ගිනි පුපුර සහ ගිනි ජාලාව

1217

ගාලු මුවදොර අරගලයට නිවැරැදි ඉලක්කයක් නොතිබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත කියයි. අන්තවාදියකු නොවන මධ්‍යස්ථ මතධාරියකු වන කේ. ඩී. ලාල්කාන්ත කොතරම් සටන්කාමියකු වුවද සටනේ දිග පළල ගැන ඉතා හොඳ අවබෝධයක් ඇති මිනිසෙකි. ඇත්තම කතාව නම්, ගෝල්ෆේස් අරගලයට නිවැරැදි ඉලක්කයක් නොතිබුණේ එහි න්‍යායපත්‍රය ඉතා කෙටි එකක් වූ නිසාය. ගෝඨාභය සහ මහින්ද ගෙදර යැවීම මිස පුළුල් සමාජ වෙනසකට අවශ්‍ය අමුද්‍රව්‍ය ඒ අරගලයේ තිබුණේ නැත. අරගලය තුළ ලිබරල් මතධාරී දේශප්‍රේමී කොටස් මෙන්ම පාදඩ පන්තිය ද විය. ගෝඨාභය ගෙදර ගිය පසු අරලියගහ මන්දිරයත්, ජනාධිපති මන්දිරයත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ කොටසකුත් විනාශ කර දමන්නේ මෙකී පාදඩ පන්තිය විසිනි. ඒ වනවිට දේශප්‍රේමී අරගලකරුවන් සටන අවසන් කොට ගෙවල් බලා නික්මී ගොස් තිබිණි. එහෙත් අරගලය නිමාවීම එය වවාගෙන කමින් ජීවත් වූ පාදඩ පන්තියේ කොටසට පාඩුවක් සිදු විය. ඒ පාඩුව අවම කර ගැනීම සඳහා ඔව්හු ගෝල්ෆේස් පිට්ටනියේ කුඩා පැල්පත් අටවාගෙන බංකොලොත් අරගලයක් පවත්වාගෙන ගියහ. මුල් අරගලයට මෙන් බහුජන සහයෝගයක් මේ කියන දෙවන අරගලයට ලැබුණේ නැත. ඒ නිසා මීට දෙදිනකට පෙර ගෝල්ෆේස් පිට්ටනියේ අන්තිමටම ඉතුරු වූ පැල්පත් ටිකත් ඉටි කොළ ස්වල්පයත් අකුලාගෙන යාචකයන් මෙන් ගම් බිම් බලා යෑමට පාදඩ කොටස්වලට සිදුවිය. එහෙත් ප්‍රගතිශීලී ජනතාවගේ සිත් තුළ අරගලයේ ගිනිසිළු තවමත් යාන්තමට දැල්වෙමින් පවතී. අලුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ ගිනිසිළු සම්පූර්ණයෙන් නිවා දමා ජනතාවගේ හදවත් සිසිල් කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කරයි. ඒ සඳහා හොඳ ආණ්ඩුවක් ජනාධිපතිට අවශ්‍ය ය. ජනතාවගේ ද අපේක්‍ෂාව වන්නේ පල් හොරුන්ගෙන්සහ දූෂිතයන්ගෙන් විනිර්මුක්ත වූ හොඳ පිරිසකගේ සහභාගිත්වය අලුත් ආණ්ඩුවට ලැබිය යුතු බවය. එහෙත් ආණ්ඩුවක් සෑදීමේදී මැච්එක ගැසීමට සිදුව ඇත්තේ දැනට සිටින ක්‍රීඩකයන්ගෙනි. ඔවුන් අතර සොරුන් සහ දූෂිතයන් නොවන අය සිටින්නේ ස්වල්පයකි. ඒ නිසා ඒ සොරුන් සහ දූෂිතයන් අල්ලා ඔවුන් හොඳ මිනිසුන් බවට පත්කර වැඩ ගැනීමේ අමතර වගකීම අලුත් ජනාධිපතිට තිබේ.

ගෝල්ෆේස් ජන අරගලය ඉතා තුනී දේශපාලන පිට පොත්තක් තිබූ බහුජන ව්‍යාපාරයකි. මේ දේශපාලන පිට පොත්තේ ඇති දුර්වලකම නිසා අරගලයට දේශපාලන නායකත්වයක් දීමට එකී පිට පොතු දේශපාලකයන්ට බැරි විය. මේ පිට පොත්ත ඇතුළත සිටියෝ ගෑස් සහ ඉන්ධන නැතිව දුක්විඳි මධ්‍යම පාන්තික පිරිසත් පොහොර සහ භූමිතෙල් නැතිව දුක් විඳි පහළ මධ්‍යම පන්තියේ පිරිසත් රාජපක්‍ෂවරුන් සම්බන්ධයෙන් දැඩි ලෙස කෝපයට පත්ව සිටි ඉහළ පන්තියේ පිරිසත්, මේ සියලු දෙනාම අල්ලාගෙන පිටරටවලට විකුණා ගාණක් කපා ගැනීමට කල්පනා කළ එන්ජීඕ පිරිසත් යනාදී වශයෙන් වූහ. අරගලයේ පිට පොත්ත නියෝජනය කළ ඇතැම් වාමාංශික කණ්ඩායම් බහුජන පදනමක් ඇති අය වූයේ නැත. එබැවින් ඔවුනට පිට පොත්ත පවත්වාගෙන යෑමට බැරි විය. ඒ නිසා ගෝඨාභය ගෙදර යනවිටම අරගලය නමැති බිත්තරය බිම වැටී එහි පිට පොත්ත පුපුරා සාරය ගලායන්නට පටන් ගත්තේය. මේ සාරය වටේ එක්රැස් වූ පාදඩ පන්තිය එය උලා කෑහ. ගෝඨාභය රාජපක්‍ෂ යනු රාජපක්‍ෂ පවුලෙත් වියත් මගේත් බිල්ලකි. ඉහත සඳහන් පාර්ශ්ව දෙක තමන්ට අවශ්‍ය සතුන් අල්ලා ගැනීම සඳහා ඇම වශයෙන් පාවිච්චි කිරීමට ගෝඨාභය රාජපක්‍ෂ යොදා ගැනීම සඳහා සැලසුමක් ඇති කළහ. මේ සැලසුම දුටු ගෝඨාභය රාජපක්‍ෂ ක්‍රමයෙන් රාජපක්‍ෂ පවුලෙනුත්, වියත් මගෙනුත් ඈත් වී තමන්ට හුරු පුරුදු හමුදා ජෙනරාල්වරුන් සමග රාජ්‍ය පාලනය කිරීමට සූදානම් විය. යුද හමුදාව යනු යුද්ධ කිරීම මිස රාජ්‍ය පාලනය දන්නා පිරිසක් නොවෙති. එබැවින් ඔහුගේ පාලනය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය. කොරෝනාව විසින් ශ්‍රී ලංකාවට කෙළවන ලදැයි මතයක් තිබේ. කොරෝනාව යම් තරමකට මේ රටට කෙළවූ බව ඇත්ත. එහෙත් අපට වඩා කොරෝනා හැදුනු රටවල් වසංගතය නිමාවීමත් සමගම ක්‍රමයෙන් ගොඩ ආවේය. අපට සිද්ධ වී තිබුණේ ඉතා භයානක විපතකි. ඊට පෙර ආණ්ඩු විසින් දිගින් දිගටම ගෙන තිබූ විදේශ ණය එක පෝලිමට සෙට් වී ගෙවා ගැනීමට බැරි තත්ත්වයක් මතුවී Default වීමට පටන් ගත්තේය. එවිට ලංකාව බංකොලොත් රාජ්‍යයක් ලෙස ලෝකය පුරා ආරංචි පැතිර යන්නට විය. මීට සමාන්තරව, පාලකයන් විසින් තමන් එවන ඩොලර් සොරකම් කරන්නේය යන මතයෙන් නොමඟ ගිය ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් එවීමෙන් වැළකී උන්ඩියල් ක්‍රමය පරිහරණය කිරීමේ ගොන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළහ. මේ අතර රුසියාව සහ යුක්රේනය මරා ගන්නට වූහ. එවිට තෙල් මිලත්, තිරිඟු පිටි මිලත්, ගෑස් මිලත් ඉහළ ගිය බැවින් ශ්‍රී ලංකාව තවදුරටත් නන්නත්තාර විය. ශ්‍රී ලංකාව යනු අසීමාන්තික අවාසනාවක් ඇති රටකි. මේ රට යටත්විජිතයක්ව පවතිද්දී ඒ අවාසනාව එහෙමම තිබිණි. සිංහල රජ කාලයේදී මේ රට විටින් විට විජාතික ආක්‍රමණවලට ලක්විය. නිදහසින් පසුව ද ඒ තත්ත්වය දිගින් දිගටම ඉදිරියට ගියා මිස පසුපසට යෑමක් නැති විය. මේ සියලු කරුණු කලතා පෙරන ලද දේශපාලන කෂාය උණු උණුවේ පානය කිරීමට ගෝඨාභය රාජපක්‍ෂට සිදු වූ අතර ඔහු නැත්තටම නැති විය.

අරගලයේ මූලාරම්භයට ඉන්ධන සපයන ලද්දේ ඉහත සඳහන් තත්ත්වය විසිනි. එයින් කුපිත වූ ජනයා මහපාරට බැසීමේ කිසිදු වරදක් අපි නොදකිමු. අරගලය නිසා කීප දෙනකුට ජීවිත ද තවත් පිරිසකට අතපය ද නැති විය. මැරයන්ගෙන් ගුටි කෑ සමහර අරගලකරුවෝ අදටත් රෝහල් ඇඳන් මත සිහිසුන්ව වැතිර සිටිති. ආණ්ඩුව ඉදිරියට ගෙනයෑමේදී අරගලකරුවන්ගේ සහභාගිත්වය හෝ නියෝජනය ලබාගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව දැනගන්නට තිබේ. සැබවින්ම අරගලයේ දීර්ඝකාලීන නියෝජනයක් මේ රටේ දේශපාලනය තුළ තිබිය යුතුමය. නොඑසේ නම් හදවත්වල සැඟව තිබෙන අරගල ගිනිපුපුර මහ ගිනිජාලාවක් වීම නොවැළැක්විය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment