ගිය ඒවා මදිවට G.S.P ත් අහිමිවෙන හැඩ!

136

වසර 1977 දක්වා ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම් මාර්ග ලෙස පැවතියේ තේ, පොල්, සහ රබර් ය. ආනයනය සීමා වීම හේතුවෙන් පිටරටවලින් ණය ලබා නොගෙන ලංකාවේ අයවැය තුලිත කිරීමට මෙම විදේශ ආදායම් ප්‍රමාණවත් විය. 77 න් පසු මෙම ආදායම් මාර්ග වෙනස් වුණ අතර විදේශ රැකියා සඳහා වූ ශ්‍රම වෙළෙඳපොළ ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම් සෙවීමේ මාර්ගය විය. දෙවන ස්ථානය ගත්තේ විදේශ වෙළෙඳපොළට අවශ්‍ය ඇඟළුම් නිෂ්පාදනය කිරීමයි. ටික කලක් ගතවෙද්දී ඇඟළුම් කර්මාන්තය සඳහා අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය විදේශයන්ගෙන් ගෙන්වා ඇඟළුමක් එකලස් කිරීමේ කටයුත්ත පමණක් ලංකාවේ කිරීම හේතුවෙන් එයද ශ්‍රමය අපනයනය කිරීමක් පමණක්ම විය. 1977 න් පසු හඳුන්වාදුන් විවෘත ආර්ථික ක්‍රමය යටතේ ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් රට තුළට භාණ්ඩ ආනයනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රටේ අයවැය තුලනය කිරීමට විදේශ ණය ගැනීමට සිදුවිය. ලංකාව විශාල ණයගැති රටක් බවට පත්විය.

පවතින රජයයන් කෙරේ මහජනයාගේ ඇති අවිශ්වාසය හේතුවෙන් විදෙස්ගත ශ්‍රමිකයන් රටට එවන මුදල් සීමා වීම නිසා මේ වන විට ඇඟළුම් කර්මාන්තය ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය බවට පත්ව ඇතත් නොයෙකුත් හේතුමත එයද බරපතළ අනතුරකට ලක්වී ඇත. සංචාරක කර්මාන්තයෙන් එන ආදායමද බෙහෙවින් අඩුවී ඇති මේ කාලයේ ඇඟළුම් කර්මාන්තයේ පැවැත්ම උදෙසා රජය උනන්දු වන්නේද?

● GSP+ සහනය අහිමිව යාවිද?

ලෝකයේ වැඩිම ඇඟළුම් පාරිභෝජනයක් ඇති එක්සත් ජනපදය සහ යුරෝපීය රටවල් තමන්ගේ අවශ්‍යතාවය ලෝකයේ අඩු ආදායම් ලාභී රටවල්වලට සහනයක් වන පරිද්දෙන් සකසා දීමට ඇඟළුම් සලාක (Quota) ක්‍රමය ක්‍රියාත්මක කරන ලදී. මේ හේතුවෙන් එම රටවල්වල අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලංකාවෙන්ද ඇඟළුම් ලබා ගැනීම එම රටවල මිලදී ගන්නන්ට අත්‍යවශ්‍ය විය. කිසිදු අමුද්‍රවයක් නිපදවන්නේ නැති ලංකාවෙන්ද ඇඟළුම් ලබා ගැනීමට එම රටවල ඇඟළුම් මිලදී ගන්නන්ට මේ හේතුව නිසා සිදුවිය. 2005 වර්ෂයේ ඇඟළුම් කෝටා ක්‍රමය අහෝසි වීමත් සමඟ එම රටවල මිලදී ගන්නන්ට නිදහසේ තමන් කැමති රටවල් වලින් ඇඟළුම් ලබාගත හැකි විය. සියලුම අමුද්‍රව්‍ය තම රටවල්වල නිපදවන බංගලාදේශය වියට්නාමය චීනය වැනි රටවල් වෙත එම ඇමෙරිකානු සහ යුරෝපීය රටවල ඇඟළුම් මිලදී ගන්නන් ඇදී ගියේ එම රටවලින් තම වුවමනාවන් සපුරා ගැනීමට ඇති පහසුවත් මිල අඩු කමත් නිසාය. 1977 ට පෙර ලංකාවේද ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය රෙදි ඇතුළු අමුද්‍රව්‍ය බොහොමයක් නිපදවූ අතර කොමිස් කෑදර දේශපාලකයන් හා නිලධාරීන් ඒ තත්ත්වය විනාශ කළේය.

පසුව යුරෝපා සංගමය මගින් ප්‍රධානය කළ GSP + සහනය නිසා ලංකාව තුළ නැවතත් ඇඟළුම් කර්මාන්තයේ ප්‍රබෝධයක් ඇතිවිය. මෙම සහනය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සපුරා ලිය යුතු ප්‍රධාන කොන්දේසි කිහිපයකි.

● මානව හිමිකම්

● කම්කරු අයිතිවාසිකම්

● පරිසරය රැක ගැනීම

● යහපත් රාජ්‍ය පාලනය

මින් මූලික වේ. මීට අමතරව අපනයනය කරන නිෂ්පාදනයේ වටිනා කමින් 60% කට වඩා රටේ අයිතිය තිබීම අවශ්‍ය කරුණකි. සියලුම අමුද්‍රව්‍ය ආනයනය කොට අප රටෙන් ශ්‍රමය පමණක් යොදවන විට මේ තත්ත්වය සපුරාලීම අපහසු කයුත්තක් වන්නේ අමුද්‍රව්‍යවල වටිනාකම ඇඟළුමක වටිනාකමෙන් වැඩි ප්‍රතිශතයකට හේතු වන බැවිනි. මේ හේතුව නිසා මෙම සහන ලබා ගැනීමට තවත් වටිනාකම් එකතුවන එම්බ්‍රයිඩර් කිරීම, පබළු ගල් ඇල්ලීම, වියදම් යන සේදීමේ ක්‍රම, පින්තාරු කිරීම් ආදිය ඇති ඇඟළුම් පමණක් තෝරා ගැනීමට ලංකාවේ කර්මාන්තකරුවන්ට සිදුවිය. GSP + සහනය මඟින් අපට ලබාගත හැකි ඇණවුම් ප්‍රමාණය මේ හේතුව නිසා 50% කින් පමණ අඩුවී ඇත. GSP + සහනය ඇති තමන්ගේම රටේ අමුද්‍රව්‍ය නිපදවා ගන්නා බංගලිදේශය වියට්නාමය වැනි රටවලට ගැනුම්කරුවන් සංක්‍රමණය වීට මේ හේතුව බෙහෙවින් බලපා ඇත. අමුද්‍රව්‍ය ලංකාව තුළ නිපදවා ගැනීමට සැලසුම් අද වනතුරුත් සකස් නොවේ.

රජය සම්මත කරගන්නා ලද ත්‍රස්ත පනත මගින් මානව හිමිකම් උල්ලංඝනය වන්නේ යැයි සහ එම පනත දේශපාලන පලිගැනීම් සඳහා අවභාවිතා කරන බවක් යුරෝපා සංගමයේ ඩෙනිස් චයිබ් මහතා පවසන අතර GSP + සහනය ලබා දීම හා මානව හිමිකම් සම්බන්ධ වාර්තාවක් 2023 මාර්තු මස යුරෝපා හවුලේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධ තීරණයක් ගැනීමට නියමිතය.

● ඇඟළුම් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය

කොවිඩ් 19 වසංගතය සහ යුක්රේන යුද්ධයේ බලපෑමත් හේතුවෙන් ලෝකයේ ඇඟළුම් ඉල්ලුම පහත වැටී ඇත. එබැවින් දැන් ඇත්තේ අතිශය තරගකාරී විදේශ වෙළෙඳපොළකි. මේ සඳහා තරග කිරීමට ශ්‍රී ලංකාව සූදානම්ද?

ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය විමසා බලමු. කුරුණෑගල ප්‍රදේශයේ මෙතෙක් ඉතා හොඳින් පවත්වාගෙන ගිය මහාපරිමාණ ඇඟළුම් කර්මාන්ත ශාලා දෙකක් මේ වන විට සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ. එහි සේවය කරන ලද සේවක සේවිකාවන් මෙම ආයතනයටම අනුබද්ධ වෙනත් කර්මාන්ත ශාලාවකට මාරු කරන ලද නමුත් ඒ සඳහා ප්‍රවාහන පහසුකම් ලබා නොදීමේ හේතුවෙන් සේවක සේවිකාවන්ට තම රැකියාව අතහැර යෑමට සිදුවිය. වරකාපොල, ඉබ්බාගමුව ආදී ප්‍රදේශවල පිහිටි කර්මාන්ත ශාලාවල් දැනට පවත්වාගෙන යන්නේ සතියකට දින හතරක් පමණි. මේ හේතුව නිසා සේවක සේවිකාවන්ට අතිකාල දීමනා කිසිවක් නොලැබෙන අතර කර්මාන්ත ශාලා හිමියන්ද විශාල පාඩුවක් ලබමින් කර්මාන්තය පවත්වාගෙන යනු ලබයි. ලංකාවේ විශාලතම ඇඟළුම් කර්මාන්ත සමූහයෙන් කර්මාන්ත ශාලා දෙකක් මේ වන විටත් වියට්නාමයට ගෙනගොස් තිබෙන අතර එහි ඉහළ මට්ටමේ සේවකයන්ට පමණක් වියනාමයේ රැකියාව ලැබුන අතර අනෙකුත් අයගේ රැකියාවන් අහිමිව ගියේය. විදුලි බිල දෙවතාවක් ඉහළ යෑම, ඉන්ධන මිල ඉහළ යෑම නිසා ප්‍රවාහන ගාස්තු ඉහළ යෑම හා පසුගිය වකවානුවේ ක්‍රමවත් ඉන්ධන ලබාගැනීමේ පටිපාටියක් නොතිබුණ හෙයින් ඇඟළුම් කර්මාන්ත හිමියෝ දැඩි ලෙස පීඩා වින්දහ. අවශ්‍ය ප්‍රමාණයට ඇණවුම් නොමැති කමත් රටේ ස්ථිර ප්‍රතිපත්තියක් නොමැතිකමත් බොහොමයක් කර්මාන්ත වසා දැමීමට රුකුළක් වනවා නොඅනුමානය.

කුඩා පරිමාණ කර්මාන්ත හිමියෝ ප්‍රකාශ කර සිටින්නේ විදුලි බිල වැඩිකර හෝ අඛණ්ඩව විදුලි බලය ලබා දීම තමන්ට වාසියක්ව ඇති බවයි. කුඩා ජෙනරේටර් පාවිච්චියට යන ඉන්ධන හා නඩත්තු වියදම් සහ ඉන්ධන සොයා ගැනීමට ඇති අපහසුතාවයන්ද ඉන්ධන රැගෙන ඒමට යන වියදම්ද සලකා බැලීමේදී මෙම වාසිය තමන්ට දැනෙන බව ඔවුන් කියා සිටී.

● දේශීය නිමි ඇඳුම් වෙළෙඳපොළ හා නිෂ්පාදකයා

දේශීය වෙළෙඳපොළේ ඇඟළුම් ඉල්ලුම බොහෝ සෙයින් පහළට වැටී ඇත්තේ රටේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑමත් ආදායම් මාර්ග පහළට වැටීමත් යන කාරණා හේතුවෙනි. දේශීය වෙළෙඳපොළට ඇඟළුම් සපයන බොහෝ දෙනා ඊට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ අපනයන කර්මාන්තශාලාවල ඉතිරි වන ඒවාය. දැනට අපනයනය කරන කර්මාන්තශාලාවල වියදම් සීමා කිරීමේ හේතුවෙන් ඔවුන් අමුද්‍රව්‍ය ඉතිරි වන පරිදි ගෙන්වන්නේ නැත. තවද විදේශීය ඇණවුම් ලැබීමේ හිඟතාවය නිසා ඔවුන්ද දේශීය වෙළෙඳපොළට ඇඟළුම් මැසීමට කටයුතු කරති. මේ හේතුවෙන්ද දේශීය නිෂ්පාදකයාගේ ඉල්ලුම පහළට වැටී තිබේ. නුදුරේදීම දේශීය වෙළෙඳපොළට ඇඟළුම් නිෂ්පාදනය කරන්නා තම කර්මාන්තයෙන් ඉවත්වනු ඇත. ප්‍රතිඵලය වන්නේ දේශීය වෙළෙඳපොළේ ඇඟළුම් මිල තවදුරටත් ඉහළට යෑම සහ පාරිභෝගිකයා අතිශය කනගාටුදායක තත්ත්වයකට ඇදවැටීමයි.

මෙම තත්ත්වය ඇතිවීමට පෙර අපනයන කර්මාන්ත ශාලා හිමියා සතුව අතිරික්ත ඇණවුම් ප්‍රමාණයක් පැවතියේය. මෙම අතිරික්තය නිමකර දීම සඳහා වෙනමම උප කොන්ත්‍රාත් කර්මාන්තශාලා සමූහයක් පැවතියේය. අපනයන කර්මාන්තශාලා හිමියාටද ඇණවුම් අඩුව යෑමෙන් උප කොන්ත්‍රාත් කර්මාන්තශාලා සියල්ලක්ම පාහේ මේ වනවිට වැසී ගොසිනි. මෙම කර්මාන්තශාලාවල සේවක සේවිකාවන්ගේ රැකියා අහිමිව යෑම නිසා ඔවුන්ගේ දරිද්‍රතාව උහුලා ගැනීමට බැරි තත්ත්වයටම පැමිණ ඇති අතර ඔවුන්ට වන්දි ගෙවන ලෙස කම්කරු නිලධාරීන් නියෝග කිරීම නිසා කර්මාන්තශාලා හිමියෝ අන්ත දුෂ්කරතාවයට පැමිණ සිටිති. මේවාට උත්තර පවතින රාජ්‍ය යාන්ත්‍රනය තුළින් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැක.

චිත්‍රාන් මොරකන්දෙ ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment