ගෘහ සේවයට ගිය කත ලක්‍ෂ 23ක විදෙස් දුම්වැටි සමග මාට්ටු

91

රුපියල් ලක්ෂ විසිතුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගී කාන්තාවක් පෙරේදා (20 දා) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරත වූ කාන්තාවකි.

ඇය පෙරේදා අලුයම 03.15ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය සඟවා ගෙන සිටියදී, විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,000ක් ඇතුළත් දුම්වැටි කාටුන් 115ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

එළැඹෙන 24 දා මෙසේ නීති විරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයෙහි තබා ගැනීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment