ගීතා කුමාරසිංහ ගැන ජනපති රනිල්ගෙන් බන්දුලට යෝජනාවක්…

516

පසුගිය සතිය දේශපාලනමය වශයෙන් එතරම් හැලහැප්පීම් සහිත උණුසුම් කලබලකාරී සතියක් නොවීය. පාර්ලිමේන්තුව පැවතියේද නැත. වෙනත් දේශපාලන න්‍යාය පත්‍ර ද නොවීය. තිබුණා නම් තිබුණේ පැවැත්වෙන දවසක් තවමත් අවිනිශ්චිත පුංචි ඡන්දය වෙනුවෙන් පැවැත්වෙන පිට පළාත්වල දේශපාලන රැස්වීම්ය.

ඡන්දය වෙනුවෙන් පැවැත්වෙන රැස්වීම් ක්‍රියාන්විතයේ ඉදිරියෙන්ම සිටියේ මේ සතියෙත් සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගය ඇයි කීවාට වරදක් නැත. සජිත් ගමින් ගමට යමින් ජනතාව අමතමින් මෙවර පුංචි ඡන්දයේදී ගම තමන්ට භාරදිය යුත්තේ ඇයි දැයි පැහැදිලි කරමින් කතා කළ අතර රජයට එරෙහිව මේ දිනවල පැවැත්වෙමින් පවතින වෘත්තීය සමිති අරගලවලටද නොමඳ දායකත්වයක් දක්වමින් සිටියේය.

සජිත්ලාගේ සජබෙ කණ්ඩායම තරමටම මෙම සටනේ සිටි අනෙක් කැපී පෙනෙන කණ්ඩායම වූයේ ජාතික ජන බලවේගය හෙවත් මාලිමාවයි. මාලිමාව හා ස ජ බ ය අතර ද විපක්ෂයේ ප්‍රමුඛත්වය ලබා ගැනීම සඳහා වෙනම සටනක් තිබිණි. මේ තත්ත්වය තුළ මේ පාර්ශ්ව දෙකම තම ප්‍රධාන දේශපාලන ප්‍රතිමල්ලවයා ලෙස රජය වෙත විරෝධය එල්ල කරනවට වඩා කරනු ලැබුවේ වේදිකාවේ දී මේ දෙගොල්ලො බැණ අඬගසා ගැනීමය. තත්ත්වය මොන තරම් වර්ධනය වී ද යත් අද දේශපාලන කරලියේ ප්‍රේක්ෂකයෝ දිනපතාම ප්‍රවෘත්ති විකාශනයන් ඔස්සේ බලාපොරොත්තු වන්නේ අනුර කුමාරලාට එරෙහිව සුජීව සේනසිංහ අලුතෙන් ගෙන ආ විවේචන දැක ගන්නටය. නැත්තම් ස ජ බයට සුජීවලාට එරෙහිව අනුර කුමාරලා සමන්ත විද්‍යාරත්නලා ගෙන එන නිර්මාණාත්මක විවේචන රසවිඳින්නට ය.

● බදු ගෙවන නොගෙවන අයගේ වැඩවර්ජන…

තත්ත්වය මෙසේ තිබියදී පසුගිය සතියේ රට උණුසුම් වූයේ මේ එකක්වත් නිසා නොව, රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට එරෙහිව බදු ගෙවන්නන් හා බදු නොගෙවන්නන් පිරිසක් එක්ව ආරම්භ කර තිබූ ඒකාබද්ධ වැඩවර්ජන ක්‍රියාන්විතයක් නිසාය.

රජය මේ වැඩවර්ජනය දුටුවේ තම ආර්ථික ස්ථාවරකරණ වැඩපිළිවෙළට එරෙහිව යම් යම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් එක්ව අරඹා ඇති දේශපාලන කුමන්ත්‍රණයක් ලෙසයි. කෙසේ වෙතත් වැඩ වර්ජනයට සම්බන්ධ වන්නේ මේ රටේ වැඩකරන ජනතාව බැවින් රජය මුලින්ම කළේ වෘත්තිකයන් හා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් බදු ප්‍රතිපත්තිය පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ තිබෙන නොදැනුවත්කම හා අපැහැදිලිකම වර්ගයන්ගේ වාසියට සිටියේය. මේ නිසා සත පහක් වත් උපයනවිට බද්දක් නොගෙවන ඇතැම් සේවක පිරිස් පවා රවටා වර්ජනය වෙත දායක කර ගන්නට වර්ජනය මෙහෙයවන පක්ෂවලට හා වෘත්තිය සමිතිවලට හැකිවී තිබිණි. උදාහරණයක් වශයෙන් මේ රටේ ගුරුවරු ගත හැකිය. ගුරුවරුන් මෙම වර්ධනය සඳහා එක්ව සිටියේ වර්ජනය මෙහෙයවන ස්ටාලින් ප්‍රමුඛ වෘත්තීය සමිති නායකයන්ගේ බලහත්කාරය නිසා මිස ලක්ෂයකට වඩා පඩි ලබමින් බදු ගෙවන්නට සිදුව තිබීම නිසා නම් නොවේ.

රජය මේ තත්ත්වය පාලනය කරන්නට මහජනතාව දැනුවත් කරන්නට පියවර ගත්තේය. වෘත්තීය සමිති සමග සාකච්ඡා කරමින් රජය ඉල්ලා සිටියේ මේ රටේ ආර්ථිකය ටිකින් ටික අසීරුවෙන් නැඟිටින වෙලාවේ, මේ රටට සංචාරකයන් වැඩිපුර පැමිණෙමින් තිබෙන වෙලාවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය මුදල ලබා දීමට සූදානම් වන වෙලාවේ ඊට බාධාකාරී ලෙස වර්ජනය නොකරන ලෙසයි.

එවන් පියවර කිහිපයක් ගෙන අවසානයේ මහජනතාව කෙරෙහි බලපාන විවිධ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් බවට නම් කරමින් වර්ජනයට නෛතික බාධා ඇති කරන්නට ද උත්සාහ කළත් බලවත් වෘත්තීය සමිති අතළොස්සක් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදෙන ණය ආධාරය අනුමත කරන දිනය වන මාර්තු 20 වෙනිදා පෙනි පෙනී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටියේ කනස්සල්ලෙනි. ජනාධිපතිවරයා තම නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් මේ ප්‍රශ්නය කතාබහ කර නිරාකරණය කර ගැනීමට තීරණයක් ගත්තේය.

පසුගිය 15 වැනිදා සඳහා විශේෂ සාකච්ඡාවක් ඇති විය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළේය. ඒ අනුව සමහර වෘත්තිය සමිති සමග එකඟතාවක් ඇති කර ගන්නට රජයට හැකි වුවත් සමහර වෘත්තිය සමිතිවලට ප්‍රශ්නය තේරුම් ගැනීමට හෝ නිරාකරණය කර ගැනීමට කිසිදු නම්‍යතාවක් නොවීය. එහෙත් ජනාධිපතිවරයා උත්සහය අතහැර දැමුවේ නැත.

මේ අතර අධිකරණ බන්ධනාගාර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයටත් කැබිනට් පත්‍රිකා තුනක් ඉදිරිපත් කළේය. රටේ සිදුවන වංචා දූෂණ අක්‍රමිකතා නැවැත්වීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සමාජයේ බරපතළ සාකච්ඡාවක් තිබිණි. මේ කාරණය සමස්ත රටේත් දේශපාලන ක්ෂේත්‍රයේත් සාකච්ඡාවට බඳුන් වී තිබුණත් ඒ සඳහා පවතින නීති රීති ප්‍රමාණවත් නොවීම නිසා දේශපාලන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද මහජන අප්‍රසාදය යොමුවිය. අමාත්‍යවරයා නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කළේ මේ සඳහා අපූරු පූර්විකාවක් ද ඉදිරිපත් කරමිනි.

රටේ අපරාධ හා වංචා දූෂණ මැඬපැවැත්වීම සඳහා මෙම පනත් කෙටුම්පත කඩිනමින් කැබිනට් මණ්ඩලය අනුමත කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ඇමැති පෙන්වා දුන්නේය. ජාත්‍යන්තරය තුළ ලංකාව පිළිබඳ තිබෙන අවිනිශ්චිත අපැහැදිලි චිත්‍රය අකා මකා දැමීම සඳහා ද මෙවන් විශේෂ අලුත් අණ පනත්වල ඇති අවශ්‍යතාවය මෙහිදී අමාත්‍යවරයා විස්තර කළේය.

● කියනකොට එහෙමලු කරනකොට මෙහෙමලු…

මේ අතර පසුගිය සති අන්තයේ මේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට බලපාන විශේෂ කාරණාවක් ගැන සාකච්ඡා කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කාරක සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්විණි. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් කැඳවා තිබූ මේ සාකච්ඡාවට අගවිනිසුරු, නීතිපති, නීති විද්‍යාලයේ විදුහල්පති ඇතුළු නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියහ. සජිත් ප්‍රේමදාස බන්දුල ගුණවර්ධන උදය ගම්මන්පිල ගෙවිඳු කුමාරතුංග වීරසුමන වීරසිංහ, රවුෆ් හකීම්, චරිත හේරත්, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න, උපල් ගලප්පත්ති සාමාජිකයන් ලෙස පෙනී සිටියහ. මෙම කාරක සභාව ඉදිරියේ සලකා බැලුවේ නීති විද්‍යාලයේ සියලුම විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට ගෙනවිත් තිබෙනවා අලුත් යෝජනාවලියයි. මෙම යෝජනාවට බරපතළ විරෝධයක් නීති අධ්‍යයන ක්ෂේත්‍රයේ ඉස්මතු ව තිබිණි. පිට පළාත්වලින් ගම්වලින් පැමිණ නීති අධ්‍යයනයේ නිරත වෙමින් අසීරුවෙන් නීති ක්ෂේත්‍රයට පිවිසෙන්නට උත්සාහ දරන ලක්ෂ සංඛ්‍යාත ශිෂ්‍ය ප්‍රජාවකට මෙය අහිතකර ලෙස බලපාන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී පිරිසකගේ තර්කය වූහ.

මෙහිදී අමාත්‍ය විජයදාස රාජපක්ෂ කීවේ අලුත් යෝජනාව නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා විසින් පැහැදිලි කරනු ඇතැයි කියාය…

“මේක කොහොමවත් අපි එක පාර ඇති කරන දෙයක් නෙවෙයි. අපි මේ තැනට එන්නේ ක්‍රමානුකූලව. පළමුව ප්‍රශ්න පත්‍ර වැඩි ගාණක් සිංහලෙන්, අඩු ගාණක් ඉංග්‍රීසියෙන් ලියන්න දෙනවා. ඊට පස්සේ අවුරුද්දේ තමයි ඉංග්‍රීසියෙන් ලියන ප්‍රශ්න පත්‍ර ප්‍රමාණය වැඩි කරන්නේ. උදාහරණ වශයෙන් සිංහලෙන් හතරයි ඉංග්‍රීසියෙන් තුනයි, ඊළඟට සිංහලෙන් තුනයි ඉංග්‍රීසියෙන් හතරයි, ඊට පස්සේ සිංහලෙන් දෙකයි ඉංග්‍රීසියෙන් පහයි යනාදී වශයෙන්…”

“ඔබතුමා ඔය පැහැදිලි කරන්නේ කරන ක්‍රමවේදය නේ. කරුණාකරලා අපිට කියන්නකො මෙහෙම කරන්නේ ඇයි කියලා… මේ විදියට අපි නීතිඥයෝ හදන්නේ ලංකාවේ නඩු අහන්නද එංගලන්තෙ නඩු අහන්නද…” ගෙවිඳු කුමාරතුංග ඒ ආකාරයට ප්‍රශ්නය අසද්දී සියල්ලන්ටම සිනා ගියහ. නීති විදුහල්පති විපිළිසර විය…

“විදුහල්පතිතුමා අපහසුතාවයට පත් කරන්න එපා… එතුමා ආවේ මේක පැහැදිලි කරලා අපිට උදව් කරන්න. අනිත් එක අපි මේක එක පාර පටන් ගන්නෙ නෑ ඔක්කොටම ඉස්සෙල්ල පාසල් මට්ටමින් ඉංග්‍රීසි අධ්‍යාපනය පුළුල් කරන්න ඕන.” ඇමැති විජයදාස කීවේය. ඒ සමඟම බන්දුල ගුණවර්ධන රටේ අධ්‍යාපනය ගැන හරි අපූරු විග්‍රහයක් කළේය.

