ගිනි වැදුණු පියාපත් කවියෙන් අතීතය කියවීමක්

93

පුරාවිද්‍යාඥවරියක, මාධ්‍යවේදිනියක, කිවිඳියක හා ගත්කතුවරියක වන සඳරැසී සුදුසිංහ විසින් රචිත උත්කෘෂ්ට කෘතියක් ලෙස ගිනි වැදුණු පියාපත් කාව්‍ය කෘතිය හඳුන්වාදිය හැකිය. මෙම කාව්‍ය කෘතිය නාමකරණයම සුවිශේෂී මෙන්ම විරල වූවකි. අප බොහෝ විට අසා ඇති ග්‍රන්ථ නාමකරණයන්ගෙන් මෙම කෘතිය වෙනස් වේ. පියාපත් ගිනි ගැනීම සිදු විය නොහැකි දුර්ලබ ගණයේ සිදුවීමකි. මන්ද පක්ෂීන්ට පියාඹන්නට උදව් වන පියාපත් කිසිවකුටත් කරදරයක් නොකරන දෙයකි. අතිශය සැහැල්ලු දෙයකි. එහෙත් කිවිඳිය කෘතිය නම් කර ඇත්තේ ‘ගිනි වැදුණු පියාපත්’ ලෙසිනි. මෙහි ප්‍රස්තුත තේමාවට අනුව පියාපත් නම් දැනුම් කෝෂ වන පොත්පත්ය. ඒවායින් වන කාර්යද පියාපතක කාර්ය හා සමාන වේ. මන්ද මිනිසුන්ට ලෝකය දිනීමට උදව් වන්නේ පොත්පත්ය. ගිනි වැදුණු යනු ගින්නට අසුවීම හේතුවෙන් විනාශ වීමයි. ඒ අනුව ගින්නට හසුව නටබුන්ව ශේෂ වූ පොත්පත් සම්බන්ධ කාව්‍ය එකතුවක් යන අදහසින් මෙම කෘතිය ගිනි වැදුණු පියාපත් වූවා විය හැකිය. මෙහි අඩංගු කාව්‍ය නිර්මාණ ගණන 110ක් පමණය. එම කාව්‍ය නිර්මාණ සියල්ලටම ප්‍රස්තුත කේන්ද්‍රීය තේමාව වී ඇත්තේ අතීතයේදී ලාංකීය සමාජයේ සිදු වූ යාපනය පුස්තකාලය ගිනි තැබීම නම් දේශපාලන සිදුවීමයි. එකල යාපනය මහජන පුස්තකාලය දුර්ලබ පොත්පත් රැසකින් යුක්ත වූ දැනුම් කෝෂ්ඨාගාරයකි. නමුත් දේශපාලනයේ පවතින බිහිසුණු බව නිසාම වසර 1981දී පමණ ප්‍රචණ්ඩ දේශපාලන මැර කණ්ඩායමක් විසින් යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කරන්නේ සිත් පිත් නොමැති සාහසික ආකාරයෙනි. දහස් ගණනක් දරුවන්ගේ නැණස පාදන්නට තිබූ අවකාශය අහුරා සමස්ත සංස්කෘතියම විනාශ කර දැමීම එහි යටි පෙළ තිබූ අරමුණක් වන්නට ඇත. ඒ එකී ඛේදනීය සිදු වීම පාදක කර ගනිමින් සඳරැසී විසින් රචිත ගිනි වැදුණු පියාපත් කාව්‍ය කෘතිය සමස්ත සිදුවීම ඉතා සමීපව කියවා ඇති බව කෘතිය අධ්‍යයනයේදී තහවුරු වේ. මෙම කවි කියවා තේරුම් ගැනීමට නම් යාපනය මහජන පුස්තකාලය ගිනි තබා විනාශ කිරීම නම් සිදු වීම නාමනාත්‍රිකව හෝ දැන සිටීම වැදගත්ය. මන්ද මෙම කාව්‍ය කෘතිය අන්තර්පඨිතත්වය නම් සංකල්පය මනාව ප්‍රකට කරන කෘතියකි. විශේෂයෙන් මෙහි ප්‍රස්තුතය දුලබ වේ. එම නිමිත්ත මින් පෙර කිසිදු නිර්මාණකරුවකුගේ නිර්මාණ සඳහා පාදක වී නොමැත. එකම ප්‍රස්තුතය එහි අනු තේමාවලට වෙන් කරමින් විවිධ තේමා ඔස්සේ ගෙන ඒම නිසා විටෙක මෙම කාව්‍ය නිර්මාණ මාලා කාව්‍ය ස්වරූපයක් ගනී.

