ගිනි කන්දක රටම තියා.. උඩු හුළඟට සිහින ගියා

43

වත්මන් ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුවක් පිහිටු වූ පසු රටේ බොහෝ අංශවල ධනාත්මක වෙනසක් බොහෝ දෙනෙක් අපේක්ෂා කළහ. එහෙත් වසර දෙකක් ඉක්ම ගිය තැන එම බලාපොරොත්තු ජනතාවගෙන් තුරන්වී තිබේ. ඒවා හුදු බලාපොරොත්තු පමණක් වී තිබේ. රට ඉතාම නරක තත්ත්වයකට අද වැටී තිබේ. මේ වන විට විදේශ සංචිත පතුලටම බැස ඇත. දැන් ජනතාව අතර ඇත්තේ පුදුම කළකිරීමකි. විරෝධයකි. ඉන් එහා ගිය බුරා බුරා නැගෙන වෛරයකි.

මිනිසුන්ට නිදහස අවශ්‍යය. එක පැත්තකින් අර්බුද නිසා මිනිසුන්ගේ ආතතිය හොඳටම ඉහළ ගොස් ඇත. අනික් අතින් කෙලවරක් නැති ආර්ථික ප‍්‍රශ්නවලින් ජන ජීවිතය අඩාල වී ඇත.

මුලින් අපි කතා කළේ වැඩිවන ගෑස් මිල ගැනය. ඊට පසු ගෑස් හිඟය හා ගෑස් පෝලිම් ගැන කතා කළෙමු. අනතුරුව අපි කතා කළේ ගෑස් බෝම්බ ගැනය. ඊටත් පසුව ගෑස් මරණ ගැනත් අපි කතා කළෙමු. භූමිතෙල් පෝලිම් පිළිබඳව කථාබහද ඇරඹී ඇත. ගිනි ගණන්වලට විකුණන භූමිතෙල් ළිප්වලින් අනතුරුව දර ළිපටම අපි පල්ලම් බැස්සෙමු. දැන් කතාකරන්නේ ඉහළ මිල ගණන්වලට විකුණන දර මිටි ගැනය.

ළිපේ ප‍්‍රශ්නය ඒ ආකාරයට විසඳාගත් ජනතාව, ඉන් පසු බලා හිඳින්නේ දර ළිපේ හෝ කුඩු ළිපේ තියා සකස් කරගෙන දරුවන්ට දෙන්නේ මොනවාද කියාය. කිරිපිටි නැත. දිගු පෝළිම් ඇත. හාල් ගැන කතා කරනවාට වඩා ගෑස් ගැනම කතා කරන එක වඩා හොඳය. හාල් ප‍්‍රශ්නය විසඳන්නට හමුදාව පවා යෙදවූවත් ප‍්‍රශ්නය විසඳුවේ හාල් මෝල් හිමියන්මය. අද වෙළෙඳපොලේ මිල තීන්දු කරන්නේ හාල් මෝල් හිමියන් විසිනි. පාරිභෝගික අධිකාරිය, වෙළෙඳ හා කෘෂිකර්ම අමාත්‍යාංශ නාමිකව පවතී.

දැන් මිනිසුන්ට විඳින්නට සිදුව ඇත්තේ මේ රටේ මින් පෙර කවරදාකවත් නොවිඳි දුෂ්කරතාවන්ය. යම් මට්ටමකට හෝ උත්සව සමය සමරන්නේ කෙලෙසද? උත්සව සමයත් සමග කළු කඩ වැඩි මිලට බඩු විකිණීම දැන්ම පටන් ගෙන ඇත. හෙට – අනිද්දා වන විට හේ මිල ගණන් තව තව ඉහළ යනු ඇත. සූරාකෑම ඉතා කදිමට සිදුවනු ඇත.

ආර්ථික අර්බුදය ඇත්තකි. එහෙත් සූරා කෑම තව දෙයකි. කන්නට ඕනෑ විට කබරයාත් තලගොයා කරගන්නා යුගයක් අද උදා වී ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවට පවතිද්දීත්, ශ‍්‍රී ලංකාවේ ඉන්ධන මිල වැඩිකරමින් සිටී. එහි බලපෑම සෑම ක්ෂේත‍්‍රයකටම බලපාන්නට පටන්ගෙන ඇත. ගෑස්වලට අමතරව දැන් පෙට‍්‍රල් මිලද වැඩිකර ඇත. ඞීසල් මිලද වැඩිකර ඇත. භූමිතෙල් මිලද වැඩිකර ඇත. ගෑස් හිඟය හේතුවෙන් රටපුරා හෝටල් සහ බේකරි වැසී යාම පටන්ගෙන ඇත. ඞීසල් පෙට‍්‍රල් මිල නැංවීම හේතුවෙන් බස් රථ, පාසල් වෑන් රථ, ත‍්‍රීරෝද රථ, කුලී වාහන ගාස්තු ඉහළ දැමීම සිදුකරමින් සිටී.

පොහොර හිඟය වී ගොවිතැනට පමණක් නොව එළවළු වගාවට, අල වගාවට, තේ වගාවට ඇතුළු අපේ සියලූ ගොවිතැන් සහ වැවිලි ක්ෂේත‍්‍රයේ අහිතකර බලපෑම් සිදුකරමින් සිටී. එක් පැත්තකින් අපේ අපනයන ආදායම සෘණ පැත්තට යොමුවී ඇත. ගොවි ක්ෂේත‍්‍රයේ සහ වැවිලි ක්ෂේත‍්‍රයේ ජනතාවට ජීවත් වන්නට නොහැකි තත්ත්වයකට ඇද දමා ඇත. ආහාර සුරක්ෂිත බව අභියෝගයට ලක් කරමින්, ආහාර හිඟයක අවදානම අප අභියසටම පැමිණ ඇත. එළවළු සියල්ලේ මිල කිසි කලෙක නොවූ අයුරින් ඉහළ ගොසින්ය. අල, බතල ආදියේ මිලද ඉහළ ගොසින්ය. කෑමට ගතහැකි හැමදේකම මිල සිතාගත නොහැකි අයුරින් ඉහළ ගොසින්ය.

පෙනෙන්නට ඇත්තේ සාධාරණ මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ අපේක්ෂාව අද නොවේ හෙට දක්වා කල් යන බවකි. ජනතාවගේ ඒ අහිංසක අපේක්ෂාවන් කල් යන අතර, ඒවා ඈතින් ඈතට ගමන් කරනු මිස, මේ අපේක්ෂා සාක්ෂාත් වන ලකුණු නැත. ඊට හේතුව මේ රටේ පවතින අයහපත් ආර්ථික කළමනාකරණයයි.

මැතිවරණයක් සඳහා ජනතාව ආකර්ෂණය කිරීමට වශීකාරක ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ඉදිරිපත් කළද, බලයට පත්වූ පසු ගන්නා වූ සියලූ තීන්දු තීරණ වලදී ජනතා සහභාගිත්වයකට අවකාශයක් නොලැබේ. ආසන්න හොඳම නිදසුන කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය පිළිබඳව ගත් තීන්දූන්ය. වසර දහයක් ඇතුළත වෙනසකට යෑමට පොරොන්දුවී, පැය 24 න් වෙනස්කම් ඇති කිරීමට ගත් තීන්දුව රටටම අහිතකර ප‍්‍රතිඵල ලබාදී ඇත. මේවා ගැන කෘෂි හා වැවිලි ක්ෂේත‍්‍රයේ යෙදෙන අයවළුන් සහ විශාරදයන් ආදිය හා කථිකාවතකට නොයමින්, ගෙන ඇති අත්තනෝමතික තීන්දු තීරණ රටටත් ජනතාවටත් අර්බුද රැසක් උදාකරදී ඇත. තීන්දු තීරණ ගැනීම්වලින් ඒ ඒ ක්ෂේත‍්‍රයන්හි යෙදී සිටින්නන් සහ විශාරදයන් බැහැරකර තබා තිබීම පැහැදිලිය. සෘජු උපදෙස් දෙන සිවිල් සේවකයන්ද දොට්ට දමමින් සිටියි. ඇමැතිවරු සහ පාර්ලිමේන්තුව රූකඩ බවට පත්කරන මෙහෙයුම ක‍්‍රියාත්මක වෙමින් පවතී. සියල්ල තීන්දු කරන අදෘශ්‍යමාන කල්ලියක බලය ගැන රටපුරා කථාබහ ඇත. මහජන නියෝජිතයන් සහ සිවිල් සේවය දීන තත්ත්වයකින් පවත්වා ගැන්මෙන් හොඳින් තේරුම්ගත හැක.

ඡන්දයකදී පමණක් ජනතාවගේ දෙපාමුලට යන අපේ නායකයන් වරම ලැබූ පසු, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙසින් තීන්දු තීරණ ගැනීම් සඳහා ජනතා සහභාගීත්වය ලබා ගැන්මට මැලිවෙති. ජනතා යහපත වෙනුවට, පටු අරමුණු ඇතිව ජනතා සහභාගීත්වයට දොර වසමින් තනි තීන්දු තීරණවලට යෑම අපි දකිමින් සිටින්නෙමු.

අප මුහුණ දී ඇති මේ අර්බුදයන් තුළින් පටු දේශපාලන වාසි ලබාගැන්මේ අරමුණින් ඉදිරිපත් වන්නා වූ ආකර්ෂණීය මැතිවරණ ප‍්‍රකාශන සහ සටන් පාඨ ස්වරූපයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනවලින් මංමුළා නොවී, එම දේශපාලන ව්‍යාපාරයන්හි සංවිධාන ව්‍යූහයන්හි ප‍්‍රජාතන්ත‍්‍රවාදී බව ගැන අපේ ජනතාව විමසිල්ලෙන් බැලීම ඉතා වැදගත්ය. එසේ නොවුණහොත් ආකර්ෂණීය වදන් මාලාවෙන් මුළා වූ ජර්මනියේ ජනතාවට හිට්ලර් පාලනයකින් විඳින්නට සිදුවූ වධ වේදනාවන් සහිත වහල් යුගයක අවදානමට මුහුණ දීමට සිදුවිය හැක. මැතිවරණයකදී පමණක් ක‍්‍රියාකාරීවීම වෙනුවට, නිරතුරුව රටේ තීන්දු තීරණ ගැන්මේ ක‍්‍රියාදාමය ගැන අවදියෙන් සිටීම සහ වගකීම් සහිත ක‍්‍රියාකාරීත්වයක සිටීම පුරවැසි ප‍්‍රජාව වෙත පැවරෙන බාරදූර වගකීමකී.

රටේ උද්ගතව ඇති ඩොලර් හිඟය නිසා පෙනෙන තෙක් මානයේ සුගතියක් ජනතාවට අත්නොවන බව පැහැදිලි අතර රටට මීට වඩා දුෂ්කර කාලයක් උදාවෙනු ඇති බව ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා ඇත. පදනමකින්, විචාරයකින් තොරව ගත් තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුව බරපතළ අපහසුතාවකට පත්ව තිබේ. ගත් තීන්දුවක් වැරදුනා නම් එය නිවැරදි කරගත යුතුය. එසේ වෙනස් නොකර වැරැදි තීන්දුවේම පිහිටා දිගටම කටයුතු කරන්නේ නම් එයට මුහුණ දිය හැකි තත්ත්වයක් තිබේදැයි සැලකිල්ලට ගත යුතුය. මේ පසුබිම යටතේ ආණ්ඩුව සිටින්නේ බරපතළ අර්බුදයකට මැදිවය.

