එළඹෙන සංචාරක සමයේ ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටව යන ගුවන් යානා සඳහා ගුවන් යානා ඉන්ධන බාධාවකින් තොරව ලබා දීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකසා ඇති බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
දෙසැම්බර් මාසයේ දී සංචාරකයින් හා මගීන් රැගත් ගුවන් යානා පැමිණීම වැඩි වන බව පුරෝකථනය කර ඇති බැවින් තවත් ඉන්ධන තොග ප්‍රමාණයක් ගෙන ඒම අත්‍යවශ්‍ය බව ඇමැතිවරයා මෙහිදී පෙන්වා කීවේය.
පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමත කර ගන්නා ලද සංශෝධිත ඛනිජතෙල් පනත අනුව ගුවන්යානා ඉන්ධන සහ ඛනිජතෙල් වෙළෙඳාම පෞද්ගලික අංශයට විවෘත කර ඇති බව පැවසූ ඇමැතිවරයා කොළඹ වරායේ පෞද්ගලික අංශයට තෙල් ගබඩා කිරීම සඳහා ආයෝජනය කිරීමේ පහසුකම් ලබා දීමේ ක්‍රියාවලිය වරාය අධිකාරිය විසින් දියත් කර ඇති බවත් ඒ සඳහා පැමිණෙන ආයෝජකයින්ට අවශ්‍ය අනුමැතිය හා පහසුකම් සලසාදීමට පියවර ගන්නා බවත් කීවේය.
ඇමැතිවරයා මේ බැව් පැවසුවේ අදාළ පාර්ශවයන් සමග ඊයේ (02 දා) අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවකදීය.
එහිදී අදහස් දක්වමින් ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් සඳහන් කළේ මේ වන විට ගුවන් යානා ඉන්ධන මෙටි්රක් ටොන් 5600ක් කටුනායක ගුවන් තොටුපළ ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇති බවත්, කොලොන්නාව පර්යන්තයේ මෙටි්රක් ටොන් 5575 ක් ඇති බවත්ය. ඒ අනුව ඉදිරි දින 17 ක් සඳහා ගුවන් යානා ඉන්ධන ශ්‍රී ලංකාවේ ඇති බවත් ඔවුහු පැවසූහ.
මෙයට අමතරව ගුවන්යානා ඉන්ධන මෙටි්රක් ටොන් 30000 ක් රැගත් නැවක් වරායට පැමිණි බවත් එම ඉන්ධන තොග ද ඊයේ සිට ගොඩ බෑමට කටයුතු කර ඇති බැවින් තවත් දින 65 කට පමණ ප්‍රමාණවත් ගුවන් යානා ඉන්ධන ලබා දිය හැකි බවත් එහිදී සඳහන් කෙරිණි.
උපාලි ද සේරම්