ගේය පද කියා දෙයක් නැහැ…. ප‍්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා

1121

ලාංකික සංගීත සංස්කෘතිය තුළ ගීතයට මානවවාදී ගුණය එන්නත් කළ ගීත රචකයන් අතරින් ප‍්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් ය. ඔහු විසින් රචිත ගිතාවලිය තුළ ඒ සඳහා නිදසුන් බොහෝ ය. මෙවර අකුරු දිගේ සාහිත්‍ය සංවාදය හා එක්වන්නේ අසිරිමත් ගී පද රචනා රැසක් සිංහල ගීත සාහිත්‍යයට දායාද කළ සුනිල් සරත් පෙරේරා මහතා ය.

කලාත්මක ගීතය ඔබ හඳුනාගත්තේ කෙසේද?

කලාත්මක ගීතය අර්ථ කාව්‍ය ප‍්‍රබන්ධයක්. එහි චතුර්විධ ලක්‍ෂණ තියෙනවා. ඉන් පළමුවැන්න තමයි භාවිකත්වය. දෙවැන්න තමයි අර්ථාන්විත භාවය. තෙවැන්න සුබෝධත්වය එහෙම නැත්නම් ප‍්‍රසාද ගුණය. හතරවැන්න තමයි මිතභානී ගුණය. මේ ලක්‍ෂණ හතර කෙරේ අවධානය යොමු කිරීම වැදගත්. භාවිකත්වය කියල කියන්නෙ හැ`ගුම්බර බව. අර්ථ සම්පන්න බව තමයි අර්ථාන්විත භාවයෙන් උද්දීපනය වෙන්නෙ. සුබෝධත්වය කියල කියන්නෙ ඇසූ පමණින් රස විඳින්න පුළුවන් හැකියාව. මිතභානී ගුණය කියල කියන්නෙ අවශ්‍ය දේ අවශ්‍ය ප‍්‍රමාණයට කියන එක. මේ චතුර්විධ ලක්‍ෂණ ඇසුරින් කලාත්මක ගීතය අපට හඳුනාගත හැකියි. එය ගේය පද නිසා සිදුවන්නක් නොවෙයි.

ගුවන් විදුලිය නිසා කලාත්මක ගීතය පෝෂණය වුණා. මූලිකවම ආනන්ද සමරකෝන් සංගීතයේ නාද රූප සම්මිශ‍්‍රණයක් කෙරුවා. රබීන්ද්‍ර සංගීතය රාගධාරී සංගීතය හා ජන සංගීතය නාද රූප ඇසුරෙන් ඉතා විශාල මෙහෙයක් කලාත්මක ගීතය වෙනුවෙන් ඔහු ඉටු කළා. ‘‘පුංචි සුදා කිරි කැටියා’’ ‘‘සුරතල් එතනෝ’’ වැනි ගීත රාශියක් ඒ සඳහා උදාහරණ ලෙස ගත හැකියි. ‘‘ඇසේ මධුර ජීවනයේ ගීතා’’ වැනි ගීතයත් අමරදේවයන්ගේ නිර්මාණ ජීවිතයට දැඩි ලෙස බලපෑව කියලා අමරදේවයන්ම ප‍්‍රකාශ කළා. ඊට පස්සේ සුනිල් සාන්ත. භාෂාවේ සංගීතය හා සංස්කෘතිය හඳුනාගත් ප‍්‍රධාන පුද්ගලයා වන්නේ ඔහුයි. ඔහුගේ නිර්මාණවල පර්යේෂණ ගතියක් තියෙනවා. ඒ අනුව සුනිල් සාන්ත කලාත්මක ගීතයේ ප‍්‍රධාන සාධයක් වෙනවා.

අමරදේවයන්ගේ නිර්මාණ භාවිතය ඒ අතර සුවිශේෂී වෙනව…

ඔව්. ඔහුගේ කාර්යභාරය සුවිශේෂයි. අරදේව සූර විදියට උචිත අවස්ථාවට අනුකූලව දේශීය නාද රූප, රාගධාරී සංගීතය සම`ග සම්මිශ‍්‍රණය කෙරුව. ජන ගායනා, මධුවන්ති, රසධාරා, රස මියුරු වැනි වැඩසටහන් මේ සඳහා උදාහරණ ලෙස ගත හැකියි. ‘‘පිලේ පැදුර’’ ‘‘කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ’’ ඇතුළු විශාල වපසරියක විවිධ ආකෘති නිර්මාණය කරමින් ජනකවියේ නාද රූප විස්තාරණයකර එය ශාස්ත‍්‍රීය සංගීතයට අනුගත කර ගත්තා. ඒ අනුව අමරදේවයන් ඉතා සූර විදියට සංගීතය සම්මිශ‍්‍රණය කරනලද නිර්මාණකරුවෙක් ලෙස හඳුනාගන්න පුළුවන්. ඊට පසු පරම්පරාවක් ඒ සම්බන්ධ ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරනවා. දයාරත්න රණතුංග, සනත් නන්දසිරි ඇතුළු අති විශාල සංගීතඥයන් කණ්ඩායමක් කලාත්මක ගීතයෙහි වර්ධනයට දායක වෙලා තියෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වනවිට අපට දේශීය සංගීත සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. ඒ ගෞරවය හිමි විය යුත්තේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටයි.

ගුවන් විදුලි සංස්ථාවේ සංගීත පර්යේෂණ අංශය මගින් සිදුවුණ කාර්යභාරය ද ඉතා ඉහළයි. සී. ද එස්. කුලතිලක, ඩබ්. ජී. මකුලොලූව, ටී. එම්. ජයරත්න, නීලා වික‍්‍රමසිංහ, රෝහණ බැද්දගේ වැනි අය ඒ අතර ප‍්‍රමුඛයි. මෙතැනදී දේවාර් සූර්යසේනගේ කාර්යභාරය ද කෙසේවත් අමතක කළ නොහැකියි. ඔහු නෙළුම් කවි, ජන කවි, හොය හොයා ලංකාවේ හැම තැනම ගියා. අවසානයේ ඒ හැම එකතු කරලා ලංකා ගීතාවලිය කියල පොතකුත් ප‍්‍රකාශයට පත් කළා. මේ හැම ඉතා වැදගත්.

සංගීත සංස්කෘතිය සංවර්ධනය කිරීමෙහිලා මුල් යුගයේ ග‍්‍රැමෆෝන් ගී, නූර්ති ගී, නාඩගම් ගී, රූපසිංහ මාස්ටර්, රුක්මනී දේවි පමණක් නොව සී. ටී. ප‍්‍රනාන්දු, එම්. එස්. ප‍්‍රනාන්දු, එච්.ආර්. ජෝතිපාල වැනි විශාල නිර්මාණකරුවන් රාශියක් තමන්ගේ සේවය කැපකරලා තියෙනවා. මේ නිසා විවිධත්වය තුළ ඒකීයත්වයක් ජනිත වුණා. එය සංගීත සංස්කෘතිය පුළුල් වීමට දැඩි බලපෑමක් සිදු කළා. ප‍්‍රශ්නය වෙලා තියෙන්නෙ මේ හැම අධ්‍යයනය කරන්න ආයතනයක් අපට නැති එකයි.

ඒ කියන්නෙ?

මගේ යෝජනාව නම් මේ සංගීත සංස්කෘතිය අධ්‍යයනය කරන්න අධිලේඛනාගාරයක් අපට තිබිය යුතුයි. එසේම එය රාජ්‍ය ලේඛනාගාරයෙන් වෙන් වූ ස්වාධීන ආයතනයක්ද විය යුතුයි. ඒ සඳහා අවංක කැපමෙන් වැඩකළ හැකි පිරිසක් තෝරා බේරා ගත යුතුයි. විදේශිකයකුට අපේ සංගීත සංස්කෘතිය අධ්‍යයනය කරන්න තැනක් අද නැහැ. සුනිල් සාන්ත ගැන අධ්‍යයනය කරපු මහාචාර්ය ටෝනි ඩොනල්ඩිසන්ට අවුරුදු දොළහක් විතර ගියා කරුණු රැස් කර ගන්න. අධිලේඛනාගාරයක් තියෙනවනම් එහෙම විශාල කාලයක් වැය කරන්න සිද්ධවෙන්නෙ නැහැ. ලෝකයේ අනිකුත් රටවල එහෙම ආයතන තියෙනවා.

හැබැයි මේ අධිලේඛනාගාරයේ තියෙන්න ඕන හැම සංගීත ප‍්‍රවර්ගයක්ම, ලංකාවෙ දැනට බිහිවෙලා තියෙනව හැම සංගීත සම්ප‍්‍රදායක්ම මෙහි සංරක්‍ෂණය වෙලා තිබිය යුතුයි. එහෙම නැතුව තෝරාගත් කිහිපදෙනෙකු ගේ නිර්මාණ පමණක් සංරක්‍ෂණය කරල තියෙනවා නම් ඒක වැඩක් වෙන්නෙ නැහැ.

චින්තාවලියෙහි සංගීතය යනු කුමක්ද?

චින්තාවලියෙහි සංගීතය කියන්නෙ සිතුවිලි තුළින් මතුවන සංගීතයටයි. එය චින්තනය කෙරෙහි බලපාන දෙයක්. ඇසූ පිරූ තැන් ඇති නිර්මාණකරුවාහට කුරුල්ලන්ගේ නාද, ජන කවි, කුඩා කල ඇසූ ශබ්ද, එපමණක් නොවේ, සොබාදහමට සවන් දීමෙන් පවා තම නිර්මාණ කාර්ය පෝෂණයකර ගත හැකියි. එය මට්ටම් කිහිපයකින් විග‍්‍රහ කළ හැකියි. ඉන් පළමු වැන්න නම් වාග් ලාවණ්‍යය තුළින් සංගීතයක් මතු කිරීමයි.

සඳපානේ වැලිතලා
සුරකුමරියො මල්සලා
සිටිති මෙදෙස බලබලා
ගිගිරි වළලූ පය නො ලා

මුනිදාස කුමාරතුංගයන් මෙහි වාග් ලාවණ්‍යය තුළින් සංගීතයක් මතු කර දක්වනවා. ඒ ආකාරයට මෙය ප‍්‍රධාන මට්ටම් හතරකින් විග‍්‍රහ කළ හැකියි.

ගීතය ගැඹුරු සංවේදනයක් විය යුතුයි. ගීතය තුළින් විනෝදයත් විනෝදය තුළින් ගැඹුරු වින්දනයත් ඒ ගැඹුරු වින්දනය තුළින් ප‍්‍රඥවත් ලබාදීම සිදුවිය යුතුයි. මගේ ගීතවල තියෙන විශේෂ ලක්‍ෂයක් තමයි කාලය, අනිත්‍යතාව, අනිත්‍යතාවය තුළින් මතුවන සුන්දරත්වය. මෙය තේරී ගථා වලත් තියෙනවා.

ඒ වගේම තමයි ඕනෑම කවියක ගීතයක් තියෙනව. උදාහරණ වශයෙන් දයානන්ද ගුණවර්ධනයන් විසින් රචනා කරන ලද සොඳුරිය ඔබගේ වුවන මලක් නම් ගීතය ගන්න. එය කවියක්. ඒ වගේම මහාචාර්ය විමල් දිසානායක විසින් රචනා කරන ලද මුව රද බර පිපි කවිය ගන්න. එය ගීතයක්. ඒ නිසා ඕනෑම ගීතයක් තුළ කවියක්ද තියෙනවා. ගීතය භාෂාව ආත්මය කරගත් කලා මාධ්‍යයක්. ඕනෑම කලාත්මක කෘතියකට කාව්‍යාත්මක ලක්‍ෂණයක් තියෙනවා. එපමණක් නොවෙයි ලෝකයේ හැම රටක ම පද්‍ය කලාව සංගීතය කෙරෙහි ආනුභාව පළ කරල තියෙනවා. පද්‍ය කාව්‍ය කලාව නැතිවෙල නැහැ. එය සංගීතමය පසුබිමක් තුළ බිහිවෙන්නක්.

ගේය පද පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ගේය පද කියා දෙයක් නැහැ. මෙය අනවශ්‍ය ව්‍යාකූලත්වයක් ඇති කරවනවා. ගේය කාව්‍ය කියන්නේ ගැයිය හැකි විශේෂයකට නම් අගේය. කාව්‍ය යනුවෙන් ගැයිය නොහැකි කාව්‍ය විශේෂයක්ද තිබිය යුතුයි. ගැයිය නොහැකි පදයක් සිංහල භාෂාවෙ නැහැ. මේ බව ආදියේ ඉඳන් පෙන්වා දීල තියෙනවා. ඕනම ශූර සංගීතඥයකුට ඕනෑම පදයක් සංගීතයට නැඟිය හැකියි. එහෙනම් ගැයිය නොහැකි පද තියෙන්න බැහැනෙ. මේ අදහස් පණ්ඩිතමානී අදහස් ලෙසයි පෙනී යන්නෙ. ගීත පද කියල කියන්න පුළුවන් තැන ගී පද රචනා නොකියා ගේය කාව්‍යය කියල කියනවනම් ඒ කියන්නෙ සරල සංසිද්ධියක් සංකීර්ණ ලෙස ඉදිරිපත් කිරීමයි. එහෙම කරන්නෙ ගැඹුරු චින්තන ශක්තියෙන් තොරවූ අයයි.

මුනිදාස කුමාරතුංග, මානවසිංහ, මඩවල, අරිසෙන් අහුබුදු, මහගමසේකර ඇතුළු පරම්පරාවේ අය ලිව්වෙ ගීත මිසක් ගේය පද නෙමෙයි. කොටින්ම කියනවානම් මානවසිංහ කවිය හැඳින් වූයේ ගීත කියලා. ඔහුගේ කෝමල රේඛා කවි පොතක් ලෙස මුද්‍රණය වුණත් ඔහු එය හැඳින් වූයේ ගීත කියල. මහාචාර්ය සරත්චන්ද්‍ර ‘ලෝමහංස හා වෙස්සන්තර’ යන නාටක හැඳින්වූයේ ගීතාංග නාටක ලෙසය. මහගමසේකර ඔහුගේ ගී රචනා ඇතුළත් කෘතිය නම්කර තියෙන්නෙ මහගමසේකර ගේ ගීත යනුවෙන්. මඩවල රත්නායකගේ ගී පද රචනා අඩංගු පොත ගීත ප‍්‍රබන්ධ මොවුන් කිසි කෙනෙක් ගීත යන පදය භාවිත කරා මිසක් ගේය පද කියා භාවිත කරේ නැහැ. මෙවැනි ව්‍යාකූල අදහස් ඉදිරිපත් වීම නිසා ගීත විචාරය ඉතා සංකීර්ණ තත්ත්වයට පත් වෙනවා. අපේ ගීත විචාරය තියෙන්නෙ ප‍්‍රාථමික මට්ටමේ. ගීත විචාරය නව විචාර ක‍්‍රමවලට අනුව සකස් විය යුතුයි. ගේය පද කියන එක ගීතයට අන්වර්ථ නාමයක් ලෙස ද දක්වනවා. ඒ නිසා ගීතය යන අදහස තවත් සංකීර්ණ වෙනවා. ගීතය කියන එක තේරුම් ගන්න අමාරු නැහැ.

සිංහල සංගීතය සංස්කෘතිය මානවවාදි එකක් විය යුතු බව ඔබේ අදහසයි….

ඔව්. සංගීත නිර්මාණ හරහා විශේෂයෙන් ගී පද රචනා හරහා මනුෂ්‍යත්වය පිළිබඳ දයානුකම්පාවක් දැක්විය යුතුයි. එක යුගයකදී ගීතය ඉතා ප‍්‍රබල ලෙස අනිකුත් නිර්මාණ ක්‍ෂේත‍්‍රයන්ට බලපෑම් කළා. ‘‘ කරදිය’’ ‘‘නල දමයන්ති’’ වැනි මුද්‍රා නාට්‍ය තුළ ගීතය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකළා. ඒ අනුව ගීතය ඉතා ප‍්‍රබල නිර්මාණ කටයුත්තක්. මගේ උත්සාහය වෙන්නෙ ලාංකික සංගීත සංස්කෘතිය තුළට මානවවාදී ගුණය රැගෙන එන්නයි. ඒ අනුව මම උත්සාහ කරන්නෙ කාලයේ ප‍්‍රබලත්වයත් අනිත්‍යතාවේ අනිවාර්යත්වයත් විසින් පරිමිත ජීවන ක්‍ෂේත‍්‍රයෙහි කිසියම් සුන්දරත්වයක් මතුවන අයුරු පෙන්නුම් කිරීමයි. ඒ හරහා මානවවාදි ගුණය ඉස්මතු කිරීමටයි. මා විසින් රචනා කරන ලද ‘‘ඔබ මා සමග අතිනත ගන්නා දවස’’ ‘‘පෙර දිනයක මා’’ ‘‘සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්’’ වැනි ගීත ඒ සඳහා උදාහරණ ලෙස ගත හැකියි. නාම පද හා ක‍්‍රියා පද ඇසුරින් බිහිවන රූපක මගේ ගීතයේ ස්වාධීන ලක්‍ෂණයක්. සැන්දෑ අහසේ ඉරට මුවාවෙන් ගීතය එයට ප‍්‍රබල සාක්‍ෂියක්. ‘ඈත එපිට ගම්මානෙන් නැඟ එන ගීතය අර්ථ සංකෝචනයට ප‍්‍රබල නිදසුනක්. ගීතය ප‍්‍රධාන අංග තුනකින් සමන්විත වුවත් එහි මූලික උත්පාදන ශක්තිය වූ පද රචනාව මේ හැම අතර අණසක පතුරවනව. එසේම ගීතයක ස්වරූපය ඉස්මතු වීමේදී ගී පද රචකයාගේ පද සංයෝජන රීතිය, ආකෘතිය හා පරිකල්පන ශක්තිය එකසේ බලපානවා. එමෙන්ම ගීත රචකයා විශ්ව සාහිත්‍යයෙහි ප‍්‍රවණතා හඳුනාගත යුතුයි. ඬේවිඞ් රැන්ඩොල්ෆ් කියන්නේ වචනයට යා හැකි දුර ගෙවා අවසන් වූ තැන සංගීතය උපදී කියල. හැබැයි මට කියන්නෙ අර්ථය නොනවත්වා ඉදිරියට යන ගමනක් වුණත් ශබ්දය අතර මැද නවතියි කියලයි.

සුලෝචන වික‍්‍රමසිංහ

ගේය පද කියා දෙයක් නැහැ.... ප‍්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා
advertistmentadvertistment
advertistmentadvertistment