ඒ මදිවාට රටත්, ජනතාවත් දැවෙන අර්බුද රැසකට මුහුණ දී ඇති මොහොතක පාර්ලිමේන්තු රැස්වීම් වලට දොරටු වසා දැමීමට කටයුතු කර ඇත. මේ ගෙන ඇති තීරණය තුළින් රාජ්‍ය කළමනාකරණය තුළ සිදුවී ඇති සහ සිදුවෙමින් පවතින දූෂණ, වංචා, හොරකම් හෙළිදරව් කරමින් සිටි පාර්ලිමේන්තු කාරක සභාවල සංයුතිය වෙනස් කිරීම රජයේ ප‍්‍රධාන අරමුණක් බවට නැගෙන ප‍්‍රබල චෝදනා ඉදිරියේ, ඒවාට පිළිතුරු නොදෙමින් රජය මුනිවත රකිමින් සිටී.

රටේ ජනතාව කිසිකලෙක නොවූ අයුරින් ජීවත්වීමේ අරගලයක යෙදී සිටින මොහොතක, කිසිදු හේතු දැක්වීමක් නොකර පාර්ලිමේන්තුවට දොරගුලූ දමා ඇත. ජනතාවට හෝ ජනතා නියෝජිතයන්ට සවන්දීමක් නැත. ජනතා ප‍්‍රශ්න ගැන සංවේදීවීමක් නැත. තීන්දු තීරණ ගැනීම්වලදී ජනතා සහභාගිත්වයකට අවකාශ නැත. විකල්ප මත දැක්වීම් ආදියට පවා කොවිඞ් වසංගතය මුවාවෙන් මර්දනය කිරීම් සිදුවිණ. ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් සිවිල් සේවය අද දීන තත්ත්වයකට පත්කර ඇත. 20 වන සංශෝධනය තුළින් සිදුවූ බලය ග‍්‍රහණය කරගැන්ම හේතුවෙන්, අධිකරණ විනිසුරු උසස්වීම් වලදි පවා ජ්‍යෙෂ්ඨයන්, අපක්ෂපාතී විනිසුරන් කොන්කර දමමින්, ඔවුන්ගේ වෘත්තීමය ජීවිතය විනාශ කරමින් ගෙන ඇති තීන්දු තීරණ ගැන අපි මාධ්‍යයෙන් දකින්නෙමු. දේශපාලන බලවතුන් සහ හිතවතුන් දූෂිත සහ වෙනත් නීති විරෝධී චෝදනා සඳහා නඩු පැවරීම් ඉවත්කර ගැනීම සහ නිදහස්කර යැවීම් ගැන විවිධ කථා බහ අපි මාධ්‍යවලින් දකිමින් සිටින්නෙමු. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාව, ජාත්‍යන්තර තලයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යක් ලෙස හිමිකරගෙන තිබූ ගෞරවනීය ප‍්‍රතිරූපය අද ප‍්‍රශ්නකාරී තත්ත්වයකට මුහුණ දී තිබීම රහසක් නොවේ. මේ තත්ත්වය අපේ රටේ ඉදිරි ගමනට මෙන්ම විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනයට ඇතිකරන අහිතකර බලපෑම අමුතුවෙන් විස්තර කළයුත්තක් නොවේ. මාතෘ භූමිය මේ අයුරින් විනාශයකට යෑමට ඉඩදී නිහඬව සිටීම වගකිවයුතු පුරවැසියනට කළ හැක්කක් නොවේ. ජනතාවට සංවේදී වූ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරකින රටක් ලෙසින් අපට තිබූ උරුමස්ථානයට ශ‍්‍රී ලංකාව උසස් කිරීමට නොපමාව අපි අපේ වගකීම් ඉටුකළ යුතුව ඇත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment