පසුගිය 2022 වසරේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් ජනතාව අසීමිතව පීඩාවට පත් වූ අතරම ඔවුන්ගේ විරෝධය එවකට රට පාලනය කළ ගෝඨාභය රාජපක්ෂ රජයට එල්ල වූ බව රහසක් නොවේ. සාමාන්‍ය ජනයා මුහුණ දුන් අසීමිත පීඩනයට, අසහනයට අමතරව මේ අර්බුදය හමුවේ දේශපාලන අරමුණු ද ක්‍රියාත්මක වූ බව රහසක් නොවේ. ඒ අනුව පසුගිය අරගල සමයේ එවකට රජයේ මැති ඇමතිවරු රැසකගේ නිවාස, දේපොළ සහ වාහන යනාදිය ගිනි තබා විනාශ කළ බව අපට මතකය. එසේම අමරකීර්ති අතුකෝරල පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ජීවිතය ද නරුමයන් පිරිසක් විසින් ඉතා කුරිරු ලෙස බිලිගත් බව ද අපට අමතක නැත. එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු නිට්ටඹුව පොලිසිය මගින් එවකට සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි. එම පරීක්ෂණවලට අවසානයේ සිදු වූ දෙය හෝ එම මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ අයට කොපමණ මුදලක් රජයෙන් වන්දි ලෙස ගෙවා තිබේ ද යන්න තවමත් අප දන්නේ නැත. එම සිදුවීමෙන් අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන මහතා ද මරණයට පත් විය. මේ කුරිරු සිදුවීම සිදුව තිබුණේ, 2022 මැයි 9 වැනි දා නිට්ටඹුවේදීය. මෙවැනි මනුෂ්‍ය ඝාතන හෝ කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් ඒ කිසිවෙකුගේ නිවාස හෝ දේපොළ යානවාහන ගිනිතැබීම හෝ විනාශ කිරීම කිසිලෙසකින් අනුමත කිරීමට පුළුවන්කමක් නැත. මේවා කිසිසේත්ම අසහනයට පත් සාමාන්‍ය මහජනයාගේ ප්‍රකෝපකාරී ක්‍රියා ලෙස හැඳින්වීමට ද නොහැකිය.

