ගෙදර කුලී ආදායමටත් බදු ගෙවන්න වෙයි ද?

320

රට මුහුණ දී සිටි ආර්ථික හා විනිමය අර්බුදයෙන් මිදීම සඳහා රජය අයිඑම්එෆ් එකඟතා අනුව කටයුතු කිරීම නිසා මේ වන විට සාමාන්‍ය ජනයාට අධික බදු බරක් දැරීමට සිදුව ඇත. එසේම තම ආදායම් මට්ටම්වලට සාපේක්ෂව අධික බඩු මිලකට ද මුහුණදීමට ජනයාට සිදුව ඇත. ජනයා ජීවත්වීමට අපහසු බවට මැසිවිලි නඟන්නේ මේ නිසාය. මේ නිසාම දැනට රටේ පවතින බදු සංයුතිය අනුව නම් වැඩි බදු බරක් දැරීමට සිදුව ඇත්තේ සාමාන්‍ය ජනතාවටයි. එය බොරුවක් නොවේ. මෙයට හේතුව රජය විසින් විශාල වශයෙන් වක්‍ර බදු අය කරමින් සිටීමයි. එනම් රටේ ජනයා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම හරහා වක්‍ර වශයෙන් විශාල බදු මුදලක් රජයට ගෙවමින් සිටීමයි. දැනට අප දන්නා පරිදි මුළු බදු ආදායමෙන් සියයට 80 ක් පමණම අය වන්නේ වක්‍ර බදුවලිනි. එනම් වැට් වැනි භාණ්ඩ හා සේවා මත පනවන බදුවලින් රජය වැඩි බදු ආදායමක් අය කර ගන්නා විට අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා පීඩාවට පත්වන බව අමුතුවෙන් කිව යුතු නැත. එවිට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී කිසිදු ආදායම් මට්ටම්වල වෙනසකින් තොරව සියලු දෙනාම සමාන බද්දකට යටත් වන අතර තම ආදායමට සාපේක්ෂව සාමාන්‍ය ජනයා වැඩි බදු බරකට යටත් වීම ද සිදුවේ, එහෙත් ආදායම් බදු, දේපළ මත බදු වැනි සෘජු බදු මගින් රජය වැඩි බදු ආදායමක් අය කරගන්නේ නම් සාමාන්‍ය ජනයාගේ බදු බර අඩු කිරීමට රජයට හැකියාව ලැබේ. දැනට මුළු බදු ආදායමෙන් සෘජු බදුවලින් අය වන්නේ සියයට 20 ක් වැනි සාපේක්ෂව අඩු ප්‍රතිශතයකි. මේ නිසා සාමාන්‍ය ජනයාගේ බදු බර අඩු කිරීමට නම් අනිවාර්යයෙන්ම වක්‍ර බදුවලින් අය කෙරෙන බදු ප්‍රමාණය අඩු කරගනිමින් ක්‍රමයෙන් සෘජු බදු ආදායම් වැඩි කරගත යුතු වේ. මේ දිශාවට ගමන් කරන්නේ නම් එය බදු සංයුතිය තුළ ඇතිකර ගන්නා යහපත් වෙනසක් බව ද කිව හැකිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව ක්‍රියාත්මක වෙමින් තිබෙන වැඩසටහනට අනුව අප විසින් එකඟ වී ඇති කොන්දේසි ඉටු කළ යුතු වේ. බදු ආදායම් වර්ධනය කර ගැනීම සඳහා කළ යුතු නොයෙකුත් බදු ප්‍රතිසංස්කරණ ද මේ අතර ප්‍රධානය. මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගිතාව සහිතව ක්‍රියාත්මක වන විස්තීර්ණ මූල්‍ය පහසුකම් වැඩසටහන සම්බන්ධව මෑත දී ප්‍රකාශයට පත්කළ ලියැවිල්ලෙහි ආරෝපිත කුලී ආදායම් බද්ද ලෙස ක්‍රියාත්මක වීමට නියමිත, යෝජිත දේපළ බද්ද පිළිබඳව දක්වා ඇත. මේ ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන් මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත. මේ අලුත් බද්ද ගැන පැතිර යන ඇතැම් දුර්මත සහ වැරදි වැටහීම් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට මුදල් අමාත්‍යාංශය විසින් සිදුකර ඇති කරුණු පැහැදිලි කිරීමේ මෙසේ සඳහන් වේ.

‘ශ්‍රී ලංකාව මුහුණ පෑ ගැඹුරු, සංකීර්ණ සහ පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයට බලපෑ ප්‍රධාන හේතුවක් වන්නේ ඉහළ අයවැය හිඟය සහ ඒ හේතුවෙන් රාජ්‍ය ණය තිරසාර නොවන මට්ටමකට ඉහළ යෑමට තුඩුදුන්, රාජ්‍ය ආදායමේ තීව්‍ර පහළ යෑමයි. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම, 2022 වර්ෂයේදී වාර්තා වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3 ක් වූ අවම මට්ටමේ සිට 2025 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා ඉහළට ගෙන ඒමේ වෑයමේ දී පසුගිය වසර දෙකක කාලය තුළ ආදායම මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම ක්‍රියාත්මක කරන ලදි. 2023 වර්ෂයේ බදු ප්‍රතිසංස්කරණ තුළින් අනුක්‍රමික සංස්ථාපිත සහ පුද්ගල ආදායම් බදු කෙරෙහි අවධානය යොමු විය. 2024 වර්ෂයේ ආදායම ඉහළ නැංවීම බහුතරයක් බදු නිදහස් කිරීම් ඉවත් කිරීම සහ අනුපාත වෙනස් කිරීම ඇතුළු එකතු කළ අගය මත බදු ප්‍රතිසංස්කරණ තුළින් සිදුකරන ලදි.

මෙතෙක් දුරට 2023 වර්ෂය සඳහා වූ ආදායම් ඉලක්ක බොහෝ දුරට ළඟා කරගෙන ඇති අතර 2024 වර්ෂය සඳහා ඉලක්කගත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 13.5 ක්වූ ආදායම් මට්ටමට වසර අවසානය වන විට ළඟාවීම සඳහා වන මාර්ගයට පිළිපන්ව ඇත. එබැවින් 2025 වර්ෂයේ ඉලක්කගත, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් වන ආදායම් ඉලක්කය කරා ළඟා වීමට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.5 ක ආදායමක් ලබා ගැනීමට තවදුරටත් ඉතිරිව ඇත. 2025 වර්ෂයේ ආදායම් ඉලක්කය ළඟා කර ගැනීමට උපකාරී වන ප්‍රධාන ආදායම් ක්‍රමවේදය වන්නේ දේපළ මත පදනම් වන ධන බද්දකි. 2023 මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන ආරම්භයේදීම 2023ල 2024 සහ 2025 යන වර්ෂවල ආදායම් රැස්කිරීමේ ක්‍රමවේදයන් මහජනතාවට පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇත. යෝජිත දේපළ බද්ද පැනවීමේ කටයුතු පිළිබඳව සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන තිබුණ ද අනුපාත සහ සීමාවන්වලට අදාළ විශේෂිත තොරතුරු සඳහන් කිරීම සඳහා තවත් කල්ගත වනු ඇත. කෙසේ වෙතත්, මෙම බද්ද තුළින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව, ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි වේ. ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයන්ට අයත් දේපළ මත බද්ද අයවන බවට තහවුරු වෙන පරිදි සුදුසු බදු නිදහස් සීමාවන් පැනවීම තුළින් මෙම අරමුණු සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කෙරේ.

2025 වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.2 ක සහ 2026 සමස්ත වර්ෂය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.4 ක ආදායමක් මෙම බද්ද තුළින් අපේක්ෂා කිරීම යන කරුණ මෙම විශේෂිත ඉලක්කයන් සඳහා සාක්ෂි දරයි. ද්විත්ව බදුකරණය සහ ආර්ථික සහන විතැන් කරවන යම් අංග වැළැක්වීමට ප්‍රමාණවත් හිලව් කිරීමේ යාන්ත්‍රණ සහතික කෙරෙන ආකාරයට බද්ද සඳහා ප්‍රතිපාදන සැලසෙනු ඇත. ඉහළ කාර්යක්ෂමතාවක් පැවතීම, ප්‍රගතිශීලීභාවය සහ පොදු සේවාවන් සඳහා මූල්‍යනය කිරීමට ආදායම් උත්පාදනය කිරීමේ විකෘතිතාවන් ඇති නොවන ලෙස සැලකීම හේතුවෙන් බොහොමයක් රටවල (ඉන්දියාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් ද ඇතුළුව) දේපළ බදු ක්‍රියාත්මක වේ.

මුදල් අමාත්‍යාංශය කියන මේ කතාවෙන් මේ නව බද්ද පැනවීමේ පසුබිම ගැන පැහැදිලි කිරීමක් කර ඇත. මේ අනුව එක් කරුණක් නම් ආර්ථික අර්බුදයට හේතු වූයේ විශාල වශයෙන් රාජ්‍ය ණය ඉහළ ගොස් ඒවා කලට වෙලාවට ගෙවීමට අපට විදේශ විනිමය සම්පත් නොමැති වීමයි. එසේ නම් මේ බලවත් ආර්ථික අර්බුදයෙන් මිදීමේ දී අප අනිවාර්යෙන්ම රාජ්‍ය බදු ආදායම් වර්ධනය කරගෙන විදේශ ණය ගෙවාගෙන යෑමේ හැකියාව (ණය තිරසාරත්වය) ඇති කරගත යුතු වේ. එහෙත් ප්‍රශ්නය තිබෙන්නේ අප මේ රාජ්‍ය බදු ආදායම වර්ධනය කරගන්නේ කවර ක්‍රමවේදයකට අනුව ද යන්නයි. සාමාන්‍ය ජනයාගේ බදු බර අඩු කිරීමට නම් ඒ සඳහා සෘජු බදු ආදායම් වර්ධනය කරගත යුතු වීම අනිවාර්ය කරුණකි. මෙම බද්ද තුළින් අවධානය යොමු කර ඇත්තේ සාමාන්‍ය ආදායම් ලබන්නන් කෙරෙහි නොව ඉහළ වත්කම් සහිත පුද්ගලයන් කෙරෙහි බවට වන සඳහන් තුළින් අපට පැහැදිලි වන්නේ එයයි. මේ කියන දේපළ වත්කම් යනාදිය කෙනකුට මාපිය උරුමයෙන් ලැබෙන්නට ද පුළුවන. එසේම කෙනෙක් උපයා සපයාගෙන තිබෙනවා ද විය හැකිය. මාපිය උරුමයෙන් දේපළ ලැබුණ විට එවැනි අයකුට එම දේපළ ලැබී ඇත්තේ ඔහු උපයන ආදායමකින් නොවෙන නිසා ඔවුන්ට එම දේපළේ වටිනාකම් මත බදු පැනවීමෙන් ගැටලුවක් ඇති විය හැකිය. මේ නිසා මේ කියන බද්ද අය කරන ක්‍රමවේදය ගැන පැහැදිලි වීමක් අවශ්‍ය වේ. ඒ ගැන තවමත් පැහැදිලි වීමක් හරිහැටි නැත. දැනට මුදල් අමාත්‍යාංශය පවසා ඇත්තේ ඉහළ වටිනාකම් සහිත දේපළ හෝ සමාජයේ ධනවත් පුද්ගලයන්ට අයත් දේපළ මත බද්ද අයවන බවයි.

මේ බද්ද අය කෙරෙන ක්‍රමවේදය ගැන රජය ප්‍රකාශ කර ඇත්තේ එම බද්ද පැනවීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන සිදුකිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කළ යුතු අතර එය 2025 වසරේ අප්‍රේල් මස සිට බලාත්මක වනු ඇති බවයි. ඒ සඳහා නෛතික ක්‍රියාදාමය සම්පූර්ණ කිරීමට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ලේඛන ප්‍රකාශයට පත් කිරීමත් සමග 2023 මාර්තු මාසයේදී මුල් වරට දැනුම් දුන් පරිදි තක්සේරු කිරීමේ යාන්ත්‍රණ සහ මෙම යෝජිත බදු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දත්ත පදනම වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු පරිපාලනමය ක්‍රියාකාරකම් රැසක් සිදුකළ යුතුව ඇත. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙය අලුත් බදු ක්‍රමවේදයක් නොවන බවත් “ශුද්ධ වාර්ෂික වටිනාකම” ලෙස හැඳින්වූ මීට සමාන ආරෝපිත ආදායම් ගණනය කිරීමේ ක්‍රමවේදයක් 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ ද ඇතුළත් වන බවයි.

අප රටේ දේපළ, පළාත් පාලන ආයතන විසින් අය කරන වරිපනම් බදු මෙන්ම මුද්දර බදු වැනි පවතින බදුවලට ද යටත් වේ. එබැවින් දේපළ බදු සම්බන්ධයෙන් සැලකිය යුතු පූර්වාදර්ශයන් දැනටමත් පවතින බව දැක්විය හැකි බව ද මුදල් අමාත්‍යාංශය කියයි. පසුගිය කාලයේ බදු වැඩි කිරීම නිසා රාජ්‍ය ආදායමේ වර්ධනයක් සිදුව ඇත. මෙසේ රාජ්‍ය ආදායමේ අඛණ්ඩ වර්ධනය සහ ඊට අනුබද්ධ අයවැය හිඟය අඩුවීම මේ මට්ටමට හෝ ආර්ථික ස්ථායිතාව ඇති කර ගැනීමේ රජයේ වෑයමට සහාය වී ඇත. එය පොලී අනුපාත පහළට ගෙන ඒමට සහ විනිමය අනුපාතය අතිප්‍රමාණය වීම යනාදියට ද හේතු වී ඇත. තම බදු බර වැඩි වුවත් එමගින් ජනයාට සැලකිය යුතු ප්‍රතිලාභ අත් වී ඇත. එසේ කරමින් මේ ගමන නොපැමිණියේ නම් වන්නේ 2022 වසරේ අප මුහුණ දුන් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වී මහජනයා තවත් බලවත් ලෙස පීඩාවට පත් වීමයි. මේ නිසා ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිදුකරන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගවල දී එහි පීඩාව (වේදනාව) සියලු දෙනාට අඩුවැඩි වශයෙන් දැනීම සිදු වේ. එහෙත් විශාල වශයෙන් වැටුප් වැඩි කර ගනිමින් එම වේදනාවට දායක නොවී මහ බැංකුව වැනි ආයතන කටයුතු කිරීම නම් කනගාටුවට කරුණකි. මේ නිසා අපට කිව හැක්කේ මේ කියන බදු ආදායම් වර්ධනය කර ගැනීමේ ඉලක්ක රජය විසින් ළඟා කරගත යුතු වන්නේ සාධාරණ පදනමක් මත බවයි. එනම් අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මත අධික බදු බරක් පැටවෙන්නේ නැති ආකාරයට බවයි. රාජ්‍ය වියදම් මූල්‍යනය කිරීමට හැකිවන ලෙස අවශ්‍ය කරන මට්ටමට රාජ්‍ය ආදායම ළඟා කර ගැනීමට අපොහොසත් වීම සමස්ත රටටම විනාශකාරී බලපෑමක් ඇති කළ ආර්ථික අර්බුදයට හේතු විය. එහෙත් නැති බැරි අයම පෙළන්නේ නැතිව ඒ ඒ ජන කණ්ඩායම්වලට බදු ගෙවීමට තිබෙන හැකියාව හා ශක්තිය අනුව මේ බදු පැනවීම් කරන්නේ නම් සාමාන්‍ය ජනයා මුහුණ දෙමින් සිටින පීඩාව අඩුකරගත හැකිය,

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment