ගීතය සහ අත්දැකීම් – සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

576

කොර්නේලියා – මුදලිතුමා, බලන්න අපි කොච්චර කවි ලිව්වද කියල ඈතින් ඉඳගෙන. ඉතින් අනිත් විදියට උන්න නං මෙහෙම කවි කියවෙනවද?

ඇලපාත මුදලි – අනේ මං දන්නෙ නෑ මට දැන් හිතෙනව මං මොකට කවියෙක් වුණාද කියල මෙහෙම වේදනා විඳින්න.

කොර්නේලියා – වේදනාව කියන එක අපි කලාකරුවන්ට ලැබිච්ච උරුමය මුදලිතුමා. වේදනාව නිසා තමයි අපෙන් කලා කෘති බිහි වෙන්නෙ.

ඇලපාත මුදලි – එතකොට කලා කෘති බිහි කරන්ඩ කියලා කලාකාරයො කරන්ඩ ඕනෑ තනි යහනෙ උඩුබැලි අතට ඉඳගෙන දපන එකද නෝනා? මොකක්ද එතකොට මේ කලාවෙන් කලාකරුවන්ට ඇති සෙතේ?

කෝර්නේලියා – අපට ඇති සෙතක් නෑ මුදලිතුමා, අපි ඒ සෙත සලසන්නේ අපේ රසිකයන්ට, අපේ වේදනාව තමයි ඔවුන්ගෙ වින්දනය.

(ගජමන් පුවත, දයානන්ද ගුණවර්ධන)

තමා ප්‍රියකරන ගීතයට මුල් වූ අත්දැකීම කුමක්දැයි දැන ගැනීමට බොහෝ ගීත රසිකයන් තුළ කුතුහලයක් පවතී. ඇතැම් රසිකයන් සිතන්නේ ගායක ගායිකාවන් ගයන ගී, ඒ ඒ ගායක ගායිකාවන්ගේ අත්දැකීම් කියාය. එසේ සිතීමට හේතුව ගීතය ශ්‍රාවකයා වෙත ගෙන යන්නේ ගායකයා හෝ ගායිකාව වීමයි. එහෙත් බොහෝ කොටම ගීත සාහිත්‍යයෙහි ඇත්තේ ගීත රචකයන්ගේ අත්දැකිම්ය.

‘කුතුහලය’ ස්වභාවික මිනිස් ආසාවකි. ගීතයක අත්දැකීම ගැන දැන ගැනීමට පමණක් නොව බොහෝ සංවෘත – රහස්‍ය – ගුප්ත දෑ දැන ගැනීමට අප තුළ කැමැත්තක් ඇත. මේ ලිපියෙහි අරමුණ මගේ ගීතවලට පාදක වූ අත්දැකීම් හෙළිදරව් කරමින් රසිකයාගේ මනෝ රථය පූරණය කිරීම නොවේ: ‘අත්දැකීම’ නම් වූ සංකල්පය පිළිබඳ ඊට වඩා අර්ථවත් යමක් සාකච්ඡා කිරීමයි. ගීතයක රසවින්දනය සඳහා ඊට ආශ්‍රය වූ සත්‍ය සිද්ධිය දැනගත යුතුම නැත. අනෙක, ලොව වසන සෑම සියලු නිර්මාණ ශිල්පියෙකුටම තම තමාගේ සත්‍යවාදී අත්දැකීම් හෙළිදරව් කිරීමට නුපුළුවන් බව ද රසිකයන් විසින් අවබෝධ කරගත යුතුව තිබේ.

ගීතය සහ අත්දැකීම් - සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න

අත්දැකීමට ‘අනුභූතිය’ යයි ද කියනු ලැබේ. අත්දැකීම හෙවත් අනුභූතිය දෙයාකාර වෙයි. පළමුවැන්න, නිර්මාණ ශිල්පියා තම කෘතිය සඳහා මූලාශ්‍රය කර ගන්නා ඔහුගේ අත්දැකීමයි. දෙවැන්න ඔහුගේ නිර්මාණය වින්දනය කිරීමෙන් රසිකයා ලබන අත්දැකීමයි. බොහෝ රසිකයන් තුළ කුතුහලයක් ඇත්තේ යථොක්ත පළමු වැනි කාරණය දැන ගැනීමට නමුදු ඔවුට වඩාත් ඵලදායී වන්නේ දෙවැනි කාරණයයි. කෙසේ වෙතත් මෙහිදී මේ දෙකරුණ පිළිබඳවම සාකච්ඡා කිරීම වටී.

ලෝකයේ පහළ වන ඕනෑම නිර්මාණයකට මුල් වූ අත්දැකීමක් ඇත. නවකතාවකට, කෙටිකතාවකට, නාට්‍යයකට, කාව්‍යයකට, ගීතයකට පමණක් නොව නිර්මාණාත්මක චිත්‍රයකට හෝ ඡායාරූපයකට ද මුල් වූ අත්දැකීමක් තිබිය හැකිය. ලොව වෙසෙන මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම ජීවිතයේදී කොතෙකුත් අත්දැකීම් ලබති. ඒ අතරින් නිර්මාණශීලී කලාකරුවා ලබන ජීවිත අත්දැකී පමණි. නිර්මාණයකට අත්තිවාරම වී තිර ජීවනය ලබන්නේ ජීවිත අත්දැකීම්වලින් තොරව ලොව කිසිවෙකුට කලාකාරයකු විය නොහැකිය. යම් යම් අවස්ථාවල ඔහු ලබන හිංසා – පීඩා, රැවුම් – ගෙරවුම්, කිත් – පැසසුම්, ගල් – මුල්, ගුටි – බැට, ආහාර – නිරාහාර, රැකියා – විරැකියා යනාදී සුඛ දුක්ඛයන් ජීවිතය නමැති මහා තක්ෂිලාවෙන් ඔහු ලබන්නා වූ මහාර්ඝ ශිල්ප ශාස්ත්‍රයයි. නිර්මාණශීලී කලාකරුවෙකු වෙත පැවතිය යුතු මෙම අනිවාර්ය ගුණය සංස්කෘත පඬිවරු ‘ව්‍යුත්පත්ති’ නමින් හැඳින් වූහ. මෙය ජීවිතයෙන් ලබන අත්දැකීම් සහ පොත පතින් ලබන අත්දැකීම් යනුවෙන් දෙවැදෑරුම් වෙයි. ‘කවියන්ගේ රචකයන්ගේ ප්‍රතිභා ශක්තිය අඩු වැඩි විය හැකිය. එසේ ප්‍රතිභා ශක්තිය ඌනත්වය නිසා විය හැකි දුර්වලකම් මඟ හරවා ගත හැක්කේ ව්‍යුත්පත්තියෙන් හෙවත් බහුශ්‍රැත භාවයෙන්ය. යම් කෙනෙක් භාෂාවන් ඉගෙනීම, ශාස්ත්‍රයන් හැදෑරීම, කලාවන් ප්‍රගුණ කිරීම, දර්ශනයන් සසඳාලීම, ලෝක චරිත විමසීම, දේශාටනයෙහි යෙදීම ආදී වශයෙන් අත්දැකීම් බහුලව ඇසූ පිරූ තැන් ඇතුව වෙසෙත් නම් ඔවුන් ව්‍යුත්පත්තිය හෙවත් බහුශ්‍රැත භාවය ලබනු නිසැකය.

(සාහිත්‍යය ත්‍රෛමාසිකය, 4 කලාපය, 1962 සංස් -කොටහේනේ පඤ්ඤාකිත්ති ස්ථවිර සහ වින්සන්ට් පණ්ඩිත)

සැබැවින්ම උත්පත්තියෙන් ලද වාසනා ගුණය හෙවත් ප්‍රතිභා ශක්තියේ උරගල ව්‍යුත්පත්තියයි.

නිර්මාණ ශිල්පියකු විසින් නිර්මාණයක් කිරීම සඳහා වස්තු කරගනු ලබන්නේ තමා ශාරීරික වශයෙන් සහභාගි වූ අත්දැකීම් පමණක් නොවේ.

ගණිකාවක් ගැන ලිවීමට ගණිකාවක් සමග ජීවත් විය යුතු යැයි සිතීම මුසාවකි. නිර්මාණාත්මක කලාකරුවා ලබන අත්දැකීම් සිවු වැදෑරුම් වේ.

  1. ශාරීරික වශයෙන් සහභාගි වන අත්දැකීම්
  2. දැකීමෙන් ලබන අත්දැකීම්
  3. ඇසීමෙන් ලබන අත්දැකීම්
  4. කියවීමෙන් ලබන අත්දැකීම්

වශයෙනි. මෙරට බිහි වූ සුප්‍රකට කලාකෘතීන් සඳහා ඒ ඒ කලාකරුවන්ට විෂය වූ අත්දැකීම්, ඔවුන් විසින් හෙළිදරව් කරන ලද විරල අවස්ථා කිහිපයක් අපගේ සාකච්ඡාව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා පහත ගෙන හැර දක්වමි. මේ නිදර්ශන මා උපුටා ගත්තේ විවිධ කලා ක්ෂේත්‍ර නියෝජනය වන පරිද්දෙනි.

  1. නවකතා/ යුගාන්තය/ මාර්ටින් වික්‍රමසිංහ

යුගාන්තයේ කබලානයේ චරිතය නිර්මාණය කරනු සඳහා මා ගුරු කොට ගත්තේ දිනමිණ, ඩේලි නිව්ස් පත්‍ර ශ්‍රේෂ්ඨස්ථානයට පත් කළා වූ ඩී. ආර්. විජේවර්ධනය. මම අවුරුදු විස්සක් පමණ සිළුමිණ, දිනමිණ පත්‍රවලට වැඩ කළෙමි. උදේ සිට හවස් වනතුරු වෙහෙස නොබලා වැඩ කරමින් සුදු මිනිසුන් ඇතුළු සියලුම සේවකයන් ස්වාධීනව හා නිර්දය ලෙස ද සංවිධානය කළ ඔහු නිසා මා තුළ චමත්කාර හැඟීමක් හට ගත්තේය. ඔහු අනිත් සේවකයන් මෙන් මට ද අතමිට දිග හැර පඩි නොගෙව්වේය. ඔහු වෙහෙස නොබලා වැඩ කළාක් මෙන් අනුන්ගෙන් ද වැඩ ගත්තේ ය. (ග්‍රන්ථ විඥාන පළමුවන වෙළුම, සංස් – ලබුහේන්ගොඩ චන්දරතන සහ සිරිසේන විතානගේ)

  1. නවකතා/ පුංචිරාළ/ කේ. ජයතිලක

පුංචිරාළ නවකතාව ලිවීම සඳහා ම විසින් බෙහෙවින්ම ප්‍රයෝජනයට ගන්නා ලද්දේ මගේම පියාගේ චරිතයයි. දූ දරුවන් සියලු දෙනාටම ගමෙන් බැහැර රැකී රක්ෂාවන්වලට යෑමට සිදුවීම නිසා ඔහු කාලයක් තම ගෙදරට වී තනිවම කාලය ගෙවීය. එය කෙතරම් දුෂ්කර ජීවිතයක් වුවත් දුවෙකුගේ පුතෙකුගේ ගෙදර ඔහු දිනකට වැඩියෙන් නතර කර තබා ගැනීම දුෂ්කර විය. අම්මාගේ මරණයෙන් පසු ඔහු තනිව ගතකළ කාලය තුළ ඔහු තුළ යම් යම් අස්වාභාවික ගති පැවතුම් පවා ඇති විය. ඔහු හැම දෙයක්ම විනිශ්චය කිරීමට උත්සාහ කළේ ද තමාට හුරු පුරුදු දැනුම හා මිනුම අනුවය. පුංචිරාළගේ චරිතය සඳහා මේවායින් යම් යම් ලක්ෂණ මා උකහා ගත්තේ වී නමුත් පුංචිරාළ ගේ මුදල් ඉතිරි කිරීම මා ඔහුගෙන් උපුටා ගත්තක් නොව හුදෙක් සිතින් ම මවන ලද්දකි. (පුංචි පැළේ ගස වෙනා, කේ. ජයතිලක)

  1. නාට්‍ය/ දෑස නිසා/ ගුණසේන ගලප්පත්ති

ජ්‍යෙෂ්ඨ පන්තියේදී සද්ධර්ම රත්නාවලිය උගනිද්දී එහි එන චක්ඛුපාල කතාව කියවීමෙන් මගේ සිතෙහි දැඩි කම්පනයක් ඇති විය. මෙම පුවත වරින් වර මගේ මනසෙහි හොල්මන් කළේය. මීට අවුරුදු දෙකකට පමණ පෙර කියවූ ඉන්දියානු කෙටිකතාවකින් ද දැඩි වින්දනයක් ලදිමි. ‘දෑස නිසා’ නාටකය උපත ලදුයේ ඉහත කී පුවත් දෙකින් හා නුගේගොඩ බස් නැවතුම්පොළේ දී දුටු එක්තරා යාචක ස්ත්‍රියක ගෙනුත්ය. (දෑස නිසා සමරු කලාපය, නව රංග සභා – 1964)

  1. නාටක/ කුවේණි/ හෙන්රි ජයසේන

මනුෂ්‍ය සභ්‍යත්වයේ සිය වර්ගයා අතින්ම ගල්මුල් පහර ලැබ, ඔවුගේ ක්ෂමාව යදිමින් මියගිය මුල්ම පවුකාරිය කුවේණිය යයි සිතමි… මේ නාටකය ඈත අඳුරු අතීතයේ මෙහි විසූ ඒ අභාග්‍ය සම්පන්න ස්ත්‍රිය නිසා හද තුළ නැඟුණු දයානුකම්පාවේ ප්‍රතිඵලයකි. (කුවේණි, හෙන්රි ජයසේන)

  1. කාව්‍ය/ මියගිය ළදරුවෙක්/ මීමන ප්‍රේමතිලක

මගේ තුන්වෙනි පුතා සමන් සුමිත්‍ර ප්‍රේමතිලක උපන් දා සිට මා තුළ මහත් භීතියක් පැවැත්තේය. සාමාන්‍ය පවුලක එවැනි බලසම්පන්න යෝග ඇති දරුවකු නො උපදින බව කී නැකැත්කරුවෝ ඔහු ඉතා හොඳින් ආරක්ෂා කර ගන්නට කීහ. කුඩා කල ම ඔහුගේ බුද්ධි ප්‍රබෝධය පෙනෙන්ට තිබිණ. ඔහු තුළ නිසර්ගයෙන්ම පිහිටි උසස් ගතිගුණ බොහෝය. …………. හදිසි අසනීපයකින් එක් මධ්‍යම රාත්‍රියක ඔහු අපෙන් තුරන් විය. ‘මියගිය ළදරුවෙක්’ යන මැයෙන් මා ලියා ඇත්තේ සමන්ගේ වියෝගය ගැන ය. (මගේ ප්‍රේමය කලාව හා ජීවිතය, මීමන ප්‍රේමතිලක 1965)

  1. ගීත/ ජාතික ගීය/ ආනන්ද සමකෝන්

ඉන්දියාවේ හා පුරා සැරි සැරූ දින කිහිපයේ මවුබිමේ ස්වභාව සෞන්දර්යය, නටබුන්, නරවරයන් මතකයට නැගීමෙන් පිස්සෙකු වීමි. ඉන්දියාවේ සිට ලංකාව බලා එද්දී ඒ හැඟීම් යළි යළිත් බුර බුරා නැඟුණි. ස්වදේශානුරාගය පුබුදු කළ හැකි සමූහ ගීතයක අඩුපාඩුව දැනුණු අතර ටී. ඩී. ජයසූරිය මහතා එවැනි ගීයක අවශ්‍යතාව පෙන්නුම් කර දුන්නේය. 1940 ඔක්තෝබර් 20 වැනිදා සවස ගෙදර ගියෙමි. මගේ දිවයින පිළිබඳ ඇති වූ උදා සිතිවිලි හා සෞන්දර්ය පිළිබඳ රසික හැඟීම් කෙළවරක් නැත. කල්පනා කළෙමි. ඒ මේ අත ඇවිද්දෙමි. රාත්‍රි දහයේ පමණ සිට පහන් නිවා කළුවරේම කල්පනා කළෙමි. ඇඳට වී කල්පනා කළෙමි. තරමක නින්දක් ගියේය. අඩ සිහිනයකින් පෙනී ගිය පරිදි තනුවත් එයට සරිලන පදමලාවත් සමග ‘නමෝ නමෝ මාතා’ ගීය මනසේ සටහන් විනි. පසුදා උදේ එය ලීවෙමි. මේ ජාතික ගීයට ප්‍රබන්ධ වුණු හැටියි. (ඉරිදා ලංකාදීප, 1951 නොවැ. 25, පි. 7, ‘නිඳි නැති රාත්‍රියක මා කළ ප්‍රාර්ථනාව’)

  1. ගීත/ මහ බෝ වන්නම/ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ

කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ තුන් වන මහල් තලයේ කවුළුව ළඟට වී සුළංරැළි වලින් වෙළී ගිය බෝ ගසක ගැටෙන කොළ දෙස බලා සිටි මගේ සිත, එහි ලතාව සමඟ වෙළී ගියේ ය. මේ ලතාව ඉබේට ම වාගේ මගේ මුවින්
‘තන තන තනෙනා – තන තන තනෙනා – තානෙන තන තනෙනා – තනෙන තන – තනෙන තන- තන තන තන තනෙනා – තනෙන තන- තානෙන තන තනෙනා- තනානා තානෙනා’ යනුවෙන් මගේ මුවට නැගෙනවාත් සමගම ඒ අභිරමණීය ප්‍රභාමත් ප්‍රශාන්ත ප්‍රභාතයේ නේරංජනා නදී තීරයේ බෝ රුක් සෙවනේ සව්නේ ගෙවා දැන පහන් වී ගිය මුහුණින් යුතුව ශාන්ත සමාධි සුවයෙන් වැඩ සිටි ශාක්‍ය සිංහයන් වහන්සේගේ විලාසයත් ඉන්පසු කලෙක සඟමිත් මෙහෙණින් විසින් සිරිමා බෝ දකුණු ශාඛාව හෙළ දිවට ගෙන ආ දිනයේ එහි බෝපත් නටා ගිය සැටිත් මගේ මනසෙහි ඇඳී ගියේය. මේ සිදුවීමම විසින් වචන වැලකට එක් කළේ බෝ පත් නටා ගිය ලතාව අනුකරණයෙන් උපන් තාලයට අනුවය. මේ කීයේ මහබෝ වන්නම ගෙතුණු ආකාරයයි.
(කෝමල රේඛා, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ)

  1. ගීත/ මා මළ පසු සහ මේ සිංහල අපගේ රටයි/ මහගම සේකර

තුංමං හන්දිය චිත්‍රපටය බලලා මට හුඟ දෙනෙක් සතුට පළ කරලා අගය කරලා ලිපි රැසක් එවලා තිබුණා. මේ ලිපි නන්නාඳුනන අයගේ. මේ ලිපි කියවලා මම හිතුවා මගේ කලා කෘති අගයන කිහිපදෙනෙකු ලංකාවේ කොයි මුල්ලක හෝ සිටින බව. ඒ අය ගැන හිතලා මම ‘මා මළ පසු’ ගීතය ලිව්වා. මම ලියාපු ගීතවලට හුඟාක් ස්වභාව ධර්මය බලපෑවා. මා දුටු ගහ කොළ, මල්, සත්තු එහෙම. පුංචි කාලේ පාන්දර මම රඳාවානේ මිදුලට බැස්සම ශ්‍රීපාද කන්ද හොඳට පේනවා. මම නොයෙක් විට බණ්ඩාරවෙල, බදුල්ල ආදී කඳුකර ප්‍රදේශවල බස්වලින් ගියා. සාරවිටේ ‘මේ සිංහල අපගෙ රටයි’ ගීතයට පසුබිම් වූයේ ඒ අත්දැකීම්. (සරසවිය, 1975 ඔක්. 17, පි. 6-7, මහගම සේකර, ඒ. ඩි. රංජිත් කුමාර සමග කළ සාකච්ඡාවක්.)

යථෝක්ත අත්දැකීම්, නිර්මාණ බවට පත් වී ඇත්තේ කලාකරුවාගේ පරිකල්පන ශක්තිය නිසාය. පරිකල්පන ශක්තිය යනු මූලික ක්‍රියාවන් තුනක ඵලයකි. එම ක්‍රියාවන් නම් විවිධ සිදුවීම් සිතට කා වැදීම, එම සිදුවීම් ස්මෘතියෙහි ප්‍රතිනිර්මාණය වීම, එම ස්මෘති සටහන් තුළින් නව සංකල්ප රූප බිහි කිරීම යනාදියයි. සාහිත්‍ය නිර්මාණයක අගය රඳාපවතින්නේ ඊට මුල් වූ වස්තුවෙහි ස්වායත්ත වටිනාකම උඩ නොව එම වස්තුව සාහිත්‍ය නිර්මාණයකට පරිවර්තනය කොට ඇති ආකාරය උඩය. මේ පරිවර්තන කාර්යය සඳහා මහෝපකාරී වන්නේ රචකයාගේ පරිකල්පන ශක්තියයි

නිර්මාණ හා විචාරය. විමල් දිසානායක
පරිකල්පන ශක්තියෙන් තොර පුද්ගලයකු වෙතින් බිහි වන්නේ හුදු වාර්තාවකි.

නිර්මාණයක් සඳහා අත්දැකීම් තෝරා ගත යුතුය. ජීවිතයේදී අප ලබන සියලුම අත්දැකීම් නිර්මාණයට විෂය නොවේ. උචිත නොවේ. අපගේ නිර්මාණයට පාදක වන අත්දැකීම් අපූර්ව විය යුතුය. අර්ථාන්විත විය යුතුය. විශ්වසනීය විය යුතුය. සුලභ වූද සාවද්‍ය හා නිස්සාර ජීවිත දර්ශනයක් පළ කරන්නා වූද සදාතනික වටිනාකමින් තොර වූද අත්දැකීම් නිර්මාණකරණයට පාදක කර නොගත යුතුය.

තමා තෝරාගන්නා අත්දැකීම් තම ක්ෂේත්‍රයේ සීමාවන් තුළ විකාශනය කළ හැකිදැයි පූර්ව විනිශ්චයකට එළඹිය යුතුය. එකම ජීවිත අත්දැකීම නවකතාවකට හා කෙටිකතාවකට උචිත නොවේ. නවකතාවකින් චරිත නිරූපණයක්, දීර්ඝ සමාජ පිවර්තනයක් ඉදිරිපත් කළ හැකිය. එහෙත් කෙටිකතාවකින් කළ හැකි වන්නේ චරිතයකින් අංශු මාත්‍රයක්, කිසියම් අවස්ථා නිරූපණය කිරීම පමණකි. නාටකය සඳහා උචිත අත්දැකීමක් ගීතයකට උචිත නැත. කවිය පොත් පෙරළා නැවත නැවත කියවමින් එයින් ඉදිරිපත් කර ඇති සංකීර්ණ අත්දැකීම් විඳ ගැනීමට රුකුල් දෙන මාධ්‍යයකි. ගීතය, කෙටි කාලයක් තුළ ගුවනින් අසා ක්ෂණිකව අර්ථය පසක් කර ගතයුතු කලා මාධ්‍යයකි. කවියක අත්දැකීම් දිගින් දිගට ලියා පොතක පළකළ හැකිය. ගීතය විනාඩි කිහිපයකට සරිලන සේ පේළි කිහිපයක් ලියා හමාර කළ යුතුය. සැබැවින් ගීතයකින් ප්‍රකාශ වන්නේ අත්දැකීම් මාත්‍රයකි, ජීවිතයෙන් අසෙක් අසකි.

නිර්මාණය, නිර්මාණ ශිල්පියාගේ පෞද්ගලික අත්දැකීමක් නම් එය සෙස්සන් වින්දනය කරන්නේ කෙසේද? ඇත්තෙන්ම නිර්මාණ ශිල්පියා තම පෞද්ගලික අත්දැකීම්ම පොදු අත්දැකීම් බවට පත් කළ යුතු වෙයි. ඔහු රසිකයා වෙත ප්‍රදානය කළ යුත්තේ ඔවුන් වැඩිදෙනාට සහභාගි විය හැකි අත්දැකීම්, සහභාගි වීමට හැකි ආකාරයෙනි. රසිකයා අත්දැකීමට සහභාගි කරවා ගැනීමට නම් ඔවුන්ට ඒත්තු යන පරිදි, ඔවුන්ට විශ්වාස කරන්ට පුළුවන් පරිදි, ඔවුන්ට ද එම අවස්ථාවට, සිද්ධියට, චරිතයට, හැඟීමට ආරූඪ විය හැකි පරිදි අත්දැකීම් නිර්මාණය විය යුතුව තිබේ. මෙය ‘සාමාන්‍ය ගුණ යෝගය’, ‘සාමාන්‍යාත්වාරෝපණය’, ‘සාධාරනීකරණය’ යන පදවලින් හැඳින්වෙයි.

තම තමාගේ ජීවිත අත්දැකීම් පාදක කොට ගෙන නිර්මාණ ශිල්පීන් කරන කෘති තුළින් රසිකයෝ ද අත්දැකීම් ලබති. නිර්මාණයක් දැකීමෙන්, කියවීමෙන්, ඇසීමෙන්, විඳීමෙන් ඔවුන් ලබන ප්‍රයෝජනය ද එයයි. ස්නිග්ධ නිරික්ෂකයන් සේ, ප්‍රබුද්ධ ගවේෂකයන් සේ, මහා චින්තකයන් සේ ජීවිතය ගැඹුරින් දකින කලාකරුවන්ගේ නිර්මාණ ඇසුරින් රසිකයෝ ඥාන ප්‍රදීපය අවුළුවති. ජීවිතයේ නිම් වළලු පුළුල් කර ගනිති. ජීවිතයේදී එතෙක් මුහුණ නොපෑ අත්දැකීමකට කලා කෘතියකදී මුහුණ දී, කෙදිනක හෝ එවැනි අවස්ථාවක් එළඹුණු විට පිළියම් සොයාගැනීමට පෙරහුරුවක් ලබති. තම තමාට එදිනෙදා ජීවිතයේදී හමු නොවූ සංකීර්ණ චරිත, චරිතාංග, චිත්ත චෛතසිකයන් හඳුනා ගනිති.

හොඳ නිර්මාණ ශිල්පියා නියෝග, අවවාද, අනුශාසනා, උපදේශ මූලික අත්දැකීමෙන් බැහැරව ඉදිරිපත් නොකරයි. තමා නිරූපණය කරන අවස්ථාව, චරිත, චරිතාංගය, සිදුවීම තුළින් ගම්‍යමාන වීමට ඉඩ හරියි. නිරූපණය කොට දක්වයි. ඔහු ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි. නිරාකරණය කිරීමේ මාර්ගය පිළිබඳ ඉඟියක් කරයි. විසඳුම් නොදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment