“මාස්ටර් කාඩ් අභියෝග කුසලාන” රග්බි පාපන්දු තරගාවලිය
ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක “මාස්ටර් කාඩ් අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජාන්තර ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ 09 වැනි සතියේ පළමු දිනය වූ සෙනසුරාදා (08දා) ජයග්‍රහණ සටහන් කර ගනිමින් කැපී පෙනෙන්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහ සී.එච්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.
මෙදින නාවික හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 45 ක පහසු ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට සී. එච්. ක්‍රීඩකයන් සමත් වන අතර වාරයේ දී යුද හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 08 ක තියුණු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණය සමගින් සමස්ත ලකුණු පුවරුවේ සිව් වැනි ස්ථානය තහවුරු කර ගැනීමට ගුවන් හමුදාව සමත් විය. මෙදින පැවති තරග ආශ්‍රිතව වැඩිම අවධානය ගුවන් හමුදා පිල සහ යුද හමුදා පිල අතර සටනට හිමිව තිබූ අතර එය ඒ ආකාරයෙන්ම තියුණු මුහුණුවරකට අනුවර්තනය වී තිබීම ද කැපී පෙණුනි.
සී.එච්. ලකුණු 69 – නාවික හමුදාව ලකුණු 24
පැරණි තුරඟ තරග පිටියේ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී නාවික හමුදාවට එරෙහිව ලකුණු 69 – 24 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සී.එච්. ක්‍රීඩකයන් සමත් වූහ.
තරගයේ ප්‍රථම භාගය නිම වන විට ලකුණු තත්ත්වය 29 – 17 කි.
සී. එච්. පිල ගෝල් දිනුම් 07 ක් සහ උත්සාහක දිනුම් 04 ක් මගින් ලකුණු පුවරුව ඉහළ නංවා ගන්නා අතර වාරයේ දී නාවික හමුදාවට ලබාගත හැකි වූයේ ගෝල් දිනුම් 03 ක් සහ එක් දඬුවම් පහරක් පමණි.
සී. එච්. ජයග්‍රහණය සනාථ කළ දිල්හාර රණසිංහ (02), නිරෝෂ් පෙරේරා (02), හර්ෂ මධුරංග (01), ජනිඳු ඩිල්ෂාන් (01), රවිඳු අංජුල (01), පසිඳු බණ්ඩාර (01), රොෂේන් කුමාර (01), මලික්ෂා පෙරේරා (01) සහ තනුජ මධුරංග (01) බැගින් උත්සාහක දිනුම් වාර්තා කළහ. එහි ප්‍රවර්තන 06 ක් ජනිත් චන්දිමාල් සාර්ථක කරගත් අතර එක් ප්‍රවර්තනයක් හර්ෂ මධුරංග ගේ පාදයෙන් සටහන් වුණි.
නාවික හමුදාව වෙනුවෙන් තිළිණ වීරසිංහ (01), අපූර්ව විජේසිංහ (01) සහ ඉසුරු පෙරේරා (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන ත්‍රිත්වය සමගින් එකම දඬුවම් පහර නිවැරදි එල්ලයට යොමු කිරීමට ද තිළිණ වීරසිංහට හැකියාව ලැබිණි.
ගුවන් හමුදාව ලකුණු 27 – යුද හමුදාව ලකුණු 19
පනාගොඩ දී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී සත්කාරක යුද හමුදාවට එරෙහිව ලකුණු 27 – 19 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගුවන් හමුදාව සමත් විය. පළමු භාගය නිම වන විට ලකුණු 15 -12 ක් ලෙස පෙරමුණ ගැනීමට ගුවන් හමුදා පිලට හැකියාව ලැබිණි.
ගුවන් හමුදාව ගෝල් දිනුම් 02, උත්සාහක දිනුම් 02 සහ දඬුවම් පහරක් ආශ්‍රිතව තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගත්හ අතර යුද හමුදාවේ ලකුණු එකතුව ගෝල් දිනුම් 02 ක් සහ එක් උත්සාහක දිනුමක් මගින් සටහන් විය.
ගුවන් හමුදාව වෙනුවෙන් ශාමික කෞෂාන් 02, නිර්මාල් වික්‍රමසිංහ (01) සහ දර්ශන දාබරේ (01) බැගින් උත්සාහක දිනුම් සටහන් කළ අතර එහි ප්‍රවර්තන ප්‍රමෝද් පත්මසංඛ (01) සහ ගයන්ත ඉද්දමල්ගොඩ (01) බැගින් සාර්ථක කර ගත්හ. සාර්ථක වූ එකම දඬුවම් පහර ප්‍රමෝද් පත්මසංඛගේ පාදයෙන් වාර්තා විය. යුද හමුදා පිල වෙනුවෙන් කැපී පෙණුනු බුද්ධි ශ්‍රීමන්ත (01), චාලික සඳරුවන් (01) සහ මනෝජ් කුමාර (01) බැගින් උත්සාහක දිනුම් ලබා ගැනීමට සමත් වූහ. එහි ප්‍රවර්තන 02 ක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් යොමු කිරීමට ඉසුරු මැදගෙදර ට හැකියාව ලැබිණි.
අනුරුද්ධ හේරත් බණ්ඩාර