ගුරු මව්වරුනි පියවරුනි ඔබටයි මේ ආචාරය

454

ඊයේ (06) යෙදී තිබූ ලෝක ගුරු දිනය නිමිත්තෙනි.

ජාත්‍රබුද්ධි: විකාසයති – ආචාර්යා (යමෙක් සිසුවාගේ බුද්ධිය ප්‍රසාරණය කර වන්නේ ද ඔහු ගුරුවරයා වේ.)

ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල්තැන ගන්නේ ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳා පැවැත්ම සඳහා වූ මග නොමග පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන බැවිනි. ගුරුවරයා යනු ප්‍රඥාවේ හා හදවතේ එකතුවකි.

ගුරු මව්වරුනි පියවරුනි ඔබටයි මේ ආචාරය

ලෝක කම්කරු සංවිධානය සහ යුනෙස්කෝ සංවිධානය එක්ව ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ 1994 වසරේ සිටයි. 1994 වසරේ සිට ඔක්තෝම්බර් 5 වැනිදා ලෝක ගුරු දිනය ලෙස ලොව පුරා රටවල් රැසක් සැමරුම් උත්සව සංවිධානය කරනු ලබයි. එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක් ඔක්තෝම්බර් 06 වන දින ලෝක ගුරු දිනය සමරයි. ඊට හේතුව නම් ගුරුවරුන්ගේ දිගුකාලීන අරගලයක ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සම්මත කරනු ලැබුවේ 1994 ඔක්තෝම්බර් 06 වෙනිදා වීමය.

ඉහළම වැටුප් ලබන ගුරු රැකියා ඇති රටවල් අතර ස්විට්සර්ලන්තය. ලක්සම්බර්ග් හා කැනඩාව වැනි රටවල් සුවිශේෂී වේ. මෙලෙස සංවර්ධිත රටවල් තුළ ගුරු වෘත්තිය සඳහා පිළිගැනීමක් සේම ඉහළ වේතනයක් හිමිවනුයේ ගුරුවරයාගේ වටිනාකම හා සමාජ මෙහෙවර එකී රට කරවන ඇත්තන් හා සමාජය අවබෝධ කරගත් හෙයිනි. එවන් පසුබිමක මෙකී රටවල් නිරතුරුවම දියුණුව කරා ගමන් කිරීම අරුමයට කරුණක් නොවේ. එසේ වුව ද ඇතැම් රටවල ගුරු වෘත්තියට අලුතෙන් එක්වන ප්‍රමාණය එන්න එන්නම අඩුවෙමින් පවතී. බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවේ රටවල්, මලාවි සහ මොසැම්බික් රාජ්‍යයේ මේ තත්ත්වය ඉතා භයානක ලෙස දක්නට ලැබෙන බව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දේ. යුනෙස්කෝ සංවිධානය පවසන්නේ අඩු වැටුප් ලැබීම නිසා ගුරු වෘත්තිය ආකර්ෂණීය

රැකියාවක් නොවීම හේතුවෙන් මේ තත්ත්වය උදාවී ඇති බවයි. මෙවන් වූ තත්ත්වයකට ලාංකීය සමාජය ද කෙමෙන් කෙමෙන් ගමන් කරන්නා වූ අතර මෙය ග්‍රාමීය වශයෙන් හිස ඔසවමින් පවතී. මෙහිදී වැඩිදුරටත් ග්‍රාමීය පාසල් තුළ ඇතැම් විෂය ධාරාවන් ඉගැන්වීම සඳහා ගුරුවරු නොමැති වීමෙන් මේ බව වැඩිදුරටත් පසක් වන්නා වූ අතර මෙලෙස ගුරු හිඟයක් ඇති වුවහොත් වර්තමානයේ පවතින්නාවූ සමාජ තත්ත්වය ද තවදුරටත් පරිහානියට ලක්වනු නිසැකයි.

ඇතැම් පාසල්වල පළමු වසරේ සිට අ.පො.සා.පෙළ දක්වා පන්ති පැවැත්වෙන පාසලේ විෂයන් හා ගුරු භූමිකාව සිනා උපදවන කාරණාවකි. ඉතිහාස ගුරුවරයා ගණිත ගුරුවරයා ද වේ. සිංහල ගුරුවරයාම ගණිතය ද උගන්වයි. මෙවැනි තත්ත්වයක් තුළ දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය කතා කිරීමෙන් ඵලක් නොවනු ඇත. මෙකී තත්ත්වය තුළ ගුරුවරුන් සැමවිටම උත්සාහ ගනුයේ පාසල් තුළ කොතෙකුත් පුරප්පාඩු පැවතිය ද තම දරුවන් කෙසේ හෝ ඉහළට ඔසවා තබමින් ඔවුන් උදෙසා ඉගැන්වීමට අවශ්‍ය සියලු විෂය ක්ෂේත්‍රයන් ඉගැන්වීමටයි. එකී උත්සාහයට අප එකහෙළා ගෞරව කළ යුතුය. නමුදු සිදුවිය යුත්තේ එක් එක් විෂය ක්ෂේත්‍රයන් ගැන්වීම සඳහා ඒ අදාළ විෂයන්ට ප්‍රවීණ ගුරුවරුන් යොදා ගැනීමය. ඒ සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය කඩිනමින් මීට යොමු විය යුතු අතර ගුරු පුරප්පාඩු පිරවීම සඳහා අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ද දියත් කළ යුතුව ඇත.

අද්‍යතන සමාජය තුළ ඇතැම් ගුරුවරුන්ගේ විනය පිරිහුනු අවස්ථා ද අපට අසන්නට දකින්නට ලැබුණි. එනම් සිසු දැරියෝ අපයෝජනයට ලක් කිරීම, නොසලකා හැරීම, විශේෂයෙන්ම පාසල් වේලාවන්ගෙන්

පසුව පැවැත්වෙන උපකාරක පංති සඳහා සහභාගි නොවන සිසුන් වෙත බලපෑම් කිරීමද ප්‍රබලව සිදුවන්නකි. මෙවන් සිදුවීම් හේතුවෙන් වර්තමානය තුළ ගුරුවරයා කෙරෙහි පවතින විශ්වාසය ඇතැම් ගුරුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් බිඳ වැටී ඇත. ගුරු ගෞරවයද පරිහානියට පත්වෙමින් පවතී. මෙවැනි පුවත් දුටු විට ඕනෑම අයකුට ‘මුන් ගුරුවරු දැයි’ සිතෙන්නට ඇතිවාට සැක නැත. එහෙයින් මෙවැන්න වුන්ට නිසි දඬුවම් දී සේවයෙන් නෙරපා හැරීම සිදු කළ යුතුය.

“ගුරුවරුන් යනු ළමයකුගේ දෙවැනි දෙමාපියන් ය” යනු අප සමාජයේ සංකල්පගත වූ එක් ප්‍රසිද්ධ අදහසකි. අපට හමුවන ගුරුවරුන් බොහෝ දෙනෙක් සිටින නමුත් අපේ ආත්මය ස්පර්ශ කරන අය ස්වල්ප දෙනෙක් වෙති. ගුරුවරයෙකුගේ විශේෂ අවධානය ඉගැන්වීම් කාර්යය කෙරෙහි යොමුවී පැවැතිය ද වර්තමානයේ දී එය පුද්ගල සංවර්ධනය, ශිෂ්‍ය ඉගෙනුම් අත්දැකීම් පුළුල් පරාසයකට යොමු කිරීම හා සමාජ සංවර්ධනය වැනි ක්ෂේත්‍ර ගණනාවක් සමඟ බැඳී පවතී. එහිදී විෂය කරුණු මගින් පමණක් ළමුන්ගේ මොළගෙඩි පිරවීම වෙනුවට මිල කළ නොහැකි වූ මිනිසත් බව හා ජීවන යථාර්ථය පිළිබඳ ළමුන්ගේ නැණ නුවණ පහදමින් ගුරුවරයා සිය භූමිකාව වඩාත් සාර්ථකව ඉටු කරනු ලබයි.

ගුරුභවතුන් විවිධ වූ දුෂ්කරතාවයන් මැද තම කාලය, ශ්‍රමය කැප කරමින් සුවහසක් වූ දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ගත්තා වූ වෑයම වත්මන් සමාජයේ බොහෝ කතා බහකට ලක් විය. දිනක ගුරුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර උගත් ඔබ සමාජයේ කොතෙකුත් ඉහළ ස්ථානයකට ගිය ද බොහෝවිට එදාටත් තම නැණ නුවණ පෑදූ ගුරුවරයා සුපුරුදු පරිදි පාසලට පිය නගනුයේ ඔබ මෙන් තවත් දරු පිරිසකගේ නුවණැස පැදීමටය.

අකුරට පැමිණෙන දූ දරුවන් සිප් සතර ලබා දෙන ගුරුන්ගේ කුසින් නූපන්න ද ගුරු භවතුන් තම ජීවිතය දියකර හරිනුයේ අනාගත දරු පරපුරේ සුභසිද්ධිය උදෙසාය. එහිදී ගුරුවරයා වූ කලී ගුත්තිලටත් මූසිලටත් සිප් සතර ලබාදීමට

පෙරැත්ත කළ අපූර්ව චරිතයකි. බොහෝ විට ඔවුන්ගේ පරම අභිප්‍රාය වූයේ මූසිල තුළ ගුත්තිලයන්ගේ චරිතාපදානය ගොඩනැගීමය. ඇතැම් ගුරු පිරිසක් ගුත්තිලයන් පරදා මූසිලයන්ගේ චරිතය තම ගෝලයන් තුළ ගොඩනැගීමට පරාර්ථකාමී වේ. එහිලා ඔවුන් නිහඬ නිසල වෘතයක යෙදෙමින් තමා තරුවක් නම් තම සිසුවා සූර්යයා මෙන් බබළනු දැකීමට ඇල්මක් දක්වන්නෝ වෙති.

අතීතයේ පාසලට පැමිණි දරුවන්ගේ දෙමාපියන් නිතරම පාහේ පැවැසූයේ, අනේ සර්! අනේ මිස්! අපේ එකාට ගහලා බැනලා උගන්නන්න යයි කියාය. නමුත් අතීතයේ පැවතියා වූ වේවැල් කෝටු නාරං සියඹලා අතු ගීතය මෑත කාලීනව ප්‍රායෝගිකව යොදා ගත නොහැකිව ඇත්තේ වර්තමානයේ සිටින දෙමාපියන් තම දරුවනට තරවටු කරනවාට එතරම් කැමැත්තක් නොදක්වන හෙයිනි. තරවටු කළ විගස මානව හිමිකම් යාමටත්, නීතියේ සහය පැතීමටත් ළමුන්ගේ ඇතැම් දෙමාපියන් පසුබට වන්නේ නැත. එවන් වූ පසුබිමක ගුරුන්ට දරුවකුගේ නොමනා වූ ක්‍රියාකාරකම් උදෙසා දඬුවම් කිරීමට ප්‍රථම දෙවරක් සිතීමට සිදුව ඇත. එහෙත් නිසියාකාරව කුසට කෑම වේලක් නොමැතිව ගලින් ගලට පැන දුෂ්කර මාර්ග ඔස්සේ පාසලට ළඟාවන අහිංසක දරුවාගේ මනස හඳුනාගෙන ඔවුන්ගේ ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යෑමට හැක්කේ ද ආදරණීය ගුරුවරයාටමය.

ගුරුවරුන් විඳින දුක් ගැහැට අනන්තය. එවන් පසුබිමක ගුරුවරුන්ට හිමි හිඟ වැටුප් නිසි කාලයට ලබා දෙන්නේ නම්, ගුරුවරයා තම රාජකාරිය කෙතරම් සතුටින් ඉටු කරාවිද? ගුරුවරුන් මුහුණදෙන මූල්‍ය අපහසුතාවලදී ඔවුන් සඳහා සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් එම ගැටලු නිරාකරණය කිරීමට ක්‍රමවේදයන් සකස් කරන්නේ නම් කෙතරම් ප්‍රශංසනීයද?

පසිඳු පෙරේරා
ජනසන්නිවේදන අධ්‍යයනාංශය,
කැලණිය විශ්වවිද්‍යාලය.

advertistmentadvertistment
advertistmentadvertistment