විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළඟදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවෙයි
– ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්
විදුලි බිල ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලියට වැයවන මුදල 65%කින් වැඩියි
ඉදිරියේදී ජල බිල වැඩි නොකළහොත් ජල කප්පාදුවකුත්|
ජල බිල ගෙවීමට ඉදිරියේදී නව ක්‍රමයක්
– ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
පසුගියදා විදුලි බිලෙන් බැටකෑමට සිදුවූ මෙරට ජනතාවට ඉදිරියට මුහුණදීමට සිදුවී ඇත්තේ වතුර බිලෙනුත් බැටකෑමටය. එනම් ජල සම්පාදන මණ්ඩලය පවසන පරිදි විදුලි බිලේ ඉහළ යෑම හේතුවෙන් ජල සම්පාදන ක්‍රියාවලිය සඳහා වැයවන මුදල 65% කින් ඉහළ යෑමයි. එම නිසා නැවත වතාවක් ජල බිලේ සංශෝධනය සිදුවිය යුතු බව ජලසම්පාදන මණ්ඩලය පවසා ඇත. එහෙයින් ඒ බරද මෙරට ජල පාරිභෝගිකයන් මතම පැටවීමට සිදුවන බව විවිධ පුවත් හරහා මේ දිනවල කරළියට පැමිණෙමින් තිබේ. මෙවර විදුලි බිල වැඩිවීම දෙවතාවක්ම සිදුවූ අතර ජල බිලද ඉදිරියේදී දෙවැනි වතාවටත් ඉහළ යෑමට නියමිතය. එය පළමු වර ඉහළ දැමුණේ 70% ක ප්‍රතිශතයකිනි. කන්න බොන්නවත් හරිහැටි නොමැති රටක මිනිස්සුන්ට බංකොලොත් වූ රටෙහි බර හිස මත පැටවීමේ කාර්යය තවමත් රටේ පාලක පක්‍ෂයට ඇතිවී නොමැති බව මෙවැනි වැඩිකිරීම් තුළින් පෙනීයනු ඇත. මේ එසේ ඉදිරියේදී ඉහළ යන ජල බිල
ගැනය.
● ජල ගාස්තු ඉහළ යෑම ගැන ජල සම්පාදනයෙන් ඉඟි
විදුලි බිල ඉහළ යෑමත් සමඟ ඉදිරියේදී ජල බිල්පත වැඩිවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මියද පසුගියදා පවසා ඇත. එහිදී ඇය පවසන පරිදි මෑතකදී විදුලි බිල ඉහළ යෑම නිසා ජල සම්පාදන ක්‍රියාවලියට වැයවන මුදල 65% කින් වැඩිවී ඇති බවයි. අකැමැත්තෙන් වුවත් ජල බිල ඉහළ දමන ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ එසේ නොකළහොත් මෙරට ජල අවශ්‍යතාව නිසි පරිදි සැපයීමට නොහැකි බව බවකි. එයින් හැඟීයන්නේ ඉදිරියේදී ජල බිල වැඩි නොකළහොත් ජල කප්පාදුවකුත් එන බවය.
තවද පසුගියදා මෙරට විදුලි ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුද ඉහළ දැමිය යුතු බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ ජලාශවල සිට පාරිභෝගිකයා දක්වා පානීය ජලය බෙදාහැරීමේදී වැයවන සමස්ත මුදලෙන් 35% ක්ම වැයවන්නේ ඔවුන් ඒ සඳහා භාවිත කෙරෙන විදුලිය සඳහා බවයි. එහිදී ඔවුන් තවදුරටත් පෙන්වා දෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් පළමු වැනිදා සිට පාරිභෝගික කාණ්ඩ 12 ක් යටතේ ජල ගාස්තු ඉහළ දැමුවත් විදුලි බිල ඉහළ යෑම නිසා පසුගිය වැඩිවීම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවකි.
● මෙරට ජල පරිභෝජනය
ජල සම්පත් මණ්ඩලයේ පාරිභෝගිකයන් මිලියන 3 කින් මිලියන 2.6 ක්ම ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ය. මෙරට ජල සම්පාදන මණ්ඩලයේ ගණනය කිරීමට අනුව සාමාන්‍ය පවුලකට දිනකට ජලය ලීටර 500 ක් පමණ අවශ්‍ය වේ. එනම් ඒකක ගණන 15 කි.
● පසුගිය වසරේ ඉහළ ගිය ජල බිල
පසුගිය වසරේ එනම් 2022 සැප්තැම්බර් 1දා සිට ජල ගාස්තුව ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය පියවර ගත්තේය. එසේම ඉහළ දැමූ ජල ගාස්තුවේ වැඩිවීම සියයට 70කි. එහිදී පළමු ඒකක 05 සඳහා ඒකකයකට අයකළ රුපියල් 12 ක පරිහරණ ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ දැමීය. එය ඒකක 6-10 දක්වා ඒකකයකට පැවැති රුපියල් 16 ගාස්තුව රුපියල් 27 ක් දක්වාද, ඒකක 11 සිට 15 දක්වා පැවැති රුපියල් 20 ගාස්තුව ඒකකයකට රුපියල් 34 ක් දක්වාද, ඒකක 16-20 දක්වා ඒකකයකට රුපියල් 40 ගාස්තුව රුපියල් 68 ක් දක්වාද, ඒකක 21-25 දක්වා පැවැති රුපියල් 58 ගාස්තුව රුපියල් 99 දක්වාද, 26-30 දක්වා ඒකකයකට රුපියල්
88 ක්ව පැවැති ගාස්තුව රුපියල් 150 ක් දක්වාද, ඒකක 31-40 දක්වා ඒකකයකට රුපියල් 179 බැගින්ද, ඒකක 41-50 දක්වා ඒකකයකට රුපියල් 204 බැගින්ද, 51-75 දක්වා ඒකකයකට රුපියල් 221 බැගින්ද ඒකක 75 සිට ඉහළට ඒකකයකට රුපියල් 235
බැගින්ද ගෙවීමට ගෘහස්ථ ජල පාරිභෝගිකයන්ට සිදුවිය.
පසුගිය ජල ගාස්තු සංශෝධනයේදී රුපියල් 50 ක්ව පැවැති අවම සේවා ගාස්තුව රුපියල් 300 ක් දක්වා ඉහළ දැමීය. තවද ඒකක 26-30 දක්වා රුපියල් 200 ක්ව පැවැති සේවා ගාස්තුව හා ඒකක 31-40 දක්වා රුපියල් 400 ක්ව පැවැති සේවා ගාස්තුව රුපියල් 900 දක්වාද ඉහළ දමා තිබිණි. ඒකක 41-75 දක්වා නව ගාස්තුව වූයේ රුපියල් 2400 කි. ඒකක 75 ට වැඩි කාණ්ඩයේ සේවා ගාස්තුව රුපියල් 3500ක් දක්වාද ඉහළ ගියේය.
● ඉහළ යන ජල බිල ගැන ඇමැති කියන කතාව
ජල ගාස්තු ඉදිරියේදී වැඩිවන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පසුගියදා මාතලේ පැවැති ජනහමුවකදී පවසා ඇත. එහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළඟදීම ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුවන බවයි. මෙම ජල ගාස්තුව වැඩිකිරීමට හේතුවී ඇත්තේ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් බව එහිදී ඔහු පෙන්වා දී ඇත. ඇමැතිවරයා පවසන කතාව සත්‍ය වුවත් රජයක් මගින් මෙරට ජනතාව වෙත අසීමිත ලෙස පවරන ලද අධික බදු හා විදුලි, ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා භාණ්ඩ මිල ඉහළ යෑම කිසිසේත්ම දරා ගැනීමට නොහැකිය. එහෙත් නැවත වතාවක් ජල බිල වෙත තවත් බරක් පැටවීමෙන් සිදුවන්නේ මෙරට ජනතාවගේ හිස මත තවත් ගෙවීමට නොහැකි බිල්පතක් පැටවීමය.
● ජල සම්පාදනයෙන් රටට ආදායම
මාසිකව ජල බිල්පත් මගින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් කෝටි දෙසීයක් පමණ ආදායමක් ලබයි. එම ආදායමෙන් වැඩි මුදලක් වැයවන්නේ මණ්ඩලයේ සේවක සේවිකාවන්ගේ පඩිනඩි ගෙවීම සඳහායි. රටේ ලාභ නොලබන ආයතන අතරට මෙම ජල සම්පාදන මණ්ඩලයද අයත් බව කිවයුතුමය.
● ජල බිල්පත් ගෙවීමට නව ක්‍රමයක්
ජල බිල්පත් නිකුත් කරන අවස්ථාවේදීම බිල ගෙවීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත. එහි නියමු ව්‍යාපෘතිය උතුර සහ උතුරු මැද පළාත් වලින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ අනුව බිල්පත සමඟ ලබාදෙන රිසිට් පතට බැංකු හර සහ බැර කාඩ්පත්වලින් එම අවස්ථාවේම ගෙවීම් කළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පියල් පද්මනාත මහතා ප්‍රකාශ කොට ඇත.
● වැඩිවන ජල බිලෙන් ජනතාවට පීඩා
අද රටේ උද්ගත වී ඇති ආර්ථික තත්ත්වයත් සමඟ රජය විසින් රටේ ජනතාව මත අධික බදුබර පටවා ඇත. මේ හේතුවෙන් මෙරට ජනතාවගේ ජීවිතයට එල්ල වී ඇත්තේද දැවැන්ත මරුපහරකි. මේ වන විටත් රටේ විදේශ විනිමය හිඟවීමෙන් දේශීය කර්මාන්තශාලා වසා දැමීමෙන් බොහෝ දෙනකුට රැකියාද අහිමිවී ඇත. පවුලක අත්‍යවශ්‍ය සේවා වන විදුලි හා ජල බිල්පත් ගෙවීම අනිවාර්යය වන අතර ඖෂධ සඳහාද වියදම් දැරිය යුතුය. එමෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වන වියදම්ද දැරිය යුතුය. තවද ආහාර අවශ්‍යතාද හැකි පමණින් ලබාගත යුතුය. එහෙත් රජයේ සියලු පාඩු රටේ ජනතාව වෙත පැවැරීමෙන් අසරණ වෙන ජනතාව අද කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇත. මෙම ඉහළ යන ජල බිලෙන් වැඩි හරියක්ම පීඩාවිඳින්නේ මෙරට නාගරික පරිසරයේ ජීවත්වන වැසියන්ය. මහල් නිවාස වල ජීවත්වන ජනතාව තම ජල අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා මේවන විටත් අධික විදයමක් දරනු ලබයි. එයට හේතුව වන්නේ ඔවුන්ට ජලය ලබාගැනීමට වෙනත් විකල්ප ක්‍රම වන ළිං, පොකුණු හා වෙනත් ජල යෝජනා ක්‍රම නොමැති නිසා ඔවුන්ගේ විදුලි බිලට සමානව ජල බිලද ඉතා ඉහළ මට්ටමක පවතී. විදුලි බිල දෙවරක් වැඩිවීම හේතුවෙන් හෙම්බත් වූ ඔවුන් වසර එකොළහකට පසු වැඩිවූ ජල බිලෙන්ද බැට කෑවේය. කොතරම් වැඩිකළත් පාඩු ලබන අපේ රටේ සංස්ථා, මණ්ඩල කෙරුවාවේ වැඩිකිරිල්ල තවමත් නිම වී නැත. ඉදිරියේදී නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත ජල බිලේ කසකරුවන්ද මේවන විටත් කලඑළිබැස ඇත. මෙරට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, දුම්රිය, ලංගම හා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හැමදාම පාඩුලබන්නේ මෙරට ජනතාව නිසා නොව එම සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තුවල ඇති සේවක අතිරික්තය හා නොයෙකුත් අකටයුතුකම් නිසාය. මෙසේ පාඩු ලබන ආයතන ලාභකිරීමට යැයි කියා රජයක් මගින් ජනතාව පිට බර පැටවීම නොහොබිනා ක්‍රියාවකි. එහෙත් සැබැවින්ම සිදුවිය යුත්තේ වැඩිකිරිල්ල නොව මේ සංස්ථා, මණ්ඩල පාඩු ලබන්නේ කෙසේදැයි සොයා බැලීමය. රජය විසින් කළයුත්තේ ජනතාවගේ ඉහමොළ සූරා කෑම නොව පාඩු ලබන සියලු ආයතන වලට ගෙවිය යුතු මෙතෙක් විවිධ පාර්ශ්ව විසින් ගෙවීම් පැහැර හැර ඇති මුදල් නැවත අයකර ගැනීමය. මෙරට මැති ඇමැතිවරුන් අවුරුදු ගණනක් තිස්සේ නොගෙවා පැහැර හැර ඇති ජල, විදුලි සඳහා වූ රටේ කෝටි ගණනක ධනස්කන්දය නැවත අයකර ගැනීම නුවණට හුරු ක්‍රියාවකි. එමෙන්ම ඉහත සඳහන් කළ ආයතන තුළ සිදුවන දූෂණය, කොමිස්, ගසා කෑම් වහා නැවැත්විය යුතුමය. නැවත වතාවක් ජල බිල ඉහළ යෑමෙන් මෙරට හෝටල් හා කර්මාන්තකරුවන්ට සිය බිඳ වැටී ඇති කර්මාන්ත නිසි පරිදි පවත්වාගෙන යෑමට නොහැක. විදුලිබිලෙන් බැට කෑ සිය ව්‍යාපාර බංකොලොත්භාවයට පත්ව ඇති යුගයක ඉදිරියේදී ජල බිලෙනුත් සිදුවන බලපෑම නිසා මෙරට ව්‍යාපාර ක්‍ෂේත්‍රයද දැවැන්ත කඩාවැටීමකට ලක්විය හැක.
පසුගිය අවුරුද්ද තුළ සංශෝධනය වූ ජල ගාස්තුව නැවතත් සංශෝධනය කිරීමට රජය මගින් ගෙන එන මිල සූත්‍රය කවර අයුරකින් යොදාගනීද යන්න තවමත් ප්‍රකාශයට පත්වී නැත. මේ වනවිටත් මෙරට ජනතාව වේලක් කා දෙවේලක් කුසගින්නේ සිටින්නේ කරුවලේ සිටීමට නොහැකි නිසා වැඩිවූ විදුලි බිල ගෙවා දැමීමටය. ණය ගෙවීමට නොහැකි වූ තැන පවුල් පිටින් සියදිවි නසාගන්නේද තවත් කරන්නට කිසිවක් නොමැති තැනය. ණය වී හෝ බිල්පත් ගෙවීමට සිදුව ඇති මෙරට ජනතාවට තවත් අලුතින් වැඩිවන බිල් බිල ගෙවිය නොහැක. ඉදිරියේදී මෙරට ජනයාට වතුරටත් අධික මිලක් ගෙවීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බව අකැමැත්තෙන් හෝ පැවැසිය යුතුමය. මෙරට ජනතාවගේ අඟහිඟකම් නොතේරෙන ආණ්ඩුවේ මෙවර ජල බිල්පත් ඉහළ දැමීම කවර හෝ සූත්‍රයකට ගෙන ආවත් එය අධික බදු බරින් තැලී පොඩිවී සිටින මිනිසුන්ගේ ඉතිරි තඹදොයිතුවත් සූරාකන සූත්‍රයක් වනු බවට නම් සැක නැත.
රමින්ද ලසන්ත මාවතගේ