 බොහෝ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට පාදක වන්නේ ඇසූ පීරූ තැන්ය. අත්දැකීම් සමුදායන්ය. මෙම කාව්‍ය කෘතියේදී සඳරැසීට උපයෝගී වන්නට ඇත්තේද කුඩා කල ඇයට ඇසුණු යාපනය පුස්තකාලය ගිනි තැබීම නම් ඛේදනීය පුවත විය හැකිය. ඒ අනුව බොහොමයක් නිර්මාණ කෙරෙහි චිත්ත සන්තානයෙහි නිධන්වූ ඉතා සුළු සිදුවීමක් හෝ ප්‍රසිද්ධ කතා පුවත් වුවද හේතු විය හැකිය. මෙහි එන පළමු කවි පන්තිය ‘තිඹිරිගෙය’ නම් වේ.

 අතු ඉති දිගුකරන සිහිලස ගිම්            නිවන
 සිල් ගත් කුලුනු උස් දිවියක දම්        දෙසන
 පින්වත් සරසවිය වීනාවද                වයන
 මහ දෙවොලක්ය වැජඹෙන පොත්ගුල් භවන

 (03 පිටුව)

 මෙම කවියද ඇතුළත්ව කවි දෙකක් පළමු කවි පන්තියේදී හමු වේ. මෙය එක්තරා ආකාරයක වර්ණනාවකි. විටෙක එය සංදේශවල සිදු කරන දූත වර්ණනාවලට සමාන යැයි හැඟේ. කිවිඳිය පවසන්නේ පොත්ගුල හෙවත් පුස්තකාලය දෙවියන් වසන පූණ්‍ය භූමියක් වන දේවාලයක් බඳු වන බවයි. ඉන් සිදු කරන්නේ පොත්ගුල වර්ණනා කිරීමයි. දෙවන කවි පන්තිය වෙන් වන්නේ පොත්ගුල් වන්දනාව සඳහාය. එය සංදේශවලදී සිදු කරන තෙරුවන් වන්දනා කිරීමට සමාන වේ.

 කුලුණු ධාරා ලොවට පතුරන
 සහස් සත නෙත නිවා සනහන
 ජාති, කුල, ගොත් බිඳක් නොතකන
 මහා දම්කඳ දොවන ලොව හට
 යාල්පානම් බුදුන්
 වඳිනු මැන පහදවා තුන් සිත (04 පිටුව)

 කිවිඳිය පවසන්නේ කරුණාව ලොවට පතුරන, දහස් ගණන් සත්වයන්ගේ නෙත් නිවා සනහන, ජාති, කුල, නොසලකන විශාල දහමක් ලොවට බෙදන, යාල්පානම් බුදුන් නැතහොත් පුස්තකාලය තුන්සිත පහදවා වන්දනා මාන කළ යුතු බවයි. තුන් සිත පහදවා වැඳිය යුත්තේ අතිශය පූජනීය වස්තූන්ටය. ඒ අනුව කිවිඳියට අනුව පොත්ගුලද එවන් පූජනීය වස්තුවකි. කිවිඳිය පොත්ගුල හඳුන්වන්නේ යාල්පානම් බුදුන් වශයෙනි. මෙය විශේෂය. බෞද්ධ දර්ශනයේ නිර්මාතෘ මෙන්ම ශාස්තෘන් වහන්සේද බුදුන් වහන්සේය. කිවිඳිය පොත්ගුල යාල්පානම් බුදුන් වශයෙන් හැඳින්වීම මගින් ප්‍රකට වන්නේ කිවිවර සිතෙහි පුස්තකාලය නිධන්ගතව ඇති ආකාරයයි.

 සාමා අමර සේම
 කන්නගී කෝවලන්ද
 සඳ කිඳුරි හා සඳ කිඳුරාද
 මිහිදන් විය
 එකම දවසක
 එකම තැනක
 එක ගින්නක (49 පිටුව)

 එකම තැනක එකම වේලාවක එකම  ගින්නකදී වර්ගකිරීමකින් තොරව සියලු වර්ගයේ පොත් ගිනි ගත් බව මෙහි සරල අදහසයි. කන්නගී මෙන්ම කෝවලන්ද ඇත්තේ ඉතිහාස පොත්වලය. සඳ කිඳුරි හා සඳ කිඳුරා ඇත්තේ පන්සිය පනස් ජාතක පොතේය. සාමා මෙන්ම අමර සිටියේ ප්‍රාථමික ශ්‍රේණි සිංහල පෙළපොතේය. ඒවා සියල්ල එකම  ගින්නක දැවෙන්නේ වර්ගකිරීමකින් තොරවය. මෙය එක්තරා අකාරයකින් ව්‍යාංගාර්ථවත්ය. මෙම කාව්‍ය කෘතියේ ඇතැම් විටක භාෂාව සරලය සුගමය. විටෙක එය බහුශ්‍රැතය. රසයට හානි නොවන අයුරින් යොදා ගත් රස උද්දීපනයට ඉවහල් වූ දෙමළ වචන බොහෝමයක් කවි නිර්මාණ තුළ වේ. සීදනම් (දෑවැද්ද), අඩෙයාලම (සලකුණ), එරිකිරිදි යාල් පෝටු නූලකම් (යාපනය පුස්තකාලය ගිනි ගනී), තුක්කම අමංගල් ශබ්දම් (දුක්බරම අසුබ කතාව) ආදී වචන ඉන් කිහිපයකි. කාව්‍ය නිර්මාණ සියල්ලෙන්ම පාහේ ප්‍රකට වන්නේ කිවිඳිය තුළ පැවති අසීමිත නිර්මාණශීලීත්වයයි. කාව්‍ය නිර්මාණයට ඇය තුළ තිබූ සුදක්ෂභාවයයි. තවද ඇය තුළ වූ බහුශ්‍රැත භාවයයි. ඇය සැබැවින්ම දැනුමින් සන්නද්ධ අවියක් බඳුය.

 “අගත අනගත චතුදිශ සැමට පුද දුන් යාපනේ වත්කම” (54 පිටුව) මෙය සිහියට නංවන්නේ සෙල්ලිපිය. එහි අදහස වන්නේ අතීතයේ සිටි අනාගතයේ සිටින සිව් දිශාවේ සැමට පූජා කළ යාපනය දිස්ත්‍රික්කයේ වත්කම මහජන පුස්තකාලය වන බවයි. කවරක් වුවද කිව යුතු විශේෂම දෙය නම් මෙම කෘතිය සම්බන්ධයෙන් පිටුවකට දෙකකට ලඝු කොට කතා කළ නොහැකිය. එකදු කවියකුත් කවි බවෙන් තොර නොවේ. සියල්ල නැවුම්ය. කවි ගුණය ඉහළය. විටක සංදේශයක් මෙන් යැයි මුල් කවි පන්ති දෙක කියවීමේදී හැඟේ. කිවිඳිය සතු කවීත්වය හා දැනුම, උගත්කම හා බුද්ධිමත්කම මෙන්ම නිර්ව්‍යාජ බව මත විශිෂ්ට කාව්‍ය ග්‍රන්ථයක් රචනා වී ඇති බව කිව යුතුමය. සියලු කවි විඳිය හැකිය. හොඳම වචන හොඳම පිළිවෙළට යොදා ඇත. කිවිඳිය යොදා ගත් වචන කිසිවිටකත් කවිවල සාර්ථක බවට බාධාවක් වී නොමැත. අතිශය හැඟීම් පිරුණු භාව ප්‍රකාශනයකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශිෂ්ටය. මෙහි එන අවසන් කවිය මෙසේය.

 අඳුරු ගුහාවක දුක් පල
 නෙළා ගත යුතුද ආපසු
 සලකුණුව රැඳෙන් අඳුරේ
 හෙට දවස නිවෙයි

තාවකාලික කථිකාචාර්ය ඉවන්තා සඳුනි ජයසේන
 සිංහල අධ්‍යයන අංශය
 පේරාදෙණි විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment