ගෙවතු වගාව අමාරු නැහැ අදම පටන් ගන්න – ප්‍රවීන කෘෂි උපදේශක චන්ද්‍රලාල් අබේගුණවර්ධන

510

ඈත ඉතිහාසයේ සිටම කෘෂිකාර්මික රටක් ලෙස ශ්‍රී ලංකාවේ බහුතරයකගේ දිවි රැකුණේ වගා ක්‍රමයන් ආශ්‍රයෙනි. කෘෂිකාර්මික කටයුතු යටතේ ඒ ඒ ජන කොටස් විවිධ භෝග වගාවන් අතර බෙදී වෙන් වුණු මුත් සමස්තයක් ලෙසින් සියල්ලන්ගේම ජීවිකාව වූයේ කෘෂිකර්මාන්තයයි. මෙහිදී තවත් එක් අතුරු කොටසක් ලෙස ගෙවතු වගාව හඳුන්වා දිය හැකිය. වර්තමානය වන විට ආහාර හිඟය සඳහා ගෙවතු වගාව එක්තරා ආකාරයක පිළිතුරක් වන බව කිව හැකිය.ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා මේ දිනවල රටවැසියන් විශාල ලෙස ගෙවතු වගාව කෙරෙහි නැඹුරු වී ඇති බව පෙනී යන කරුණකි. මේ පිළිබඳව අද අප සමග සාකච්ඡා කරන්නේ ප්‍රවීන කෘෂිකර්ම උපදේශක චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාය. පහත රට ප්‍රදේශයේ වගා කළ යුත්තේ වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, නිවිති, දඹල, මිරිස්, කරවිල, බණ්ඩක්කා වැනි දේවල්ය. උඩරට පළාතේ වගා කළ යුත්තේ කැරට්, බීට්, ගොවා, ලීස්, රාබු වැනි වර්ගයි.

★ ගෙවතු වගාව සඳහා පස සකසා ගන්නා අයුරු

ගෙවතු වගාවක් සකසා ගැනීමේදී බොහෝ වෙලාවට පොළොව යොදා ගන්නත් පුළුවන්, නැතිනම් ගෙදර තියෙන මල්පෝච්චියේ, පොලිතින් බෑග් වැනි දේවල් භාවිතා කරන්නත් පුළුවන්. පර්චස් පහ හයක, හතළිහක, පනහක, අක්කරයක වුණත් හැම බිම් ප්‍රමාණයකම වුවත් මෙම ක්‍රමය භාවිතා කළ හැකියි. වගාව සඳහා බිම සකසා ගැනීමේදී පළමුව මතුපිට ඇති පස් සොයාගන්න ඕනේ. ඒ මතුපිට පස් ටිකක් තෝරාගෙන ඒ පස් ටික හොඳට ගුලි කරලා අඩි එකහමාරක් උඩට උස්සලා අතඅරින කොට ගුලිවෙලා තියෙනවා නම් හොඳටම වැලි එකට එකහාමාරක් විතර දාන්න. පස්ටික අඩි එකහමාරක් උසට අතාරින විට එය පස වියල් වෙනවා නම් වැලි භාගයක් දාන්න ඕනේ. අපි ගන්න පස්වල වැලි ගතිය වැඩි නම් වැලි එකක්ම ඕනේ නැහැ. වැලි භාගයක් දානවා. දිරා පත් වුණු ද්‍රව්‍ය ටිකක් හෝ කොම්පෝස්ට් මතුපිට පස් ටිකයි (කාණුවකින් එකතු කර ගත්තු) වැලි ටිකකුයි දිරාපත් වුණු කුණු හෝ කොම්පෝස්ට් එකයි එක අනුපාතයට අරගෙන කලවම් කරගන්න. තද කරලා ගුලියක් හදලා අඩි එකහමාරක් විතර උඩට උස්සලා ඒක අතඇරියට පස්සේ ඒක හොඳට වියල් වෙන්න ඕනේ.

★ බඳුන්වලට පස් පුරවා ගන්නා ආකාරය

ගෙදර තිබෙන කිලෝ පහේ බෑග්, කිලෝ දහයේ බෑග් කිලෝ විසිපහේ බෑග්, පනහේ කොයි එකක හෝ පස් පුරවනවා නම් පස් ලොකු ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක නිසා බෑග් එකෙන් භාගයකට දිරාපත් වෙච්ච පොල්ලෙලි නැතිනම් දිරාපත් වුණු රොඩුගොඩක්, නැතිනම් දිරාපත් වුණු තණකොළ ගොඩක් දැමිය හැකියි. ඉතුරු බාගෙට පුරවා පස් තාච්චි එකහමාරක් විතර බෑග් එකේ තුන්කාලක් වෙන්න පුරවා ගන්නවා. මේකේ මඤ්ඤොක්කා බතල ගහල වැල් එළවළු වගේ දේවල් පැල කළ හැකියි. කිලෝ පහේ බෑගයට පොල් ලෙලි පහ හයක් විතරයි දාන්නේ. මඤ්ඤොක්කා බතල වැල් හිටවනවා නම් පස් කිලෝ විස්සක් විසිපහක් තියෙන්න ඕනේ. එළවළු වගා කරනවා නම් පස් කිලෝ දහයක් තිබුණම ඇති. බෑග් එක පුරවනකොට බෑග් එක තද කරන්න හොඳ නැහැ. පාත්තියක හදනවා නම් වළක් හාරලා ඒකට වැලි, කොම්පෝස්ට් දාලා කලවම් කරනවා.

වැහි කාලයක් නම් කෝම්පිට්ටු වගේ උඩට ගන්නවා. පායන කාලයක් නම් පොඩ්ඩක් වළ වගේ හදනවා. ඒක තමයි පස් සකසා ගන්නා මූලික සිද්ධාන්තය.

★ පැල ඉන්දන වෙලාවන්

හැම ගහක් කොළක්ම හිටවන්න ස්වභාව ධර්මයෙන් වෙලාවක් දීලා තියෙනවා. ඉස්සර මිනිස්සු කිව්වා පෙර ජන වහරේ එන “ඉර දෙවියොත් නෑයෝ සඳ දෙවියොත් නෑයෝ ආදි අපේ මුතුන්මිත්තෝ ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ” මේ හිරුගේ තියෙන කිරණ ගමන් කරන ක්‍රමයක් එක්ක හිරු එළිය සඳට වැටිලා පරාවර්තනය වෙන වෙලාවල් එක්ක විශාල වෙනසක් වායුගෝල පරිසරයේ ස්වභාව ධර්මයේ සිදු වෙනවා. මේ දේවල් එක්ක තමයි අපිට වර්ෂාව ලැබෙන්නේ. සතුන්ගේ ජීවන චක්‍ර ක්‍රියාත්මක වෙන්නේ හැම ගහ කොළක්ම වර්ධනය වෙන්නේ ගෙඩි හැදෙන්නේ කොළ හැදෙන්නේ මල් හැදෙන්නේ, හිරුගේ සඳුගේ මෙම ක්‍රියාවලියත් සමගයි. අපේ පැරණි ගොවීන් ඒ ඒ බෝග වගාවන් වගා කරන්න වෙලාවල් නියම කරගෙන තිබුණා. අල බතල වර්ග අපි කවදාවත් උදේ හිටවන්නේ නැහැ. එයට හේතුව මුල් විතරයි බහින්නේ ලොකු අස්වැන්නක් නැහැ. 98% බෝගවලට හොඳට හිරු එළිය ඕනේ. ඒක නිසා තමයි රජවරු අනුරාධපුර, පොළොන්නරු ප්‍රදේශ වගාව සඳහා යොදා ගත්තේ. පුළුවන් තරම් අපේ ගෙවත්තේ වතුර අඩු තැන්වල තමයි වගා කරන්න ඕනේ. අපිට වදුල වැඩි තැන්වල වගා කරන්න පුළුවන් ගහල, බතල, දෙමස් ගහල, මඤ්ඤොක්කා කහ බතල වැනි බෝග. මෙම බෝගයන් වගා කරන්නට ඕනේ හවස. උදේ වරුවේ ඇට වර්ග වැටකොළු, කරවිල, පතෝල, පිපිඤ්ඤා, මාළුමිරිස්, මිරිස් පැල වැනි පැල වර්ග හිටුවනවා නම් ඉතා හොඳයි. උදේ හයට ඉස්සල්ලා හිටුවනවා නම් වඩාත් හොඳයි. එයට හේතුව ගසේ අස්වැන්න වැඩි වන නිසාත් ගස ශක්තිමත් වීමක් සිදු වෙන නිසාවෙනි.

★ පැළ සඳහා ජලය සපයන ආකාරය

කොළඹ, මාතර, ගම්පහ වැනි ප්‍රදේශවල අවුරුද්දම අපට වතුර දාන්න වෙන්නේ දවස් 20 කට අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ මඤ්ඤොක්කා, බතල හිටෙව්වොත් සතියක් දෙකක් වතුර දැම්මොත් බතල කොළේ මැරෙන්නේ නෑ. නැතිනම් කවදාවත් වතුර දාන්න ඕනේ නැහැ. ඇති වෙන්න අල බහිනවා. මූලික කාලයේ වතුර දාන්න ඕනේ. ඊට අමතරව වතුර දානකොට පොඩි ප්‍රමාණයයි දාන්න ඕනේ. අස්වැන්න දෙන වෙලාවට වතුර ප්‍රමාණයත් දානවා. ගහ මැලවෙන්නේ නැති මට්ටමකට එන විදියට වතුර දාන්න ඕනේ. වතුර වැඩි වීම කිසිසේත්ම සිදු වෙන්න හොඳ නැහැ. වතුර දාන්න පුළුවන් අව්ව වැඩි වෙලාවට. දවල් දොළහට හවසට ඕනෙම වෙලාවක. හැබැයි ගහ තෙමෙන්න වතුර දාන්න ඕනේ.

සුජානි ගුරුගේ

advertistmentadvertistment
advertistmentadvertistment