ගිරුවාපත්තුව අවදි කළ ඞී. ඒ. රාජපක්ෂ

135

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය නිම කොට සියලූ රට වැසියන්ට දෙවුන්දර තුඩුව සිට පේදුරුතුඩුව දක්වා නිරුපද්‍රිතව ගමන් කිරීමට අවස්ථාව සලසා දෙමින් ත‍්‍රී සිංහලය එක්සේසත් කළේ එවකට ජනාධිපතිතුමා වශයෙන් කටයුතු කළ සහ වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිඳුන් ය. මේ සටන විජයග‍්‍රහණය කරා ගෙන යාමට එතුමාට සහාය වූයේ එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳු ය.

වර්තමානයේ දී ද මුළු රට ම වෙළා ගත් නොපෙනෙන සතුරකු හා කෙරෙන සටනට නායකත්වය දීමට ද මෙම සොහොයුරන් දෙපළට සිදු වී ඇති අතර මෙම නොපෙනෙන සතුරා මුළුමනින්ම මෙරටින් තුරන් කිරීමට තව නොබෝ දිනකින් මොවුන් සමත් වනු

නොඅනුමාන ය. මෙම ව්‍යසනකාරී අවස්ථාවන් දෙකෙහි දී ම මෙම සොහොයුරන් දෙපළට ශක්තියක් ලෙසින් එක් පසෙකින් ‘මධ්‍යස්ථ හා කෘතහස්ත’ දේශපාලනඥයකු ලෙසින් ලොව පුරා ප‍්‍රකට කීර්තිනාමයක් දිනාගත් හිටපු කථානායක සහ වත්මන් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ද අනෙක් පසෙන් කොරෝනා වසංගතය හේතුවෙන් ලෝකය ම ආර්ථික වශයෙන් ඇද වැටී තිබෙන තත්ත්වයක ශ‍්‍රී ලංකාවේ ආර්ථික හා සාමාජික තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා දැඩි ප‍්‍රයත්නයක් දරන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සිටිති.

ශ‍්‍රී ලංකාවේ අභිමානය, ප‍්‍රමුඛතාව හා විශිෂ්ටතාව ලෝකයා තුළ සදා නොමැකෙන ලෙසින් සටහන් කළ දැයේ පිනට පහළ වූ මෙම ජාතික නායකයින් දැයට උරුම කළ ශ්‍රේෂ්ඨ පීතෘවරයා වන ඞී. ඒ. රාජපක්ෂ මැතිඳුන්ගේ 54 වැනි ගුණ සැමරුම මෙම වසරේ නොවැම්බර් මස 07 වන දිනට යෙදී ඇත. දෑ හිතකාමී දරු පරපුරක් බිහි කිරීමෙන් හා ඔවුනට ශක්තිය හා ජවය ලබා දෙන යෝධ ජන බලවේගයක් නිර්මාණය කරමින් 30 වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමාකර විජයග‍්‍රහණය ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාණන්ට අවශ්‍ය දේශපාලන, සාමාජීය හා ආර්ථික පසුබිම සකස් කර දෙන ලද්දේ ඞී. ඒ. රාජපක්ෂ පියාණන්මය. මෙම ශ්‍රේෂ්ඨ පියාණන්ගේ ජීවන ගමන් මෙඟහි වැදගත් සන්ධිස්ථාන පිළිබඳව දැන ගත යුතු කරුණු බොහෝ ය.

ලංකා ඉතිහාසය එකලූ කළ හෙළ නරපතියන්ට නිජබිමක් වූ ගිරුවාපත්තු පින්බිමේ, බුද්දියාගම ජන්ම භූමිය කර ගනිමින්, දොන් දාවිත් රාජපක්ෂ හා ඉහළ බෙලිගල්ලේ දෝන ගිමාරා වීරකෝන් රත්නායක දෙපළට දාව උපන් මෙතුමාට දොන් චාල්ස් (ඞී. සී.) රාජපක්ෂ හා දොන් මැතිව් (ඞී. එම්.) රාජපක්ෂ, යනුවෙන් සොහොයුරන් දෙදෙනෙක් ද, දෝන කරලැයින් (කර්ලිනා) රාජපක්ෂ නම් සොහොයුරියක් ද වූහ. ඔවුන් අතර ‘රුහුණේ සිංහයා’ නමින් ඞී.එම්. රාජපක්ෂයන් විරුදාවලී ලැබුවේ රුහුණු ගිරුවාපත්තුව පමණක් නොව සමස්ත ශ‍්‍රී ලංකාව ම සුදු අධිරාජ්‍යවාදීන්ගේ ග‍්‍රහණයෙන් ගලවා ගැනීමට කරන ලද සටනට සහාය දීම හේතුවෙනි.

1936 දී දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත්ව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කළ දොන් මැතිව් (ඞී. එම්.) රාජපක්ෂයන්ගේ හදිසි වියෝවෙන් හිස් වූ හම්බන්තොට දිස්ත‍්‍රික් මන්ත‍්‍රී ධුරය සඳහා දොන් ඇල්වින් (ඞී. ඒ.) රාජපක්ෂයන් ඉදිරිපත් වන්නේ නොසිතූ අයුරිනි. ඞී. එම්. රාජපක්ෂයන් අභාවප‍්‍රාප්ත වූ පසු ඔහුගේ බාල මලනුවන් හෙවත් ඞී. ඒ. රාජපක්ෂයන් මැතිවරණයට ඉදිරිපත් විය යුතු බැව් රුහුණු ජනතාව එක හඬින් ඉල්ලා සිටියහ. එම ඉල්ලීම තරයේ ප‍්‍රතික්ෂේප කළ එතුමා නාමයෝජනා භාරදිය යුතු දිනය වන තෙක්ම සිටියේ තම මතයේ දැඩිව එල්බගෙනය.

එම දෛවෝපගත දිනයේ එතුමා සිටියේ තම කුඹුරේ ය. සිරුර පුරා තැවරුණු මඩ ද තැවරී ඇතිව ය. විතාරන්දෙණියේ පී. ජේ. රත්නායක ගුරුතුමා සහ බෙලිඅත්ත මහහීල්ලේ ජෝන් රාළහාමි ඇතුළු විශාල පිරිසක් එම ස්ථානයට පැමිණියේ එතුමා පුදුමයට පත් කරවමිනි. එසේ පැමිණි ඔවුහු නාමයෝජනා පතට අත්සන් කරන ලෙස බල කර සිටියහ. එතුමාට තිබුණේ එහි අත්සන තැබීම පමණකි. ඞී. ඒ. රාජපක්ෂයන් එල්බ ගත් සිය මතයෙහි ම පිහිටා සිටිමින් එය නැවත නැවතත් ප‍්‍රතික්ෂේප කළ ද අවසානයේ මහජනතාවගේ ඉල්ලීමට සවන්දීමට එතුමාට සිදුවිය.

අවසන, වක්කඩෙන් තම දෑත සෝදාගත් එතුමා නාම යෝජනාවට අත්සන් කළේ ය. නිතරගයෙන් ම එතුමා හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරී පත් විය. ‘‘මඩ සෝදාගත් කල ගොවියා රජකමට වුව ද සුදුසු ය’’ යන ඉපැරණි කියමන වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම යථාර්ථයක් බවට පත් කරමින් කුඹුරෙන් දේශපාලනයට ප‍්‍රවිෂ්ට ව එදා – මෙදා තුර ශ‍්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව නව මඟකට යොමු කළ යුග පුරුෂයකු ලෙස එතුමා ඉතිහාසගත විය.

තම සහෝදර ඞී. එම්. රාජපක්ෂයන්ගෙන් ලබා ගත් රාජපක්ෂ පරපුරට ආවේණික කුරහන් සාටකය මෙතුමාගේ ද නව ආර්ථීක දර්ශනයේ සංකේතය විය. වියළි කලාපය සංවර්ධනය කළ හැක්කේ පාරම්පරික පෝෂ්‍යදායි ධාන්‍ය හා ‘කටුසර භෝගවලින්’ (අමු, තල, කුරහන්, මුං, මෙනේරි හා අබ ආදිය) බව මෙම කුරහන් පාට සාටකයෙන් සංකේතවත් විය.

සිය අර්ථවත් දේශපාලන දිවිය පුරා රුහුණේ කෘෂිකර්මාන්තය නඟාසිටුවීම සඳහා යල මහ දෙකන්නය ම වගා කළ හැකි අන්දමට වාරි කර්මාන්තය වැඩි දියුණු කළ යුතු බව විශ්වාස කළ මෙතුමා ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ව්‍යාපෘතිය, මුරුතවෙල ජල යෝජනා ක‍්‍රමය, බඳගිරිය වාරි යෝජනා ක‍්‍රමය, කිරම ඔය සංවර්ධන ව්‍යාපෘතිය, උඩුකිරිවිල ජල යෝජනා ක‍්‍රමය හා තංගලූ වෙල්යාය සංවර්ධනය වැනි වාරි කර්මාන්ත රැුසක් ආරම්භ කරමින් විශිෂ්ට මෙහෙයක් ඉටු කළේ ය. ඊට සාපේක්ෂව උඩවලව, කොළඹගේ ආර, ඇඹිලිපිටිය හා බැරගම වැනි ප‍්‍රදේශවල නව ජනපද පිහිටුවීමට ද එතුමා ක‍්‍රියා කළේ ය. එපමණක් නොව පදවිය, ඇලහැර, ත‍්‍රිකුණාමලය වැනි ප‍්‍රදේශවල සිංහල ගැමියන් පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරමින් රුහුණේ ගැමි පිරිස් එම ප‍්‍රදේශවල පදිංචි කරවීමට ද කටයුතු කළේ ය.

දැව සඳහා වන වගාව සහ තේක්ක වගාවන් ඇති කිරීම වැනි සංකල්පයන් ප‍්‍රචලිත කරනු ලැබූයේ ද, කුඩා ධීවර වරායන් රැුසක් ආරම්භ කිරීම වැනි සංවර්ධන ප‍්‍රවේශයන්ට එතුමා අනුබල දුන්නේ ද ඉහත ප‍්‍රතිපත්තිය මත පිහිටා ය. අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ද සුවිශේෂී මෙහෙවරක් කළ මෙතුමා සිය පෞද්ගලික ඉඩමක වීරකැටිය මැදමුලන ඞී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලය ආරම්භ කළේ ය. ඊට අමතරව ඉත්තදෙමලිය රජයේ විද්‍යාලය ආරම්භ කළේ ය. මුස්ලිම් ජනතාව සමග දැඩි සහයෝගයෙන් කටයුතු කළ මෙතුමා යක්ගස්මුල්ල මුස්ලිම් විද්‍යාලය ආරම්භ කළේ ය.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙකු ලෙසින් දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට පත් වී 1945.08.08 වන දින මන්ත‍්‍රීවරයෙකු ලෙසින් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අසුන් ගත් එතුමා 1945.08.08 දින සිට 1947.01.01 දින දක්වා කෘෂිකර්ම හා ඉඩම් විධායක කාරක සභාවේ සාමාජිකත්වය ද දැරී ය. අනතුරුව 1947 දී පළමුවන පාර්ලිමේන්තුවට ද 1952 දී දෙවන පාර්ලිමේන්තුවට ද බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී වශයෙන් තේරී පත් විය. නැවත 1956 දී තුන්වන පාර්ලිමේන්තුවට බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ලෙසින් තේරී පත් වූ මෙතුමා 1956.04.21 දින සිට 1956.06.09 දක්වා ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් වශයෙන් කටයුතු කළේ ය.

පස්වන පාර්ලිමේන්තුවේ දී ද බෙලිඅත්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී වශයෙන් තේරී පත් වූ එතුමා මේ කාලය තුළ කාරක සභා නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ද කටයුතු කළේ ය. 1964.02.11 දින සිට 1964.11.26 දින දක්වා එතුමා නියෝජ්‍ය කථානායක හා කාරක සභා සභාපති ධුරය හෙබ වීය.

දිවි හිමියෙන් ස්වකීය ප‍්‍රතිපත්ති සුරැකි එතුමා මූල්‍ය ප‍්‍රතිලාභ හෝ තනතුරු ප‍්‍රතිලාභ තකා තම ප‍්‍රතිපත්ති පාවා දීමට කිසිවිටක කටයුතු නො කළේ ය. 1951 දී දිවංගත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් ව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත් අවස්ථාවේ දී එතුමාගේ සෙවනැල්ල මෙන් පසුපසින් ගොස් විපක්ෂයේ අසුන් ගැනීමට තරම් එතුමා එඩිතර විය. ”ඞී. ඒ. මට පිටුපසින් පැමිණ මා අනුගමනය කළා පමණක් නොව මා සමඟ මගේ සෙවනැල්ල සේ එකට එක් වී සිටියේ ය” යි මේ පිළිබඳව සිහිපත් කරමින්

පසු කලෙක බණ්ඩාරනායක මහතා ප‍්‍රකාශ කර ඇත.

නොඑසේව තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ සිටියා නම් එතුමාට උසස් තනතුරු ලබා ගත හැකිව තිබුණි. කිසිවිටකත් තනතුරු පසුපස හඹා

නොගිය එතුමා ඇතැම් විට එතුමාට පිරිනැමූ තනතුරු පවා නිහතමානීව ප‍්‍රතික්ෂේප කළේ ය. පක්ෂයේ උපසභාපති ධුරය පිරිනැමූ අවස්ථාවේ දී එය ප‍්‍රතික්ෂේප කිරීම ඊට එක් නිදසුනකි. ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක රැුස්වීමේ දී පක්ෂය සඳහා අත ලකුණ යෝජනා කරන ලද්දේ ද ඞී. ඒ. රාජපක්ෂයන් විසිනි. මෙතුමා බෙලිඅත්ත ආසනය ජයග‍්‍රහණය කළේ අත ලකුණෙන් වූ අතර එය අත ලකුණ ඡුන්දයක් සඳහා භාවිතා කළ මුල් අවස්ථාව ලෙස ඉතිහාසගත වේ.

ඞී. ඒ. රාජපක්ෂයන්ගේ ඉහත කී ප‍්‍රතිපත්තිවල ප‍්‍රතාපවත් සම්පර්කය ලබමින් නිර්මාණය කළ ‘මහින්ද චින්තන ඉදිරි දැක්ම’ හා ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයන් ඞී. ඒ. රාජපක්ෂයන්ගේ සංවර්ධන ප‍්‍රවේශයන් යථාර්ථයක් බවට පත් කිරීමෙහිලා ප‍්‍රබල උපස්ථම්භනයන් වී ඇත. මේ සඳහා දැඩි කැපවීමකින් කටයුතු කරන වත්මන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ට ජාතියේ කෘතඥතාව පුද කරනු ලබන්නේ අතිශය ගෞරවයෙනි.

(මෙම ලිපිය සැකසීම සඳහා තොරතුරු ලබා ගැනීමේ දී සහාය වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ප‍්‍රවීණ ලේඛක අමරසිංහ කුඩගල්ආර මහතාට මාගේ ස්තුතිය පුදකරමි.)

අසෝක සිරිවර්ධන
හිටපු අමාත්‍යාංශ ලේකම් සහ
ජාතික වැවිලි කළමනාකරණ
ආයතනයේ සභාපති

advertistmentadvertistment
advertistmentadvertistment