ගින්නෙන් දැවුණු යුක්තිය

1345

විශ්වයේ ආරම්භයත් ගින්නෙහි ආරම්භයත් එකම මොහොතේදී සිදුවූ බව කියනු ලැබේ. ඒ අනුව සෞරග්‍රහ මණ්ඩලයට අයත් පෘතුවිය බිහිවීමේදී ද ගින්දර තිබිණ. එහෙත් ඉබේ නැගෙන ගින්දර නොව ගින්දර අවුළුවන හැටි සොයා ගනු ලබන්නේ මනුෂ්‍යය විසිනි. ගින්දර යනු මනුෂ්‍ය ශිෂ්ටාචාරය ආලෝකවත් කළ ආලෝක කදම්බය වේ. එසේම ගින්දර යනු විනාශයේ මුලද වේ. මනුෂ්‍යයා ගින්දර සොයාගත් දිනයේ පටන් සෑම කල්හිම තම වර්ගයාට එරෙහිව එය පාවිච්චි කළේය. එය ඊයේත් එසේමය. අදත් එසේමය. හෙටත් එසේම වනවා ඇත.

මෑතකාලීන ඉතිහාසයේ ගින්දර පිළිබඳ දරුණු අත්දැකීම් දෙකක් තිබේ. පළමුවැන්න 83 ජුලි කලබලයයි. මේ කලබලය පවතින අවස්ථාවලදී ජාත්‍යාලයෙන් ඔද වැඩී ගිය මිනිස්සු මෙන්ම කිසිදු ජාත්‍යාලයක් නැති පල් හොරුද දෙමළ ජනයාගේ දේපළවලට ගිනි තැබූහ. පත්තු කිරීමට ඉතා ලේසි නමුත් නිවා දැමීමට ඉතා අපහසු ගිනි ජාලාවෙන් වැසුණු සිංහල දෙමළ වෛරයේ නටබුන් අදටත් ඉතිරිය. 88, 89 දීද ප්‍රේමදාස ආණ්ඩුව ගින්නෙන් සෑහෙන්නට වැඩ ගත්තේය. මෙහිදී අප ප්‍රේමදාස ආණ්ඩුව යනුවෙන් සඳහන් කරන්නේ 88, 89 කාලයේ භීෂණකාරී ගිනි ජාලාව ජනාධිපති ප්‍රේමදාසගේ සුචරිතයෙන් හෝ ජනාධිපති මන්දිරයෙන් පැමිණි ගිනි ලෙස රෙජිස්ටර් කිරීමට නොවේ. එම කාලයේ භීෂණය විවිධ පාර්ශ්ව විසින් අතට ගෙන තිබිණ. පොලිසිය සහ හමුදාව හෝ ප්‍රා සංවිධානය ජේ. වී. පී. කාරයන් මරා ටයර් දමා පිළිස්සූහ.

යූ. එන්. පී. කාරයන් විසින් ශ්‍රී ලංකා කාරයන් ද ශ්‍රී ලංකා කාරයන් විසින් යූ. එන්. පී. කාරයන්ද මරා ටයර් දමා පිළිස්සූහ. ඊට අමතරව වාම විරෝධී කොටස් කොමියුනිස්ට්කාරයන් සහ සමසමාජ කාරයන් අල්ලා මරා ටයර් දමා පිළිස්සූහ. මේ සියල්ලටම අමතරව එම වකවානුවේදී ඇතැම් පෙම් කතාද ගින්නෙන්ම විසඳන ලදී. උදාහරණයක් ලෙස ඇඹිලිපිටිය ජාතික පාසලේ විදුහල්පතිතුමා වූ දයානන්ද ලොකුගලප්පත්ති ගැන සඳහන් කළ හැකිය. ගලප්පත්තිගේ පුතා උසස් පෙළ පන්තියේ දැරියකට පෙම් කිරීම නිසා ආරවුලක් හටගත්තේය. එම ආරවුල නිමාවට පත් කරනු පිණිස එම දැරියට පෙම් කළ අනෙකා සිටි පන්තියේ ශිෂ්‍යයන් සියලුම දෙනා යුද හමුදාව සමග එක්වී උස්සා මරා පිළිස්සීමට ගලප්පත්ති ගුරු පියාණෝ කටයුතු කළහ. මේ කියන පව්කාර ගලප්පත්ති අද රත්නපුරේ පැත්තේ සාස්තර කියමින් රහස් ජීවිතයක් ගෙවයි.