ගිනි තිබ්බේ කවුරුත් සල්ලි ගත්තෙ තවත් කවුරුත් වන්දි ගෙවන්නේ අපි

එම අසුන්දර සහ අපකීර්තිමත් අතීතය පසුකර දැන් වසර දෙකහමාරක පමණ කාලයක් ගතව තිබේ. ඒ සිදුවීම්වල දී එම ගිනි තැබීම් හෝ දේපොළ විනාශයන් වැළැක්වීමට හරිහැටි ආරක්ෂක අංශ පවා ක්‍රියාත්මක වූයේ ද නැත. එසේම එම සිදුවීම්වලින් පසුව එම මනුෂ්‍ය ඝාතන සහ දේපොළ විනාශ කිරීමේ අපරාධ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව සිදුකළ පරීක්ෂණ ක්‍රියාවලිය ගැන ද අපට එතරම් දැනුමක් නැත. මේ ගැන කතා කිරීමට පසුබිම සැකසුනේ, අරගලය පැවැති 2022 වසරේ ගිනි තැබූ නිවාස වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රජයෙන් ලබාගත් වන්දි මුදල් පිළිබඳ ලැයිස්තුවක් පසුගිය පෙබරවාරි 06 වැනිදා ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී හෙළි කිරීම නිසාය. දැන් මේ ලබාගත් වන්දි මුදල් ගැනත් ඒවායේ ප්‍රමාණයන් ගැනත් පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතත් බලවත් සංවාදයක් ඇතිව තිබේ. එහිදී ඇමැති නලින්ද සඳහන් කළේ, මන්ත්‍රීවරුන් 43 දෙනකු විසින් රජයෙන් ලබාගෙන ඇති වන්දි මුදල්වල සමස්ත වටිනාකම රුපියල් කෝටි 122.41ක් බවයි. මේ කවර දේශපාලන අරමුණකින් කවර කණ්ඩායම් විසින් සිදුකළත් අවසානයේ මේ බර දරා ඇත්තේ කවුද? දේශපාලනඥයින්ට මේ වන්දි ගෙවා ඇත්තේ කවුරු විසින්ද? ඒවාට වගකිව යුතු නැති අතිමහත් බහුතර මේ රටේ බදුගෙවන මහජනතාව විසින් බවයි. යම් විරුද්ධ දේශපාලන මතයක් දැරූ පමණින් හෝ ඒ අවස්ථාවේ පැවැති ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පමණින්, ඒ අය මහමග පහර දී මරා දැමීමට, කාගේවත් ගෙවල් ගිනි තැබීමට හෝ දේපොළ විනාශ කිරීමට කිසිවෙකුටවත් අයිතියක් නැත. ඒ නිසා ඒවා එවැනි අපරාධ ක්‍රියා කිසිවෙකුත් අනුමත නොකළ යුතු වේ. ඒ නිසා අප සිතන්නේ ඝාතනය වූ මන්ත්‍රීවරයාගේ පවුලේ අයට මෙන්ම, මේ නිවාස සහ දේපොළ විනාශයෙන් අසාධාරණයක් වූ අයට සාධාරණයක් ඉටුවිය යුතු බවට කිසිම සැකයක් නැත. එහෙත් අවසානයේ සිදුව ඇත්තේ ඇමැති නලින්ද ජයතිස්ස හෙළිකර ඇති පරිදි මන්ත්‍රීවරුන්ට වන්දි ගෙවා ඇති මුළු මුදල රුපියල් කෝටි 122.41 කි. බැලූ බැල්මට මෙය අතිවිශාල මුදලක් වන අතර මේ මුදල් තක්සේරු කළ ආකාරය ගැන නම් ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වූයේ නැත. මේ හෙළිදරව්වෙන් පසු එම වන්දි මුදල් ගෙන තිබූ ප්‍රේමනාත් සී. දොලවත්ත මන්ත්‍රීවරයා මාධ්‍යයට කළ ප්‍රකාශයකට සවන් දීමට මේ ලියුම්කරුට අවස්ථාව ලැබුණු අතර ඔහුට අනුව මේ වන්දි ගෙවා ඇත්තේ රජයේ තක්සේරුකරුගේ තක්සේරුවකට අනුවය. මේ ගෙවා ඇති වන්දි මුදල් ප්‍රමාණයන් දෙස බලන විට විමලවීර දිසානායක මන්ත්‍රීවරයාට රු.ලක්ෂ 5.5 වන්දි ලැබෙන විට කෙහෙළිය රඹුක්වැල්ල රු. ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇත. විමලවීර දිසානායකට එහෙම වූයේ බුලත්විට කන ගමේ බයියෙක් නිසාද? කෙහෙළිය රඹුක්වැල්ල බලපුළුවන්කරයෙක් නිසා ද? එසේ නැත්නම් සිදුව තිබූ විනාශයේ ප්‍රමාණය අනුව මෙය රජයේ තක්සේරුකරු විසින් කළ නිවැරදි තක්සේරුවක් ද? කවරක් වුවත් අවසානයේ මේ කියන මැති ඇමැතිවරුන්ට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනයාටය. අනිත් අතට එම මැති ඇමැතිවරුන් තමන්ට වූ හානිය පියවා ගෙන ඇත්තේ මහජන මුදලින්ම බව ද අප අමතක කළ යුතු නොවේ.

ඇමැති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ දී කියවන ලද ලැයිස්තුව අනුව, මේ වන්දි මුදල් වැඩියෙන්ම ලබා ගත් අය අතරින් කෙහෙළිය රඹුක්වැල්ල රුපියල් ලක්ෂ 959ක් වන්දි මුදල් ලෙස ලබාගෙන ඇති අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 934ක්, ගාමිණි ලොකුගේ රුපියල් ලක්ෂ 749ක්, අලි සබ්රි රහීම් රුපියල් ලක්ෂ 709ක් සහ නිමල් ලාන්සා රුපියල් ලක්ෂ 692ක් බැගින් රජයෙන් (මහජන මුදලින්) වන්දි ලබාගෙන ඇත. රජයෙන් යනු මහජනයාගෙන් වන්දි ලබාගෙන ඇති බවයි. නැතහොත් මහජනයා වන්දි ගෙවා ඇති බවයි. මේ වන්දි ලබාගත් මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව සහ එම මුදල් ප්‍රමාණයන් අනාවරණය කිරීම ගැන ඇමැති නලින්ද ජයතිස්සට ස්තුති කළ යුතුය. ඒ අතරම අදාළ මන්ත්‍රීවරුන්ගේ ගිනි තැබූ දේපොළ වෙනුවෙන් විවිධ ප්‍රමාණවලින් මෙසේ රජයෙන් (මහජන මුදලින්) වන්දි ගෙවා ඇතත් මරා දැමූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් කොපමණ මුදලක් වන්දි වශයෙන් රජයෙන් ගෙවනු ලැබුවේද යන්නත් එසේම එම ඝාතනය කළ දෙදෙනාගේ ඝාතකයන්ට සහ දේපොළ විනාශ කළ අපරාධකරුවන්ට එරෙහිව පැවති පරීක්ෂණ කටයුතුවලට අවසානයේ (මේ වන විට) සිදුව ඇත්තේ කුමක් ද යන්නත් ඒ සමගම රටට හෙළි කරා නම් ඉතා වටිනා බව අපගේ අදහසයි. ඒ තොරතුරු ද හෙට දවසේ රජය විසින් හෙළි කරනු ඇති බව අපි සිතමු.

ගිනි තිබ්බේ කවුරුත් සල්ලි ගත්තෙ තවත් කවුරුත් වන්දි ගෙවන්නේ අපි

අරගලය අවස්ථාවේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නිවාසවලට ගිනි තැබීමේ වන්දිය ලෙස රජය රුපියල් කෝටි 122 කට අධික මුදලක් ගෙවා ඇත්තේ රට ඉතාම අසීරු අඩියක තිබෙන අවස්ථාවක බව ද අපට අමතක කළ නොහැකිය. එසේම අනිත් අතට මේ වන්දි ලැබූ ඇතැම් දේශපාලනඥයින් දූෂිතයින් ද විය හැකිය. ඔවුන්ගේ (එම ඇතැමුන්ගේ) දේශපාලනය මජර හා තක්කඩි එකක් ද විය හැකිය. ඒ නිසා මෙතෙක් ඔවුන් කළ දූෂිත හා ජරාජීර්ණ දේශපාලනයට දඬුවක් ලෙස ඔවුන්ගේ නිවාස සහ දේපොළ විනාශ කළ බවට ද ඇතැමුන්ට ප්‍රකාශ කළ හැකිය. එහෙත් එසේ කියා අරගලය මුවාවෙන් නීතිය අතට ගෙන කාගේවත් නිවාස ගිනි තැබීමට හෝ දේපොළ විනාශ කිරීමට කිසිවෙකුටවත් අයිතියක් තිබිය නොහැකිය. එසේ කිරීමේ විපාකය, දඬුවම අවසානයේ ලැබී ඇත්තේ කාට ද? ඒ නිසා යම් සංවිධානාත්මක පිරිසක් ගෙවල් ගිනි තියලා, දේපොළ විනාශ කරලා අවසානයේ දඬුවම් දී තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටම බව දැන්වත් අප තේරුම් ගත යුතුය. ඒ නිසා අවශ්‍ය කරන්නේ දූෂිත, වංචනික දේශපාලනඥයින් සිටිනවා නම් ඒ අයට එරෙහිව නෛතිකව කටයුතු කිරීම මිස ඔවුන් මරා දැමීම, නිවාස ගිනි තැබීම හෝ දේපොළ විනාශ කිරීම නොවේ. මේ ආණ්ඩුවට ඒ සඳහා රටේ පවතින නීතියට අනුව අධිකරණ ක්‍රියාමාර්ග හරහා දැන් ක්‍රියා කිරීමේ හැකියාව තිබේ.

ආර්ථික අර්බුදය තවමත් මුළුමනින්ම අවසන්ව නැත. ඒ ආර්ථික අර්බුදයේ පීඩාවට අමතරව මේ දේශපාලනඥයින්ට වන්දි ගෙවීමේ බරත් සාමාන්‍ය ජනයා මත පටවා ඇත. සහල් කිලෝවක, පොල් ගෙඩියක මිල ජනතාවට දැරීමට බැරි තරම්ය. පොදු ජනයා ජීවත් වන්නේ ඉතා අමාරුවෙනි. එවැනි විටෙක මේ දඬුවම ලැබිලා තියෙන්නේත් මේ රටේ අහිංසක මිනිසුන්ට බව දැන් පැහැදිලි වී ඇත. මෙය ස්වාභාවික විපතක් හෝ වසංගත තත්ත්වයක් නිසා ඇති වූ හානියක් නොවේ.

ස්වාභාවික විපතකදී පවා සිදුවන බලවත් හානියක් වෙනුවෙන් යම් සුළු වන්දි මුදලක් ගැනීමට මිනිසුන්ට මහත් දුෂ්කරතා විඳීමට සිදුවේ. ස්වයං රැකියාවක් පටන් ගැනීමට හෝ නිවසක් හදා ගැනීමට යම් බැංකුවකින් ණය මුදලක් ගැනීමට කෙතරම් දුකක් විඳිය යුතු ද? එහෙත් මේ මැති ඇමැතිවරු රටේ මහජනයාගෙන් තමන්ට වූ හානියට මේ වන්දි මුදල් දැන් ලබාගෙන (අය කරගෙන) අවසන්ය. ඇතැම් මන්ත්‍රීවරුන්ට රජයේ තක්සේරුව අනුව තමන්ට ලැබුණේ සිදු හානියට වඩා අඩු වන්දි මුදලක් ලෙස කියා සිටීමට හැකිය. ඇතැම් අය සම්බන්ධයෙන් එය සත්‍යය ද විය හැකිය. ප්‍රේමනාත් සී. දොලවත්ත කියා ඇත්තේ තමාට ලැබුණේ සිදු වූ හානියට වඩා අඩු වන්දි මුදලක් බවයි. ඔහු හොරෙක් හෝ දූෂිතයෙක් ද නොවිය හැකිය. ඔහුගේ ධනය ඔහු තම වෘත්තියෙන් උපයාගත් එකක් විය හැකිය. එසේම තව කෙනෙකුට ඔහු වාසය කළ නිවාස පරම්පරාවෙන් ලැබුණු උරුමයක් ද විය හැකිය. ඒ නිසා නිවාස ගිනි තැබීමට ලක් වූ මේ මන්ත්‍රීවරු සියලු දෙනාම තම නිවෙස් ඉදිකරගෙන ඇත්තේ රජයේ මුදල් හොරා කෑමෙන් බව කිව නොහැකිය. එවැනි අයෙකු තමා පිළිගන්නා මතය අනුව යම් දේශපාලනයක් කළ පමණින් ඔහුව ඝාතනය කරනවා නම් හෝ ඔවුන්ගේ නිවාස ගිනි තබනවා නම් එය ඉතාම අසාධාරණ, භයංකර තත්ත්වයකි. මේ නිසා ආණ්ඩුව මේ වන්දි මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තු ප්‍රකාශයට පත් කරන අතරම මේ පැතිකඩ ගැන ද සලකා බැලිය යුතු බව අපගේ අදහසයි. මේ වන්දි මුදල් තක්සේරු කළ ආකාරය ගැන කිසියම් විමර්ශනයක් කිරීමේ ද වරදක් නැත. ඇතැම් අයට සිදු වූ හානියටත් වඩා අධිතක්සේරු කළ වැඩි වන්දි මුදලක් ගෙවා ඇත්නම් එවිට ඒ ගැනද යම් පියවරක් ගත හැකිය.

“අපිත් ඒ දවස්වල මාධ්‍යයෙන් දැක්කා සමහර ප්‍රාදේශීය ලේකම්වරුන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලපෑම් කරලා තියෙනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ ස්වාභාවික ආපදාවක් වුණත්, පූර්ණ හානියක් වුණත් දෙන්න පුළුවන් උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25යි. හැබැයි බලය අතේ තියෙන අය මේ වන්දිය අරගෙන තියෙන්නේ මෙහෙමයි.”

අමාත්‍ය නලින්ද ජයතිස්ස අදාළ මන්ත්‍රී නාම ලේඛනය ප්‍රසිද්ධ කරමින් පාර්ලිමේන්තුවේ දී මෙසේ පවසා තිබුණි. මෙයින් අදහස් වන්නේ හැන්ද අතේ තිබූ අය තමන්ට ඇතිතරම් බෙදාගෙන ඇති බවකි. ඒ නිසා ඒ වන්දි තක්සේරු කිරීම නිවැරදිව සිදුව ඇත්තේ ද යන්න සොයා බැලීමේ කිසිම වරදක් නැත. එහෙත් අරගලය මුවාවෙන් මේ අපරාධ කළ අය ගැන ද සොයා බලා ඔවුන්ට එරෙහිව ද නෛතික පියවර ගත යුතු නොවේ ද? ඒ සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලියේ මෙතෙක් ප්‍රගතිය ද පාර්ලිමේන්තුවට වාර්තා කරන්නේ නම් ඉතාමත් වැදගත්ය. අපට නම් ඇති ප්‍රශ්නය වන්නේ රටේ අතිශය අමාරු කාලයක, ජනයා ඉතාම අමාරුවෙන් ජීවත්ව සිටින විටෙක මේ වන්දි මුදල්වල බරත් මහජනයාටම දැරීමට සිදු වීම ගැනයි. මේවාට වගකිව යුතු වන්නේ මේ අපරාධ කළ අයයි. එහෙත් මේවාට වගකීමට සහ බර දැරීමට සලස්වා ඇත්තේ පොදු ජනයාටයි. එසේම මේ අපරාධ වැළැක්වීමට ඒ මොහොතේ නිසි ලෙස ක්‍රියා නොකළ ආරක්ෂක අංශවලට ද මෙහි වගකීමක් තිබේ. ඒ නිසා මේ විවිධ පැතිකඩ අනුව ආණ්ඩුවේ වගකීම විය යුත්තේ හුදෙක් මාධ්‍ය සංදර්ශනවලින් එහාට ගොස් ගොස් මෙවැනි දේ සම්බන්ධයෙන් රජයේ නිසි මැදිහත්වීම කිරීමයි. එසේ නැත්නම් මේ සියල්ලෙන් දඬුවම් ලැබෙනු ඇත්තේ සහ වන්දි ගෙවීමට සිදුවනු ඇත්තේ රජයට මේ විශාල බහුතර ජනවරම දුන් ජනයාට සහ අනෙකුත් සාමාන්‍ය ජනතාවටයි.

ගිනි තිබ්බේ කවුරුත් සල්ලි ගත්තෙ තවත් කවුරුත් වන්දි ගෙවන්නේ අපි

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]


advertistmentadvertistment