ගුප්ත යුගයේ උත්කර්ෂණය වූ කලා සම්ප‍්‍රදායන්

386

ක‍්‍රි. ව. තුන්වන ශත වර්ෂයේ අවසාන කාලයෙහි මගධ සිංහාසනයට පත්වන රාජවංශය හඳුන්වන්නේ ගුප්ත රාජවංශය ලෙසිනි. මගධ සමීපවර්තී ප‍්‍රදේශයන්හි ගුප්ත අධිරාජ්‍ය පහළ විය. ක‍්‍රි. ව. 320 – 600 දක්වා සියවස් තුනකට ආසන්න කාලයක් ගුප්ත යුගයට අයත් වේ. ”භාරතීය කලා සම්ප‍්‍රදායන් අතර ස්වර්ණමය යුගය ගුප්ත යුගයයි.’’ ගුප්ත යුගයේද උත්කර්ෂවත් අවධිය ලෙස සැලකෙන්නේ ක‍්‍රි. ව. 350 සිට 467 දක්වා කාලයයි. මෙකල පිළිවෙළින් සමුද්‍රගුප්ත, රාමගුප්ත, ද්විතීය චන්ද්‍රගුප්ත, ප‍්‍රථම කුමාරගුප්ත හා ස්කන්ධගුප්ත යන රජවරු රාජ්‍ය කළහ. කාලයත් සමග ගුප්තයන් ඒකඡුත‍්‍ර අධිරාජ්‍යයක් පිහිටුවන ලදි. චීන ජාතික ෆාහියන් හිමිගේ වාර්තා අනුව ගුප්ත යුගයේ දේශපාලනය; පාලන තන්ත‍්‍රය මෙසේය. ”ප‍්‍රජාව සැපවත්ය. ව්‍යවහාර ලියා තැබීමක් හෝ පංචපංචායත්ද නොවීය. ජනතාව රජුගේ ඉඩම් දනිති. ඔහුට පලදාවෙන් කොටසක් දෙති. රජතුමා මරණීය දණ්ඩනය හා සහ ශාරීරික දූඬුවම් නොදෙයි…’’ ඉහත විවරණයන්ට අනුව පැහැදිලි වන්නේ එම අධිරාජ්‍යයම සැපයෙන් සාමයෙන් හා සම්පතින් පිරි පැවති බවයි.

මෙකල කිසිවෙකුත් කිසිවෙකුගේ ස්වාධීනත්වයට බාධා නොකළ අතරම රාජ්‍ය පාලනය; මධ්‍යම පාලනය, භුක්ති පාලනය, විෂය පාලනය හා ග‍්‍රාම පාලනය ලෙස කොටස් හතරකට බෙදා සිදු කරන ලදි. අධ්‍යාත්මිකව පමණක් නොව භෞතිකවද දියුණු මෙම යුගයේ ආර්ථිකයද සුවිශේෂි වේ. ”ගුප්ත කාලීන ජනතාව සම්පතින් පිරී සිටි අතර සැපයෙන් සිය ජීවිතය ගත කළහ. සමස්ත අධිරාජ්‍යයේම දුකට පත්වූවෙක් හෝ දිළින්දෙක් නොවීය.’’ ගුප්ත යුගයේ ජනතාවගේ ප‍්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මය වූ අතර ඊට අමතර ප‍්‍රධාන රැුකියාව වූයේ ව්‍යාපාර කටයුතුය. බටහිර හා පෙරදිග රටවල් සමගද ව්‍යාපාර කටයුතු සිදු කර ඇත. භාණ්ඩ ආනයනය හා පට, ලෝම, ලිනන් වැනි සියුම් වස්ත‍්‍ර සහ මැණික්, මුතු, දියමන්ති, ඇත්දත්, මොනරපිල් මෙන්ම සුවඳ ද්‍රව්‍යද අපනයනය කොට ඇත. ගුප්ත යුගයේ ආගමික තත්ත්වය සැලකීමේදී ගුප්තයන් ප‍්‍රධාන වශයෙන් අනුග‍්‍රහය දැක්වූයේ හින්දු ධර්මයටය. මෙකල වෛෂ්ණව ධර්මයද දියුණු විය. ජෛන හා බෞද්ධ ආගම්ද ප‍්‍රචාරය වූයේය.

බෞද්ධ ආගමේ වසුබන්ධු හා අසංග වැනි පඬිවරු බිහි විය. එමෙන්ම ජෛන හා බෞද්ධ මූර්තී මෙන්ම දේවාලද ගොඩනඟනු ලැබීය. ඒ අනුව ගුප්ත කාලයේ හින්දු, ජෛන හා බෞද්ධ යන ආගම් ත‍්‍රිත්වයේම පැතිරීමක් ඇති වූ බව පැහැදිලි වෙයි. තවදුරටත් පැහැදිලි වන්නේ ආගම් සම්බන්ධයෙන් සහනශීලි ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ බවයි. මෙම යුගයේ සමාජය සැලකීමේදී උග‍්‍ර වර්ණ භේදයක් නොවූ අතරම චතුර් වර්ණයටම අයත් පුද්ගලයෝ රාජ සභාවේ සාමාජිකයන් විය. ”බෞද්ධ හා ජෛන ධර්මයේ බලපෑම උඩ වර්ණව්‍යවස්ථාවට දැඩි විරුද්ධතා පැමිණියත් එය සදා පැවතින.ට් ගුප්ත කාලීන සමාජයේ බමුණන්ට විශේෂ ආදරයක් හා සම්මානයක් හිමි විය. දන්දීම යාග කිරීම හා විද්‍යාධ්‍යනය කළ යුතු ක්ෂත‍්‍රීයන්ටද සමාජයේ උසස් තැනක් හිමි විය. වෛශ්‍යයන් වෙළඳාම් කටයුතු කළ අතර ශුද්‍රයෝ උක්ත කුලයන්ට සේවය සපයන ලදි. ගුප්ත යුගයේ අධ්‍යාපනය සැලකීමේදී භාරතය ලෝකයේ සියලූ දේශවලට වඩා අධ්‍යාපනය අතින් උසස් විය. ශිෂ්‍යයාගේ අධ්‍යාපන භාරය දැරුවේ ගුරුවරයාය. මෙලොව හා පරලොව විෂය සම්බන්ධව අධ්‍යාපනය ලබා දෙන ලදි. එමෙන්ම ගුප්ත කාලයේ පැරණි ක‍්‍රමයට අනුව වේදාධ්‍යයනය කිරීමද දැකිය හැකිය. ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයටම අධ්‍යාපන අයිතිය හිමි විය. ”තත්කාලීන ස්ත‍්‍රී සමාජයේ අධ්‍යාපනය මනාව පැතිරි තිබිණ…’’ නාලන්දාව ප‍්‍රධාන අධ්‍යාපන කේන්ද්‍රය විය. ගුප්ත කාලයේ සංස්කෘතිය පිළිබඳ සැලකීමේදී සාහිත්‍ය කලා ආදියෙහි විශාල දියුණුවක් ඇති විය. සංස්කෘත සාහිත්‍යයේ පුනර්ජීවන යුගය ලෙස හඳුන්වන්නේ ගුප්ත යුගයයි. කාව්‍ය නාටක, දර්ශන ආදී නොයෙක් අලූත් විෂයන් ආරම්භ විය. කාලිදාස, වීරසේන හා වත්සභට්ටි වැනි සාහිත්‍යකරුවන් බිහි වූයේ මෙම යුගයේය. ගුප්ත අධිරාජ්‍යයෝ ආර්ය සභ්‍යත්වයෙන් අභිමානවත් වූහ. ආර්ය සංස්කෘතිය ආරක්ෂා කිරීම උදෙසා ව‍්‍රත දරන ලදි. එබැවින් ගුප්ත යුගයේදී ස්වදේශය, ස්වභාෂාව හා ස්වධර්මය ආරක්ෂා කිරීම ස්වභාවයෙන්ම සිදු විය. ඒ අනුව ගුප්තයෝ දේශපාලන, ආර්ථික, ආගමික, සමාජීය, සංස්කෘතික හා අධ්‍යාපන අංශ අතින් සුවිශේෂි වෙති.

