ගින්න, ගින්නට හේතුව, ගින්න නැති කිරීම සහ ගින්න නැති කිරීමේ මාර්ගය

1358

රට දවසින් දවස ඉතා නරක තත්ත්වයකට ගමන් කරන බව පැහැදිලිය. මේ ආකාරයෙන් කිසියම් දවසක මේ රට තුළ ආහාර වෙනුවෙන් කැරලි කෝලාහල හට ගත්තොත් (Food Riots) එතැනින් පටන් ගන්නා අරගලය ඇතැම් අප්‍රිකානු රටවල මේ මොහොතේදී පවත්නා සිවිල් යුද්ධවලට සමාන වනු ඇත. ආණ්ඩුව මේ තීරණාත්මක මොහොතේදී කිසියම් විසඳුමකට යා යුතුය. ආණ්ඩුව සහ ජනාධිපති ඉල්ලා අස්වී ගෙදර යෑම එක විසඳුමකි. හැබැයි මේ දෙක එකවර සිදුවුණොත් රට තුළ අරාජික තත්ත්වයක් ඇතිවේ. එසේ නම් මේ දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් ඉල්ලා අස්වී ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට යා යුතුව ඇත. එහෙත් එවැනි විසඳුමකට ජනාධිපති හෝ ආණ්ඩුව කැමැති නැති බව පෙනේ. එසේ නම් Plan B හෙවත් දෙවන විසඳුමකට ආණ්ඩුව යා යුතුය. ඒ දෙවන විසඳුම වන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. එහෙත් එයට විපක්ෂය කැමති නැත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් කරන්නේ ජනාධිපති ඉල්ලා අස්වී භාරකාර ජනාධිපතිවරයකු යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම බව පෙනේ.

එහෙත් ඇත්ත කතාව නම් ආණ්ඩුවක් පිට රටින් ආනයනය කළත් දැනට තිබෙන ප්‍රශ්න විසඳීමට බැරි තරම් නරක අන්තයක් කරා රට ගමන් කර ඇති බවය. මේ තුළ තිබෙන පළමුවන සහ ප්‍රමුඛ ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟයයි. ශ්‍රී ලංකාව කිසිදු බඩුවක් නිෂ්පාදනය නොකරන කුණු රාජධානියක් බවට පත්ව තිබෙන නිසා ඩොලර් නැත්නම් රටට ජීවිතයක් නැත. මේ වනවිට ආහාර ද්‍රව්‍ය වල විශාල හිඟයක් රටේ පවතී. පරිප්පු රුපියල් 520 ට අඩුවෙනුත් සීනි රුපියල් 280 ට අඩුවෙනුත් කිසිදු තැනකින් ලබා ගැනීමට නොහැක. ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන්නේ එළවළු වර්ග කීපයකුත් ගස් ලබු සහ ඇඹුල් කෙසෙලුත් පමණි. මේ නිෂ්පාදන භාණ්ඩ ස්වල්පයද ගිනි ගණන් ය. අනෙක් අතට එළවළු සහ පලතුරු පමණක් ආහාරයට ගෙන හෙළුවෙන් ජීවත් වීමේ ප්‍රාථමික සමාජයකට අපට යා නොහැක. එසේ බැරිවන විට මිනිසුන් කරන්නේ ස්වකීය සුපුරුදු ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අයිතිවාසිකම් දිනා ගැනීම පිණිස ප්‍රචණ්ඩ අරගලවලට යොමුවීමය. ඉන්ධන හිඟයට විසඳුම් වශයෙන් ඉන්ධන හලක් ගිනි තැබීමට පිරිසක් තැත් කරන ආකාරයත් එම තැත වළක්වාලීමට තවත් පිරිසක් සටන් කරන ආකාරයත් දැක්වෙන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයෙන් දැකගත හැකිය. ලංකාවේ මේ වාගේ රට හරක් බහුලව සිටිති. ඉන්ධන හිඟයට පිළියම ඉන්ධන හල ගිනි තැබීම නම් කුසගින්නට පිළියම බඩ කපා ආහාර ජීර්ණ පද්ධතිය ඉවත් කිරීමය. හෙම්බිරිස්සාවට පිළියම වනු ඇත්තේ නහය කපා ඉවත් කිරීමය.

මිනිසාගේ ප්‍රචණ්ඩ මානසිකත්වය තුළ ගින්නට ලොකු තැනක් තිබේ. ක්‍රිස්තු පූර්ව 48 දී ඊජිප්තුවේ භයානක සිවිල් යුද්ධයක් තිබිණි. එකල ඊජිප්තුව ලේඛකයන්ගේ සහ පාඨකයන්ගේ රටකි. මේ මිනිසුන්ගේ මානසික මට්ටම බිම හෙළීමට කල්පනා කළ ජුලියස් සීසර් ක්‍රිස්තු පූර්ව 48 දී ඊජිප්තුවට කඩා පැන එහි තිබූ ලොව ලොකුම පුස්තකාලය වූ ඇලෙක්සැන්ඩි්‍රයාවේ මහා පුස්තකාලයට ගිනි තැබුවේය. පැපිරස් පත්‍රවල ලියූ පොත් මිලියන ගණනක් මේ පුස්තකාලයේ තිබිණි. එමතු ද නොව මැටි පුවරුවල ලියූ පොත් ද එවැනිම ප්‍රමාණයක් විය. සීසර්ගේ ආක්‍රමණික හමුදාව පුස්තකාලයට කඩා පැන මැටිපොත් එළියට ගෙනවුත් ඒවා තලා වතුර වත්කර මැටි සෑදූහ. පැපිරස් පොත් ටික ස්නානාගාරවල වතුර උණු කිරීම සඳහා දර ලෙස පාවිච්චි කරන ලදී. මේ ආකාරයෙන්ම රඹුක්කන දී පෙට්‍රල් බවුසරයකට ගිනි තැබීමට උත්සාහ කිරීම මීහරක් වැඩකි. මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත් කාරණයක් තිබේ. එනම් අරගල කරන අය වෙනම පිරිසකි. ගිනි තබන අය වෙනත් කට්ටියකි. පොලිසිය නඩු පවරන විට අරගල කරන්නන් සහ ගිනි තබන්නන් යන දෙගොල්ලටම එකට කූඩුවට යන්නට සිදුවේ. මෙහිදී අරගල කරන්නන්ට අගතියක් සිදුවේ. මන්ද ඔවුන්ද ගිනි තබන්නන්ගේ ද ප්‍රචණ්ඩ ලැයිස්තුවට වැටීමය. ගින්නෙන් ප්‍රශ්න විසඳීම ඉතා ලෙහෙසිය. එහෙත් ඉන් හටගන්නා තුවාල කවදාවත් සුව වන්නේ නැත.

මේ ආණ්ඩුව ඇනගැනීම පටන් ගත්තේ රසායනික පොහොර ප්‍රශ්නයෙනි. ඒ වෙලාවේදී පොහොර ගෙන්වා ගැනීම සඳහා ලංකාවට ඩොලර් තිබුණේ නැත. ආණ්ඩුව ඒ බවක් නොකියා කාබනික පොහොර වල ගුණ ගායනා කරමින් ගොවි ජනතාව මත බලහත්කාරයෙන් එම පොහොර පටවන්නට විය. අන්තිමේදී චීන පොහොර නැව නිසා ආණ්ඩුවට සුවිශාල ඩොලර් පාඩු සිදු විය. මෙය සම්පූර්ණයෙන්ම රාජ්‍ය කළමනාකරණය කිරීමේ වරදය. ඊළඟට තෙල් ගෙන්වීම සඳහා ආණ්ඩුවට මුදල් නැති විය. එහි අතුරු ඵලයක් වශයෙන් කරන්ට් එක නැති විය. ඊළඟට ගෑස් නැති විය. කෑම නැති විය. මේ වට්ටෝරුව අගට ආණ්ඩුවට බලය නැති විය යන්න කවරකු විසින් හෝ යෙදුවොත් එයට විරුද්ධ වීමට අපට නොහැක. එතැනට නොගොස් කිසියම් ප්‍රගතිශීලී මතවාදයක සිට කටයුතු කිරීමට ආණ්ඩුවට ඇති අවස්ථාව ඉතා වේගයෙන් ගිලිහෙමින් පවතී.

advertistmentadvertistment
advertistmentadvertistment