකි සාමාන්‍ය ජනතාව හතර දෙසින් ඇසෙන උපදෙස් අනුව ක‍්‍රියාත්මක වෙමින් විවිධ පරීක්ෂණ කරමින් ගෑස් සිලින්ඩරයෙහි දෝෂයක් නොමැති බව සනාථ කර ගැනීමට උත්සාහ දරයි.

ශ‍්‍රී ලංකාවට ගෑස් ආනයනය කොට බෙදාහැරීම සිදු කර ඇත්තේ 1960 වර්ෂයේදී බව සඳහන්ය. එදා සිට අද වන විට ගෘහස්ථ ගෑස් පරිභෝජනය ශීඝ‍්‍රයෙන් ඉහළ ගොස් තිබේ. ලංකාවේ දෛනික ගෑස් අවශ්‍යතාවය මෙටි‍්‍රක් ටොන් 1600 කි.2003 අංක 9 දරන පාරිභෝගික ආරක්ෂණ පනත යටතේ ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කර තිබේ.

ලංකාවේ බොහෝ පිරිසක් පරිභෝජනය කරද්දී විවිධ අවස්ථාවල දී ඒ ආශ‍්‍රිතව අනතුරු සිදුවිය හැකි වුවත් පසුගිය දින කිහිපය තුළ ගෑස් ආශ‍්‍රිතව සිදුවුණු අනතුරු සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකා ඉවත දැමිය නොහැකිය. 2015 සිට මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට ගෑස් ආශ‍්‍රිත අනතුරු 233 ක ප‍්‍රමාණයක් වාර්තා වී ඇති බවට හෙළි වී ඇත. පසුගිය දින කිහිපය තුළ සිදුවූ ගෑස් අනතුරු සමඟ එම ප‍්‍රමාණය තවත් ඉහළ ගොස් තිබේ.

මෙම අනතුරුවලට හේතුව ගෑස් ටැංකිය පුපුරායෑම නොවන බවට ඒ සම්බන්ධ විශේෂඥයන් පෙන්වා දෙයි. එමෙන්ම මෙරට ප‍්‍රධාන ගෑස් සමාගම් දෙකම ගෑස්වල සංයුතිය වෙනස් නොකළ බවට පසුගිය දින කිහිපයේදීම මාධ්‍ය ඉදිරියේ අදහස් ප‍්‍රකාශ කළත් පසුව එම අදහස් වලත් යම් යම් පරස්පර විරෝධී කතාවක් රැසක් ඇති බවට අවබෝධ විය.

ගෑස් සිලින්ඩර් පුපුරා නොගියත් ගෑස් සම්බන්ධව කුමක් හෝ ගැටලූවක් ඇති බව සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා
පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාද පිළිගෙන තිබේ. මේ සම්බන්ධව පසුගිය දිනවල පාර්ලිමේන්තුවේද සාකච්ඡාවට ගැණුනි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ‍්‍රිත
ගිනි ගැනීම්, පුපුරායෑම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් ද පත් කර ඇත. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවට අවශ්‍ය තොරතුරු හොයා බලා ගෑස් සම්බන්ධයෙන් වන වාර්තාව සති දෙකක් තුළ ලබා දෙන ලෙසට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.

  • මොකක්ද මේ ගෑස් වල සංයුතිය

ගෘහාශ‍්‍රිතව භාවිතවන ගෑස් සිලින්ඩරයක ද්‍රව ගෑස් සංයුතිය සැකසෙන්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්මිශ‍්‍රණය වීමෙනි.

බියුටේන් සහිත ද්‍රවගෑස් වායු බවට පත්කර පීඩනයකින් උඳුන දක්වා රැගෙන යෑම සඳහා ප්‍රොපේන් ප‍්‍රතිශතය වැදගත් වේ.

ලංකාවේ ප්‍රොපේන් සියයට 30ක් හෝ 40ක් හා බියුටේන් සියයට 60ක් හෝ 70ක් වැනි සංයුතියක් ගෑස් සිලින්ඩරය තුළට එක්කරනු ලබයි. රට රටවල සිදුවන කාලගුණික දේශගුණික තත්ත්වයන් මත පදනම්ව ඒ ඒ රටවල ගෑස්වල අඩංගු සංයුතීන් ප‍්‍රමාණ තීරණය වේ. එක් එක් රටවල පාරිසරික උෂ්ණත්වය හා තත්ත්වය සැලිකල්ලට ගනිමින් ප්‍රොපේන් ප‍්‍රතිශතය වෙනස් කරනු ලබයි.

  • ගෑස් සංයුතියේ ප‍්‍රමිතිය ගැන කතා කරයි.

දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් ගෑස් කාන්දු වීම් සහ ඒ ආශ‍්‍රිත අනතුරු පිළිබඳව වාර්තා වද්දී එය සැබෑවටම ගෑස් වල සංයුතිය වෙනස්වීම නිසා සිදු වූවක් බවට බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කළහ. මෙහිදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමිති ආයතනය මේ පිළිබඳව සොයා බලන්නේ නැද්දැයි මහජනතාව ප‍්‍රශ්න කරයි. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය වෙත එල්ල වී ඇති ප‍්‍රධාන චෝදනාව වන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් බියුටේන් සහ ප්‍රොපේන් සංයුතිය අදාළ ශ‍්‍රී ලංකා ප‍්‍රමිතියට ඇතුළත් කර නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ (ඉංජිනේරු) එම්. එස්. එස්. ප‍්‍රනාන්දු මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් වායුවේ උපරිම වාෂ්ප පීඩනය ප‍්‍රමිතියෙන් දක්වලා තියනවා. වාෂ්ප පීඩනය කාන්දු වීම පාලනය කිරීම සඳහා යොදා ගන්නා තීරණාත්මක සාධකයයි. අමෙරිකාව යුරෝපයේ සහ අනෙකුත් බොහෝ රටවල ප‍්‍රමිතීන්වලට සංයුතිය ඇතුළත් කරලා නෑ. ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් LPG පිරවීම සඳහා භාවිත වන හිස් සිලින්ඩර සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ප‍්‍රකාශයට පත් කරලා තියනවා. ආනයන අපනයන පාලන පනත හරහා, ගෑස් රහිත සිලින්ඩර් අදාළ ප‍්‍රමිතියට අනුකූල ද යන්න පරීක්ෂා කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට බලතල දීලා තියනවා.

ඒ සඳහා භාවිත කරන නියාමක, කපාට සහ නම්‍යශීලී රබර් හෝස් වැනි උපාංග වලටත් අපි ප‍්‍රමිතීන් සකස් කරලා තියනවා.”

ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය පවසන්නේ සියලූම ප‍්‍රමිතීන් ස්වේච්ඡා ප‍්‍රමිතීන් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇති අතර, කිසිදු ප‍්‍රමිතියක් අනිවාර්ය කිරීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයට නියාමන බලයක් නොමැති බවයි. ප‍්‍රමිතිය පිළිබඳව වගකීම අදාළ නියාමන අධිකාරිය මඟින් සිදු කළ යුතුව ඇති බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් විමසීම සඳහා අපි පාරිභෝගික අධිකාරියේ නියෝජිතයකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔවුන් දුරකථනයට ප‍්‍රතිචාර දැක්වුයේ නැත. දැනට මෙම කාරණාව සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන බව කියමින් මේ සිදුවීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්වයන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියහ.

  • ගෑස් ලිප ගැනත් සම්බන්ධක උපකරණ ගැනත් විමසිල්ලෙන් ඉන්න.
ගෑස් සමග පුපුරා ගිය ජනතාවගේ පීඩනය

පසුගිය දිනවල ගෑස් සම්බන්ධව සිදු වූ අනතුරු පිළිබඳ විමසීමේ දී මෙරට ප‍්‍රධාන ගෑස් සමාගම් දෙකෙහිම නියෝජිතයන් පවසා සිටියේ කළ විමර්ශනවලට අනුව ගැටලූව තිබී ඇත්තේ ගෑස් සිලින්ඩරයේ නොව ගෑස් ලිපෙහි, රෙගියුලේටරයෙහි හෝ නම්‍යශීලී හෝස් බටයේ වන බවයි. ඇතැම් පිරිස් විසින් වැරදි තොරතුරු ප‍්‍රචාරය කරමින් ජනතාව බියවද්දවා ඇති බවට ඔවුන් පවසයි.

‘‘ගෑස් සිලින්ඩරයට සවි කරන රෙගියුලේටරය හා හෝස් බටය ප‍්‍රමිතියකින් යුතු ද යන්න පරීක්ෂා කළ යුතුයි. රෙගියුලේටරය සහ හෝස් බටය අවුරුදු දෙක තුනකට සැරයක් මාරු කළ යුතුයි. අපි සමහර අවස්ථාවල දකිනවා රෙගියුලේටරයට හෝස් බටය සම්බන්ධ කරලා කම්බි කෑලි වලින් පවා බැඳලා තියෙනවා. මේ වගේ අවස්ථාවක අනතුර අනතුරු සිදුවිය හැකියි. අනික දිගින් දිගටම පදනම් විරහිත චෝදනා එල්ල වෙද්දි ඇතැම් පිරිස් පාවිච්චි කරමින් තිබුණ ගෑස් එක පවා ලීක් වෙනවා කියලා කෝල් කරනවා. සාමාන්‍යයෙන් ගෑස් කියලා කියන්නේ ගඳ සුවඳ නැති ද්‍රවයක්. අපි ඒකට සැර ගඳක් එකතු කරලා තියෙන්නෙ හදිස්සියේ හරි ගෑස් කාන්දුවක් වුණොත් පාරිභෝගිකයන්ට දැනගන්න පුළුවන් වෙන විදිහට. අනික පිපිරීම්වලට ලක් වුණු ගෑස් ලිප් බොහොමයක් වීදුරු මතුපිටක් සහිත ලිප්. ඒ නිසා ගෑස් ටැංකි පුපුරනවා කියන කතාවලට රැවටෙන්නේ නැතුව ගෑස් ලිප, රෙගියුලේටරය හෝර්ස් බටය ගැනත් සැලකිලිමත් වෙන්න.”

  • ගෑස් සිලින්ඩර පරීක්ෂණ කරන්නේ බලාගෙනයි.

සබන් හෝ වෙනයම් පෙණ වර්ග හෝ යොදා ගෑස් සිලින්ඩර් පරීක්ෂා කිරීමට යෑමෙන් වළකින්නැයි ලිට්‍රෝ සමාගමේ වෙළෙඳ හා අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා කියා සිටියි.

”සබන් පෙණ දාලා පුද්ගලිකව මේවා පරීක්ෂා කිරීමට යෑම භයානක සිද්ධියක් හැටියට තමයි අපි දකින්නේ, මොකද සිලින්ඩරයක් තමන් ගෙදරට ගේනකොට එක්කෝ ඒකේ සීල් එක තියෙන්න ඕනේ. සීල් එක ගැලෙව්වා නම් නම් රෙගියුලේටරයක් සවි කරන්න ඕනේ එහෙමත් නැත්නම් සේෆ්ටි කැප් එකක් තියනවා ඒක සවි කරන්න ඕනේ. එහෙම නැතුව වෑල් එකක් ඇරලා ඒකට කූරු ගහන්න සබන් පෙන දාන්න කියන කාරණාවලට යන්න එපා කියලා මම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා”. ගෑස් කාන්දුවක් සිදු වන්නේ නම් එය ගන්ධයෙන් හඳුනාගත හැකි බවත් ගෑස් සිලින්ඩරයේ ඉහළට සබන් පෙණ යෙදීමෙන් සීල් කර ඇති කොටස් විනාශ වී යා හැකි බවත් ඒ මහතා පෙන්වා දෙයි.

  • ගෑස් ප‍්‍රශ්න ගැන 1311 හොට්ලයින් එකට කියන්න.

ගෘහස්ථ ගෑස් හෝ සිලින්ඩර් සම්බන්ධයෙන් ගැටලූ ඇත්නම් 1311 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම්දෙන ලෙසත් ඒ ඒ ප‍්‍රදේශවලට පත්කර ඇති කණ්ඩායම් පැමිණ අදාළ කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ලිට්‍රෝ සමාගමේ නිලධාරියකු පවසයි.

ගෑස් අනතුරු අඛණ්ඩව සිදු වීම පිළිබඳ අවධානය යොමු කරමින් පාරිභෝගික ජනතාවගේ පහසුව සඳහා මෙම ක්ෂණික දුරකථන ඇමතුම් අංකය හඳුන්වා දුන්නද ඒ සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසකි.

‘‘මොනවා හරි දෙයක් වුණාම කමිටු පත් කරලා, ෆෝන් නම්බර් දුන්නටම මේ ප‍්‍රශ්න විසඳෙන්නේ නෑ. මේ නම්බර් එකට කෝල් කරලා පණිවිඩය කියන්න සෑහෙන වෙලාවක් යනවා. එක සැරයක් කතා කරද්දි එතන ප‍්‍රමාණවත් පිරිස් නෑ කියලා කීවොත් කීයට හරි ඒ අය එනකම් බලන් ඉන්න බෑ. ගෑස් එක ප‍්‍රශ්නයක් කියන්නේ බරපතළ කාරණාවක්. මිනිසුන් අපි රටේ පාලකයන් ගෙන් මෙන්ම වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලනවා මේ ගෑස් ප‍්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබා දෙන්න කියලා. එහෙම වුණේ නැත්නම් තමන්ගේ ගෙදර මුළුතැන්ගෙයිදීම අවසන් ගමන් යන්න අපිට සිදුවෙන දවස වැඩි ඈතක නෙමේ.”

ජනතාව ඉල්ලා සිටින්නේ කුමන ක‍්‍රමයකට හෝ ඇතිවී ඇති ගැටලූව නැවත නිරාකරණය කර දෙන ලෙසයි. මේ අතර ඇතැම් දේශපාලනඥයන් පැවසූයේ ගෑස් කාන්දුවක් සිදුවීම ඒ තරම් සැලකිල්ලට ගත යුතු කාරණාවක් නොවන බවයි. ගෑස් සිලින්ඩරයක් පිපිරුවද, ගෑස් ලිපක් පිපිරුවද එයින් අනතුරෙහි වැටෙන්නේ මිනිස් ජීවිතයක් වන බව දැන දැනත් මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ම මෙවැනි සිදුවීම් සාමාන්‍යකරණය කිරීම සැබෑවටම කනගාටුවට කාරණාවකි.

දේශපාලන මතිමතාන්තර වලටත් වඩා මේ මොහොතේ අවශ්‍ය වන්නේ සාමාන්‍ය ජනතාවට බියෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය කර දීමය. ඒ වෙනුවෙන් රජයේ වගකිවයුතු බලධාරීන් සහ ඊට අදාළ සියලූම පාර්ශ්වයන් ගත යුතු පියවර කඩිනමින් ගත යුතුය.

කොවිඞ් වලින් බැට කෑ මිනිස්සුන්ට, දැන් ගෑස් වලිනුත් ජීවිතය බේරාගැනීමට සිදුව තිබේ. ගෑස් කාන්දුවක් හෝ ගිනි ගැනීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් ද ජනතාව වෙත නිකුත් කර ඇත.

ගෑස් කාන්දුවකදී ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ පුහුණු කිරීමේ නිලධාරී යූ. එස්. කලන්සූරිය මහතා මෙලෙසින් ජනතාවට උපදෙස් ලබා දුන්නේ ය.

‘‘විශේෂයෙන්ම ගෑස් කාන්දුවකදී එය ආසන්නයේ ගිනිගන්නා සුළු කිසිවක් තබන්න එපා. එමෙන්ම ගෑස් සිලින්ඩරය අදින්න එපා. එහිදී නැවත ස්පාර්ක් වීමක් සිදුවීම නිසා පිපිරීම් ඇතිවෙන්න පුළුවන්. ගෑස් කාන්දුවකදී සිලින්ඩරය ඉවත්කර ගන්නා විදිය වැදගත් වෙනවා.

ගෑස් සිලින්ඩරය අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමේදී කෙලින් අතට ඉවත් කළ යුතුයි. ආධාරකයක් යොදා ගනිමින් එය සිදුකළ හැකියි. ගෑස් ලිප සම්බන්ධයෙන් විශේෂ අවබෝධයක් තිබීම වැදගත්. ගෑස් භාවිතයෙන් පසු නිවැරදි ලෙස ක‍්‍රියා විරහිත කිරීම, ආදිය පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.”

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment