ගුවන ජයගත් මුල්ම යාපනයේ තරුණිය

257

ගුවන ජයගත් යාපනයේ තරුණිය, මන්නාරමේ එවැන්ජලීන්ට යුද්ධයේ මතක ගොන්නක්ම තිබේ. ඇයට යාන්තමට වයස අවුරුදු දෙකහමාරක් තුනක් වන විට මන්නාරමේ තදාසන්න ප‍්‍රදේශවල යුද්ධයේ කුරිරු බව ඉතා තීව‍්‍ර වූවත්, බිය යන්න තේරුම් යෑමට තරම් එය වයසක් නොවීය.

 මහා වෙඩි හඬ, කාලතුවක්කු හඬ කන්බීරි වන තරමට ඔවුන්ගේ ජීවිතවලට සමීප වුවත් එවැන්ජලින්ට වැඩියෙන්ම ආසා හිතුණේ ඔවුන්ගේ නිවස උඩින් අතොරක් නොමැතිව ඉගිල්ලූණු ගුවන් යානාවලටය. වයසින් ඇය පුංචි වුවත් ගුවන් යානාවල හඬ ඇයට පුරුදුය. ඒ ඒ හඬට එන ගුවන් යානා වර්ග ද ඇයට මතකය. කෆීර් වර්ගයේ යානා ඉහළ අහස ගුගුරුවා ගෙන එන හඬ ඇසුණත් එවැන්ජලින් ඒවා දකින්නටත් පෙර ඉහළ අහසේ වලාකුළු අතර සැඟව ගියේ හඬ පමණක් ඇයට ඇසෙන්නට සලස්වමිනි. පහළින් ගමන් කරන හෙලිකොප්ටර් යානා පදවන නියමුවන්ට පෙනෙන්නට ඇය පුංචි දෑත් ඔසවා, ටටා දැම්මත් හෙලිකොප්ටරවල සිටි මාමලාගෙන් ඇයට කවදාවත් පෙරළා ටටාවක් නොලැබුණි.

 එවැන්ජලීන් මේ අවස්ථාවලදී ඉතා දුක්මුසුව කතා කළ බවත් තවත් වරෙක හැඬූ බවත් පැවසුවේ ඇගේ මව වන එස්. සිලම්මාය.

 ‘‘දුව පුංචි කාලෙම මේ ගුවන් යානාවලට ලොකූ ආසාවක් තිබුණා. ඒවා උඩින් යනකොටම එයා මිදුලට පැනලා කෑ ගහනවා. අත් උස්සනවා. අපි බයේ ඉන්නේ ඒවා එන්නේ කොහාට බෝම්බ දාන්නද කියලයි. ඒත් මෙයාට ඒවා ගාණක් නෑ. ගුවන් යානා දිහා බලාගෙන එක එක දේවල් කළා.

 එයා ඉස්කෝලේ යන්න පටන් ගත්තා. පන්තියේ ඉන්නකොටත් උඩින් අහසේ ගුවන් යානා යනකොට මෙයා පන්තියෙන් එළියට

 ගිහින් ඒවා බලලා සර්ලගෙන් ගුටිත් කාලා තියනවා. සමහරු මෙයාට ප්ලේන් ගර්ල් කියලත් කිව්වා. ඒ තරමටම මෙයා ගුවන් යානාවලට ආසයි. ඉස්කෝලේ ළමයි එක්කත් කියලා තියනවා මම කවදා හරි ඔහොම එකක් එලවගෙන් උඩින් යනවා. අපේ ගෙදර උඩිනුත් ඒකෙන් යනවා කියලා. ලොකු වුණු කාලෙත් මේ ගැන කතා කළා. ඒ පොත්පත් තමයි කියෙව්වේ. දහයේ පන්තියට වගේ එනකොට උඩින් යන ගුවන් යානයක් දැක්කම ඒකේ වර්ගය හදන රට වගේ එව්වා කියන්න එයාට පුළුවන් වුණා. මේ වෙනකොට එයාගේ ඒ හීනය හැබෑ වෙලා. ඒත් මම නම් ඉන්නේ පණ බයේ. මම කවදාවත් ගුවන් යානයක ගිහින් නෑ. මට හිතෙන්නෙම ඒක කොයි වෙලාවේ හරි කඩා ගෙන වැටෙයි කියලයි. ඒත් එයාගේ ආසාවනේ දැන් ඒක ගැන හිතලා සතුටු වෙනවා.” අපි මේ කතාව කියාගෙන යන එදා පුංචි එවැන්ජලීන්ට මේ වෙනකොට වයස අවුරුදු විසි තුනකට ආසන්න වී තිබේ. 1999 ඇය උපත ලබා ඇත්තේ මන්නාරමේ මාන්තෙයි බටහිර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වට්ටකන්ඩල් කාතන්කුලම්
 ගම්මානයේය.

jaffna2

මේ ගම්මානයේ බහුතරය ධීවරයෝය. කෘෂිකර්මාන්තයෙන්ද ඔවුන් යම් ආදායමක් ලබතත් මන්නාරමේ ජල ප‍්‍රශ්නය මත මේ පළාතේ ගොවීන්ගේ කුඹුරු හා අනෙකුත් වගාවන් නියඟයට හසුව මැරී යෑම සාමාන්‍ය දෙයකි. කුඩා කාලයේදී අපි භූගෝලය විෂයට මන්නාරම ශුෂ්ක කලාපයක් ලෙස අධ්‍යයනය කළත් මන්නාරමට ගොස් එහි පැය කීපයක් කාලය ගත කරන තුරුම මේ ශුෂ්කභාවය ගැන ප‍්‍රායෝගික අධ්‍යාපනයක් නොලැබෙන්නේය.

 එවැන්ජලීන් ඉපදුණු ගම්මානය වන කාත්තන්කුලම ගම්මානය අන්ත අසරණ දුප්පත් ගම්මානයකි. පළාත ද ඉතාම නොදියුණුය. මාර්ග පද්ධතිය අදටත් අබලන්ය. පරිසරයද කටුකය. කාත්තන්කුලම ගම්මානය වටාම දිස්වන්නේ මන්නාරමට ආවේණික වූ කටු සහිත පඳුරු විශේෂයකිනි. මේ ගස්වල උද්භිත විද්‍යා නාමය හෝ සාමාන්‍ය නම නොදන්නා නමුත් කෝප‍්‍රල් කටු ගස කී සැණින් මන්නාරමේ සෑම අයෙකුම ඒ ගස හඳුනන්නේය.යුද හමුදාවේ කෝප‍්‍රල් නිලයට අදාළ සංකේතය ඉංග‍්‍රීසි හෝඩියේ වී අකුරට :ඪ) සමානට. මන්නාරමේ කටු ගස්වල විශාල කටු ද සෑදී ඇත්තේ මේ හැඩයට නිසා 1980 දී පමණ මම මන්නාරමට යන විටත් ඒ අය මේ ගස් හා කටු හැඳින්වූයේ කෝප‍්‍රල් කටු වශයෙනි. එවැන්ජලීන්ගේ ගම්මානය පුරාම එක් පසෙකින් මේ කටු පඳුරුවලින් වට වෙද්දී එහි පොළොව ලූණු මිශ‍්‍ර වූ සුදු පැහැයක් ගනී. දවල් එකොළහෙන් පසුව මේ බිම්වල පය ගසා ඇවිදීමට නොහැකි තරමට රත් වී යයි. බීමට ජලය සපයා ගන්නේද ඉතාම අසීරුවෙනි.

 ලෝකය කොතරම් සංවර්ධනය වුවත් දියුණු වුවත් මන්නාරමේ මේ පළාත් දියුණු වී නොමැත. මේ අති දුෂ්කර ගම්මානයේ ජීවත් වී මන්නාරමේදීම අධ්‍යාපනය හැදෑරූ එවැන්ජලීන් මේ වන විට ගුවන් නියමුවරියක් වී සිටින්නේ යැයි කියන පුවත් වඩා වැදගත් වන්නේ ඇය ජීවත් වන ඒ පළාතත් සමගය.

 ඉගෙන ගැනීමට වඩා පහසුකම් සහිත පාසලක් පරිසරයක් අවශ්‍ය බව බොහෝ දෙනාගේ මතය හා විශ්වාසය වුවත් අපේ මේ කතා නායිකාවට ඒ කිසිවක් ලැබී නොමැත. ඉතාම කෙටියෙන් කිවහොත් ඇයට ජීවත් වීමට පවා හොඳ නිවසක් අදටත් නැත්තේය. ගමට විදුලිය ලැබී නැති කාලයේදී ඇය අධ්‍යාපන කටයුතු කරගෙන ගොස් ඇත්තේ කුප්පි ලාම්පු එළියෙනි. පාසලට ගොස් ඇත්තේ සුදු පාට දූවිලි වලාවකින් උදේට සැරසී නිවස අසලට එන ලංගම බස් රථයෙනි. මේ දුෂ්කරතා මැද පාසල් ගිය ඇය ඇගේ පවුලේ දෙමළ ක‍්‍රිස්තියානි ආභාෂය නිසාම මැනවින් ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබේ. ඒ ඔස්සේ ඇය අපොස උසස් පෙළ දක්වා මන්නාරමේ ශාන්ත සේවියර් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා පසුව කොළඹ ආසියානු ගුවන් සේවා මධ්‍යස්ථානයට ඇතුළු වී තිබේ. ඇයගේ ගුවන් නියමු සිහිනය සැබෑ වන්නේ මෙතැනදීය. මේ ගමන ඉතා සුළුපටු හෝ රෝස මල් මාවතක් ඔස්සේ පැමිණි ගමනක් නොවේ. අධිෂ්ඨානය උත්සාහය කැපවීම යන සියලූම ගුණාංග කැටි වීමෙන් හටගන්නා කුසලතාවය නිපුණතාවය අද ඇය තුළින් විද්‍යමාන වී තිබේ.

 සවස් කාලයට කටගොන්නක් බීගෙන පාරේ වැටී නිදියන පියවරුන්ටා වඩා එවැන්ජලින්ගේ පියා ආදර්ශවත් පියෙකි. ඔහු සියලූ සේසතම වියදම් කොට ඇත්තේ තම පුංචි දියණියගේ අනාගතය වෙනුවෙනි. ඉතා සුළු රැකියාවක් කළ එවැන්ජලීන්ගේ පියා වූ ෆැන්සිස් එමානුවෙල් තම දියණියගේ හපන්කම් ගැන පසුවන්නේ මහත් ප‍්‍රීතියකිනි.

 ‘‘දුවගේ ආසාව වුණේ ඕකම තමයි. ඉස්කෝලේ ඉවර වෙනවත් එක්කම පල්ලියේ ඉස්කෝලේ උගන්වන්න එන්න කියලා ෆාදර් කිව්වා. ෆාදර් ගෙදරටම ඇවිත් මේ ගැන වාර කීපයක්ම කතා කළා ඒත් එයා ගියේ නෑ. වැඩවලට උදව් උපකාර කළා.

 ගුවන් නියමුවරියක් වෙන්න ඕනේ කියලා ඉල්ලූම් පත්තර දාලා කොළඹ ගියා. එහෙදි පුහුණු වුණා. ලොකු වියදමක් ගියා. අපි ඒවා ඉතාම අමාරුවෙන් සපයලා දුන්නා.

 මම නම් සතුටු වෙනවා. ඒ සතුටට හේතුව එයා හරීම ලස්සනයි. හුරුබුහුටියි. මම බයේ උන්නේ මේ පරිසරයේ ඉන්න ඔය මොකෙක් හරි එකෙක් මගේ දුවව ඩැහැ ගනියි කියලා. මොකද මේ පරිසරයේ උගත්තු නෑ. බුද්ධිමත්තු නෑ. සල්ලි තියන අය හොඳ සමාජයක් තියන අය නෑ. ඉන්න ඔක්කොම අය එකම පන්තියක දුප්පත් අය විතරයි. එහෙම කෙනෙකුට මෙයා පෑහුණා නම් අනිවාර්යෙන්ම මෙයා දුක් විඳිනවා. දැන් මට විශ්වාසයි කවදාවත් එහෙම වෙන්නේ නෑ කියලා දුවට හොඳ අනාගතයක් තියෙයි.”

 ගුවන් නියමු එවැන්ජලීන්ට කතා කිරීමට ගත් සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වූයේ ඇය ඇගේ දුරකතනයට පිළිතුරු නොදීම නිසාය. අවස්ථා ගණනාවකදීම එය විසන්ධි කොට තිබුණේය. එවැන්ජලීන්ගේ මේ ජයග‍්‍රහණය තවත් වර්ණවත් වීමට බලපෑ හේතු කීපයක්ම වෙයි. උතුරේ ජීවත් වන දෙමළ ජාතික තරුණියක් පළමුවරට ගුවන් නියමුවරියක් වූවා නම් ඒ මේ එවැන්ජලීන්ය. මීට පෙර දෙමළ තරුණියන් ගුවන් නියමුවරියන් බවට පත්ව සිටියි. නමුත් ඔවුන් ඒ ගමන ගියේ ඔවුන් විදේශ රටවල ජීවත් වන අතරවාරයේය.

advertistmentadvertistment