ගිනිගත් නැවේ වන්දි යටගහන්න කුමන්ත‍්‍රණයක් – වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය සෑදූ ශ‍්‍රී ලාංකිකයාට විදේශයකින් මරණ තර්ජන කරලා – රජය එකග වූ කිසිදු මුදලක්වත් ඔහුට ගෙවා නෑ

570

* පිරිසිදු කිරීමේ කටයුතු නැවැත්වීමට ඉහළින් නියෝග කරලා

ප්ලාස්ටික් ඇට ඇතුළු පාරිසරික දූෂක කාරක ටොන් ගණනාවක් සමග ශ‍්‍රී ලංකාවේ දී ගිනිගෙන මුහුදුබත්වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශය අඩු තක්සේරුවකින් පෙන්වා ශ‍්‍රී ලංකාවට ලැබිය යුතු වන්දි මුදල අවම කිරීමේ උත්සාහයක ‘අයිටොෆ්’ (ITOPF – International Tank Owner Pollution Fedaration)  නමැති සංවිධානය කටයුතු කරමින් සිටින බව පරිසරවේදීහු පෙන්වා දෙති.

ගිනිගත් නැවේ වන්දි යටගහන්න කුමන්ත‍්‍රණයක් - වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය සෑදූ ශ‍්‍රී ලාංකිකයාට විදේශයකින් මරණ තර්ජන කරලා - රජය එකග වූ කිසිදු මුදලක්වත් ඔහුට ගෙවා නෑ

මේ වන විට නෞකාවේ සිද්ධියෙන් නැව ලියාපදිංචි සමාගම හා නැවේ ප‍්‍රවාහන කටයුතු කළ සමාගම සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටින බවද, පී ඇන්ඞ් අයි නමැති මීට අදාළ රක්ෂණ සමාගම සමග ගනුදෙනු භාරව කටයුතු කරන්නේ මෙම අයිටොෆ් සමාගම පමණක් බවද පවසන ‘ෆ්‍රෙන්ඞ්ස් ඔෆ් ද අර්ත්’ ජාත්‍යන්තර සංගමයේ සභාපති හේමන්ත විතානගේ මහතා පවසන්නේ නැවෙන් සිදු වූ සැබෑ හානිය යටගසන්නට මෙම සංවිධානය හිතාමතාම කටයුතු කරමින් සිටින බවයි.

ගිනිගත් නැවේ වන්දි යටගහන්න කුමන්ත‍්‍රණයක් - වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය සෑදූ ශ‍්‍රී ලාංකිකයාට විදේශයකින් මරණ තර්ජන කරලා - රජය එකග වූ කිසිදු මුදලක්වත් ඔහුට ගෙවා නෑ

සරක්කුව වෙරළට මිශ‍්‍රව තිබුණු ප්ලාස්ටික් ඇතුළු දූෂක කාරක එකතු කිරීම සඳහා ශ‍්‍රී ලාංකිකයකු විසින් නිපදවා ක‍්‍රියාත්මක කරමින් සිටි යන්ත‍්‍රයෙන් නැවෙන් සිදුව ඇති සැබෑ විනාශය හෙළිදරව් වෙමින් පවතින බැවින්, අදාළ පිරිසිදු කිරීමේ කටයුතු අත්හිටුවීමට ද මේ වන විට නියෝගයක් ලැබී ඇති බවද පවසන හේමන්ත විතානගේ මහතා පවසන්නේ මේ වන විට වෙරළේ අඩි 4 කටත් වඩා පහළින් මෙම දූෂක කාරක හමුවන බවයි.

මෙම යන්ත‍්‍රය මගින් මේ වනවිට ටොන් ගණනාවක දූෂක කාරක එකතු කර ඇතැයිද ඒ අනුව නැවෙන් සිදු වූ විනාශය අප සිතනවාටත් වඩා කිහිප ගුණයකින් වැඩි බව අනාවරණය වන බවද පෙන්වා දෙන විතානගේ මහතා ප‍්‍රකාශ කරන්නේ තත්ත්වය එසේ තිබියදී යන්ත‍්‍රයේ කටයුතු නවතා දමන්නට නියෝග කර ඇත්තේ විනාශයේ තරම එළිවන නිසා බවයි.

තත්ත්වය එසේ තිබියදී ඉකුත් 30 වැනිදා අයිටොෆ් සංවිධානය හා රජයේ ඉහළ නිලධාරීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සරක්කුව වෙරළේ නිරීක්ෂණ චාරිකාවක් සංවිධානය කර තිබුණු අතර, ඊට පෙර දින දෙකකදී සිවිල් ආරක්ෂක බලකාය ඇතුළු කණ්ඩායම් යොදවා වෙරළේ හානිය වසා දමා තාවකාලිකව පිරිසිදු කරන ලද බව වාර්තා වේ.

මේ පිළිබඳව කරුණු දක්වන වෙරළ පිරිසිදු කිරීමේ යන්ත‍්‍රය නිර්මාණය කළ චින්තක වේරගොඩ මහතා සඳහන් කරන්නේ තම යන්ත‍්‍රය මගින් මේ වන විට ප්ලාස්ටික් පැලට් ටොන් 10 ක්, අර්ධ දහනයට ලක්වූ ඝන කැබලිති ටොන් 4-5ක් හා ක්ෂුද්‍ර ප්ලාස්ටික් දූෂිත තෙල් හා දියර අපද්‍රව්‍ය ලීටර් එක්ලක්ෂ දසදහසක් පමණ එකතු කර දී ඇති නමුත් රජය විසින් එකඟවූ පරිදි තමන්ට මේ දක්වා සත පහකවත් මුදලක් ලබා දී නොමැති බවයි.

තමන් මේ කටයුතු කරමින් සිටින්නේ තම නිවස පවා උකස් කරමින් බව පවසන වේරගොඩ මහතා වැඩිදුරටත් පවසන්නේ මේ අතර තමන්ගේ කටයුතු නවතා දමන්නට රජය මගින් ලිඛිත නියෝගයක් ලබා දී ඇති බවයි. පරිසරයට මිශ‍්‍රව ඇති ක්ෂුද්‍ර ප්ලාස්ටික් හා දූෂිත ද්‍රව වර්ග සියල්ලකම පාහේ තම යන්ත‍්‍රය මගින් හෙළිදරව් වන නිසා මෙසේ සිදුවන බව තමන් විශ්වාස කරන බවද පවසන වේරගොඩ මහතා පවසන්නේ තම කටයුතු නවතා දමන ලෙස විදේශිකයින් පිරිසක් මීපා ආයතනයේ නිලධාරීන් ඉදිරියේදී තමන්ට මරණ තර්ජනය කළ බවයි.

මේ අතර ජාත්‍යන්තර නැව් සමාගමේ (අයිටොෆ්) උපදෙස් හා වියදම් ලබාදීම පරිදි හා සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ අධිකාරියේ අධීක්ෂණ පරිදි ඇසට පෙනෙන ප්ලාස්ටික් පැලට් පමණක් සල්ලඩවලින් හලා එකතුකිරීමට පසුගිය සිකුරාදා (08) සිට ගම්වාසී කාන්තාවන් පිරිසකට අවස්ථාව ලබාදී ඇත.

මෙය සම්පූර්ණයෙන්ම නැවේ හානිය යට ගසා, ශ‍්‍රී ලංකාවට ලැබිය යුතු සැබෑ වන්දිය වැළැක්වීමට ගෙන යන සංවිධානාත්මක ක‍්‍රියාමාර්ගයක් බව පරිසරවේදීහු කියා සිටිති.

ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment