මෙවර ජනාධිපතිව රණයබෙහෙවින් උද්‍යෝගිමත් වන බව නිසැකය. මේ වනවිට ජනාධිපතිවරණය සඳහා අපේක්‍ෂකයන් 40 කට කිට්ටු හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වන බව පෙනේ. මේ අපේක්‍ෂක ලැයිස්තුව දෙස බලන විට සුවිශේෂී විවිධත්වයක් දැකිය හැකිය. පළපුරුදු දේශපාලනඥයෝද, ට්‍රැක්ටරයෙන් වැඩම කරන බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන් වැනි අයද ඉතා කලාතුරකින් පමණක් නම කියැවෙන අය ද මෙම ලැයිස්තුවේ සිටිති. මේ විවිධත්වය තුළදී ඡන්ද දායකයන් ද විවිධ වනු ඇතැයි ඔබ සිතන්නේද? කිසිසේත්ම නැත. අද අපට සිටින්නේ ඉතා අමාරුවෙන් ජීවත් වන වැලේ වැල් නැති ඡන්ද දායකයන් පිරිසකි. මේ අයගෙන් සමහරකුට ඡන්ද තිබුණත් එකය; නැතත් එකය.
පසුගිය සතිවල කෙරුණු සමීක්‍ෂණවලට අනුව, සාම්ප්‍රදායක ඡන්ද ක්‍රමය කෙරෙහි කලකිරුණු විශාල පිරිසක් ඡන්දය පාවිච්චි නොකර සිටීමට ද නියමිතය. ගිනි කාෂ්ඨක අව්වේ පෝලිමේ සිට රටේ අභිවෘද්ධිය සඳහා ඡන්දය පාවිච්චි කිරීමෙන් වැඩක් නැති බවත් සිය ඡන්දයෙන් තේරී රටේ නායකත්වය භාරගන්නා අපේක්‍ෂකයාට තමන් ගොඩගැනීමට නොහැකි බවත් ඔවුහු කල්පනා කරති. 1948 නිදහස ලැබුණු දවසේ පටන් ශ්‍රී ලංකාව දේශපාලන අල ගොඩක් බවට පත්ව තිබිණ. බි්‍රතාන්‍ය ආක්‍රමණිකයා ලංකාව අත්හැර ස්වකීය මවුබිම බලා ආපසු ගියේ මහත් සතුටිනි. 1870 ගණන්වල ලංකාවේ පළමු වැනි අයවැය ලේඛනය පිළියෙල කළ අවස්ථාවේදී සුද්දන්ට වැදගත් කාරණයක් පෙනී ගොස් තිබිණ. ඒ වූ කලී ලංකාව ඉතා වියදම් අධික සහ පාඩුවට දුවන රටක් බව සුද්දන්ට පෙනී යෑමය. එකල ලංකාව සහ ඉන්දියාව යන රටවල් දෙකම බි්‍රතාන්‍ය කිරීටය විසින් පාලනය කරන ලද්දේ තනි එකවුන්ට් එකක් යටතේය. මේ නිසා රටවල් දෙකෙන් කවර රටක් පාඩුවට දුවන්නේ ද යන්න ඔවුන්ට කල්පනා වුණේ නැත. අවසානයේ දී බලන විට ලංකාවෙන් සූරා කෑ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් සිංහල ධනපති පන්තිය සහ සිංහල නිලධාරී පන්තිය නඩත්තු කිරීමටත් ඔවුන් වැය කර තිබිණ. මේ තත්ත්වය තවත් ටික කලක් ඉදිරියට ගියේ නම් ලංකාවෙන් සිදුවන පාඩුව වළක්වා ගැනීම සඳහා හොර සල්ලි අච්චු ගැසීමට සුද්දාට සිදුවනු ඇත. එබැවින් ඉන්දියාවට නිදහස දී අවුරුද්දකට පසු ශ්‍රී ලංකාවට නිදහස දීමෙන් බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ස්වීප් එකක් ඇද ගත්හ. 48 න් පසු මේ රටේ දේශපාලනය ඌරු මඩ වළක් හා සමාන විය. ඒ මඩ වළට බැස්ස මේ රටේ ධනපති ප්‍රභූ පරම්පරාව සියොළඟ මඩ ගාගෙන එම මඩ ජනතාවගේ ඇඟේ තැවරූහ. මේ රටේ දේශපාලනය වර්තමානය දක්වා ගමන් කර ඇත්තේ පෙරකී ඌරු මඩ වළ හරහාය. එහෙත් මඩගොඩේ සිට වුවද ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳීමේ අවස්ථාව ඔවුනට ලැබී තිබිණ. ප්‍රජාතන්ත්‍රවාදය යනු ධනවාදයේ දේශපාලන ස්වරූපය වේ. ශ්‍රීමත් හැරල්ඩ් ලැස්කි වැනි මහාචාර්යවරුන්ගේ පොත් මගින් මේ බව සනාථ කර දී තිබේ.
ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද ක්‍රමය ඌරු මඩ වළකින් උපන් එකක් වුවද එය නෙළුම් මලක් බවට පත් කිරීමට තැත් කළ දේශපාලනඥයෝ මේ රටේ ජීවත් වූහ. එහෙත් ඔවුන් එම මඩ වළ තුළ නෙළුම් පැලය පැල කොට ගෙදර ගොස් නෙළුම් මල බැලීමට ආපසු එන විට නෙළුම් පැලය කිසිවකු- විසින් උදුරා ගෙන ගොස් තිබිණ. මේ අනුව මේ රටේ දේශපාලන ක්‍ෂේත්‍රය යනු නිරන්තරයෙන්ම හැඩගැන්වීමට උත්සාහ කළ නමුදු කිසි ලෙසකවත් හැඩගැන්වීමට බැරි වූ තැනකි. 1970 සිට 1977 දක්වා මේ රට සහ එහි දේශපාලනය වාමාංශික කෙත් වත්තක් බවට පත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය අසාර්ථක උත්සාහයක යෙදුණාය. 77 න් පසු මේ රටේ බලය ලබා ගත් ජේ. ආර්. ජයවර්ධන ගෝලීයකරණය නමැති ජාත්‍යන්තර සංකල්පය සමග ශ්‍රී ලංකාව එකට බැඳ තැබීමට උත්සාහ කළේය. එය මඳ වශයෙන් සාර්ථක විය. මේ කරුණුවලට අනුව අපට වැටහෙන්නේ ලබන මාසයේ 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කිසිම ආතල් එකක් නැති කිසිම ජෛව විවිධත්වයක් නැති දිරා ගිය වනාන්තරයක පැවැත්වෙන ඡන්දයක් බවය. මේ ඡන්දයේ ඇති විශේෂම ලක්‍ෂණය වන්නේ අපේක්‍ෂකයන් වැඩි දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදය උරගා බැලීමට මෙය අවස්ථාවක් කරගෙන තිබීමය. ඡන්ද අපේක්‍ෂක ලැයිස්තුවේ සිටින හුඟ දෙනකුගේ ඇප රාජසන්තක වනු ඇත. ඒ ගැන මැතිවරණ කොමසාරිස් සතුටු විය යුත්තේ ඔවුනට ආදායමක් ලැබෙන එකම අවස්ථාව මෙසේ රාජසන්තක වන ඇප මුදල් වීම නිසාය. කවුරු කොහොම කිව්වත් මෙවර ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය උපකල්පනය කිරීමට කාටවත් බැරිය. ගේමක් ගහන කෙනකුට ඒ සඳහා තවත් දවස් 35ක් පමණ ඉතිරිව තිබේ.
ලංකාව, ඉන්දියාව, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල ඡන්දයක් පැවැත්වීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා හට ගැනීම ඉතාම සුලභය. මීට අවුරුදු පහකට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්දයෙන් පරාජය වූ අවස්ථාවේදී ද යම් ප්‍රමාණයකින් ප්‍රචණ්ඩ ක්‍රියා හට ගත්තේය. එය ආසියානු කැත පුරුද්දක් ඇමෙරිකාවට බෝවීමක් සේ සලකනු ලැබේ. මේ රටේ පැවැති සෑම ඡන්දයකින් පසුම ප්‍රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත. එය පාක්‍ෂිකයන්ගේ ගෙවල් ගිනි තැබීමේ සිට අපේක්‍ෂකයන්ගේ අතපය කැඩීම දක්වා පැතිර යන ප්‍රචණ්ඩත්වයකි. ඒ ප්‍රචණ්ඩත්වය නැත්නම් ඕනෑම මැතිවරණයකින් යහපත් ඵල නෙලා ගැනීමට අපට හැකි වේ. මෙවර ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් ගැනීමට සිදුවුවහොත් එය සුවිශේෂී තත්ත්වයක් වීමට ඉඩ ඇත. දෙවැනි මනාපය ගණන් ගැනීම සඳහාත්, ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම සඳහාත් පැය 48 කට වැඩි කාලයක් අවශ්‍යය.