“ඕව කියන්න හරි ලේසියි… හැබැයි ඉතින් කරන්න ගිහිල්ලා බලන්න ඕනා… මම අධ්‍යාපන ඇමැති කාලෙ ලංකාවේ ඉස්කෝල දාහක් තෝරගෙන ඉංග්‍රීසි භාෂාගාර ඇති කරලා ඉංග්‍රීසි උගන්වන්න විශේෂ වැඩපිළිවෙළක් යෙදුවා. ඒ වුණාට ළමයින්ට උගන්නන්න ඉංග්‍රීසි දන්න ගුරුවරු ටික වත් අපිට හොයාගන්න බැරි වුණා.

දැන් බලන්න මගේ ආසනේ තියෙනවා මහින්ද රාජපක්ෂ ආදර්ශ පාසල. ශිෂ්‍යත්වයෙන් ළමයි අරන් මුල ඉඳලම ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගන්වන්නයි අපි පටන් ගත්තේ. අන්තිමේ දෙමව්පියෝ ඇවිල්ලා කිව්වා අනේ එහෙම කරන්න එපා ළමයින්ට කැමති භාෂාවකින් ඉගෙන ගන්න දෙන්න කියලා. ඒ වැඩේ අසාර්ථකයි. අන්තිමේ දැන් එතන ඉංග්‍රීසි මාධ්‍ය පංති දෙකයි ඉතිරි. දැන් රෝයල් එකේ ගත්තත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ම උගන්නන්න බෑ. එක හේතුවක් ගුරුවරුන් නෑ… ඒකයි මං කිව්වේ… අපිට ඕවා ලස්සන වචන දාලා සැලසුම් හදන්න පුළුවන් වුණාට ක්‍රියාත්මක කරන්න ගියාමයි ප්‍රශ්නය.”

කෙසේ වෙතත් එතන සිටි චරිත හේරත්, උපුල් ගලප්පත්ති, උද්දික ප්‍රේමරත්න වැනි මන්ත්‍රීවරු පෙන්නුම් කළේ මේ රටේ අධ්‍යාපනය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදු වීම වැනි තත්ත්වයකට උසස් වීම හොඳ දෙයක් බඳු අදහසකි. එහෙත් දෙමළ මන්ත්‍රීවරු කීපදෙනෙක් විරෝධය පළ කළහ.

මේක වුණාට කමක් නෑ මීට අවුරුදු පනහකට කලින් නම්. අද ලෝක තත්ත්වයත් වෙනස්. චීනය, ජපානය, රුසියාව, ජර්මනිය වගේ රටවල් අද ඉංග්‍රීසි ගණන් ගන්නෑ. අපි විතරක් තාම ඉංග්‍රීසියට වන්දනාමාන කරනවා. ඕන කෙනෙක් ඕන විභාගයක් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තට කමක් නෑ. හැබැයි විභාග ඉංග්‍රීසියෙන් ලිවීම අනිවාර්ය කරන එක වැරදියි. මොකද මේ ලංකාවේ නඩු අහන්න ඔබට ඒ අදාළ නඩුවට සම්බන්ධ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන්. නැත්තං අර බැද්දේගම සිලිඳුගේ නඩු තීන්දුව වගේ වෙයි.” ගෙවිඳු තවදුරටත් තර්ක කළේය.

“ගෙවිඳු මතු කළේ වැදගත් තර්කයක්. ලංකාව වගේ බහුතරයක් දෙමළ සිංහල ජනතාව ඉන්න රටක මේ වගේ විභාග ඉංග්‍රීසියෙන් පමණයි කියලා තීන්දුවක් ගන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙන්න ඕන. එහෙම තියනවනම් අපටත් කියන්න..” උදය ගම්මන්පිල කීවේය.

“එහෙමනම් මට සිද්ද වෙනවා මේ යෝජනාවලියට අධිකරණ කාරක සභාව විරුද්ධයි කියලා නම් කරන්න.”

“ඔව් ඉතින් මෙතන බහුතරය විරුද්ධයි කියන්නෙම කාරක සභාව විරුද්ධයි තමයි..”

“එහෙම නම් මං මේක පාර්ලිමේන්තුවට දානවා. පාර්ලිමේන්තුවේ දී සම්මත වුණොත් කරන්න දෙයක් නෑ…” විජයදාස රාජපක්‍ෂ එසේ කීවේය. ඒ අයුරින් එදා එම කමිටුවේ වැඩකටයුතු අවසන් විය.

● නීති සාදයේ ගැයුණු රනිල් කැමති සින්දුව…

සඳුදා හවස කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී, ලංකාවේ සිටින ඉහළ පෙළේ සියලුම නීතිවේදීන් එක්රැස් වූ විශේෂ සාදයක් පැවැත්විණි. නීති ක්ෂේත්‍රයේ වසර 50ක් සම්පූර්ණ කරන ලද නීතිවේදීන් වෙනුවෙන් මෙම සාදය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයයි. අද සිය වසරක් නීති ක්ෂේත්‍රය කුඩා රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් වෙනුවෙන් සම්මාන උළෙලක් ද මෙහි සංවිධානය කර තිබිණි.

උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නම් කර තිබුණත් ජනාධිපතිවරයාගේ ඉල්ලීම වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රධාන ආරාධිතයා කරන ලෙසයි.

“මම මේ උත්සවයේ සම්මාන ලාභියෙක්.

අගවිනිසුරුතුමායි මමයි කොළඹ නීති පීඨයේත් නීති විද්‍යාලයේත් සමකාලීනයෝ. ඒක හින්දා එතුමා ප්‍රධාන අමුත්තා කරන එකයි සුදුසු…” ජනාධිපතිවරයා කල්තියාම යෝජනා කර තිබිණි. ඒ අනුව එම උත්සවයේදී ප්‍රධාන අමුත්තා වූ නීතිපති ජයන්ත ජයසූරිය අතින් රනිල් සිය සම්මානය ලබා ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු වන ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා ද ඒ හා සමගම සම්මානයක් ලබාගත් අනිත් දේශපාලනඥයා විය.

සම්මාන ප්‍රදානයෙන් පසුව රාත්‍රී භෝජන සංග්‍රහයේදී ජනාධිපති රනිල් සිය වෘත්තිය සගයන් අතරට ගියේය. රාත්‍රී භෝජන සංග්‍රහය සංගීතයෙන් හා නෙක ආහාරපානවලින් උණුසුම්ව තිබුණහ.

ජනාධිපතිවරයා මෙහිදී පැරණි මිතුරකු වූ පොප් ගායක සොහාන් වීරසිංහ අසලට ගොස් ඔහුට සුබපැතීය. ඔහුද නීති දිවියේ වසර 50 ඉක්මවූ ප්‍රවීණයෙකි. රනිල් ඔහුට ගීයක් ගයන්නට ද ආරාධනා කළේය. ආරාධනාව පිළිගත් සොහාන් විජය කුමාරතුංග කලකට පෙර ගැයූ “රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ’ ගීතය ගායනා කළේය. ජනාධිපති රනිල් ඇතුළු ප්‍රවීණ නීතිවේදීන් පිරිස මෙහි දී අත්පොළසන් තාල තබමින් අත්වැල් අල්ලනු දක්නට ලැබීම විශේෂත්වයක් විය.

ජනාධිපති රනිල් කොපමන වැඩ රාජකාරි ඔහුගේ කර මත තිබුණත් එදා මධ්‍යම රාත්‍රිය ඉක්ම යන තුරුත් තම වෘත්තිය හිත මිතුරන් සමග මෙම සාදයේ ඉතා සතුටින් කාලයගත කරමින් සිටියේය.

● ජනාධිපති තිදෙනෙක් එක් වුණු වේදිකාව…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය බ්‍රහස්පතින්දා හවස විශේෂ උත්සවයකට සහභාගි වන්නට බණ්ඩාරනායක අනුස්මරණ රඟහලට ගියේය. උත්සවය පැවැත්වුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධනට අවුරුදු හැත්තෑවක් සම්පූර්ණ වීම හේතුවෙන් ඔහුගේ සිනමා නිර්මාණ ඇතුළත් “සුබන්ඳු සිනමා වත” පුස්තකය එළිදැක්වීම වෙනුවෙන් හා ප්‍රඥා බඳු ශිෂ්‍යත්ව ප්‍රදානය නිමිත්තෙනි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු දේශපාලනඥයෝ විශාල පිරිසක් ඇරයුම් ලැබ සිටියහ. ජනාධිපතිවරයා නියමිත වේලාවට උත්සව සභාවට පැමිණියේ ඔහු වෙනුවෙන්ම වෙන්කර තිබූ වම්පස ප්‍රධාන දොරටුවෙනි. ඔහු පැමිණ තත්පර ගණනාවකට පසු පුළුල් හිනාවකින් මුව සරසාගෙන ඒ දොරින්ම බැසිල් රාජපක්ෂ ද පැමිණියේය…

උත්සව සභාව සුවිශේෂී දේශපාලනඥයන්ගෙන් කලාකරුවන්ගෙන් හා සිනමා නළු නිළියන්ගෙන් මෙන්ම මාධ්‍යවේදීන්ගෙන් පිරුණාවූ එකක් වූහ. බන්දුල ගුණවර්ධන එදා පටන් අද දක්වා කරන ලද චිත්‍රපටවල විශේෂ දර්ශන ඇතුළත් කෙටි චිත්‍රපටයක් මෙහිදී පෙන්වනු ලැබුවේ සුබන්දු සිනමා වත පුස්තකයට පූර්විකාවක් ලෙසය. ඒ චිත්‍රපටවල විශේෂ ගීත කීපයක් බන්දුලගේ ම පුත්‍රයා විසින් තවත් සහය ගායිකාවක් සමඟ ගායනා කරනු ලැබූහ.

පාසල් විෂය ක්ෂේත්‍රයට තොරතුරු තාක්ෂණ විෂය ඇතුළත් කළේ බන්දුල බැවින් තෝරාගත් සිසු දරු දැරියන් පිරිසකට මේ නිමිත්තෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක් ද තිබිණි.

ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන්ට වේදිකාවට ආරාධනා කෙරිණි. මහින්ද රාජපක්ෂ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ඉතා නිරෝගිමත්ව පැමිණ සිටියේය. ප්‍රසන්න සිනහවකින් මුව සරසාගෙන ඔහු වේදිකාවේ තනිවම ඇවිදිමින් ශිෂ්‍යත්ව ප්‍රදානයට ද දායක විය.

බන්දුලගේ සිනමාවට අධ්‍යක්ෂණයෙන් හා රංගන දායකත්වයෙන් එක්වූ කලාකරුවන් වෙනුවෙන් ද සුවිශේෂී සම්මාන ප්‍රදානයක් සිදු විය. අවුරුදු 92ක් වූ සිරිල් වික්‍රමගේ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සම්මාන ලබා කෙලින්ම ගියේ මහින්ද රාජපක්ෂ ළඟටය.

ධර්මසිරි බණ්ඩාරනායක සම්මාන ලබන්නට කැටුව එනු ලැබුවේ රඟමඬල නායකයයි. සමන් අතාවුද හෙට්ටි පඩිපෙළ ළඟට ගොස් අල්ලාගෙන වේදිකාවට නංවා ගනිද්දි ජනාධිපති රනිල් සම්මානය රැගෙන පෙරමගට ගියේය. කොහොමද ධර්මසිරි කියමින්… පිටට තට්ටුවක් දමා ආදරෙන් වැළඳ රනිල් සම්මානය ප්‍රදානය කරද්දි ධර්මසිරි ද සිය සුන්දර ලෙන්ගතු සිනහව පාමින් සතුට පළ කළේය.

බන්දුලගේ සිනමාව සම්මානනීයත්වයට පත් කිරීම නිමිත්තෙන් පරාක්‍රම නිරිඇල්ලයන්ටද සම්මානයක් හිමි විය. සහෝ වෙනුවෙන් ඇතුගලට ද සම්මානයකි.

සම්මාන ප්‍රදානයෙන් පසුව සියල්ලෝම සතුටින් සාකච්ඡා කරමින් සිටියහ. ගීතා කුමාරසිංහ ඇමැතිනිය බන්දුලට සුබපතන්නට ළඟට යන විට රනිල් ද එතැනය…

“බන්දුලගේ ඊළඟ චිත්‍රපටියේ ප්‍රධාන නිළිය හැටියට මෙයාවත් ගන්නකෝ… මෙයා තවම හොඳයි ඒ වැඩේට…” රනිල් තිදෙනාට ඇසෙන සේ පමණක් විහිළුවක් කරමින් හයියෙන් හිනා වුණේය…

මෙතුමිය මගේ වැඩවල කොච්චර ඉඳලා තියෙනවද…

“සිනමාව එපා කියලා ඇතිවෙලා දේශපාලනයට ආවා… දැන් සර් මට ආපහු සිනමාවට යන්න කියනවා. මිනිස්සු හමුවෙන්න ගමට ගියාමත් ගමේ අය අහනවා ඊළඟ චිත්‍රපටිය මොකක්ද කියලා…” ගීතා එසේ කියමින් හයියෙන් හිනා වුණා ය.

උත්සව සභාවේ ජනාධිපතිවරු තිදෙනෙක් හා අගමැතිවරයෙක් සිටීම ගැන මාධ්‍යවේදීන්ට විමතියකි…

“ජනාධිපතිවරුම තුන්දෙනෙක්…” එක් අයෙක් කීවේය.

“ඇයි…. අර ඉන්නෙ වෙන්ඩ ජනාධිපතිත් අනිත් පැත්තේ…” තවත් මාධ්‍යවේදියෙක් එසේ කීවේ තරුණ පෙනුමැති සුදු ලස්සන ප්‍රකට ව්‍යාපාරිකයකු පෙන්වමිනි….

මේ අයුරින් එම සුබන්දු වත සිනමා උත්සවය විසිතුරු බවින් හා රසවත් බවින් පිරුනාවූ එකක් විය.

● ඇමැති ප්‍රසන්නත් පැත්ත මාරු කරලා…

ඉකුත් මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස, කාර්යාලය හා සම්මන්ත්‍රණ ශාලාව
ගිනි තබා විනාශ කිරීමෙන් පසුව පැවති පළමු දේශපාලන රැස්වීම පසුගිය 12 වැනිදා උඩුගම්පළදී පැවැත්වුණේ අති විශාල පිරිසකගේ සහභාගිත්වයෙනි.

මේ සඳහා ඇමැති කංචන විජේසේකර හා හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ ද සහභාගි වූ අතර ඔවුන්ටද රැස්ව සිටි පිරිසගෙන් ඉහළ පිළිගැනීමක් ලැබුණි.

ඇමැති ප්‍රසන්න මේ රැස්වීම සඳහා පවිච්චි කළේ අමුතුම ආකාරයේ තේමා පාඨයකි. එය “ජනදුක නිවන තැන මෙතැන” නම් විය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගැන හෝ පොහොට්ටුව ලකුණ එහි නොවීය. පක්ෂයේ ඉහළ නායකයන්ගේ රූපද එහි තිබුණේ නැත. ජන හමුව ගැන සමාජ මාධ්‍ය මගින් යම් ප්‍රචාරයක් ලබාදුන්නා මිසක මග දෙපස කටවුට්, බැනර්, පොස්ටර්ද ප්‍රදර්ශනය නොවිණ. එබැවින් මෙම ජනහමුව පක්ෂයේ ඉහළ නායකයන්ට මෙන්ම අමාත්‍යවරයාගේ ආධාරකරුවන්ටද ප්‍රශ්නාර්ථයක්ම විය.

“ඇමැතිතුමා මේක මොකද්ද? අපිටවත් කියන්න බැරිද” ඇමැතිවරයාගේ ආධාරකරුවන් කිහිප විටකදීම විමසීය.

“12 වැනිදටම බලාගම්මු” ඇමැතිවරයා සිනාසෙමින් කීවා මිසක පැහැදිලි පිලිතුරක් දුන්නේ නැත.

මේ අතරවාරයේදී පොහොට්ටුවේ ඉහළ පෙළේ නායකයෝද ඇමැති ප්‍රසන්නගෙන් මේ ගැන විමසීය. ඒ අතර පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් මෙන්ම හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේද විය.

“මම කරන්නේ මේ වෙලාවේදි කරන්න ඕන දෙයක්. ඇවිල්ල බලන්න” ඇමැතිවරයා ඔවුන්ටද දුන්නේ අණ්ඩර දෙමළ පිලිතුරකි.

ඊනියා අරගලයේ නාමයෙන් නිවාස හා දේපළ ගිනි තබා විනාශ කළ සියලුම දෙනාට උපරිම දඬුවම් ලබාදීමට ක්‍රියා කරන බවත්, සිය පියා බෝධිසත්වයකු වුවද තමන්ගෙන් එවැන්නක් බලාපොරොත්තු නොවන්නැයිද ඇමැති ප්‍රසන්න මෙම ජනහමුවේදී ප්‍රසිද්ධියේම කීවේය.

එම ප්‍රකාශයට රැස්ව සිටි පිරිසගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණි. රැස්වීමෙන් අනතුරුව ඇමැති ප්‍රසන්න සිය ආධාරකරුවන් සමඟ සුහද පිළිසඳරක ද යෙදින.

“අපි හිතාගෙන හිටියට වඩා ඇමැතිතුමා හරි සැරයිනේ” රැස්වීමෙන් අනතුරුව කිහිප දෙනකුම ඇමැතිවරයාට කීවේය.

“මම හොඳට හොඳයි, නරකට අන්තිම නරකයි. මාව කොන්ට්‍රෝල් කරන් හිටියේ තාත්තා.” ඇමැතිවරයා ඔවුන්ට කීය.

“ඒ වුණාට ඇමැතිතුමා ඡන්දයක් කටඋඩ තියාගෙන මෙහෙම කතා කරන එක හොඳයිද?” ආධාරකරුවකු ඇසීය.

“ඒක වෙනම කතාවක්. අරගලයක් කියල ගෙවල් ගිනි තියන එක අන්තිම වැරදි වැඩක්. මගේ ගේ කමක් නෑ කියමු. ඒත් මට ඡන්දේ දීපු අයගේ ගෙවල් ගිනි තියන්නේ ඒ මිනිස්සු මොන වරදක් කළාටද?”

ඇමැති ප්‍රසන්න දැඩි ආවේගයෙන් යුතුව කීවේය.

“ඇත්තද ඇමැතිතුමා වෙන පක්ෂයකට යනව කියන්නෙ.” රැස්ව සිටි අයකු කතාව වෙනතකට හැරවිය.

“පිස්සුද? මේක අපි හදපු, අපි රැකපු පක්ෂය. මේ පක්ෂය හදන්න අපි කොයිතරම් දුක් වින්දද? මම එහෙම ට්‍රැක් මාරු කරන කෙනෙක් නෙවෙයි. ඔය කේලම්වලට අහුවෙන්න එපා.”

“රැස්වීම මරු” ඇමැති කංචන හා මහින්දානන්ද ඇමැති ප්‍රසන්නගේ පිටට තට්ටු කරමින් කීවේ තේ බොන අතරදීය.

“මේ වෙලාවේ අපි පක්ෂය හදාගෙන ඉදිරියට යන්න ඕන. මේක අපේ පක්ෂය.” ඇමැති ප්‍රසන්න කීවේ තිර හඬිනි.

මෙම ජන හමුවේදී ප්‍රදර්ශනය කළ වීඩියේ පට දෙකකටද ඇමැතිවරුන් දෙදෙනාගෙන් හා රැස්ව සිටි පිරිසගෙන් ඉහළ ප්‍රතිචාර හිමිවිය.

බුලිත ප්‍රදීප් කුමාර


advertistmentadvertistment