”ස්වර්ගීය ආනන්දයේ ගැලූන මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරික මනෝභාවයන්ගේ ආකස්මික අභිව්‍යක්තියම කලාව’’ ලෙස හඳුන්වයි. විශාල සතුටක් හා අලංකාරයක් ප‍්‍රදානය කිරීම කලාවේ ප‍්‍රධානතම කාර්ය වේ. මෙකී කාර්ය ඉටු නොවන්නේ නම් එහි කලාවක් ඇත්තේ නැත. ස්ථිති හා ගතිශීලි යනුවෙන් කලාව දෙයාකාර වේ. ස්ථිති කලාව ක‍්‍රම හා ඖචිත්‍ය කෙරෙහි විශාල සැලකිල්ලක් දක්වන අතර වාස්තු කලා හා භාව ප‍්‍රකාශ කිරීම වැඩි වශයෙන් දක්නට ලැබෙන ගතිශීලි කලාවට කාව්‍ය කලාව හා සංගීතය අයත් වේ. කෙසේ නමුත් කලාව මනුෂ්‍යයන්ගේ අභ්‍යන්තරික මනෝභාව හැඟවීමටද සමත් වේ.

භාරතීය සංස්කෘතිය විකාශනය ඉතාම උසස් තත්ත්වයට පත් වූයේ ගුප්ත යුගයේදීය. ගුප්ත කලා විද්‍යාඥයන් සිය අද්විතීය කෞශල්‍යයෙන් අලූත් යුගයක් අරඹන ලදි. චීන ජාතික හ්‍යුංසාංගේ වාර්තාවට අනුව ”ගුප්තයන්ගේ පාලන කාලයේදී පංච විද්‍යා සමගම ශිල්ප ශාස්ත‍්‍ර ගැනද අධ්‍යාපනය ලබා දුන් බව පෙනේ.’’ ගුප්ත යුගයේ පූර්ව යුගයේ ශිල්ප විෂය වූයේ බුදුන්ගේ ජීවිතය සම්බන්ධ සිදුවීම්ය. ඉන් පසු හින්දු ප‍්‍රතිමා නිර්මාණයද ආරම්භ විය. ගුප්ත කාලීන කලාවේ පෞරාණික හා ඓතිහාසික විෂයද ප‍්‍රිය අංග බවට පත් විය. මේ යුගයේදී අතිශයින් සුන්දර ප‍්‍රතිමා නිර්මාණය ආරම්භ විය. හින්දු ධර්මය පුනර්ජීවනය ලැබුවද බෞද්ධ මූර්ති තැනීම අභාවයට නොගිය අතර බුදුන්ගේ හා බෝධිසත්වවරුන්ගේ භාවයුක්ත ප‍්‍රතිමා වැඩි වශයෙන් නිර්මාණය විය. ශාන්ත බව පෙනෙන ගුප්ත කාලීන බෞද්ධ මූර්තිවල නොයෙක් මුද්‍රා මගින් එය ප‍්‍රකාශ වේ. හින්දු ධර්මයේ මුක්තිය, පරම ධෛර්ය හා තපස ලැබිය හැක්කේ යෝග මගිනි. මෙම අදහස් තත්කාලීන මූර්තිවල සම්පූර්ණ වශයෙන් ඇතුළත් කර තිබේ. මාධූර්ය හා ඕජස් බව මෙන්ම සජීවත්වය ගුප්ත කාලීන මූර්තිවල බොහෝ සෙයින් දක්නට ලැබේ. ආචාර්ය කුමාරස්වාමිගේ අදහස නම් මෙම මූර්ති කලාවේ උපත මථුරා කලාවෙන් වූ බවයි. මථුරාවෙහි

ගන්ධාර කලාවේ ඇතැම් බලපෑම් දක්නට ලැබුණද ගුප්ත කාලයේදී කලාව තුළ එබඳු තත්ත්වයක් දක්නට නොමැත. එහෙත් සාරනාථ බුද්ධ ප‍්‍රතිමාව ගුප්ත යුගයේදී මථුරා කලාව වෙනස් වෙමින් පැවත බව පෙන්නුම් කරයි. එනම් එහි මථුරා හා ගුප්ත ලක්ෂණ මිශ‍්‍ර වී පවතී. මෙම පරිවර්තන යුගයෙන් පසු ගුප්ත ශිල්පීන් ගුප්ත ලක්ෂණවලින් යුත් අතිශයින් සුන්දර ප‍්‍රතිමා නිර්මාණය කරන ලදි. එනයින් භාරතයේ ඉතා වැදගත් ස්ථානයක් ගුප්ත කලාවට හිමි වේ.

ප‍්‍රාචීන භාරතීය කලාවේ ස්වභාවික චිත‍්‍රණ, චාම්කම හා අදහස් ගලායාම ප‍්‍රධාන වශයෙන් දක්නට ලැබෙන බව සර් ජෝන් මාර්ෂල් පෙන්වා දෙයි. එහෙත් මේ තත්ත්වය අබිබවා ගුප්ත කලාව වැඩි වශයෙන් සුන්දරත්වයක් හා අලංකාරයක් පෙන්නුම් කරන ලදි. කෙසේ නමුත් ගුප්ත යුගයේ වාස්තු කලා, තාක්ෂණ කලා, මැටි මූර්ති, චිත‍්‍ර කලා, සංගීත හා අභිනය යනුවෙන් ලලිත කලා ප‍්‍රභේද කිහිපයක් කැපී පෙනේ. පුරාවිද්‍යා සාධක අනුව රාජ ප‍්‍රසාද, ස්තම්භ, ස්තූප, විහාර, ගුහා සහ මන්දිර යනාදිය ගුප්ත කාලීන වාස්තු නිර්මාණවලට නිදර්ශන වේ.

බොහෝ විට රාජකීය ප‍්‍රසාද තට්ටු කිහිපයකින් විශාල කාමර සහිතව මැටි මත රඳා පවතින වහලයකින් නිමවා ඇත. මැටි ඉතාමත් සුන්දර හා විවිධාකාරයෙන් අලංකාර කොට තිබේ. මානසාරයේ, වත්සභට්ටිගේ මන්දසාර ප‍්‍රශස්තියෙහි හා කාලිදාසගේ උජ්ජයිනි වර්ණනාවේද ප‍්‍රසාද ගැන පැහැදිලි වර්ණනා සිදු කර ඇත. මෙම යුගයේ ස්තම්භ ගලින්ම නිමවා ඇත. කීර්ති, ධ්වජ, ස්මාරක හා සීමා ස්තම්භ ලෙස ස්තම්භ ආකාර කිහිපයකි. ඒවාහි ප‍්‍රධාන කොටස, ගල්කුම්භ, ඵලකා හා බෝධික යනුවෙන් කොටස් හතරකි. සාරනාථයේ ගුප්ත කාලීන විහාරවල මෙබඳු අලංකාර ස්තම්භ දැකිය හැකිය. ස්තූප තැනීමේ ආරම්භය මෘත ශරීර භූමදානයෙන් පසු ඒ මත පස් ගොඩැලි සෑදීම හා ඒවා ජනතාවගේ බුහුමන්වලට ලක්වීමයි. සාරනාථයේ ධමේබ් ස්තූපය ගුප්ත කාලයට අයත් ස්තූපයක් ලෙස සැලකේ. යම් ආරාමයක භික්ෂුහු වසත්ද එය විහාර ලෙස සලකන අතර බොහෝ විට සෑම විහාරයක් සමගම ස්තූපයක්ද වේ. ගුප්ත කාලීන සාරනාථ හා නාලන්දාවෙහි විහාර නටබුන් ලැබී ඇත. මෙම ගෘහ නිර්මාණයන්ට අමතරව ගුප්ත යුගයේ ගුහා නිර්මාණයද දියුණුව තිබී ඇත. අජන්තා හා ග්වාලියර්හි බාඝනම් ගුහා ඊට නිදසුන් වේ. මේවායේ ඉතාමත් සෞන්දර්යාත්මත සිතුවම් දක්නට ලැබේ. තවද මෙම යුගයේ දේවාල තැනීමද වර්ධන වී ඇත. පූර්ව ගුප්ත කාලයේ දේවාල හා පශ්චාත් ගුප්ත කාලයේ දේවාල ලෙස වාස්තු කලාවට අනුව ගුප්ත කාලීන දේවාල බෙදා දැක්වේ.

භාරතීය තාක්ෂණ කලාවේ නව යුගයක ආරම්භය ලෙස ගුප්ත තාක්ෂණ කලාව සැලකේ. ප‍්‍රතිමා, මූර්ති හා කැටයම් ඊට අයත් වේ. රූප හා භාව ප‍්‍රධාන තාක්ෂණ කලාවේදී ගම්භීරත්වය හා චමත්කාරයද දැකගත හැකිය. තවද තාක්ෂණ කලාව විමසීමේදී තත්කාලීන කේන්ද්‍රස්ථාන හා ජෛන, බ‍්‍රාහ්මණ මූර්තිද විශේෂ වේ. මථුරා, සාරනාථ හා පාටලී පුත‍්‍ර යනුවෙන් ගුප්ත තාක්ෂණ කලාවේ කේන්ද්‍රස්ථාන තුනක් තිබී ඇත. නමුත් සාරනාථය ගුප්ත තාක්ෂණ කලාවේ වැදගත්ම ස්ථානයයි. එහි බ‍්‍රාහ්මණ හා බෞද්ධ ප‍්‍රතිමා විශාල සංඛ්‍යාවක් තනනු ලැබීය. පාටලී පුත‍්‍රය ලෝහ ප‍්‍රතිමා සම්බන්ධයෙන් වඩා වැදගත් තැනක් උසුලයි. කේන්ද්‍රස්ථාන ත‍්‍රිත්වයේම ගුප්ත ලක්ෂණවලින් ආඪ්‍ය බෞද්ධ ප‍්‍රතිමා දැකිය හැකිය. එමෙන්ම විෂ්ණු හා දස අවතාරයන්ගේ මූර්තිද දැක ගත හැකිය. ඒ අතර ශිව දුර්ගා ප‍්‍රතිමාද දැකගත හැකිය. ගුප්ත යුගයේදී බෞද්ධ ප‍්‍ර‍්‍රතිමාවල දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයකි. එම ප‍්‍රතිමාවන්ගේ වස්ත‍්‍රවල විනිවිද පෙනෙන ගතිය දක්වා ඇත. අංතරවාසකය තුනටියෙන් වැටී ඇත. සංඝටිය දෙවුර වසමින් විලූඹ තෙක් වැටී ඇත. දක්ෂිණාවර්තකුටිල කේශ හා උෂ්ණීෂය දැකිය හැකිය. ”ගුප්ත කාලයේම මේ අයුරින් කෙස් හා උෂ්ණීෂය මූර්ති කලාවට ඇතුළත් වූ බැවු උගතුන්ගේ මතයයි.’’ මූර්ති නිර්මාණයට විවිධ වර්ගයේ ගල් භාවිත කිරීමද විශේෂ ලක්ෂණයකි. ගුප්ත යුගයේදී චුනාරයේ සුදු වැලිගල් උපයෝගී කර ගෙන තිබේ. ධ්‍යාන, භූමස්පර්ශ, අභය, වරද හා ධර්මචක‍්‍ර යනාදී මුද්‍රා යොදා ගත් හිටි පිළිම හෝ වැඩ සිටින පිළිම ගුප්ත යුගයේ බෞද්ධ ප‍්‍රතිමාවල දැකිය හැකිය. අමිතාහ, අක්ෂොව්‍ය, රත්නසම්භව, අමෝඝසිද්ධි හා වෛරෝචන යන බෝධිසත්ව ප‍්‍රතිමාද මේ අතර වේ. හිටි පිළිම අතර අවලෝකිතේශ්වර හා මෛත්‍රෙය බෝසතුන්ගේ ප‍්‍රතිමාද වේ. වැඩහුන් පිළිම බොහොමයක් පද්මපාණී බෝසතුන්ගේ වේ. ගුප්ත කාලයේ හින්දු හා බෞද්ධ ප‍්‍රතිමා හැර ජෛන ප‍්‍රතිමාද නිර්මාණය වී ඇත. ”කුමාරගුප්තගේ කාලයේ නිර්මිත 24 වන තීර්ත්ථංකර වර්ධමාන මහාවීරගේ මූර්තියක් ලැබී තිබේ.’’ ස්කන්ධගුප්තගේ කාලයේද කරභෞම් නම් ස්ථානයේ තීර්ථංකරගේ මූර්තියක් පිහිටුවා ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ නිගණ්ඪ රූප හා පාශ්ව නාථ රූප බුද්ධ ප‍්‍රතිමා සේම සුන්දරත්වයෙන් නිර්මාණය කර ඇති බවයි.

මැටි හා මූර්ති කලාවටද ගුප්ත කාලයේදී ලැබෙන්නේ විශේෂ ස්ථානයකි. මැටි මූර්ති තැනීම විශේෂයෙන් පැවතුනි. ඒවා ඉතා අලංකාර ලෙස නිමවා ඇත. බුදුන්ගේ මැටි මූර්ති, දේව ප‍්‍රතිමා, මනුෂ්‍ය ප‍්‍රතිමා සත්ව ප‍්‍රතිමා හා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ භාවිත කරන විසිතුරු භාණ්ඩ කැටයම් සහිතව නිර්මාණය කළ ආකාරයක් මෙම යුගයේදී දැකිය හැකිය. චිත‍්‍ර කලාවද ගුප්ත යුගයේ දියුණුව පැවති කලාවකි. සතුට හා විනෝදය ලබා ගැනීම චිත‍්‍ර නිර්මාණයේ මුඛ්‍ය අරමුණ විය. යම් වස්තුවක් සුන්දර නොවේ නම් එම වස්තුවට සුන්දරත්වයක් හා රමණීය තත්ත්වයක් ලබාදීම චිත‍්‍රවල උද්දේශනයයි. මහා කවි කාලිදාසයන්ද මේ බව පෙන්වාදී ඇත. ඒ ”යද්‍යත් සාධුන චිත්‍රෙ ස්‍යාත්ක‍්‍රියතෙ තත්තදන්‍යථා – තථාපි තස්‍යඃ ලාවණ්‍යඃ රෙබයා කිඤචිදන්වීතම්’’ යනුවෙනි. අජන්තා චිත‍්‍ර ගුප්ත කාලීන චිත‍්‍ර සඳහා කදිම නිදසුන් වේ. අජන්තාවේ ගල්ගුහා 29කි. එකම ගල කපා එහි කාමර හා මූර්ති තනා ඇත. බුදුන්ගේ චරිත කතා, බුදුන්ගේ ජීවිතය හා සම්බන්ධ වර්තමාන කතා ආදිය වස්තු විෂය වී ඇත. තත්කාලීන සමාජ තොරතුරු දැන ගැනීමටද මෙම සිතුවම් උපකාරි වේ. ”අජන්තා චිත‍්‍ර කලාව භාරතයේ සර්ව ශ්‍රේෂ්ඨ කලාවයි. චිත‍්‍රයන්ගේ සුන්දරත්වය අලෞකිකයි. ඒවා භාරතීය චිත‍්‍ර කලාවේ උත්කර්ෂවත් ඒවායි.’’ මෙම අවධියේ අනෙක් විශේෂම සිතුවම ක‍්‍රි. ව. 5 හා 6 වන සියවසේ නිර්මාණය වූ බාඝ සිතුවම්ය. භාව ප‍්‍රධාන සුන්දරත්වයෙන් අනූන මෙම චිත‍්‍ර මානව ජීවිතය නිරූපණය කරයි. ඉහත කී සියලූ කලා සේම මෙකල සංගීතය හා අභිනයද දියුණුව පැවතුනි. ගීත, වාද්‍ය හා නෘත්‍ය යනුවෙන් සංගීතයේ ප‍්‍රධාන කොටස් තුනක් පිළිබඳ වාත්ස්‍යායනද සඳහන් කර තිබේ. මෙම යුගයේ මෙම සියලූ අංග දියණු විය. ගුප්ත කාලීන ජනතාව නාට්‍ය බැලීමටද විශේෂ ලැදියාවක් දක්වන ලදි. ශාකුන්තලය වැනි නාට්‍ය බිහි වූයේ මෙම අවධියේදීය. ඒ අනුව සංගීතය හා අභිනය ගුප්ත යුගයේදී ප‍්‍රශස්ත මට්ටමක පැවත ඇත. මෙම සියලූ කරුණු අනුව පැහැදිලි වන්නේ ගුප්ත යුගයේදී වාස්තු කලා, තාක්ෂණ කලා, මැටි මූර්ති කලා, චිත‍්‍ර කලා, සංගීතය හා අභිනය යන සර්ව ක්ෂේත‍්‍ර කලාවන්ම උත්කර්ෂණය වී තිබූ බවයි.

ආශ්‍රේය ග‍්‍රන්ථ නාමාවලිය

දෙල්වල අංගීරස හිමි. භාරත ලංකා බෞද්ධ කලාශිල්ප. කොටදෙණියාව: ආශිර්වාද මුද්‍රණ ශිල්පියෝ හා ප‍්‍රකාශකයෝ, 2003.

සාලිය කුලරත්න. ලෝකයේ පැරණි සංස්කෘතික සංකේත හා ආසියානු බෞද්ධ ස්මාරක. මහනුවර

ඒ. එල්. බෂාම්. අසිරිමත් ඉන්දියාව. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන අංශය, 1962.

John Stevens. Lust for Enlightement. Bostan & London: Shambhala, 1999.

ඉවන්තා සඳුනි ජයසේන
සිංහල අධ්‍යයන අංශය
පේරාදෙණි විශ්වවිද්‍යාලය
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment