සල්ලි නැති අයට තියන අයගෙන් ලබාදෙන අපූරු ක්‍රමයක් පළමුවරට

ව්‍යවසායකයෙක් වීම අසීරුය. කෙනෙක් පහසුම දේ සිය වෘත්තීය ලෙස තෝරාගනිද්දී තවත් කෙනෙක් වෙනස් ආකාරයට චින්තනය මෙහෙය වන්නේ නම් නව්‍ය අදහස් සමාජයේ යථාර්ථයක් කරන්නට උත්සාහ ගන්නේ නම් එවැනි අභියෝගයන්ට මුහුණ දීමට සූදානම් වන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර එයද අතළොස්සකි. ව්‍යවසායකයකු වීමේ අභිලාශයෙන් අභියෝග හමුවේ නොසැලුන තරුණයෙක් පිළිබඳ කතාවකි මේ.

පලතුරක් ලෙස දෙළුම් ශාකය ඉතා වැදගත් ඖෂධීය ගුණවලින් සපිරි මිහිරි පලතුරකි. දෙළුම් ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍ය ආරක්ෂා කිරීමත් ව්‍යායාම ක්‍රියාකාරීත්වය සඳහා තෘප්තිමත්භාවයක් ඇති කිරීම මෙන්ම මොළේ ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනයට ඉවහල් වන බව පොත්පත්වල මෙන්ම පෝෂණ වෛද්‍ය මතයයි. විටමින් සී සහ ෆෝලේට් වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් සහිත වන අතර ප්‍රති ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියාත්මකය. විශේෂයෙන් වර්තමානයේ පිළිකා රෝගීන් සඳහා මෙම පලතුරට වැඩි ඉල්ලුමක් පවතී. මෙකී දෙළුම් පලතුරත් ඉහත කී ව්‍යවසායකයා වීමේ අසීරු කාර්යයත් එකට එක් කරමින් දෙළුම්පලය උපයෝගි කරගෙන නිෂ්පාදන රැසක් එළිදක්වන්නට තිස්සමහාරාමයේ කවුරුත් කතා බහ කරන දෙළුමා නොහොත් අසික පින්සර සමරසේකර සමග කළ කතාබහකින් මෙවර ‘දිවයින’ සැරසේ.

දෙබරවැව ප්‍රාථමිකයෙන් දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යත්ව සමත් වෙලා ඉසිපතන විද්‍යාලයට අපොස සාමාන්‍ය පෙළ හදාරමින් කොළඹ රාජකීය විද්‍යාලයේ උසස් පෙළ නිමාකරමින් සරසවි වරම පසෙක තබා වෙනත් දිශානතියකට යොමුවෙයි.

කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ කැඩෙට් ඔෆිසර් කෙනෙක් වීමට අපේක්ෂා කළ අසික පින්සර නම් වූ මෙකී තරුණයා නීතියට හිතයොමමින් ලන්ඩන් එල්.එල්.බී. එකක් රැකියාවක් ලෙස සංචාරක ක්ෂේත්‍රයේ කථිකාචාර්යවරයෙක් ලෙසින් දිවිය අරඹයි. මේ අයුරින් ජීවිතය හඹා යමින් වෙනස්ම ක්ෂේත්‍රයකට පිවිස ව්‍යවසායක සිහිනය සැබෑකර ගන්නට මංපෙත් සකසා ගනියි. සංචාරක ආයතනයක කොටස් ආයෝජනය කරමින් සිට එයද අතහැර පූර්ණ ව්‍යවසායකයකු ලෙස නැගෙන්නට කොවිඩ් සමය වෙස්වලාගත් ආශිර්වාදයක් කරගන්නට අසික පින්සරට හැකිවෙයි.

අභියෝගයට අභියෝග කරමින් වගා බිමට පිවිසෙයි

කොවිඩ් සමයේ 2020 දී වසරේ රැල්ලට යමින් වගා කිරීමට පිවිසෙන්නේ අක්කර දෙකහමාරක භූමියකින් ඇරඹි ව්‍යවසායක සිහිනය දැන් ඔහු සැබෑවක් කොට ඇත. ව්‍යවසායකයෙක් වෙන්න තිබුණු නොතිත් ආශාව නිසා සංචාරක ව්‍යාපාරයේ ආයෝජිත කොටස් විකුණා වගා සංග්‍රාමයට එක්වී ඇත.

අක්කර 2ක වගාබිමක ව්‍යාප්තිය

අක්කර දෙකකින් පටන් ගත් වගාව මේ වන විට අක්කර තුනහමාරක් වෙමින් අමතරව අක්කර 45 ක වගාකරුවන් රැසක් ඔහුගේ ව්‍යාපෘතියට එක්ව සිටිති. ලංකාව පුරා විසිරුණ ගොවීන්ගෙන් සිය නිෂ්පාදන පොදු ප්‍රවාහන සේවා ඔස්සේ ඔහුගේ කර්මාන්ත ශාලාවට ලැබෙන අතර හම්බන්තොට තිස්සමහාරාම කතරගම ප්‍රදේශවල ගොවීන් ඔහු වෙතම එම නිෂ්පාදන ලබා දෙති.

ඕනෑම ක්ෂේත්‍රයක ගැඹුර දකින්නට ඒ පිළිබඳ මනා පරිචයක් අවබෝධයක් දැනුම භාවිතයක් අවශ්‍ය වුවද ඔහු දරන්නේ වෙනස් මතයකි.

ඔහු පවසන පරිදි හැම දෙයක් පිළිබඳව බිඳෙන් බිඳ ඉගෙන ගනිමින් කටයුතු කළයුතු බවත්, යම් කිසි ක්ෂේත්‍රයකට පිවිසෙනවා නම් ඒ ගැන පරතෙරට ඉගෙනනීම අවශ්‍ය නොවන බව ඔහුගේ විශ්වාසයයි. එසේ වුවද ක්ෂේත්‍රයේ රැඳෙමින් නිරන්තර පර්යේෂණ කරමින් ඉදිරියට යායුතු බවත් ප්‍රායෝගික දැනුමක් ඉන් ලබා ගතහැකි බව ද කියයි.

දෙළුම්වලින් නිෂ්පාදන රැසක්

නිෂ්පාදන පහළොවක් සිදුකරමින් වෙළෙඳපොළ අත්පත් කරගෙන සිටියි. දෙළුම් යුෂ බෝතල් කිරීම, දෙළුම් නෙක්ටා නිෂ්පාදනයක් ලෙස සහ දෙළුම් ජෑම් එකක් එම නිෂ්පාදනයන් අතර වෙයි. රූපලාවන්‍යය නිෂ්පාදනයන් රැසක්. hair oil ඇතුළු රූසපුව සුරැකෙන නිෂ්පාදන රැසක් මේ අතර වෙයි. දෙළුම් ඇටවලින් කළ හැකි දේ පිළිබඳ පර්යේෂණය කරමින් ඉදිරි භාවිතයට සංරක්ෂණය කරනු ලබයි. දෙළුම්වල බැහැර කළ යුතු කිසිවක් නොවන බව ඔහු පවසයි.

නිෂ්පාදනයන් පිළිබඳ ආහාර සුරක්ෂිතතාව ගුණාත්මක භාවය සම්බන්ධයෙන් තහවුරු කිරීම් ගැන මෙසේ පවසයි.

ගුණ සපිරි දෙළුම් පලතුරෙන් රටට සල්ලි ගේන දෙළුමා
අසික පින්සර සමරසේකර

අපි ළඟ රසායන වේදියෙක් ඉන්නවා. එම විශ්ලේෂණයන් අනුව දැණුම උපයෝගි කරගන්නවා. ආහාර නිෂ්පාදන සම්බන්ධයෙන් නම් මම ඉගෙන ගත්තා. මම එම නිෂ්පාදන අත්හදා බැලීම් සිදුකළා. I.T.I.(Iindustrial Technological Institute) ලංකාවේ ආහාර සම්බන්ධ නිෂ්පාදනයක් කළාම මේ ආයතනය තමයි ඒ ගැන තත්ත්ව පරීක්ෂණයක් කරන්නේ. එම ආයතනය මගින් අපේ නිෂ්පාදනවලට ප්‍රමිති සහතිකයක් අරන් තියෙනවා.

2022 තමයි අනෙකුත් නිෂ්පාදන පටන් ගත්තේ දෙළුම් පොත්ත විජලනය කරලා පවුඩර් එකක් නිෂ්පාදනය කරනවා. ආයුර්වේදයේ මළ බද්ධය ගැස්ට්‍රයිටිස් සුව කරන්න ඇතුළු විවිධ දේවල්වලට මේවා යොදා ගන්නවා. ඇමෙරිකාව සහ යුරෝපා රටවල්වල පේෂල් පැක් එකක් විදියටත් මේවා භාවිතා කරනවා. ඉන්දියාවෙත් එහෙමයි. තේ එකක් සහ පේෂල් පැක් එකක් වෙන වෙනම යොදාගෙන සකස් කරනවා. දෙළුම් පොත්ත උපයෝගි කරගෙන රූපලාවන්‍ය සඳහා විවිධ දේ නිෂ්පාදනය කරනවා.”

නිෂ්පාදන ලොව ජය ගන්නට නම් දේශීය අවශ්‍යතාවයන් සපුරාලමින් ජාත්‍යන්තරයද අතික්‍රමණය කළ යුතුය. මේ පිළිබඳ ඔහු දරන්නේ මෙවන් අදහසකි.

“අපනයනය කිරීම සඳහා අවශ්‍යතාවයන් ටිකක් තියෙනවා අපිට සපුරාලිය යුතු. අපනයනයට පිවිසෙනවා නම් ඒ සඳහා විශාල නිෂ්පාදන ධාරිතාවයක් තිබිය යුතුයි. ලංකාව තුළ ලොකු දෙළුම් නිෂ්පාදනයක් නැහැ සහ ලොකු පිරිවැයක් යනවා. මේ දීර්ඝකාලීනව සංවර්ධනය කර ගත යුතු වැඩක්. දැනට අපි අපනයනයක් දොරකඩ ඉන්නවා කිව්වොත් නිවැරදියි. අපේ මේ සඳහා ෆැක්ටරියක් හැදුවා. නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් GMP ප්‍රමිති සහතිකය (good manufacturing practices) ලැබීමට නියමිතයි. යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්නවා මේ යටතේ. ආයතන තුනක් තියෙනවා. ගෝවිපළ ෆැක්ටරියක් සහ විකුණුම් ආයතනයක්. දහතුන් දෙනෙක් පමණ වැඩ කරනවා. අපනයනය ඔළුවේ තියාගෙන ක්‍රම ක්‍රමයෙන් දියුණු කරගෙන යනවා.”

ලංකාව තුළ දෙළුම් නිෂ්පාදනය හිඟ සහ වගාවට පෙළඹීමේ අඩු ප්‍රවණතාවක් දකින අතර වැඩි වශයෙන් දැකිය හැකි වන්නේ අවශ්‍යතාවය ආනයනික නිෂ්පාදන මත යැපීම බව කැපී පෙනෙයි.

ලංකාවේ දෙළුම් නිෂ්පාදනය කිරීම අමාරු වැඩක්. ලංකාව නිවර්තන කලාපීය රටක්. දෙළුම් වැවෙන්නේ කාන්තාර දේශගුණයක් සහිත ප්‍රදේශවල. වාතයේ ආර්ද්‍රතාවය අඩු මට්ටමක තියෙන්න ඕනෑ හොඳට හැදෙන්න. ලංකාවේ වාතයේ ආද්‍රතාවය වැඩියි. ලංකාවේ වියළි කලාපවලින් ලැබුණත් අනිකුත් රටවල වියළි කලාප එක්ක සංසන්දනයේදී අපේ රටේ පරිසරයේ ආද්‍රතාවය වැඩියි මේ පළාත්වල වුවත්. වන ඝනත්වය වැඩි නිසා අපේ පළිබෝධ තත්ත්වය වැඩියි. පළිබෝධ හානිය වැඩියි.

අපේ රටේ දෙළුම් රෝගීන් බහුලව ආහාරයට ගන්නවා. මේ වගාව තුළ රසායනික පොහොර භාවිතය සහ වස විසෙන් තොර නිෂ්පාදන ද ලෙසින් පරිභෝජනයට ලැබෙන්නේද යන්න විස්තර කළේ මෙලෙසිනි.

“වගාවේදී රසායනික පොහොර පලිබෝධනාශක දිලීර නාශක ගහන්නම වෙනවා. ඒවා නැතුව කරන්න අමාරුයි, බැහැ. නමුත් ආහාර සැකසීමේදී, බෝතල් කිරීමේදී කල්තබා ගැනීමට හෝ කෘතිම වර්ණක යෙදීම හෝ එවැනි දේවල් භාවිතා කරන්නේ නැහැ. වගාවට කාබනික පොහොර යොදනවා නමුත් සියයට සීයක් කාබනික වගාවක් කරන්න බැහැ. ආහාර සැකසීමේදී කිසිදු රසායනිකයක් වර්ණකයක් යෙදීම සිදුවන්නේ නැහැ. සැකසීමේදී කල්තබා ගැනීමේ ක්‍රමවේදයන් තුළ හැම නිෂ්පාදනයක්ම රසායනිකයන්ගෙන් තොරයි.

මේ සා විශාල කටයුත්තක් ඉටු කිරීමට ලොකු පිරිවැයක් අවශ්‍ය වන බව සැබෑවකි. යන්ත්‍රසූත්‍ර ගොඩනැඟිලි වැටුප් නඩත්තු වෙළෙඳපොළ ඇතුළු නිෂ්පාදන අලෙවිකරණ කාර්යයයේ සියලු පිරිවැය මීට ඇතුළත්ය. මෙම ප්‍රාග්ධනය සපයා ගැනීමට තමන් සතුව තිබූ වාහන විකුණමින් සහ පුද්ගලික ණය ලබා ගනිමින් වසර 4 ක කාලයකදී ණයෙන් නිදහස් වෙන්නට මූල්‍ය ශක්තිය තරකරමින් සිය නඩත්තුව සියතට ගන්නටත් හැකිවීම ඔහු ලැබූ ජයග්‍රහණයකි.

ගුණ සපිරි දෙළුම් පලතුරෙන් රටට සල්ලි ගේන දෙළුමා

යම් කෙනකුට සව ශක්තියෙන් නැඟිටීමට හිත ශක්තිමත් වුවද කිරීමේ හෝ අනුග්‍රාහයක් රාජ්‍යය හෝ පෞද්ගික මට්ටමින් ලැබේ නම් එය නිෂ්පාදන දිරිගැන්වීමට රුකුළකි.

“මේ වෙනකං කිසිම අනුග්‍රහයක් ලැබිලා නැහැ. GMP සහතිකය රජයේ වියදමින් අපිට ලබා දෙනවා කියන එක තමයි දැනට තියෙන්නේ. දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මෙම සහතිකය ලබාදීම සඳහා අවශ්‍ය බරපැන දැරීමේ කටයුතු සිදුකරමින් සිටිනවා.”

විශේෂයෙන් දෙළුම් සහ එම නිෂ්පාදන පිළිකා රෝගීන් සඳහා ලබා ගැනීමට විශේෂ උනන්දුවක් පවතින බව නොරහසකි. එමෙන්ම මෙම නිෂ්පාදන මිලෙන් අධික වීමත් සාමාන්‍ය ජනයාට මිලටගත නොහැකි තත්ත්වයක් මේ නිෂ්පාදන කෙරෙහි දැකිය හැකි වීමද කැපී පෙනෙයි. මිල තීරණය කෙරෙහි බලපා ඇති සාධක ගැන දරන්නේ මෙවන් අදහස්ය..

“නිෂ්පාදනයන්ට අවශ්‍ය දෙළුම් ප්‍රමාණවත් පරිදි අඛණ්ඩව ලැබෙන්නේ නැහැ. කාලයකට පමණයි දෙළුම් කඩන්න පුළුවන්. ජෑම් වගේ හදද්දි ලොකු ප්‍රමාණයක් අපතේ යනවා සහ අඹ අන්නාසිවලින් වගේ පලය ලබා ගන්න අමාරුයි. නිෂ්පාදන පිරිවැය වැඩියි. පිළිකා රෝගීන් සඳහා යෝග්‍ය දෙළුම් යුෂවලින් හදන මාතප්‍රාණ ගිය අවුරුද්දේ තිබුණ මිල 2500 ක් පමණ වෙනවා. ඒක වැඩියි කියලා තේරෙනවා. නමුත් ඒ බෝතලයක් ඇතුලේ දෙළුම් කිලෝ එකක සංශුද්ධ යුෂ තියෙනවා. වෙළෙඳපොළේ මිල ගත්තොත් රුපියල් 2500 කට වැඩි වෙනවා දෙළුම් කිලෝ එක අවාරයේ. මේ මිල අඩු කරන්න අපි සැලසුමක් හදලා තියෙනවා. මේ අවුරුද්දේ රුපියල් 250 කින් මිල අඩු කළා. මේ අවුරුද්දේ අපි දෙළුම් ඇට ගලවන්න මැෂින් එකක් හදාගත්තා. මේ නිසා මට සෑහෙන ශ්‍රම පිරිවැයක් ඉතුරු වෙනවා එනිසා හැකි වුණා මේ මිල අඩු කරන්න. කලින් මේ දේවල් සියලුම දේවල් ශ්‍රමයෙන් සිදු කළේ. එනිසා දැනට දෙන්න පුළුවන් එක්දහස් නවසීයකට.

තව අවුරුදු දෙකක් තුනක් යනකොට ලංකාවේ නිෂ්පාදනය තවදුරටත් වැඩිවෙයි. අපි වවාගෙන යනවා අලුත් වතු කරගෙන යනවා. ගොවීන්ට පැල ලබා දෙනවා. අස්වැන්න මිලදී ගන්නවා. මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. අස්වැන්න වැඩිවීමත් සමග වෙළෙඳපොළේ මිල අඩු කිරීමට හැකිවෙනවා. තව යන්ත්‍රයක් සැකසීමට තියෙනවා එය සකස් කර ගතහොත් තවත් රුපියල් 250 කින් පමණ මිල අඩු කිරීමට හැකි වෙනවා. මේක මගේ අවංක බලාපොරොත්තුවක් විශේෂයෙන් මේ මාත ප්‍රාණ ලබාගන්නේ පිළිකා රෝගීන්. ඒ අයට මේක පුළුවන් තරම් අඩු මිලකට දෙන්න තමයි මගේ අදහස. ආයතනයක් ලෙස අපි ලාභයක් ලබන්න ඕනෑ වියදම් පියවෙන්න ඕනෑ.

සල්ලි නැති අයට තියන අයගෙන් ලබාදෙන මොකක්ද මේ IPFU

විදෙස් රටවල බොහෝ ආපන ශාලාවල මේ ක්‍රමය අනුගමනය කරනු දැකිය හැකිය. එහිදී සිදු වන්නේ මිලදී ගත නොහැකි අයෙක් වෙනුවෙන් එම ආහාරපාන තවත් අයෙක් මිලදී ගැනීමයි. උදාහරණයක් ලෙස 2ක් ගොස් 5 දෙනෙක් වෙනුවෙන් ආහාරපාන වෙනුවෙන් ගෙවයි නම් වැඩිපුර ගෙවූ 3 ගේ රිසිටි පත් ආයතනයේ ප්‍රදර්ශනය කරනු ලබයි. මේ මිල ගෙවිය නොහැකි ඕනෑම අයකුට එම බිල්පත ලබාගෙන ඉදිරිපත් කිරීමෙන් එම ආහාරපාන ලබා ගැනීම මෙහිදී සිදුවේ.

“මහරගම පිළිකා රෝහල ආසන්නයේ අපේ ආයතනයක් තියෙනවා. එමගින් අපි විශේෂ වැඩක් ක්‍රියාත්මක කරනවා. ලංකාවේ පළවෙනි වතාවට මම තමයි ඒක හඳුන්වලා දුන්නේ. පිටරටවල තියෙනවා මිලට ගත නොහැකි අයෙක් වෙනුවෙන් ආහාර ලබාගතහැකි ක්‍රමවේදයක්. යම්කිසි කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් නැති කෙනකුට ගෙවනවා. ඒ වටිනාකමට අදාළව එම නිෂ්පාදනය නැති පුද්ගලයාට ලබාගත හැකියි. මම මේක අපේ ආයතනය හඳුන්වලා දුන්නා ඒකට නමක් දැම්මා අයි.පී.එෆ්.යූ. (I pay for you) කියලා. අපි මේක ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපේක්ෂා රෝහලේ ලෙඩ්ඩු ඇවිල්ලා එම බිල්පත දීලා එම නිෂ්පාදන අරගන්නවා.

කෘෂි නිෂ්පාදන ඉලක්ක පසුගාමී වීම කෙරෙහි බලපාන ප්‍රධානතම සාධකයකි. වනසතුන් මගින් වන බෝග හානිය. මේ සඳහා ගොවියා රාජ්‍ය මැදිහත්වීමක් අපේක්ෂා කරයි.

“දේශපාලනික පැත්තෙන් අපි මේ දේවල් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ගොවිතැනට හානි කරන වඳුරු සහ රිලා වසංගතය නිමා කරලා දෙන්න කියලා ඉල්ලනවා. එහෙම වුණානම් අපිට ග්‍රාමීය ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. හම්බන්තොට තිස්සමහාරාමය කතරගම පැත්තේ හැම ගෙදරම දෙළුම් ගස් දෙක තුනක් තියෙනවා. ඒත් ඒ එක ගෙදරකවත් එක ගෙඩියක් ගන්න හම්බවෙන්නෙ නෑ මේ රිලව් සහ වඳුරන් නිසා. මෙම ආර්ථිකය ගොඩට ගන්න බැරි මට්ටමක තියෙන්නෙ මේ තත්ත්වය නිසා. අපි කිව්වොත් දැන් ඔයාලා දෙළුම් වවන්න අපි මිලදී ගන්නවා කියලා, ඒ කිසි කෙනෙක් එහෙම කරන්නෙ නෑ රිලව් විනාශ කරන නිසා. මේ ගම්වදින සත්තු නියාමනයට වැඩපිළිවෙළක් රජය මගින් සිදු කළ යුතුයි.

නව අදහස් නව චින්තනය තුළින් නව යුගයකට එක්වන සිතිවිලි යථාර්ථයක් කරන්නට උත්සාහ කරන මෙවන් තරුණ පරපුරක් බිහිවන්නේ නම් නිෂ්පාදන ආර්ථියකට මං පෑදෙනු ඇත. මොවුන් දිරිමත් කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහකත්වය තුළින් කරනු ලබන දිරිගැන්වීම හෙට දිනයේ යහපත පිණිසම හේතුවේ.

සමන්තා ප්‍රින්සි ලාලනී


advertistmentadvertistment