මැයි 9 දා ගෝල්ෆේස් පිට්ටනියේ “ගෝඨා ගෝ ගම” ගමේ උද්ඝෝෂණයට පැමිණි පිරිසට පහර දීම සඳහා අරලියගහ මන්දිරයෙන් පැමිණි දාමරිකයන් පිරිස නිසා ඊළඟ පැය 24 තුළ ශ්‍රී ලංකාවේ මහා මන්දිර ගණනාවක් ගින්නෙන් අළුවිය. මේ සියල්ල පොහොට්ටුවේ මැති ඇමැතිවරුන්ට අයත් ඒවාය. මෙහිදී අප මහා මන්දිර යන යෙදුම සඳහන් කරන්නේ එම දේපළවල දෘශ්‍යමාන තත්ත්වය සටහන් කරනු පිණිස මිස ඒවා කෙරෙහි උපන් ඉරිසියාවෙන් නොවේ. දැනට ඇති තොරතුරුවලට අනුව සහ පාර්ලිමේන්තුවේදී චමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා විසින්ද හෙළිකරන ලද පරිදි මේ ගිනි තැබීම් සිදුකරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණට සහ පෙරටුගාමී පක්ෂයට සම්බන්ධ පිරිස් විසිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ විජිත හේරත් හෝ සුනිල් හඳුන්නෙත්ති හෝ, පෙරටුගාමී පක්ෂයේ නායකයන් වන දුමින්ද නාගමුව සහ පුබුදු ජයගොඩ යන අය ගිනි පන්දම් පත්තු කරගෙන පොහොට්ටු මන්ත්‍රීලාගේ ගෙවල් ගිනි තබන්නට ගිය බවක් මෙයින් අපි නොකියමු. අපේද අදහස වන්නේ කිසියම් දේශපාලන පක්ෂ එකකට හෝ කිහිපයකට අයත් පිරිස් මේ විනාශය කළ බවය. ගෝල්ෆේස් උද්ඝෝෂකයන්ට අරලියගහ මන්දිරයේ කට්ටිය පහර දීම ඉතාම කාලකන්නි වැඩකි. එසේම මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තැබීමද ඉතාම කාලකන්නි වැඩකි. ඇතැම් තැනකදී ගෙවල් පමණක් නොව බස් රථද ගිනි තබන ලදී. බස් රථ කළ වරද කුමක්ද? පොහොට්ටුවේ ආධාර කරුවන් අරලියගහ මන්දිරයට ප්‍රවාහනය කිරීමය. මෙසේ ගිනි තබන ලද බස් රථ අයිතිකරුවෝ අද යන එන මං නැතුව සිටිති. උදාහරණයක් ලෙස මෙවැනි එක බස් රථයක් බේරේ වැවට පෙරළන ලදී. එම බස් රථයේ හිමිකරු කලක් අංශභාග රෝගියකුව සිට අද වන විට ක්‍රමයෙන් සුවපත් වෙමින් සිටින කෙනකි. ඔහු දැනටත් දවසකට බෙහෙත් පෙති 40 ක් පමණ ගිල දමයි.

ඔහුගේ එකම ආදායම් මාර්ගය මේ බස් රථය වන අතර ඔහු පවුල නඩත්තු කළෙත් දූ දරුවන් පාසල් යැව්වෙත් ඔවුන්ගේ ටියුෂන් ගාස්තු ගෙව්වෙත් මේ බස් රියෙන් ලැබෙන දෛනික ආදායමෙනි. ඔහු සහ බිරිය විසින් පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවක් අන්තර්ජාලයේ ඇත. එහිදී තම දුක කියූ මේ වයෝවෘද්ධ රෝගී පියා හඬා වැලපෙන්නට පටන් ගත්තේය. ගිනිතැබූ සියල්ලම ජාතියේ දේපළය. ලංකාව ඉතා නරක ලෙස බංකොලොත් වී තිබෙන මෙවැනි වකවානුවක පෙර කී ගිනි තැබීම් සහ විනාශ කිරීම් නිසා අඩුම ගන්නේ රුපියල් බිලියන 100 කවත් දේපළ ජාතියට අහිමි වන්නට ඇති. දැන් ඉතිරිව තිබෙන්නේ මේ ගිනි ජාලාව පත්තු කළවුන් සොයා නීතිය ඉදිරියට ගෙනවුත් හම ගැසීමය. එහෙත් ඒ අපරාධකාරයන් කවර වකවානුවක සොයා ගනිත්ද යන්න ගැන කාටවත් අදහසක් නැත. මීට දෙමසකට පමණ පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට නවතා තිබූ යුද හමුදාවට අයත් බස් එකට ගිනි තැබූ එකා සොයා ගන්නා ලද්දේ ද මීට දින කිහිපයකට පෙරය. මේ සැකකරු සැබෑ අපරාධකරුද යන්න අපි නොදනිමු. කොහෙවත් සිටින අහිංසකයෙක් අල්ලා පොලිසියේ වහලේ එල්ලා පහර දී වරද පිළිගනින් යැයි කීමේ ජනප්‍රිය සිරිතක් මේ රටේ පොලිසිවල ඇත. ඒ මිනිහා වරද පිළිගන්නේ සැබවින්ම එය කළ නිසා නොව පොලිසියට ඇති බිය නිසාය. කොටදෙනියාවේ සේයා සදෙව්මි නමැති ළදැරිය දූෂණය කර මරණ ලද්දේ කොන්ඩයා නමැති සැකකරු නොව ඔහුගේ අයියාය. එහෙත් පොලිසිය කොන්ඩයාට පහර දී ඇටකටු බිඳ ඔහු එම අපරාධය කළ බවට පාපොච්චාරණයක් ලබා ගත්තේය. පසුගිය 9 දා රට ගිනි තැබූ අපරාධකරුවන් අල්ලා ගැනීමටත් ඔවුන් අතරෙන් සැබෑ අපරාධකරුවන් සොයා ගැනීමටත් පොලිසියට තව බොහෝ කාලයක් ගතවිය හැකිය. සමහරවිට මේ කාරණය සම්බන්ධයෙන් යුක්තිය ඉටුවනු දැකිය හැකි වන්නේ ඊළඟ පරම්පරාවටය.

advertistmentadvertistment
advertistmentadvertistment