ගිනි නිවමුද ගිනි අවුලමුද?

353

රාජපක්‍ෂ කඳවුරම සුනුවිසුණුවී ගොස් තිබෙන පසුබිමක ඔවුන්ගේ දේශපාලන පක්‍ෂය වන පොහොට්ටුව තවදුරටත් බලය උදෙසා සටන් වැදීම සුදුසුද යන්නත් එහි වත්මන් නායකයෝ ගැඹුරින් සිතා බැලිය යුතු වෙති.
 
ගාලුමුවදොර අරගලයේ සියල්ල අපට අනුමත කළ නොහැක. එහෙත් ඔවුන්ගේ තේමාව, අභිලාෂය යහපත් රටක් හා ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම බව ඉතා පැහැදිලිය.

ගිනි නිවමුද ගිනි අවුලමුද?

ශ්‍රී ලංකාවේ සමාජ දේශපාලන අර්බුදය එහි හිනිපෙත්තටම නැග තිබෙන අතර සමස්ත සමාජය තුළම ඇත්තේ දැඩි කැළඹිලි සහගත ස්වරූපයකි. ගාලුමුවදොර විරෝධතා නමැති සුළි සුළඟට හසුවී කිසිදු හව්හරණක් නොමැතිව රටින් පිටතටම ගසා ගෙන ගිය ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මෙම ව්‍යාකූලත්වය පැන නැගුණි. හැටනව ලක්‍ෂයක් වැනි අසාමාන්‍ය ජනවරමක් සහ 2/3 කට නොඅඩු පාර්ලිමේන්තු බලයක් ද හිමිව තිබුණු ගෝඨාභයට සිය දේශපාලනයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේද අතිශය වේදනාකාරී පරාජයක් හිමිවීම එක් අතකින් දෛවයෙහි සරදමක් වැන්න. කුමක් වුවත් ගෝඨාභයගේ දේශපාලන භූමිකාව සමාජ විඥානයෙන් තොර වූවා පමණක් නොව අතිශය විවාදාත්මක එකක් ද විය. එහෙත් ඉතා අවධාරණයෙන් කිව යුතු එක් දෙයක් ඇත. එනම් ගෝඨාභය විධායක පුටුව හැර ගියත් රට තිබෙන්නේ ඊටත් වඩා අවුල් ජාලයක බවය.

කෙසේ හෝ ජනාධිපතිවරයකු සිය ධුර කාලය සම්පූර්ණයෙන් නොගෙවා ඉන් ඉවත්වුවහොත් ව්‍යවස්ථානුකූලව සිදු විය යුත්තේ ඉතිරි කාලසීමාව ආවරණය කිරීම සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා ගැනීමය. මෙයට පෙර 1993 දී ජනාධිපති ධුරය හෙබවූ රණසිංහ ප්‍රේමදාසගේ හදිසි අභාවය නිසා එම ධුරයට පත් වූයේ එවක අගමැතිව සිටි ඩී. බී. විජේතුංගය. මුළින්ම වැඩ බැලීමට පත්වූ ඔහුට එම ධුරය ලබාදීමට එදා පාර්ලිමේන්තුව තුළ පොදු එකඟතාවක්ද ඇති කර ගත හැකි විය. එහෙත් අද තත්ත්වය ඊට බෙහෙවින් වෙනස්ය. අප මේ සටහන ලියන අවස්ථාව වනවිට ගෝඨාභය ගෙන් හිස්වූ ජනාධිපති ධුරය සඳහා සිව් දෙනෙක් තරග වැදීමට සුදානමින් සිටියහ. ඒ සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජනබලවේගයේ නායක හා විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා හිටපු ඇමැතිවරයකු වූ ඩලස් අලහප්පෙරුම යන නම් සඳහන් වී තිබිණි. නමුත් මේ වන විට ඒ සඳහා අවසාන වශයෙන් නාම යෝජනා වී සටන තීරණය තීන්දු වී ඇත්තේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක හා හිටපු ඇමැතිවරයකු වූ ඩලස් අලහප්පෙරුම යන තිදෙනා අතරය. මෙසේ අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා තිදෙනෙක් තරග කිරීම පිළිබඳවද සමාජ දේශපාලන අංශවල නොයෙක් සංවාද, වාද විවාද පවා ගොඩනැගී තිබුණි. බොහෝ දෙනෙක් අපේක්‍ෂා කළේ මෙබඳු අසීරු සමාජ ආර්ථික දේශපාලන වාතාවරණයක් තුළ ජනාධිපති ධුරය සඳහා පොරයක් නැතහොත් සටනක් සිදුවීම නොවිය යුත්තක් බවය. වෙනත් විද්වතුන්ගේ හා වෘත්තිකයන්ගේ අදහස වූයේද මේ සඳහා පොදු එකඟතාවක් සම්මුතියක් ඇති කරගත යුතු බවය. ඇත්ත වශයෙන්ම මේ දේශපාලන අර්බුදය සුවිශේෂ අත්දැකීමකි. එය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ අභිනව ප්‍රකාශනයක ඵලයක් ලෙස ඇති වූවකි. එනිසා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කවර හෝ දේශපාලන පක්‍ෂයකට හෝ නායකයකුට මෙම අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා පිරිසිදු ජනවරමක් නැත. පොහෙට්ටු පක්‍ෂයට වුවද පාර්ලිමේන්තුව තුළ තිබුණු ජනවරම ඒ ආකාරයෙන් ඇතැයි කිව නොහැක. ව්‍යවස්ථානුකූලව සිදුවන ක්‍රියාදාමය අනුව පාර්ලිමේන්තුවේ වැඩි බලය හිමි කණ්ඩායමට මෙහිදී ජයගත හැකි වුවද එයත් පවිත්‍ර හෝ මහජන මතයේ ශුද්ධ පිළිබිඹුවක් ලෙස ගත හැකිද යන්න ප්‍රශ්නයකි. ඇත්තටම විය යුත්තේ යළිත් ජනතාවගේ වරමක් ලබා ගැනීමය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත් විය යුතු ආකාරය පැහැදිලිව දක්වා තිබේ. එහෙත් මෙබඳු අවස්ථාවක බලයේ සිටි කණ්ඩායමට වුවද එතෙක් තිබුණු ජනප්‍රියත්වය නැති බවද රහසක් නොවේ. විශේෂයෙන් මහජනයාගේ නැගිටීමක්, නැතහොත් විරෝධයක් නිසා එළඹෙන මෙබඳු දේශපාලන අර්බුදයකදී සුදුසුම වන්නේ මහජන මතය උරගා බැලීමය. එහෙත් මෙම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධාන අනුව එය අසීරු දෙයකි. ඊටත් වඩා බරපතළ ප්‍රශ්නය වන්නේ මෙබඳු දැඩි ආර්ථික ව්‍යසනයකට ගොදුරුව හෙම්බත්ව සිටින මොහොතක මහ මැතිවරණයක් කරා යෑමද ගැටලුවක් වීමය. එනිසා කළ යුත්තේ ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදන අනුවම විසඳුමක් ලබා ගැනීමය.

මෙහිදී විශේෂ අවධානය යොමුවිය යුතු කරුණක්ද ඇත. එනම් ජනතා අභිලාෂය හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය අතර එකඟතාවක් තිබිය යුතු වීමය. සමහර විට මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද සංඛ්‍යාව මත පදනම් වී සමාජ දේශපාලනයේ අපේක්‍ෂාවන්ට ඉඳුරා වෙනස් තත්ත්වයක් ඇතිවුවහොත් එය ප්‍රශ්නකාරී වනු ඇත. විශේෂයෙන් මෙහිදී ගාලුමුවදොර විරෝධතාකරුවන්ගේ අභිලාෂය කුමක්ද යන්න නිවැරදිව අවබෝධ කරගත යුතුය. විශාල මහජන වරමකින් ජනාධිපති ධුරයට පත්වූ අයෙක් වෙනුවට එබඳු ජනවරමක් නොමැති කෙනෙක් පත්වීම සුදුසුද යන්න මේ වනවිටත් සංවාදයට ලක්ව තිබේ. මේ ගැටලුවට තිබෙන එකම විසඳුම පාර්ලිමේන්තුව තුළ සියලු දෙනාම සම්මුතියක්, එකඟතාවක් ඇතිකර ගැනීමය. මෙහිදී කවරෙක් බලයට පත් වුවත් ඔහුට ක්‍රියාකිරීමට සිදු වන්නේද භාරකාර ආණ්ඩුවක් සමගය. මෙම තරගයට මැදිවී සිටින සියලු දෙනාම සර්ව පාක්ෂික කෙටි කාලීන ආණ්ඩුවක් පිළිබඳ එකඟවෙති. එබඳු වාතාවරණයක මෙසේ එකිනෙකා පරයන තරඟකාරිත්වයක් ඇයි?

අද මෙරටේ තරුණ අරගලයකින් පසු උදාවී තිබෙන සමාජ දේශපාලනය කෙබඳු දැයි තවමත් වටහා නොගත් අයද සිටිති. ගාලුමුවදොර අරගලයේ තේමාව මෙම වැඩවසම් ගතානුගතික මෙන්ම යල් පිනූ දේශපාලන සම්ප්‍රදාය පෙරළා දැමීමය. ඔව්හු ඒ කාර්යෙහි ප්‍රබල හා දුෂ්කර අදියර කීපයක් ද පසු කර සිටිති. මෙම දේශපාලනය විසින් රටට සිදු කරන ලද බරපතළ විනාශය මෙම තරුණ අරගලකරුවෝ ජනතාවට තහවුරු කළහ. දූෂණය, භීෂණය, නාස්තිය හා වංචාව ඒ දේශපාලනයේ කුළුණු නැතහොත් පදනම බවට පත්ව තිබෙන ආකාරය ජනතාවගේද පිළිකුලට ලක්ව තිබෙන්නකි. ගාලුමුවදොර අරගලයට මෙබඳු විජයග්‍රහණයක් ලැබෙන්නේද ඒ ජනතා සහායත්, ඔවුන්ගේ විවිධ මැදිහත්වීම් ආදියත් නිසාමය.

ගාලුමුවදොර අරගලය අවිහිංසාව මත පදනම් වූ අතර එයට අද තිබෙන ප්‍රධාන දේශපාලන පක්‍ෂවල කිසිදු දායකත්වයක් නොලැබීමද කැපී පෙනුණි. ජ. වි. පෙ. හා පෙරටුගාමී වැනි පක්‍ෂවල කිසියම් නියෝජනයක් තිබුණත් පොහොට්ටුවට හෝ සමගි ජනබලවේගයට අරගලකරුවන්ගෙන් ලැබුණේද යහපත් ප්‍රතිචාර නොවේ. ඒ පක්‍ෂවල කිසිවෙකුට අරගල භූමිය තුළ ඉඩක් නොවීය. ඇතැම් කෙනෙක් පෞද්ගලිකව ගාලුමුවදොරට ගියා විය හැකිය. එහෙත් මෙම අරගල භූමිය සාම්ප්‍රදායි දේශපාලන චරිතවලට විවෘත නොවීය. ජ. වි. පෙ. අනුර කුමාරට අරගල භූමියට යෑමට බාධාවක් නොවූ බවද සඳහන් කළ යුතුය.

මේ අරගලයේ ප්‍රධාන දේශපාලන සතුරන් බවට පත්ව සිටියේද රාජපක්‍ෂවරුන්ය. ගෝඨාභය ජනාධිපතිට පෙර ඔහුගේ දෙටු සහෝදරයන් දෙදෙනා වූ මහින්දට අගමැති ධුරයත්, චමල්ට ඇමැති ධුරයත් අත්හැරීමට සිදුවිය. බාල සොහොයුරු බැසිල්ට ඇමැති ධුරය මෙන්ම මන්ත්‍රී ධුරයද අත්හැරීමට සිදු විය. එසේම නාමල්ට හා ශශීන්ද්‍රටත් එහි බලපෑම් ලැබුණි. මේ පසුබිම තුළ පාර්ලිමේන්තුවේ පොහොට්ටු පක්‍ෂය ක්‍රියාකළ යුතු ආකාරයද අතිශය තීරණාත්මකය. රාජපක්‍ෂ කඳවුරම සුනුවිසුණුවී ගොස් තිබෙන පසුබිමක ඔවුන්ගේ දේශපාලන පක්‍ෂය වන පොහොට්ටුව තවදුරටත් බලය උදෙසා සටන් වැදීම සුදුසුද යන්නත් එහි වත්මන් නායකයෝ ගැඹුරින් සිතා බැලිය යුතු වෙති. ගාලුමුවදොර අරගලයේ සියල්ල අපට අනුමත කළ නොහැක. එහෙත් ඔවුන්ගේ තේමාව, අභිලාෂය යහපත් රටක් හා ගෞරවනීය දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීම බව ඉතා පැහැදිලිය.

අද මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන අය අතර වසර 30-40 වැනි දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපාලනයෙහි නිරතව සිටි අයද වෙති. එසේම මහජන නියෝජිතයන් ලෙස සිටින සමහරුන්ට එල්ලවී තිබෙන චෝදනා සුළුපටුද නැත. මහා පරිමාණ ව්‍යාපෘතිවලින් කොමිස් ලබාගත් බවට හා අදටත් ඒ ජාවාරම්වල සමහරුන් නිරතව සිටින බවට ද චෝදනා තිබේ. මන්ත්‍රීකම ඇමැතිකම මුදල් ගරන දූෂිත බලපත්‍රයක් බවට පත්කර ගත් රටක පුරවැසියන් ලෙස මේ මොහොතේදීත් ජනතාවට වන්දි ගෙවීමට සිදුව තිබේ. ඉන්ධන, ගෑස්, ඖෂධ පමණක් නොව ආහාර ද්‍රව්‍ය පවා හිඟවී පොදු ජන ජීවිත දරිද්‍රතාවේ පත්ලටම වැටී තිබේ. තවමත් පැය දෙකතුනක් විදුලි විසන්ධි වේ. පාසල්, විශ්වවිiාල වැසී ගොසින්ය. රාජ්‍ය ආයතන නිසි පරිදි ක්‍රියාත්මක නොවන අතර රෝහල් ඇතුළු සෞඛ්‍ය සේවයම කඩා වැටී තිබේ.

මේ කිසිදු ප්‍රශ්නයකට අදාළ සමාජ ආර්ථික හා දේශපාලන විසඳුමක් අලුතින් පත්වීමට කල්පනා කරන ජනාධිපති අපේක්‍ෂකයන්ට තිබේද? ඊළඟට ගොඩනගන සර්ව පාක්ෂික ආණ්ඩුව යටතේ අවම වශයෙන් මහජනයාගේ දැවෙන ප්‍රශ්න කීපයකට හෝ විසඳුමක් දීමට ඔව්හු සමත්වෙත්ද? එසේම ඔවුන්ට ගාලුමුවදොර අරගලකරුවන්ගේ සැලසුම්, යෝජනා, ආදිය කෙරෙහි සුභවාදී ප්‍රතිචාර දැක්විය හැකිද? අලුත් සමාජ දේශපාලන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට තිබිය යුතුමය. එසේම අලුත් ජනාධිපති ධුරයට පත්වන අයගේ දේශපාලන සුජාතභාවය, විශ්වසනීයත්වය ආදිය ගැනද ජනතාවද සුපරීක්‍ෂාකාරීව සිටිති. එය නිසැකයෙන්ම තරුණ අරගලකරුවන්ට එකඟ විය හැකි, පිළිගත හැකි දේශපාලනයක්ද විය යුතුය.

කුමක් වුවත් අද තේරී පත්වන අභිනව ජනාධිපතිවරයාට මෙන්ම ඔහු වෙනුවෙන් ඡන්දය දෙන අයටද පැවරී තිබෙන වගකීම දේශපාලනයට එහා ගිය ජාතික වගකීමකි. ගිනිගත් දේශයක එගිනි නිවීමේ වගකීම ඒ ජනාධිපතිට මෙන්ම ඔහුගේ සර්ව පාක්ෂික ආණ්ඩුවට පැවරෙන ජාතික වගකීම බවද සිහිපත් කළ යුතුය. එහෙත් තම පක්‍ෂය තම නායකයා ගැන පමණක් හිතන පැරණි හා පිළුණු දේශපාලනය තුළ හිරවී සිටින මහජන නියෝජිතයන් මෙහිදී ඉතා බුද්ධිමත්ව වගකීමෙන් ක්‍රියාකළ යුතු බවද අවධාරණය කරමු. පළමුව රට, දෙවනුවත් තෙවනුවත් රට යන්න ඒ ජනතා නියෝජිතයන්ගේ පරම අභිලාෂය විය යුතුය. පක්‍ෂ පාට, කණ්ඩායම් ආදී හේතු ඉවත දමා ප්‍රබුද්ධව හා දූරදර්ශීව මෙම අවස්ථාවට මුහුණ දෙන මෙන් අපි ඉල්ලා සිටිමු. අවස්ථාවාදී පටු දේශපාලන නූල්සූත්තර කාරයන්ගෙන් රට ගලවා ගැනීමේ වගකීමද ගරු මන්ත්‍රීවරුන් සතුය.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment